ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමේ 50වන සංවත්සරය
1985-1986 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භේදයේදී ට්‍රොට්ස්කිවාදීන්ගේ ජයග්‍රහනය

Victory of the Trotskyists in the 1985–1986 split in the ICFI

සමන් ගුනදාස හා කේ. රත්නායක විසිනි , 2018 දෙසැම්බර් 29

කවිපට එරෙහි දේශපාලන අරගලය දැන් ඉස්මතු වෙමින් පවතින විප්ලවවාදී පන්ති අරගලවල නව කාලපරිච්ඡේදය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සූදානම් කලේ ය. කොටස් හයකින් සමන්විත ලිපි මාලාවේ මෙය සමාප්ති කොටසයි. පලමුවන; දෙවන ; තුන්වන; හතරවන ; පස්වන කොටස් වෙත පිවිසීමට .

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලෙස ආරම්භ කල අතර එය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස නම් කරන ලදී. 1968 ජුනි 16-17 දිනවල පැවති විකොස ආරම්භක සම්මේලනය සැමරීමට ප්‍රකාශයක් පලකොට ඇත.

විකොස මූලධර්මාත්මක පදනම් විස්තාරනය කරන මෙම ලිපි, පසුගිය 50 වසර තිස්සේ එම මූලධර්ම සඳහා කල අරගලයෙන් අත්‍යවශ්‍ය පාඩම් උකහා ගනී. 1964 දී ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය සිරිමා බන්ඩාරනායක මැතිනියගේ සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් පාවා දී තිබුනු සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත විකොස ආරම්භ කරන ලදී.

සසප වැඩකටයුතුවල කේන්ද්‍රයේ පවතින්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බව ස්ථාපනය කල ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය සඳහා අරගලය යි. ශ්‍රී ලංකාවේ පමනක් නො ව ආසියාවේ ද ලෝකය පුරා ද ඉස්මතු වන කම්කරු පන්තියේ අරගලවලට මෙම පාඩම් තීරනාත්මක වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) තුල 1985-1986 සිදුවූ භේදය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සහ එහි සියලු ශාඛාවන් සම්බන්ධයෙන් නව අවධියක් සටහන් කලේය. එම භේදය සලකුනු කලේ, නොනවතින විප්ලව න්‍යාය ඇතුලු මූලික ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවා දුන් බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) ජාතික අවස්ථාවාදීන්ටත් එහි ආධාරකරුවන්ටත් එරෙහි ව අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන් හා සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය ලද තීරනාත්මක ජයග්‍රහනයකි.

කවිපට එරෙහි දේශපාලන අරගලය දැන් ඉස්මතු වෙමින් තිබෙන විප්ලවවාදී අරගලවල නව කාලපරිච්ඡේදය සඳහා හජාජාක සූදානම් කලේ ය. භේදයෙන් ඉක්බිත්තේ, එයට තුඩුදුන් හේතු පවතින්නේ ධනවාදයේ මූලික පරස්පර විරෝධයන්-- එනම්, ලෝක ආර්ථිකය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත් සාමාජික නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය අතරත් වන පරස්පරවිරෝධයන් --ඉමහත් ලෙස තියුනු කර ඇති නිෂ්පාදනයේ ගෝලීයකරනය තුල බව හජාජාක හඳුනා ගත්තේය. මෙම, පාලක පන්තීන් යුද්ධය, කප්පාදුව හා ආඥාදායකත්වය කරා ධාවනය කිරීමට පමනක් නො ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී පුනර්ජීවනය සඳහා ද උත්තේජනය සපයන ගාමකයන් වේ.

1950 ගනන්වල මුල්වරට ඉස්මතු වූ පැබ්ලෝවාදී විපාර්ශවයට එරෙහි ව හතරවන ජාත්‍යන්තරය ආරක්ෂා කිරීමේ දී කවිප පූර්වගාමියා වූ බ්‍රිතාන්‍ය සෝශලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්) තීරනාත්මක භූමිකාවක් ඉටුකලේ ය. පශ්චාත්-යුද කාලීන ධනේශ්වර ප්‍රතිස්ථාපනයට පැබ්ලෝවාදීන් ප්‍රතිචාර දැක්වූයේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය අතහරිමින්, සෑම රටක ම ආනුභාවය දැරූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතාවන්ට අනුගත වෙමිනි.

එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) පැබ්ලෝවාදීන්ට එරෙහි ව දියත්කල අරගලයේ දී සහ 1953 හජාජාක පිහිටුවීමේ දී එස්එල්එල්හි නායක සාමාජිකයෝ ඊට සහයෝගය දුන් හ. එස්ඩබ්ලිව්පීය ඒ හා සමාන දේශපාලන පීඩනයන්ට යටත් වී පැබ්ලෝවාදීන් සමග 1963 දී යලි එකමුතු වන විට, එස්එල්එල්, එස්ඩබ්ලිව්පීයට එරෙහි ව දුර දක්නාසුලු හා ධෛර්යය සම්පන්න අරගලයක් දියත් කලේ ය.

ලසසපයේ 1964 පාවාදීම පැබ්ලෝවාදී අවස්ථාවාදයේ අන්තරායන් පිලිබඳ ව එස්එල්එල් කල අනතුරු ඇඟවීම් දෘඪ ලෙස සනාථ කිරීමක් විය. විකොස කේඩරය ඒකාබද්ධ වී 1968 දී පක්ෂය ගොඩනැගීමේ දී පදනම් වූයේ එස්එල්එල්හි විශ්ලේෂනය මත යි. ඒ හා සමාන ව 1953 හා 1963 අරගලවල පාඩම්වලින් අනුප්‍රානය ලබමින් 1960 ගනන් හා 1970 ගනන් මුල එක්සත් ජනපදය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව තුල නව හජාජාක ශාඛාවන් ගොඩනගන ලදී.

එහෙත්, 1968 හා 1975 අතර විප්ලවීය නැගිටීම්වල ගමන් මාවතේ දී අධිරාජ්‍යවාදය යෙදූ යෝධ පීඩනයන්ට එස්එල්එල් අනුගත විය. ක්‍රියාමාර්ගික පදනම් පිලිබඳ සාකච්ඡාවකින් තොර ව ටෝරි-විරෝධී උපාය මත 1973 දී එය කවිප බවට පරිවර්තනය කිරීම සනිටුහන් කලේ ලේබර් පක්ෂයට හා වෘත්තීය සමිතිවලට අනුගතවීමකි. මැද පෙරදිග හා අනෙකුත් තැන්වල ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන් සමග කවිප මූලධර්මවලින් තොර සබඳතා ස්ථාපනය කරගනිද්දී ක්‍රමයෙන් නොනවතින විප්ලව න්‍යාය අත්හැර දැමී ය.

එස්එල්එල්/කවිප දේශපාලන කීර්තිය පැබ්ලෝවාදයට එරෙහි එහි සටන මත රැඳී තිබුනත්, එම අරගලවල පාඩම් එය විසින් අතහරිද්දී මෙම තීරනාත්මක න්‍යායික අභිවර්ධනයන් මත ගොඩනගා තිබුනු හජාජාක ශාඛාවන් සමග කවිප වඩ වඩා ගැටුමට පිවිසිනි.

1971 දී, බංග්ලාදේශ විමුක්ති අරගලයට සහාය දීමේ කඩතුරාව යටතේ ඉන්දියාව එවකට නැගෙනහිර පාකිස්තානය ආක්‍රමනය කල විට, එයට “විවේචනාත්මක සහයෝගය” දෙමින් නිකුත්කල ප්‍රකාශය මගින් එස්එල්එල් ඉන්දු-පාකිස්තාන යුද්ධය ගැන කල තක්සේරුව කෙරෙහි විකොස තියුනු ලෙස නොඑකඟතාව පල කලේය. නව දිල්ලියේ සැබෑ උත්සුකය වූයේ, ගැටුම දේශසීමාවන්ගෙන් ඔබ්බේ බටහිර බෙංගාලයට පැතිරී 1947 බ්‍රිතාන්‍යයෙන් නාමික නිදහස ලැබීමෙන් පසුව ස්ථාපිත කල ප්‍රතිගාමී ජාතික රාජ්‍ය පද්ධතිය අස්ථාවර කරනු ඇති බව යි.

මෙම ප්‍රකාශය නිකුත් කිරීමේදී, ඒ වන විට අර්ධ-නීත්‍යානුකූල කොන්දේසි යටතේ ක්‍රියාත්මක වෙමින් සිටි විකොස අදහස් විමසුවේ නැත. විකොස ඒවන විටත් සූදානම් කර තිබූ ලියවිල්ලක “නිර්ධන පන්තියේ කර්තව්‍යය වන්නේ ධනේශ්වරයේ ඒ හෝ මේ කන්ඩායමට සහයෝගය දීම නො ව” සතුරු කඳවුරේ ගැටුම් බලය අල්ලා ගැනීම සඳහා යොදාගැනීම බව ප්‍රකාශ කලේය.

කීර්ති බාලසූරිය

විකොස සිය ප්‍රකාශය ප්‍රසිද්ධ කලේ නැත. එහෙත්, එස්එල්එල් ප්‍රකාශයට බලගතු ලෙස විරෝධය පලකරමින් මතු වී ඇති ප්‍රශ්න අරබයා ජාත්‍යන්තර සාකච්ඡාවක් ඉල්ලා විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය හජාජාක ලේකම් ක්ලිෆ් ස්ලෝටර්ට ලියුවේ ය. එස්එල්එල් වෙනුවෙන් විකොසට පහර දුන් මයික් බන්ඩා, නොනවතින විප්ලව න්‍යායට මුලුමනින් නො ගැලපෙන ලෙස ඉන්දියානු ජාතික ධනේශ්වරයට “ප්‍රගතිශීලී” හා “විප්ලවවාදී” භූමිකාවක් ආරෝපනය කලේ ය. ජාක ශාඛාවන් වෙත විකොස ලිපිය බෙදාහැරීමක් වත් නො කල එස්එල්එල් වඩ වඩා එය හුදකලා කිරීමට උත්සාහ දැරී ය.

දිවයිනේ උතුරු හා නැගෙනහිර වෙනම දෙමල රාජ්‍යයක් සඳහා සටන් වැදුනු ධනේශ්වර ජාතිකවාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එස්එල්එල්/කවිප අනුගත වීමට එරෙහි ව විකොස ඍජු ව ගැටුමට එලඹුනේය. සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටනේ කොටසක් ලෙස දෙමල ජාතියේ ස්වයං-නීර්න අයිතියට විකොස දුන් උපායික සහයෝගයට ආරම්භයේ දී විරුද්ධ වූ කවිප 1979 දී අංශක 180ක කරනමක් ගැසී ය. වෙන ම රාජ්‍යයක් සඳහා එල්ටීටීඊ උද්ඝෝෂනයට අවිවේචනාත්මක සහයෝගය දුන් එය, ලෙනින්ගේ ලිවීම් අමු අමුවේ විකෘත කරමින් එල්ටීටීඊයේ ධනේශ්වර වැඩපිලිවෙලට සමාජවාදී වර්නයේ සලුපිලි ඇන්දවී ය. මෙම කරුනු ලිපිමාලාවේ පස්වන කොටස තුල සවිස්තර ව සාකච්ඡා කෙරේ.

රටතුල දිග්ගැස්සුනු වාර්ගික සිවිල් යුද්ධය ඇවිලවූ 1983 ජූලියේ කොලඹ හා දිවයින පුරා පැතිරුනු දෙමල-විරෝධී ලේවැකි සංහාරයේ මුදුනත දී විකොස කෙරෙහි කවිප හතුරුකම හෙලිදරවු විය. 1983 අගෝස්තුවේ කවිප එහි නිව්ස් ලයින් පුවත්පත තුල මෙසේ ලිවී ය: “අපගේ සහෝදරවරුන් මරා දමා අපේ මාධ්‍ය විනාශ කිරීමට පොලීසිය හා හමුදාව ඔවුන්ට දී ඇති අත්තනෝමතික හා අපාලිත බලය යොදාගෙන තිබෙනු විය හැකි ය.”

මෙම විස්මයජනක ප්‍රකාශය පලකල නමුත් විකොස ආරක්ෂා කිරීමට හෝ එහි කේඩරය ගැන සොයාබැලීමට කවිප කිසිවක් නො කලේ ය. බාලසූරිය පසුව සඳහන් කල පරිදි: “අපගේ ආරක්ෂාව සඳහා උද්ඝෝෂනයක් ගොඩනැගීමට ඔබ නිරවශේෂයෙන් ම කිසිවක් නො කල අතර, එනයින්, අපේ පක්ෂය කායික විනාශයකට ලක්කරතොත් ඔබ ඇඟිල්ලක් වත් ඔසවන්නේ නැති බවට එජාප ආන්ඩුවට පූර්ව දැනුම් දීමක් කලේ ය.”

හජාජාක හා එහි ශාඛාවන් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා කල අරගලය එන්ට එන්ට ම අවස්ථාවාදී වූ තම සබඳතා සමග ගැටෙන තතු තුල කවිප ඒවා විනාශ කිරීමට වැඩි වැඩියෙන් උත්සාහ දැරී ය. එල්ටීටීඊයට අවිවේචනාත්මක සහයෝගය දෙන අතර ම, කවිප, විකොසෙන් පලාගොස් සිංහල ස්වෝත්තමවාදී භාෂිතයන්ගෙන් පක්ෂයට පහර එල්ල කල හිටපු සාමාජිකයන් සමග සබඳතා පවත්වාගත්තේ ය. විකොස හජාජාක වෙතින් නෙරපීම සඳහා තර්ජනය කිරීමේ පදනම ලෙස එම හිටපු සාමාජික කන්ඩායමේ අවමන්කාරී කියාපෑම් යොදා ගත්තේ විකොස නායකත්වයේ දියකරහැරීම්වාදය යනුවෙන් ව්‍යාජ ලෙස හැඳින්වූ දෙයකට පහර දීම සඳහා ය.

එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය හා එහි ජාතික ලේකම් ඬේවිඞ් නෝර්ත් ද සිටියේ ප්‍රහාරයට ලක්වෙමිනි. එස්එල්එල් නායක ජෙරී හීලිගේ අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනය 1982 දී නෝර්ත් විසින් විවේචනය කර තිබුනේ එය “නිගමන හා විධික්‍රමය යන දෙයාකාරයෙන් ම” ඓතිහාසික භෞතිකවාදය අත්හැර දැමීමක් මෙන්ම “අප පැබ්ලෝවාදය සමග ඓතිහාසික ව අනන්‍ය කර ඇති දේවල් දෙසට වන දේශපාලන ආස්ථානයන් කරා පල්ලම් බැසීමේ සලකුනු” පිලිබිඹු කරන බව පැහැදිලි කරමිනි.

මැද පෙරදිග ද ඇතුලු විවිධාකාර ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන් සමග කවිප නායකත්වයේ අවස්ථාවාදී සබඳතා ද නොනවතින විප්ලව න්‍යාය අතහැරීම හා පීඩිත ජනයා පාවාදීම ද නැවතත් 1984 දී නෝර්ත් විසින් විවේචනය කලේ ය. මෙම කරුනු පිලිබඳ ව හජාජාක තුල කිසිදු සාකච්ඡාවක් කිරීම වැලැක්වූ කවිප, නෝර්ත්ගේ විවේචන ඉල්ලා අස්කර නො ගතහොත් වර්කර්ස් ලීගයෙන් භේද වන බවට තර්ජනය කලේ ය.

ජූලි-ඔක්තෝබර් සමයේ කවිප තුල පුපුරා ගිය ගැඹුරු අර්බුදය එහි නායකත්වය සීසීකඩ කර දැමුවේය. නෝර්ත්ගේ න්‍යායික හා දේශපාලනික විවේචනයේ පදනම මත මැදිහත් වූ හජාජාකට, කවිප අර්බුදයේ මුල් ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්මවලින් ඉවත්වීම තුල ගැබ්ව තිබෙන බව හඳුනාගැනීමට හැකි විය. හජාජාක හදිසි රැස්වීමකට සහභාගි වීමට ලන්ඩනයට ගිය කීර්ති බාලසූරිය ඕස්ට්‍රේලියානු හා ජර්මානු ශාඛාවල නායකයන් ද සමග නෝර්ත්ගේ විවේචනවලට එකඟතාව පලකලේ ය.

බ්‍රිතාන්‍ය ශාඛාවේ අර්බුදය පිලිබඳ ව හජාජාක නිකුත් කල ප්‍රකාශයන් තුල දී එම අර්බුදය වනාහි “සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ මූලෝපායික කර්තව්‍යයෙන් දීර්ඝ කාලයක් මුලුල්ලේ ඉවතට හැරී, වඩ වඩාත් ජාතිකවාදී ඉදිරිදර්ශනයක් හා භාවිතාවක් වෙතට වූ නැඹුරුවෙහි” නිෂ්පාදිතයක් බව සඳහන් කලේ ය. හජාජාක දේශපාලන අධිකාරය නො වලහා පිලිගනිමින් බ්‍රිතාන්‍ය ශාඛාව එහි තීන්දුවලට යටත් වීමේ පදනම මත කවිප සාමාජිකයන් යලි ලියාපදිංචි කිරීම අවශ්‍යවිය.

කවිප මූල්‍ය ගනුදෙනු පිලිබඳ හජාජාක පරිපාලන කොමිසමේ වාර්තාව 1985 දෙසැම්බරයේ දී හජාජාකට ලැබුනි. හජාජාක හදිසි සම්මේලනයක් කැඳවන තෙක් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ඓතිහාසික ව පාවාදීමේ හේතුව මත කවිපෙහි ජාත්‍යන්තර කමිටු සාමාජිකත්වය තහනම් කරන ලදී. පැබ්ලෝවාදයට එරෙහි දිග්ගැස්සුනු අරගලයේ ක්‍රියාමාර්ගික පදනම හා නිරවද්‍යතාව තවත් යෝජනාවකින් ප්‍රතිස්ථාපනය කෙරුනි.

මෙම යෝජනාවන්ට පක්ෂව ඡන්දය දුන්නේ කවිප තුල හජාජාකට සහයෝගය දුන් සුලුතරයක නායකත්වය ගත් ඬේවිඞ් හයිලන්ඞ් පමනි. 1986 පෙබරවාරියේ පැවති සිය පල්ල ගිය සම්මේලනයේ දී, එස්එල්එල් තීරනාත්මක භූමිකාවක් ඉටුකොට තිබුනු අරගලහි සමස්ත ඉතිහාසයම ප්‍රතික්ෂේප කල කවිප, සුලුතර කන්ඩායම ඉවත් කිරීමට පොලීසිය යොදාගනිමින් ජාත්‍යන්තර කමිටුවෙන් භේද විය.

හජාජාක තුල මෙම භේදය, 1953 භේදයත් සමග හතරවන ජාත්‍යන්තරය තුල ඇරඹුනු දශක තුනක දිග්ගැස්සී ගිය සිවිල් යුද්ධය නිමාවට ගෙන ආ අතර, එය මාක්ස්වාදයේ පුනර්ජීවනයකට හා සමීප ජාත්‍යන්තර ඒකාබද්ධතාවක වර්ධනයට මගපෑදී ය. සියලු ජාතික ක්‍රියාමාර්ගයන්ට වලකපා තිබුනු ගෝලීයකරනයේ ක්‍රියාවලිය තුල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන්ගේ ජයග්‍රහනයට ප්‍රගාඪ වෛෂයික පදනමක් තිබුනි.

ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ නමැති 1988 සිය ඉදිරිදර්ශන ලියවිල්ල තුල දී ජාත්‍යන්තර ව කම්කරු ව්‍යාපාරය හරහා හමා යමින් තිබූ නිෂ්ක්‍රමනවාදයේ රැල්ලක් හජාජාක විසින් හඳුනාගත්තේ ය. වෘත්තීය සමිති, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ සහ විවිධාකාර සංශෝධනවාදී කන්ඩායම් සියල්ල කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට කලින් කියා තිබූ සීමිත කියාපෑම් ද අත්හරිමින් සිටිය හ.

ස්ටැලින්වාදී තන්ත්‍රයන් විසින් නැගෙනහිර යුරෝපයේ විකෘත කම්කරු රාජ්‍යයන් හා සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනය කිරීම මුලුමනින්ම වැලඳගැනීම තුල මෙය මූර්තිමත් කෙරුනි. හජාජාක අවධාරනය කලේ වෙලඳපොලේ ජයග්‍රහනය පිලිබඳ විජයග්‍රාහී රැල්ල මධ්‍යයේ අසාර්ථක වී ඇත්තේ ප්‍රතිගාමී ස්ටැලින්වාදී “තනි රටේ සමාජවාදයේ” ඉදිරිදර්ශනය මිස සමාජවාදය නො වන බව යි.

මෙම නව වර්ධනයන් හජාජාක හමුවට තීරනාත්මක කර්තව්‍යයන් රැගෙන ආවේ ය. වෘත්තීය සමිති සහ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පලල් ස්ථරයක ධනාත්මක සහයෝගය හා ලැදියාව තවමත් දිනාගෙන සිටි කොන්දේසි යටතේ හජාජාක ශාඛාවන් ලීගයන්ගේ රූපාකාරය ගත්තේ ය. ක්ෂනික දේශපාලන කර්තව්‍යය වූයේ මෙම නායකත්වයන්ට සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යා නො හැකි බව හෙලිදරවු කිරීම යි. ශ්‍රී ලංකාව තුල විකොස, ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනගන ලෙස ලසසපයෙන් හා ශ්‍රීලකොපයෙන් ඉල්ලා සිටියේ ය.

සෑම රටක් තුල ම කම්කරු පන්තියේ සාම්ප්‍රදායික සංවිධාන ජාතික ධනේශ්වරයේ ඍජු ඒජන්තයින් බවට සමස්තයක් ලෙස පරිවර්තනය වී තිබුනු තතු තුල හජාජාක නිගමනය කලේ, බලය සඳහා අරගලයේ දී කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමේ වගකීමට එහි ශාඛාවන් උරදිය යුතු බව යි. එහි ශාඛා සියල්ල පක්ෂ බවට පරිවර්තනය කෙරුනි. ඒ අනුව, 1996 දී විකොස සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය කරන ලදි.

පන්ති අරගලය රූපයෙන් ජාතික වන අතර හරයෙන් ජාත්‍යන්තර ය යන්න මාක්ස්වාදය දීර්ඝ-කාලීන ව පිලිගත් ප්‍රස්තුත ය වූ බව 1988 හජාජාක ඉදිරිදර්ශන ලියවිල්ල විස්තර කලේ ය. එහෙත් “ධනේශ්වර වර්ධනයේ නව ලක්ෂනවල තතු යටතේ පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු බව” එය පුරෝකථනය කලේ ය.

සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තිය උගන්වාගැනීමේ, ඒකාබද්ධ කිරීමේ හා බලමුලුගැන්වීමේ මාධ්‍යයක් සම්පාදනය කිරීමේ දී 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ස්ථාපනය කිරීම තීරනාත්මක පියවරක් විය. දශක දෙකකට වැඩි කලක් තිස්සේ භාෂා ගනනාවකින් ම දේශපාලන සිද්ධීන් මෙන් ම න්‍යායික හා ඓතිහාසික ප්‍රශ්න සහ සංස්කෘතික හා විද්‍යාත්මක වර්ධනයන් පිලිබඳ ව ලෝසවෙඅ මත ලිපි හා විශ්ලේෂන පලකොට ඇත. කම්කරු පන්තියේ අරගලයන් වර්ධනය කිරීමේ දී තීරනාත්මක න්‍යායික, දේශපාලනික හා ප්‍රායෝගික මග පෙන්වීම එය විසින් සම්පාදනය කරයි.

තියුනු වන භූ-දේශපාලනික ප්‍රතිමල්ලතාව සහ යුද්ධය කරා ධාවනයට ද ජීවන තත්ත්වයන් මත එල්ල කරන ප්‍රහාරයන්, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කිරීම හා ආඥාදායක පාලන ක්‍රමවලට හැරීමට ද එරෙහි ව පුනර්ජීවනය වන ජාත්‍යන්තර පන්ති අරගල මගින් හජාජාක විශ්ලේෂනය බලගතු ලෙස සනාථ කෙරී ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල වසර 80කට පෙර ප්‍රකාශ කල පරිදි: “ලෝක දේශපාලන තත්ත්වය සමස්තයක් ලෙස විලක්ෂනය කරනු ලබන්නේ නිර්ධන පන්ති නායකත්වයේ අර්බුදය විසිනි.”

හජාජාක තුල දේහානුරූප ව පවතින ඓතිහාසික හා මූලෝපායික අත්දැකීම් විකොස/සසප 50 වසර තුල දී තමන් තුලට උකහාගෙන ඇත. නොනවතින විප්ලව න්‍යාය මත දෘඪ ලෙස පදනම් වන එහි අරගලය කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමට කැප වී පවතී. වරෙක සමාජවාදය වෙත බැඳී සිටීම කියාපෑ අනෙක් සියලු පක්ෂ ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර වත් ධනවාදයේ කඳවුරට සේන්දු වී ඇත.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සම්පාදනය කල හැකි එකම පක්ෂය ශ්‍රී ලංකාවේ සසප බව එහි සහෝදර පක්ෂ සමගින් ඓතිහාසික ව සනාථ කර ඇත. සමාජවාදී අනාගතයක් සඳහා අරගලය සියතට ගනිමින් සසප හා හජාජාක වෙත බැඳී ඒවා ගොඩනැගීමේ කර්තව්‍යයට උරදෙන ලෙස කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: