“1000 ව්‍යාපාරය” වතු කම්කරු අරගලය සමාගම්වලට බලපෑම් දැමීමේ උගුලකට කොටුකිරීමේ තැතක්

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 ජනවාරි 25

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට “සහයෝගය” දීමේ නමින්, “1000 ව්‍යාපාරය” ලෙස හඳුන්වා ගත් සංවිධාන හා වෘත්තීය සමිති එකතුවක් විසින්, බදාදා ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුනි. එහි සටන්පාඨය වූයේ “වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් 1000ක් කරනු!” යන්න යි.

කොලඹ පැවති පෙලපාලිය

මෙම පෙරමුන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය (නප්‍රමාලෙප), අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), ප්‍රැක්සිස් සාමූහිකය, විමුක්ති ව්‍යාපාරය, කඳුරට තරුන එකමුතුව, නිදහස් වෙලඳ කලාප පොදු සේවා සංගමය, ලංකා වෙලඳ හා පොදු කාර්මික සංගමය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඇතුලු ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිතිවල එකතුවකි.

උද්ඝෝෂනයේ කොටසක් ලෙස එදින දහවල් කොලඹ ගෑස්පහ හන්දියෙන් පටන් ගෙන කොලඹ කොටුවේ දුම්රිය පොල දක්වා පෙලපාලියක් ද අනතුරුව පිකට් උද්ඝෝෂනයක් ද පැවැත්වුනි. වතු කම්කරුවන්ගේ සහභාගිත්වයක් නොතිබුනු එම උද්ඝෝෂනයට ඉහත කී සංවිධානවල නියෝජිතයන් හා කොලඹ නගරයේ රැකියාවල නියුතු තරුනයන් ඇතුලු 200 ක පමන පිරිසක් එක්ව සිටියහ. යාපනය, වව්නියාව, ගම්පොල, හැටන්, බගවන්තලාව, රත්නපුර මහනුවර ඇතුලු නගර ගනනාවක සහ පේරාදෙනිය, රුහුන, වයඹ හා රජරට ඇතුලු විශ්ව විද්‍යාල කිහපයක් ඉදිරිපිට ද පිකට් උද්ඝෝෂන පැවැත් වී තිබේ.

වෘත්තීය සමිති වලින් ස්වාධීනව වර්ජනවල නිරත කම්කරුවෝ

වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් පවතින කැකෑරෙන උවමනාවත් හාම්පුතුන් සහ ආන්ඩුව විසින් රුපියල් 1000 ක් දෛනික වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි පවතින කෝපයත් නිසා උද්ඝෝෂනය ගැන මාධ්‍යවලින් දැනගත් පමනින් බගවන්තලාව හා බදුල්ල ඇතුලු ප්‍රදේශවල වතු කිහිපයක කම්කරුවන් ද වෘත්තීය සමිති වලින් ස්වාධීනව වර්ජනවල නිරත වී ඇත.

පසුගිය මාස හතරක පමන කාලයක් තුල වර්ජන, පිකට්, පෙලපාලි ඇතුලු පන්ති ක්‍රියාවල යෙදෙමින් වතු කම්කරුවෝ දෛනිකව රුපියල් 1000 සිය වැටුප් ඉල්ලීම සඳහා අරගලයක යෙදුනාහ. දෙසැම්බර් මාසයේ ලක්ෂයක් පමන කම්කරුවන් අඛන්ඩ වර්ජනයක් ඇරඹුවත් දින නවයක් ගතවත්ම ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුලු වෘත්තීය සමිති එය නතර කිරීමට උපදෙස් දුන්නේ වැටුප් ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති පොරොන්දු වූ බව කියමිනි. කම්කරුවෝ සමිතිවල කීම ප්‍රතික්ෂේප කරමින් තවත් දින දෙකක් වර්ජනයේ යෙදුනාහ. වතු සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලනය මූලික වැටුප රුපියල් දාහක් කිරීම ඉඳුරාම ප්‍රතික්ෂේප කරගෙන සිටියි.

මෙම කටුක අරගලය මධ්‍යයේ බදාදා උද්ඝෝෂනය පැවැත්වූ සංවිධාන සිටියේ කොහේ ද? අරගල මධ්‍යස්ථාන නමින් හතු පිපෙන්නාක් මෙන් සංවිධාන අටවන පෙසප ඒ දිනවල නප්‍රප හා තවත් කන්ඩායම් සමග එක්ව පිකට් කිරීමක් දෙකක් පවත්වා කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටිමින් වතු සමිතිවල වල්ගයක් ලෙස ක්‍රියා කලේය. ඔවුන්ගේ මෑතම ක්‍රියාව කොටුව දුම්රිය ඉදිරිපිට තරුනයන් කිහිපදෙනෙක් පැවැත්වූ නිරර්ථක උපවාසයකට-- එයද සමාගම්වලට හා ආන්ඩුවට බලකිරීමට පැවැත්වූ ඒවාය-- සහයෝගය දෙමින් පිකට් කිරීමක් පැවැත්වීමයි. (වතු කම්කරු අරගලය පීලිපැන්වීමට ව්‍යාජ වම්මුන් මැදිහත් වෙයි, 2019 ජනවාරි 01).

බදාදා උද්ඝෝෂනයට කැඳවුම් කරමින් මෙම සංවිධානය නිකුත් කල පත්‍රිකාවකින් ඉල්ලා ඇත්තේ දිනක වැටුප රුපියල් 1000 ක් කිරීමට “ආන්ඩුවට, වතු බලධාරීන්ට සහ වෘත්තීය සමිති වලට බල කරන” ලෙසයි. එහෙත්, ඉල්ලා ඇති වැඩිකිරීම සමාගම් හා ආන්ඩුව එකහෙලා ප්‍රතික්ෂේප කර ඇති තත්වයකදී තවත් බලපෑමකින් ඒවා කම්කරුවන්ගේ ඉල්ලීම දීමට නම්මා ගත හැකි යයි කීම මුසාවකි. සමාගම් හා ආන්ඩුව සමග හොරෙන් සාකච්චා කරමින් අරගල කඩාකප්පල් කිරීමට ක්‍රියා කරන සමිති කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමට මෙහෙයවා ගත හැකිය යි කීම දැනුවත්වම දෙසාබාන තවත් මුසාවකි.

කොලඹ උද්ඝෝෂනයට සම්බන්ධ වූවන් ඇමතු පෙසප ජන අරගල මධ්‍යස්තානයේ කැඳවුම්කාර දුමින්ද නාගමුව 1000 ව්‍යාපාරය වටා එක්වී සිටින බලවේගවල ධෛර්යයෙන් සටන ජයග්‍රහනය දක්වා ගෙනයන බවට වාචාල දෙඩවිල්ලක් කලේ ය. “අපි තව ගිනි තියන්න ඕන. එතකොට තමයි පඬුපුලේ රත් වෙන්නේ. එතකොට තමයි උත්තර හම්බු වෙන්නෙ”යයි පැවසුවේ ය.

ඒ හා සමාන කයිවාරුවක් ගැසූ ප්‍රැක්සිස් සාමුහිකයේ විදර්ශන කන්නන්ගර “මේක වෘත්තීය අයිතිවාසිකම් සඳහා සටන් කරන අලුත් පෙරමුනක්. අවසාන වශයෙන් අනතුරු ඇඟවීමක් කරනවා. උඹලට මේ දාහ දෙන්න බැරි නම් ඊට පස්සෙ හට ගන්නෙ කැරැල්ලක්. ඒ කැරැල්ල සියලු ම වතු ජනතාව අයිති කර ගනියි. වතු කම්කරු ජනතාව වතු අයිති කර ගන්න ඒ කැරැල්ල ඊට පස්සෙ පටන් ගන්නවා. ඒ නිසා සෙල්ලම් කරන්න එපා. රුපියල් දාහ දීපං. ඒක විතරයි මෙතන කියන්න තියෙන්නෙ වෙන කොන්දේසි නැහැ” යයි පැවසීය.

නාගමුව ධනපතියන්ගේ පස්ස රත්කරන ක්‍රියා ගැන දොඩවන වාගාලාපත් කන්නගර වතු කම්කරුවන්ගේ කැරැල්ලක් ගැන කරන අනතුරු ඇඟවීමත් කම්කරුවන් නොමග යැවීම ඉලක්ක කරගෙන කරන ව්‍යාජ සටන්කාමී මවාපෙන්වීම්ය.

වතු සමිති අපකීර්තියට පත්ව ඇති තත්වයක කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් පැන නගිතැයි බියෙන් ඔවුන් ආන්ඩුවට හා සමාගම්වලට බලකිරීමේ ව්‍යාපාරයක කොටුකර දැමීම සඳහා මෙම ව්‍යාජ වාම සංවිධාන හා වෘත්තීය සමිති මැදිහත් වී සිටියි.

කම්කරුවන් දැන් කල යුතුදේ තේරුම් ගැනීමට නම් පසුගිය මාස කීපයේ, එපමනක් නොව පසුගිය කාලයේ තමන්ගේ, අවශේෂ තැන්වල කම්කරුවන්ගේ හා එපමනක් නොව ජාත්‍යන්තරව තම පන්ති සගයන්ගේ කටුක අත්දැකීම් වලින් පාඩම් උකහා ගත යුතුය. සමාජ හා ජීවන අයිතීන් උදුරාගෙන ලාභ පද්ධතියේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට ක්‍රියාකරන ධනපති පන්තියට හා එහි ආන්ඩුවලට බලපෑම් දමා එම අයිතීන් රැකදීමට නම්මා ගත නොහැකිය.

සමාජ හා ජීවන අයිතීන් තලා දැමීම නතර කල හැක්කේ අතලොස්සක් ධනපතියන්ගේ ලාභය සඳහා නිෂ්පාදනය හා බෙදා හැරීම කොටුකර තිබෙන තත්වයෙන් මුදා ගෙන ඒවා වැඩකරන ජනතාව ඇතුලු සමාජයේ බහුතරයේ අවශ්‍යතාවන් ඉටුකරන සේ ප්‍රතිසංවිධානය කිරීමෙන්ම පමනක් මය. ධනපති ක්‍රමය ආරක්ෂා කරමින් එහි අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාවන් මත පැටවීම සඳහා පොලිස් පාලනයන්ට මාරුවීමේ පියවර ගන්නා ආන්ඩුවලට එරෙහි දේශපාලන අරගලය මේ සමග බැඳී ඇත. වතු කම්කරුවන්ගේ අත්දැකීම එයයි.

ධනපති ක්‍රමයට හා ජාතික රාජ්‍යයට ගැට ගැසී සිටින වාම වෙස්මුහුනු දමාගත් සංවිධාන හා වෘත්තීය සමිති එවන් අරගලයකට මුලුමනින්ම විරුද්ධ ය. පවත්නා ක්‍රමය තුලම විසඳුම් ඇතැයි ඒවා හඬ තලන්නේ ඒ නිසාය.

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), බොරුවලවල් කපන මෙවන් සංවිධාන වල ධනපති ගැති ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලයි. ඔවුන් විකල්ප මාවතකට එලැඹිය යුතුය. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වතු වල, වැඩපොලවල සහ කම්කරු පෙදෙස්වල ගොඩනගා තම අයිතීන් සඳහා අරගලය අතට ගන්නා ලෙස සසප ඉල්ලන්නේ මේ නිසාය.

සසප මග පෙන්වීම යටතේ හැටන් හි ඇබෝස්ලි වත්තේ කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට පියවර ගෙන ඇත. ඇමරිකාවේ සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මැදිහත්වීම තුලින් ජෙනරල් මෝටර් රථවාහන කම්කරුවෝ එවන් කොමිටියක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටිති.

මෙම අරගලය ධනපති පන්ති පාලනයට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමිය හැකි කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන සමග බැඳී ඇත. එයට නායකත්වය දිය හැකි විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම තීරනාත්මකය.

Share this article: