ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති සමාගම් සමග පාවාදීමේ ගනුදෙනුවක් සාකච්ඡා කරමින් සිටිති

Sri Lankan plantation union discussing sellout deal with companies

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 ජනවාරි 03

ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති, දෛනික වැටුප් සියයට 100 කින් වැඩි කරන ලෙස කම්කරුවන් කරන ඉල්ලීම් අතහැර දමා, සමාගම් සමග සිදුකරන රහස් සාකච්ඡාවන්ගේ කොටසක් ලෙස නව සාමූහික ගිවිසුමක් පැටවීමට යන බව මෑත මාධ්‍ය වාර්තා ඉඟි කරයි.

සමාගම් විසින් ඉදිරිපත් කරන යෝජනා තුනක් “සලකා බැලීම පිනිස නම්‍යශීලී ව කටයුතු කිරීමේ කැමැත්ත” වතු වෘත්තීය සමිති විසින් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ (ඊඑෆ්සී) ජ්‍යෙෂ්ට නිලධාරියෙක් උපුටා දක්වමින් දෙසැම්බර් 31 දා ඬේලි එෆ්ටී පුවත්පත වාර්තා කලේ ය. “මාස ගනනක් තිස්සේ සිදුකල සාකච්ඡාවලින් පසුව මෙය ඔවුන්ගේ පැත්තෙන් කරන ඉතා සාධනීය ප්‍රතිචාරයක්” බව නිලධාරියා වැඩිදුරටත් කීවේ ය.

යෝජනා තුන පිලිබඳ කිසිදු විස්තරයක් හෝ වෘත්තීය සමිති විසින් “නම්‍යශීලීත්වය” පෙන්නුම් කර තිබුනේ කෙසේදැයි හෙලිදරවු කිරීමක් හෝ ඊඑෆ්සී නිලධාරියා විසින් සම්පාදනය කලේ නැත. එහෙත්, “රුපියල් 1,000ක මූලික වැටුපක් සඳහා කැපවීම වතු සමාගම්වලට ශක්‍ය දෙයක් නො වන” බව ඊඑෆ්සීය “අවධාරනාත්මක ව” සඳහන් කර ඇති බව ඔහු පුවත්පතට කීවේ ය.

අවසාන දෙවර්ෂ ගිවිසුම ඔක්තෝබරයේ දී අවසන් වූ විට විරෝධතා පැවැත්වූ වතු කම්කරුවන් දසදහස් ගනනක්, තම වර්තමාන රුපියල් 500 (එක්සත් ජනපද ඩොලර් 2.8) දෛනික වැටුප රුපියල් 1,000 දක්වා දෙගුනයක් කරන ලෙස ඉල්ලා දෙසැම්බර් 4 දා ජාතික පරිමාන අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කල හ.

සටන් කිරීම සඳහා කම්කරුවන්ට පවතින අධිෂ්ඨානය වාෂ්ප කරදැමීමේ අරමුනින් වර්ජනය කැඳවුම් කල ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), සමාගම් සමග වැටුප් ඉල්ලීම් සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව කියමින් සතියක් ඇතුලත කාර්මික ක්‍රියාව නවතා දැමුවේ ය. සමිතිය විසින් වර්ජනය නතර කිරීම නො තකා දහස් ගනන් කම්කරුවෝ තවත් දින දෙකක් දක්වා වර්ජනයේ නිරත වූ හ.

ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) හා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) සමගින් සීඩබ්ලිසී නායකත්වය දැන් ඊඑෆ්සීය සමග සාකච්ඡා පවත්වයි.

වතු සමාගම් මුල පටන් ම අවධාරනය කලේ, වතු කම්කරුවන්ට රුපියල් 940ක් දෛනික ව උපයා ගැනීමට හැකියාව ලබාදෙන විවිධාකාර දීමනා ද සමගින් මූලික දෛනික වැටුප සියයට 20කින් පමනක් වැඩිකරන බව යි. මෙම දීමනාවන්ට “පැමිනීමේ දීමනා, ඵලදායිතා දිරිදීමනා හා මිල බෙදාගැනීමේ පරිපූරකයන්” අඩංගු වේ. එහෙත්, බහුතරයක් වතු කම්කරුවන් ඉලක්කය කරා ලඟා නො වනු ඇති අතර ඒ අනුව අදාල දීමනා ඔවුන්ට නො ලැබෙනු ඇත.

ඊඑෆ්සීයේ “ප්‍රධාන ප්‍රමුඛතාව” වන්නේ “සාමූහික ගිවිසුම් සාකච්ඡා” සමාප්ත කිරීම බව, නම් සඳහන් නො කල ජ්‍යෙෂ්ට නිලධාරියා ඬේලි එෆ්ටී වෙත කීවේ ය. සත්‍ය වසයෙන් ම සමාගම්වල ප්‍රධාන ප්‍රමුඛතාව වන්නේ වැටුප් ප්‍රශ්නය විසඳීම නො ව, “ආදායම් බෙදාගැනීමේ ක්‍රමය” පැටවීමට වෘත්තීය සමිතිවල කැපවීම සුරක්ෂිත කරගැනීම යි. මෙම ක්‍රමය වර්තමාන “යල් පැනගිය” වැටුප් ක්‍රමය අහෝසි කොට කම්කරුවන් ව සමාගම් වෙනුවෙන් ඩාදිය හෙලන අඳගොවියන් බවට පත්කරනු ඇත.

අවසන් සාමූහික ගිවිසුමේ දී වතු වෘත්තීය සමිති මෙම ක්‍රමයට සහයෝගය දීමට එකඟ වූ අතර, සමාගම්වලට දැන් අවශ්‍ය කරන්නේ මෙම අනුකම්පා විරහිත සූරාකෑමේ ක්‍රමය පැටවීමේ දී කාර්මික පොලිස් බලයක් ලෙස වෘත්තීය සමිති මුලුමනින්ම මැදිහත් කරවීම යි.

පසුගිය මාසයේ පැවති ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (සීපීඒ) වාර්ෂික සම්මේලනයේ දී එහි සභාපති රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කල පරිදි: “දැනට පවතින රැකියා මොඩලය අවුරුදු 150ක් පරන යි...වැවිලිකරුවන්ගේ සංගමය පෙනී සිටින්නේ සේවකයන්ට වැඩියෙන් වැඩ කොට දැනට උපයන ප්‍රමානයට වඩා උපයාගත හැකිවීමට ඔවුන් ව දිරිගන්වන හා අභිප්‍රේරනය කරන ආදායම් බෙදාගැනීමේ මොඩලයක් වෙනුවෙන්.”

මෙම ක්‍රමය යටතේ කම්කරුවකුගේ පවුලකට නඩත්තු කර දලු නෙලීමට තේ පඳුරු සංඛ්‍යාවක් පැවරේ. සමාගමේ පිරිවැය හා ලාබ අඩු කරගැනීමෙන් පසු ආදායමෙන් කොටසක් ඔවුන්ට ලැබේ. මෙම යෝජනාවේ ඉලක්කය වන්නේ කම්කරුවන් ව අඳගොවියන් බවට සිඳුවා සේවක අර්ථසාධක අරමුදල වැනි දැනට පවතින සොච්චම් ප්‍රතිලාභ පවා ඔවුන්ට අහිමි කිරීම යි.

මෑත වසරවල දී මෙම ක්‍රමය ක්‍රියාත්මක කල වතුවල කම්කරුවන් එය ප්‍රතික්ෂේප කර ඇත. ඇබොට්ස්ලී වත්තේ දී සමාගම් විසින් කම්කරුවන් දෛනික ව පස්වරු 2 දක්වා සෘජු ව සේවයේ යොදාගෙන ඉන්පසු ඔවුන්ට වෙන්කර ඇති තේ පඳුරු නඩත්තු කිරීමට යවයි. මෙහි අර්ථය වන්නේ කිසිදු යථා ආදායම් වැඩිවීමකින් තොර ව “ඔවුන්ගේ” තේ පඳුරු නඩත්තු කිරීම සඳහා සමස්ත පවුල්වලට දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩකිරීමට සිදුවන බව යි.

ආන්ඩුවේ හා පොලීසියේ සහයෝගය සහිත ව වතු සමාගම් උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ විරෝධය තලාදැමීමට යි. සති දෙකකට පෙර දික්ඔය ඈන් ෆීල්ඞ් වත්තේ සාන්ත ලේ කොටසේ සීඩබ්ලිව්සී ශාඛා නායක සුප්පයියා බාලසුබ්‍රමනියම්ට “කලහකාරී හැසිරීම” ගැන චෝදනා නැගූ වතු කලමානාකාරීත්වය තවත් තිදෙනෙකු සමග ඔහු ව දික්ඔය පොලීසියට කැඳවී ය. ඊනියා කලහකාරී හැසිරීම වූයේ ජාතික වර්ජනය සමයේ විරෝධතා සංවිධානය කිරීම යි.

කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම්වලට “සාධාරන විසඳුමක්” ලබාදෙන බවට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක පොරොන්දු වී ඇත. එහෙත් ඔහුගේ “සාධාරන විසඳුම” වන්නේ සමාගම් විසින් කරන සියලු යෝජනා ක්‍රියාත්මක කිරීම යි.

රුපියල් 1,000 වැටුප් ඉල්ලීම අත්හැර දැමීම “කම්කරුවන්ගේ අරගලය නින්දිත ලෙස පාවාදීමක්” බව ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ නායක පී. සුන්දරලිංගම් ජනවාරි 2දා ලෝසවෙඅ වෙත පැවසී ය. ඈන් ෆීල්ඞ් වත්තේ කම්කරුවන් දඩයම් කිරීම හෙලාදුටු ඔහු වෘත්තීය සමිතිවල පාවාදීම කම්කරුවන් ව දඩයම් කිරීමට කොන්දේසි නිර්මානය කල බවට අනතුරු ඇඟවී ය.

ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව මෑත පැවති වර්ජනය සමයේ බිහිකරන ලද්දේ සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ ය. වෘත්තීය සමිතිවල පාවාදීම්හි ප්‍රතිඵලයක් ලෙස කටුක අත්දැකීම්වලට මුහුන දී ඇති ඇබොට්ස්ලී කම්කරුවන්, සමාජවාදී පිලිවෙත් මත කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අවබෝධ කරගැනීමට පටන්ගෙන ඇත.

සමිතිවල සියලු ගනුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය විසින් වර්ධනය කරන විශ්ලේෂනය අධ්‍යයනය කරන ලෙසත් තමන්ගේ වැටුප් ඉල්ලීම් ජයග්‍රහනය කිරීමට හා තම අයිතීන් රැකගැනීමට දේශපාලනික ව සූදානම් වන ලෙසත් සියලු වතු කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නො කරන වෘත්තීය සමිති ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කරති. 1992 සාමූහික ගිවිසුම් ක්‍රමය හඳුන්වා දුන් තැන් පටන්, වතු සමාගම්වල ලාබ අවශ්‍යතා ආරක්ෂා කරන ගනුදෙනු පැටවීමට වෘත්තීය සමිති හාම්පුතුන් සමග ක්‍රමානුකූල ව එක්ව වැඩ කර ඇත.

සීඩබ්ලිව්සීයේ ප්‍රතිමල්ලවයන් වන ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) වැන්නවුන් ද කිසිදු වෙනසක් නැත. සීඩබ්ලිව්සී, එල්ජේඊඩබ්ලිව්යූ හා ජේපීටීයූසී විසින් අත්සන් කරන සාමූහික ගිවිසුම් සමග එම සංවිධාන ද සුපුරුදු පරිදි එකඟ වෙති. මෙම සියලු සංවිධානවලින් බිඳිය යුතු කම්කරුවන් තම අයිතීන් සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

වතු කම්කරුවන්ගේ සාධාරන ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කරමින් ඊනියා ආදායම් බෙදාගැනීමේ ක්‍රමය පැටවීමට කරන රහස් කාමර සාකච්ඡා සමස්ත කම්කරු පන්තියේ ජීවන කොන්දේසි මත එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහාත් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් කරන සටන හරහා පමනි.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර අර්ථභාරය

ශ්‍රී ලංකාව: ඇබොස්ලී තේ වතු කම්කරුවෝ දුෂ්කර ජීවන හා සේවා කොන්දේසිවලට එරෙහි ව කතා කරති

Share this article: