ශ්‍රී ලංකාව: සසප හා ඇබොස්ලී කම්කරු කමිටුව වතුකරයේ දඩයමට විරුද්ධ ව පිකට් කිරීමක් සංවිධානය කරති

Sri Lanka: SEP and Abbotsleigh workers’ committee organise picket to oppose witch hunt in plantations

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 පෙබරවාරි 14

.

වතු කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කිරීමට විරෝධය පෑම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ හැටන් නගරයේ බස් නැවතුම් පොල අසල දී පෙබරවාරි 17දා පවත්වන පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කරයි.

වැටුප් වැඩි කිරීමක් ඉල්ලා වතු කම්කරුවන් නිරත වුනු අරගලය මධ්‍යයේ දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවකු හා එම වත්තේ සාන්ත ලෙයිස් කොටසේ ලංකා කම්කරු කොංග්‍රසයෙහි (සීඩබ්ලිව්සී) ශාඛා නායකයා වන එස්. බාලසුබ්‍රමනියම් දෙසැම්බර් 13දා වත්තේ කලමනාකාරීත්වය විසින් තහනමට ලක් කලේය.

වත්තේ කර්මාන්තශාලාවේ ගේට්ටුව අවහිර කිරීම හා එය තුලට තේ දලු ප්‍රවාහනය කිරීම වැලැක්වීම ගැන බාලසුබ්‍රමනියම් සහ තවත් කම්කරුවන් තිදෙනෙක් වන පද්මනාදන්, සුබ්‍රමනියම් හා ක්‍රිෂ්නන් යන අයට කලමනාකාරීත්වය විසින් චෝදනා එල්ල කලේ ය. පද්මනාදන් යනු ඈන්ෆීල්ඞ් වත්තේ ස්ටැම්ෆෝඞ් කොටසේ සීඩබ්ලිව්සී ශාඛාවේ නායකයා ය.

කලමනාකාරීත්වය, මෙම කම්කරුවන් සහ සීඩබ්ලිව්සී නිලධාරීන් වන අරුල්නයාහි, ක්ලේරා හා සිවසාමි යන තිදෙනාට විරුද්ධ ව සිද්ධිය සිදුවන විට ඔවුන් ද සිටි බව කියමින් පොලීසියට නිල පැමිනිලි කිරීමක් කලේ ය.

මෙම පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගත් පොලීසිය ඔවුන්ට පවසා ඇත්තේ චෝදනා පිලිබඳ ව උසාවියේ නඩු පවරන බවයි.

සමාගම විසින් බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කරන ලද පැමිනිල්ලක් ගැන සහකාර කම්කරු කොමසාරිස් විභාග කරද් දී, තේ දලු ප්‍රවාහනය වැලැක්වීම මගින් රුපියල් 700,000ක් පාඩු කිරීම පිලිබඳ ව වත්තේ කලමනාකරු ඔහුට චෝදනා කලේ ය.

කලමනාකාරීත්වයේ චෝදනා බාලසුබ්‍රමනියම් හා අනෙකුත් ක්‍රියාකාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

වතු කරය තුල හොඳ වැටුප් ඉල්ලා වතු කම්කරුවන් නිරත වුනු අරගල සමයේ එවැනි තර්ජන, බියවැද්දීම් හා දඩයම් කිරීම් බහුල විය.

ජනවාරි මස මුල දී ඇබොස්ලී වත්තේ සහකාර කලමනාකරුවෙක් කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති පී. සුන්දරලිංගම්ට ඔහුගේ ක්‍රියාකාරකම් ගැන අනතුරු ඇඟවී ය. අනෙකුත් කම්කරුවන් ඉදිරියේ සහකාර කලමනාකරුවා සුන්දරලිංගම්ට මෙසේ කීවේ ය: “කමිටුව තනමින් උඹ වත්තේ කරදර ඇති කර තිබෙනවා. මම උඹට විරුද්ධ ව පියවර ගන්නවා.”

ආන්ඩුවේ හා පොලීසියේ පිටුබලය සහිත ව වතු කලමනාකාරීත්වය විසින් ගන්නා මෙම මර්දනීය ක්‍රියා, දැනට රුපියල් 500ක් වන දෛනික වැටුප සියයට 100කින් වැඩි කරගැනීම සඳහා අධිෂ්ටානවත් අරගලයක් දියත් කල කම්කරුවන් බියවැද්දීම ඉලක්ක එල්ලවිය.

වැටුප් වැඩිකිරීමක් ඉල්ලා කම්කරුවන් කල ඉල්ලීම අවධාරනය කරමින් 100,000කට වැඩි කම්කරුවෝ දෙසැම්බර් 5දා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කල හ. වැටුප් ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දුවක් හුවා දක්වමින්, අනෙකුත් වෘත්තීය සමිතිවල පිටුබලය ද සහිත ව සීඩබ්ලිව්සීය එම වර්ජනය නතර කලේ ය.

දෛනික වැටුප රුපියල් 750කට සීමා කරමින් හා අනෙකුත් ප්‍රතිලාභ අවසන් කරමින්, ජනවාරි 28දා ලංකා ජාතික වතු කම්කරු සමිතිය ද සමගින් සීඩබ්ලිව්සී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සමග පාවාදීමේ ගිවිසුමක් අත්සන් කලේ ය.

වැඩ වර්ජන හා විරෝධතා දියත් කරමින් කම්කරුවන් මෙම ගිවිසුමට පලල් විරුද්ධත්වයක් පලකර තිබේ. දැන්, කම්කරුවන්ගේ විරෝධය සමහන් කිරීම සඳහා, ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන, කඳුරට ජනතා පෙරමුන හා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය යන ඒවායේ නායකයෝ ආන්ඩුව හා සමාගම් සමග නිෂ්ඵල සාකච්ඡා අරඹා ඇත. සමාගම් දැනට මත් වෙනත් කිසිදු වැටුප් වැඩිකිරීමක් ප්‍රතික්ෂේප කර ඇත.

තේ වතු තුල දඩයම හුදකලා දෙයක් නො වේ. මෑත පැවති හම්බන්තොට වරාය, ලංකා විදුලිබල මන්ඩලය සහ ඛනිජ තෙල් හා දුම්රිය ක්ෂේත්‍රවල අරගලවල දී කම්කරුවන්ට විරුද්ධ ව පොලීසිය හා ආරක්ෂක හමුදා දිගේලි කෙරුනි. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) බි්‍රතාන්‍යයට අයත් ඒටීජී කර්මාන්තශාලාවේ කම්කරුවෝ වැඩ නවත්වා ඇති තම සගයන් හය දෙනෙක් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් වර්ජනයක නිරත වෙති. ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ අරගල පුනර්ජීවනය වීමක් මධ්‍යයේ, අනෙකුත් රටවල ද මෙවැනි මර්දනීය පියවරයන් ගැනීම සිදු වී ඇත.

බාලසුබ්‍රමනියම් හා අනෙකුත් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සඳහා එහි කාර්මික ශක්තිය පාවිච්චි කිරීම සීඩබ්ලිව්සීය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අනෙකුත් වෘත්තීය සමිති ද මුලුමනින් ම නිහඬ ය. කම්කරුවන් ආරක්ෂා නො කරන වෘත්තීය සමිති ආන්ඩුවට හා මහා ව්‍යාපාරිකයන්ට සේවය කරති.

පෙබරවාරි 17දා පැවැත්වෙන පිකට් උද්ඝෝෂනය කැඳවුම් කරන සසප හා ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, වතු තුල දඩයමට එරෙහි සටන ධනපති පන්තියේ හා එහි ආන්ඩුවේ ප්‍රහාරයෙන් සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයෙන් වෙන් කල නො හැකි බව පැහැදිලි කර ඇත. මෙම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ සමාජවාදය සඳහා කරන අරගලයක් තුලිනි.

Share this article: