එක්සත් ජනපද වර්ජීනියා උප ආන්ඩුකාර ජස්ටින් ෆෙයෆැක්ස්ට එරෙහි ඩෙමොක්‍රටිකයන්ගේ #මීටූ දඩයමට විරුද්ධ වනු

Oppose the Democrats’ #MeToo witch-hunt against Virginia Lieutenant Governor Justin Fairfax

2019 පෙබරවාරි 11

ඩෙමොක්‍රටික් පක්ෂය වර්ජීනියා ප්‍රාන්තයේ උප ආන්ඩුකාර ජස්ටින් ෆෙයෆැක්ස්ට එරෙහිව #මීටූ ආකාරයේ දේශපාලන මෙහෙයුමක් ගෙන යමින් සිටී. වසර 15ට හා 19ට පෙර සිදු වූ හමුවීම් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් තහවුරු නො කෙරුනු චෝදනා එල්ල කීරීමේ පදනම මත, වෙන් වෙන් වශයෙන්, වර්ජීනීයාවේ සම්පූර්න ඩෙමොක්‍රටික නායකත්වය, 2020 ජනාධිපතිවරන නාමයෝජනා සඳහා නිවේදනය කෙරුනු හා වහා ම නිවේදනය කෙරෙනු ඇති ආසන්න වශයෙන් සියලු ඩෙමොක්‍රටික තරඟකරුවෝ, හා කලු ජාතික කොංග්‍රස් මන්ඩල කන්ඩායම මෙන් ම නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ හා සෙනෙට් සභාවේ ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයෝ ෆෙයෆැක්ස් වහා ම ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටිති.

ඩෙමොක්‍රටිකයෙකු හා අප්‍රිකානු-ඇමරිකානුවෙකු වන 39වැනි වියති, ෆෙයෆැක්ස් 2017 නොවැම්බරයේ දි තෝරා ගැනුනේ, වර්ජීනියානු විධායකයේ බලය රිපබ්ලිකානුවන්ගෙන් ඩෙමොක්‍රටිකයනට මාරු වූ ඡන්දයක දී ය. 1984 වෛද්‍යවිද්‍යාල වාර්ෂික ග්‍රන්ථයේ තම පිටුවේ එකක් කලු මුහනකින් ද අනෙක කූ ක්ලුක්ස් ක්ලෑන් ලෝගවකින් ද යුත් ඡායාරූප දෙකක් අනාවරනය කිරීම හා ඊට පසු ඔහු එම වසරේ දී ම නර්තන තරගයක දී තමා කලු මුහනක් පැලඳි බව පිලිගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයන්ගේ ඉල්ලා අස්වීමේ බලපෑම්වලට ඩෙමොක්‍රටික ආන්ඩුකාර රැල්ප් නෝර්තම් ද මුහන පා සිටී. ෆෙයෆැක්ස් හා නෝර්තම් යන දෙනො ම ඉල්ලා අස්විය යුතු නම්, අනුප්‍රාප්තික පේලියේ දෙවැන්නා වන, නීතිපති මාර්ක් හෙරින්ග් ද, 1980 වර්ජීනියා මිලිටරි ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය යෙකු ව සිටින අතරතුර තමා කලු මුහුනක් පැලඳි බව ස්වේච්ඡාවෙන් ම පිලිගැනීම නිසා ඉල්ලා අස්වීමේ බලපෑම්වලට මුහුන දෙනු ඇත.

අතවර කිරීම ගැන චෝදනා කිරීමට දෙවැනි කාන්තාව ඉදිරියට පැමිනි අවස්ථාව වූ සිකුරාදා දින සිට, උද්ඝෝෂනය නෝර්තම්ගෙන් ෆෙයෆැක්ස්ට මාරු වී ඇත. උප ආන්ඩුකාරවරයා බලගතු ලෙස චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ, කාන්තාවන් දෙදෙනා සමග ම හමුවීම් කැමත්තෙන් සිදු වූ බව අවධාරනය කරමිනි.

දෙදෙනා ම ඩියුක් විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස සිටි 2000 වර්ෂයේ දී ෆෙයෆැක්ස් තමා දූෂනය කල බවට විස්තර නො දී, පලල් ප්‍රකාශයක් කර ඇති, මෙරිඩිත් වොට්සන් නැමති දෙවැනි පැමිනිලිකාරිය ගැන සැබවින් ම තොරතුරු මතු වී නැත. ඇගේ නීතිඥයින් ඊට පසු පැවසුවේ වසරකට පෙර ඩියුක් පැසිපන්දු ක්‍රීඩකයෙකු විසින් ද ඈ දූෂනය කෙරී ඇති බව ද ඈ පවසන බව යි.

පලමු පැමිනිලිකාරිය වන, 43 වියති කැලිෆෝර්නියා මහාචාර්ය වෙනේසා ටයිසන් පවසන්නේ 2004 බොස්ටන් නගරයේ ඩෙමොක්‍රටික ජාතික සම්මේලනය අතරතුර ඔහුගේ හෝටල් කාමරයේ දී මුඛ සංසර්ගයේ යෙදීමට ෆෙයෆැක්ස් ඈට බල කල බව යි. පසු ගිය බදාදා නිකුත් කෙරුනු විස්තරාත්මක ප්‍රකාශනයක ඈ පැවසුවේ කැමත්තෙන් සිප ගැනීම් ලෙස ඇරඹුන දෙය ලිංගික අඩන්තේට්ටමකට හැරුනු බව යි. පැමිනිලිකාරියන්ගෙන් එකියක හෝ කියන පරිදි ඒවා සිදු වූ අවස්ථාවේ චූදිත අපරාධ ගැන පොලීසියට හෝ වෙනත් බලධාරීන්ට වාර්තා කර නොමත.

චෝදනා කොයික නමුත් තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කෙරී නැත. නැවත වතාවක් එහි සුපුරුදු මැසිවිල්ල තිබේ, එනම් එක් සිද්ධියක දී සැබෑ ලෙස තොරතුරු ඉදිරිපත් නො කෙරී ඇති හා ටයිසන්ගේ සිද්ධියේ දී ඇගේ සිද්ධිය දැඩි සැකයෙන් යුතුව බැලීමට හොඳ හේතුවක් ඇති තතු යටතේ පවා කාන්තාවන් විශ්වාස කල යුතු බව යි.

කැලිෆොර්නියාවේ ස්ක්‍රිප්ස් විද්‍යාලයේ දේශපාලනය හා වාර්ගික මෙන් ම ලිංගිකත්ව අධ්‍යයනය පිලිබඳ සහකාර මහාචාර්යවරියක වන ටයිසන් පලපුරුදු ශාස්ත්‍රාලිකාවකි. ඇය දීර්ග කාලීන ඩොමොක්‍රටික ක්‍රියාකාරිනියක ද වේ. 2004 ඇය ෆෙයෆැක්ස් මුනගැසෙන විට, ඇය ඔහුට වඩා වසර හතරක් ජ්‍යෙෂ්ට වූ අතර ජෝන් එඞ්වර්ඞ්ස්ගේ උද්ඝෝෂනය වෙනුවෙන් වැඩ කරමින් සිටියා ය.

ඇගේ වෙබ් අඩවියේ, ඈ පවසන්නේ, “ඈ තරුනියක වූ තැන් පටන්, ජනාධිපතිවරන උද්ඝෝෂන තුනක්, එක්සත් ජනපද සෙනෙට් සභා උද්ඝෝෂන දෙකක් හා බොහෝ ප්‍රාන්ත හා ප්‍රාදේශීය උද්ඝෝෂන ඇතුලුව දේශපාලන උද්ඝෝෂනවලට” ඈ සහභාගී වී ඇති බව යි. ඇගේ තීරු ලිපියක ඈ පවසන්නේ “මට වයස 12 වූ තැන් පටන්” දකුනු කැලිෆෝර්නියාවේ ඩෙමොකක්‍රටික් උද්ඝෝෂන මත ඈ වැඩ කර ඇති අතර, එමෙන් ම පාසලෙන් පසු ඇගේ පලමු රැකියාව වූයේ 1998 බාර්බරා බොක්ෂර්ගේ සෙනේට් උද්ඝෝෂනයේ මූල්‍ය කාර්ය මන්ඩලයේ වැඩ කිරීම බව යි

ඉරනමේ පෙරලීම්: එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ බහුසංස්කෘතික තතු හා සුලුතර නියෝජනය (Twists of Fate: Multiracial Coalitions and Minority Representation in the US House of Representatives) නමින් ඈ පොතක් ලියා ඇති අතර, එය ඔක්ස්ෆර්ඞ් විශ්වවිදයාල මුද්‍රානලය විසින් ප්‍රසිද්ධ කෙරුනි.

මෑත වර්ෂවල දී, ඈ තම අවධානය ලිංගික අපචාර හා ස්ත්‍රීවාදය පිලිබඳ ප්‍රශ්න වෙත යොමු කර ඇත. වර්තමානයේ ඇය ඃමීටූ දේශපාලනයේ ශාස්ත්‍රාලික තෝතැන්නක් වන, ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ එක් වසරක අධිශිෂ්‍යත්ව වැඩසටහනක නියැලී සිටින්නී ය. හැසිරීම් විද්‍යාවේ උසස් අධ්‍යයනය පිලිබඳ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාල කේන්ද්‍රයට අනුව, ඇය එහි “එක්සත් ජනපදය තුල කාන්තාවන් හා ලමුන්ට එරෙහි ලිංගික ප්‍රචන්ඩත්වය හාත්පස දේශපාලනය හා ප්‍රතිපත්ති” පිලිබඳ අධ්‍යයනයක නියලී සිටී.

ඇගේ විශ්වසනීයත්වයට අදාල ෆෙයර්ෆැක්ස්ගේ එක් ප්‍රකාශයක් මාධ්‍ය විසින් යන්තම් ප්‍රකාශ කර තිබේ. බොස්ටන්වල තම හමුවෙන් පසු යම් දිනක, මා නීති විද්‍යාලයේ සිටිය දී, ටයිසන් මට කතා කර මා ඇගේ මවට හඳුන්වා දීමට අවශ්‍ය යැයි පැවසූ බව ඔහු වාර්තා කර යි.

ටයිසන් පැහදිලිව ම ෆෙයෆැක්ස්ගේ චූදිත අතවරය ගැන පලල් ව කතා කිරීම ඇරුඹුවේ ඔහු තේරී පත් වීමෙන් පසු ය. 2018 ඈ වොෂින්ටන් පෝස්ට් හා අඩු වශයනේ තවත් එක් මාධ්‍ය හොරනෑවකට ගොස් ඇතත්, ඔවුන්ට එය තහවුරු කල නො හැකි බැවින් පුවත්පත එය වාර්තා කිරීම ප්‍රතික්ෂේප කලේ ය.

ෆෙයෆැක්ස්ට එරෙහිව බැරෑරුම් තත්‍ය සිද්ධියක් ඇති කරන කිසි දෙයක් අද දක්වා ඉදිරිපත් කෙරී නැත. එහෙත් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩෙමොක්‍රටික සාමාජිකයෙකු සඳුදා ඔහුට එරෙහිව දෝෂාභියෝජනා ඉදිරිපත් කිරීමට පොරොන්දු වී ඇත. ජස්ටින් ෆෙයෆැක්ස්ට එරෙහි දෝෂාභියෝගයක් සඳහා නීත්‍යානුකූල පදනමක් නැත. සාපාරාධී චෝදනා ගොනු කර නැත. අධිචෝදනා නැත, මොනයම් හෝ නීතිමය ක්‍රියාදාමයක් ගැන කියනුම කවරේ ද.

මෙම කාන්තා පැමිනිලිකාරියන් දෙදෙනාගේ නීතිඥයන් කියා ඇත්තේ තම සේවාදායිකාවන් දෝෂාභියෝග විභාග කිරීමක දී සාක්ෂි දීමට සූදානම් බව යි. මෙය ගනන් ගැනෙන්නේ ව්‍යාජ-නඩු වාතාවරනයක් ලෙසට ය. එවැනි ක්‍රියාදාමයක දී මාධ්‍ය හා ඩෙමොක්‍රටික් පරිසරයේ වෘත්තීය දඩයම්කරුවන් කෝප කිරීමට දේශපාලකයින් බිය වනු ඇති බව ඔවුහු දනිති. නඩු විභාගයක දී සිදු වනු ඇති පරිදි පැමැනිලිකරුවන්ගෙන් බරපතල ප්‍රශ්න කිරීම වැනි දෙයක් නො තිබෙනු ඇත.

එහි දෙවැනි වසරේදී, ඃමීටූ ව්‍යාපාරය මේ වන විටත් කලාකරුවන්, සංගීතඥයින්, නළුවන්, රූපවහිනී හා චිත්‍රපට ක්ෂේතවල ප්‍රසිද්ධ පුද්ගලයන්, හා වෙනත් අයගේ සෑහෙන සංඛ්‍යාවක් විරේක කිරීම හා අපලේඛනගත කිරීමට මග පාදා ඇත. වඩාත් මෑත දී, ඇමසන් චිත්‍රාගාරය වූඩී ඇලන්ගේ මෑත ම චිත්‍රපටය බොදා හැරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, චිත්‍රපට නිෂ්පාදකයා තම හදාගත් දියනිය අපචාරයට ලක් කිරීම පිලිබඳ ව ඔහුට එරෙහි චෝදනා සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීම, හා කනෙක්ටිකට් ප්‍රාන්ත පොලීසිය විසින් නියෝග කරනු ලදුව, නිව් යෝක් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා යේල් නිව් හේවන් රෝහලේ ලමා ලිංගික අපචාර සායනය විසින් කරන ලද පරීක්ෂනය චෝදනාවට විශ්වාසනීය පදනමක් නොමැති බව නිගමනය කිරීමේ කාරනය නො සලකා ය.

යන්තම් මාස 14ට පෙර, ඩෙමොක්‍රටික් පක්ෂය ඡන්දයෙන් තේරුනු තමන්ගේ ම නිලධාරියෙකු බිල්ලට දීමේ පූර්වාදර්ශයක් තැබුවේ, ඔහුට එරෙහි සුලු ලිංගික අපචාරයක් පිලිබඳ චෝදනාවකින් පසු මිනසෝටා සෙනෙට් සභික අල් ෆ්‍රැන්කන් බලෙන් පහ කිරීම මගින් තම අනන්‍යතා දේශපාලන න්‍යායපත්‍රය ප්‍රචාරය කිරීමට ය. ඩෙමොක්‍රටික් කන්ඩායම අතර ගබ්සා කිරීමේ අයිතිය පිලිගැනීම ඇතුලුව, ඉතාමත් ලිබරල් යැයි සැලකෙන සෙනෙට් සභිකයා ඉවත් කිරීම කන්ඩායම්වල දේශපාලන තුලනය තවත් දකුනට මාරු කලේ ය.

ෆෙයෆැකස්ගේ ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම පිටුපස නිශ්චිත දේශපාලන න්‍යායපත්‍රයක් ඇත. ඩෙමොක්‍රටිකයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී අනන්‍යතා දේශපාලන රූපාකාරයක් මත පදනම් වූ මූලෝපයක් තීව්‍ර කරමින් සිටින බව රහසක් නො වේ. මෙම මස මුල දී, (ජනාධිපති ට්‍රම්ප්ගේ) වාර්ෂික සමූහ දේශනයට ඩෙමොක්‍රටික් ප්‍රතිචාරය ලබා දුන් ස්ටේසි ආබ්‍රහම් අනන්‍යතාව මත ඩෙමොක්‍රටික යොමු විම හා “‘කම්කරු පන්තිය’ නමින් ප්‍රසිද්ධ සියල්ල ඇතුලත් කාන්ඩය” ප්‍රතික්ෂේප කිරීම ආරක්ෂා කරමින් ලිපියක් ප්‍රසිද්ධ කලා ය.

ෆෙයෆැක්ස්ට එරෙහි ඩෙමොක්‍රටිකයන්ගේ දේශපාලන මෙහෙයුමේ දක්ෂිනාංශික ස්වභාවය එහි මූලයන්ගෙන් අවධාරනය කෙරේ. එය දින 12ට පෙර, ඇතම් සීමිත කොන්දේසි යටතේ තුන්වැනි තෙමස්කල් (සති 27 සිට දරු උපත තෙක් ගැබිනි සමය - පරි.) ගබ්සා කිරීම් අනුමත කරමින් ඔහු සම්මුඛ සාකච්ඡාවක් දුන් නිසා “දාරක ඝාතයේ” ආධාරකරුවෙකු ලෙස නොර්තම්ට පහර දුන්, ජනාධිපති ට්‍රම්ප් හා උප ජනාධිපති පෙන්ස් ඇතුලුව, වර්ජීනියාවේ ප්‍රමුඛ රිපබ්ලිකානවුන් විසින් වර්ජීනියා ඩෙමොක්‍රටික් පක්ෂයට එරෙහි ව දියත් කෙරුනු ප්‍රකෝපකරනයක ප්‍රතිඵලය යි.

ඊට පසු අඟහරුවාදා, තම වාර්ෂික සමූහ දේශනයේ දී, ට්‍රම්ප් සාරභූතව ම ගබ්සා කිරීමේ අයිතිය මත යුද ප්‍රකාශ කලේ, එම ප්‍රශ්නය තම නැවත පත්වීමේ උද්ඝෝෂනය තුල ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු කරනු ඇති බව පැහදිලි කරමිනි.

ෆෙයෆැක්ස්ට එරෙහි කලු මුහුනු ප්‍රශ්නය හා ලිංගික උද්ඝෝෂන සම්බන්ධ මහත් උනන්දුව යන දෙකම අවුලුවන ලද්දේ ෆැසිස්ට්තාලයේ බ්‍රේයිබාර්ට් නිව්ස් ජාලයේ හිටපු ලේඛකයන් විසින් පාලනය කරනු ලබන අන්ත දක්ෂිනාංශික වෙබ් අඩවියක් වන බිග් ලීග් පොලිටික්ස් මගින් පල කෙරුනු ලිපි මගිනි.

ව්‍යාජ යැයි ඔප්පු කෙරී ඇති, ලිංගික අතවර පිලිබඳ චෝදනාවලට දීර්ග හා අතිශය ඛේදජනක ඉතිහාසයක් ඇත. ඇමරිකාව තුල දඬුවම් කෙරුනු කලු මිනිසුන්ගේ විශාල කන්ඩායමක් ඝාතනය කෙරුනේ ඔවුහු ලිංගික අතවරවල වරදකරුවෝ වූහ යි යන බොරුව මත ය. එෆ්බීඅයි සංවිධානයේ ජේ.එඞ්ගාර් හූවර්, තම විරුද්ධවාදීන්ට, විශේෂයෙන් ම වාමාංශිකයන්ට එරෙහි බිය ගැන්වීම, ප්‍රකෝප කිරීම හා විනාශ කිරීම සඳහා උපකරනයක් ලෙස කාමය යොදා ගැනීම පරිපූර්න කලේ ය. ඔහුගේ පුද්ගලික ජීවිතය අනාවරය කිරීම හරහා එෆ්බීඅයි විසින් අවමානයට පත් කිරීමට උත්සාහ කෙරුනු කනිෂ්ඨ මාටින් ලූතර් කිංග් වර්තමාන #මීටූ අවධියේ ජීවත් ව සිටියා නම් සිදුව තිබෙන්නට ඉඩ ඇත්තේ කුමක් දැ යි යමෙකු මවිත වනු ඇතිවා පමනි.

මේවා ඩෙමොක්‍රටික පක්ෂය ම ද පදනම් වෙමින් සිටින්නා වූ සම්ප්‍රදායන් ය. එහි ක්ෂනික ප්‍රතිඵලය කුමක් වුවත්,මෙම අලුත් ම කැත සිදුවීම පැහදිලි කරන්නේ ඩෙමොක්‍රටික් පක්ෂය අනන්‍යතා දේශපාලනය මත තම වාරු වීම තීව්‍ර කරමින් සිටින අතර මෙම පදනම මත එය පෙර නො වූ විරූ තරම් තියුනු ලෙස දකුනට ගමන් කරමින් සිටින බව යි. එක දෙයක් නිශ්චිත ය, එනම් ඩෙමොක්‍රටිකයන් ගබ්සා කිරීමේ අයිතිය ඇතුලුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින් සිටිනවාට වඩා වර්ගය, ලිංගය හා ලිංගික නැඹුරුව මත පදනම්වූ දේශපාලනය ප්‍රචාරයට කැපවෙමින් සිටින බව යි.

කම්කරුවන් හා තරුන ජනයා #මීටූ දඩයම තුල ඩෙමොක්‍රටිකයන්ගේ මෑත උත්සාහයට විරුද්ධ විය යුතු ය.

බැරී ග්‍රේ

Share this article: