දාහේ ව්‍යාපාරයේ සම්මන්ත්‍රනය: වතු කම්කරුවන් සූරාකෑමේ නව යාන්ත්‍රනයකට ගැටගැසීමක් යෝජනා කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ නවීන් දේවගේ විසිනි, 2019 ජූලි 08

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මුලිකත්වයෙන් ගොඩනගා තිබෙන ව්‍යාජ වම්මුන්ගේ එකතුවක් වන 1000 ව්‍යාපාරය ජුනි 19 වෙනිදා කොලඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී “රට පටවන තේ- අපට ඉතුරු දේ” මැයෙන් සම්මන්ත්‍රනයක් පැවැත් වීය. සම්මන්ත්‍රනයේ අරමුන ලෙස ප්‍රකාශ කර තිබුනේ වතු කම්කරුවන් “සෙසු ප්‍රගතිශීලී ව්‍යාපාර” සමග සංවිධානය කරමින් මෑත ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු “මන්දගාමී වී ඇති” ඔවුන්ගේ වැටුප් අරගලය “කඩිනම් සහ ශක්තිමත් කිරීම ” ය.

දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය දෙසැම්බර් හා ජනවාරි මාසවල 100,000 අධික වතු කම්කරුවන් බල ගතු අරගලයක නිරත විය. වෘත්තීය සමිති වල පාවාදීම් නොතකා හා වෘත්තීය සමිති වලට පිටින් වැඩ වර්ජන, පෙලපාලි සහ පිකට් කිරීම් ඇතුලු කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂන පැන නැගුනි. ඔවුන්ගේ අරගලයට සෙසු කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා මහජනතාවගේ පලල් සහයෝගයක් ගොනු විය.

වතු කම්කරුවන්ගේ අරගලය මධ්‍යයේ “1000 ව්‍යාපාරය” ඉස්මතු වූයේ එම අරගල කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාමාර්ගයක් වටා බලමුලු ගැන්වීම වැලැක්වීම සඳහා ය. සම්මන්ත්‍රනය කම්කරුවන් මෙම අවමංගත කිරීමේ ව්‍යායාමය නව වටයකින් ඉදිරියට ගෙනයාමේ තැතකි.

එය ඇමතූ කථිකයන්ගේ කතා වලින් සහ සම්මේලනය තුල බෙදා හරින ලද ”තේ අපනයන මාෆියාව සහ කම්කරුවන්ගේ අරගලයේ දේශපාලන මාවත” යන ලිපියෙන් එය මැනවින් පැහැදිලි ය. උක්ත ලිපිය ඒසියා කැපිටාල් සීමාසහිත පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂක ධනුෂ පතිරන විසින් කලම්බු ටෙලිග්‍රාෆ් පත්‍රයට ලියන ලද ඔැ් ැංචදරඑ ප්සේ ්බා චදකසඑසජ්ක ච්එය දf අදරනැරි ිඑරමටටකැ ලිපියේ සිංහල පරිවර්තනයකි. පතිරන ව්‍යාපාර කලමනාකරනය සහ ලාභ ඉහල දමා ගැනීම පිනිස ව්‍යාපාරික සමාගම්වලට උපදෙස් දෙන්නෙකි.

සම්මන්ත්‍රනයේ සභාපති භූපති නලින් වික්‍රමගේ එය ආරම්භ කලේ මෙරට වතු කම්කරුවන්ගේ අරගල සහ මාක්ස්වාදී ව්‍යාපාරය ඔවුන් අතර කල සහ කරන දේශපාලනික මැදිහත්වීම් හිතා මතාම වසන් කරමිනි. “වතුකම්කරුවන් සම්බන්ධයෙන් තියෙන අවකාශය සමසමාජ පක්ෂය සහ වෘත්තීය සමිති කිහිපයක් කල සුලු මැදිහත්වීම් හැරුනු කොට වාමාංශිකයනුත් ඇතුලුව ප්‍රමානවත් තරම් අරගල නොකරපු භූමියක්” බව ඔහු සඳහන් කලේ ය. ව්‍යාජ වම්මුන් විසින් දේශපාලන විචාරකයෙකු ලෙස ඔජවඩවන වික්‍රමගේ විසින් කල මෙම සඳහන එක්කෝ මුග්ධත්වයේ හා දැනුවත් වංචාවේ ප්‍රකාශනයකි.

විවෘත ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමීමට පෙර, වතු කම්කරුවන් මෙරට කම්කරු පන්තියේ ප්‍රධානම කොටස ලෙස සැලකුන අතර ඔවුන්ගේ සමාජ අයිතීන් සඳහා අරගලයේ දී මෙන්ම ජාත්‍යන්තරවාදී දේශපාලනික ඉදිරි දර්ශනයක් මත ඔවුන් ව බල මුලු ගැන්වීමට කල අඛන්ඩ අරගලයක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඇත.

වතු කම්කරුවන්, ට්‍රොට්ස්කිවාදය වෙත නැඹුරු වෙමින් පැවති ලංකා සම සමාජ පක්ෂයේ හා පසුව ලංකාවේ සහ කලාපයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ ඉන්දියානු බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බිඑල්පිඅයි) නායකත්වය හා මග පෙන්වීම යටතේ සංවිධානය වී සමාජ අයිතීන් සඳහා මෙන් ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටත් විජිත පාලනයට එරෙහිව ද 1930 ගනන් අග පටන් හා 1940 දශකයේ බල ගතු අරගල වල ඔවුහු නිරත වුහ. ලංකාවේ පාලක පන්තිය විසින් 1948 ඊනියා නිදහසෙන් පසුව ඔවුන්ගේ පුරවැසි අයිතිය හා පසුව චන්ද බලය අහිමි කිරීමට එවක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ක්‍රියාකලේ එම බලය මැඩීම සඳහා මෙන්ම කම්කරුවන් වාර්ගිකව බෙදීම සඳහාය.

ලංකා සමසමාජ පක්ෂයේ 1964 මහා පාවාදීම හා වෘත්තිය සමිතිවල ද්‍රෝහී ක්‍රියා කලාපය නිසා කම්කරු පන්තිය දුර්වල කරනු ලැබුව ද එම පාවාදීමට විරුද්ධව ට්‍රොට්ස්කිවාදී මුලධර්ම සහ ඉදිරිදර්ශනය කම්කරු පන්තිය තුල යලි තහවුරු කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පුර්වගාමි සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) එම අරගලය අඛන්ඩව පෙරට ගෙනවිත් ඇත.

පසුගිය වසරේ වතු කම්කරු විරෝධතා මගින් පෙන්නුම් කලේ පසුගිය දශකවල තෙරපීම් කපාගෙන ඔවුන්ද ලංකාවේ අවශේෂ කම්කරුවන් ද තම ජාත්‍යන්තර පන්ති සගයන් සමග අරගලවලට පැමිනීමේ ආරම්භයයි.

මෑත වැටුප් අරගලය තුල බලගතු මැදිහත් වීමක් කල සසප හැටන් ඇබොට්ස්ලි වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට සමත් විය. එය ධනපති පාලක පන්තියේ සහ වතු සමාගම් වල ඍජු ඒජන්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ විකල්ප සංවිධාන දෙසට වතු කම්කරුවන් තුල සිදුවෙමින් පවතින නැඹුරුවේ බලගතු ප්‍රකාශනයකි.

ආන්ඩුවේ, වතු සමාගම්වල හා වෘත්තීය සමිතිවල පමනක් නොව ව්‍යාජ-වාම සංවිධානවලද පස්ස ගිනිගෙන ඇත්තේ ලෝක පරිමානව සිදුවන මේ වර්ධනයන් නිසාය. ඔවුන් අකාමකා දමා සිටි කම්කරුවන් දේශපාලන වේදිකාවට එමින් සිටින බව මෙම අරගලවලින් නිවේදනයකර ඇත.

සම්මන්ත්‍රනය මුලුමනින් ම යොමු කෙරුනේ ධනපති ක්‍රමය තුල වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුලු සමාජ අයිතීන් දිනා ගත හැකිය යන මිත්‍යාව තහවුරු කිරීමට ය. වික්‍රමගේ ට පසුව සම්මන්ත්‍රනය ඇමතුවේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරන ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වන චින්තක රාජපක්ෂය. මෙම ව්‍යාපාරය ධනපති ආන්ඩු වල ප්‍රහාරවලට එරෙහිව පැන නැගුන ගොවි ජන අරගල එම ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතා උද්ඝෝෂන වලට කොටු කර අපසරනය කිරීමේ හා ගොවි ජනතාව ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව කම්කරු පන්තිය සමග එකමුතුවක් ගොඩ නගා ගැනීම වැලැක්වීමට ක්‍රියාත්මක වූ සංවිධානයකි.

රාජපක්ෂගේ කතාව මුලිකව පදනම් කෙරුනේ ධනුෂ පතිරනගේ ලිපිය මතය. වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ඉටු කිරීමට සමාගම් අසමත්ව ඇත්තේ ලාබ “ප්‍රති-ආයෝජනය නොකිරීම” නිසා බව ඔහු සඳහන් කලේ ය. එම නිසා වතු කම්කරුවන් ඉදිරියේ ඇති “එකම විකල්පය කම්කරු සාමුහිකයක් මත වෙලඳපොල පාලනය කිරීමේ ක්‍රියාවලියට ඇතුලුවීම” ය. ඒ සඳහා බලපත්‍රලාභී අපනයන සමාගම්වල ක්‍රියාවලියට කම්කරුවන් සියලු දෙනා එකතු කල යුතුය” සාමුහිකකරනය තුලින් “වතු පාලනය කම්කරුවන් අතට ගැනීමෙන්” ඔවුන්ගේ සමාජ අයිතීන් සඳහා විසඳුම් ලබා ගත හැකි බව ඔහු පැවසීය. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “කන්නන් දෙවන්” වතු සමාගම එයට මනා උදාහරනයක් බව ඔහු සඳහන් කලේ ය.

කන්නන් දෙවන් වතු සමාගම ඉන්දියාවේ ටාටා සංගතයට අනුබද්ධ සමාගමකි. ලාබ තියුනු ලෙස පහත වැටීමේ කොන්දේසි යටතේ ටාටා සංගතය ඊට අයත් වතු 17 එකතු කර 2005 කන්නන් දේවන් සමාගම පිහිටුවනු ලැබුවේ සාමුහික පාලන යන මුසාව තුලින් රුදුරු ශ්‍රම සූරාකෑමේ කොන්දේසි කම්කරුවන් මත පැටවීම ඉලක්ක කර ගෙනය. සමාගම පිහිටුවීමෙන් පසු එහි කොටස් වලින් සියයට 60 ක් කම්කරුවන් ට අලෙවි කල බව සඳහන් වෙතත් ඉන් ඔවුන්ට කිසිදු සෙතක් අත් වී නැත. ඒ වෙනුවට කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 231 මට්ටමේ එක තැන පල්වෙන අතර දිරිදීමනා ක්‍රමයක් හඳුන්වාදීම තුලින් දෛනිකව කැඩිය යුතු තේ දලු ප්‍රමානය කිලෝ 28-30 සිට 39-40 දක්වා දැවැන්ත ලෙස ඉහල දමා ගැනීමට සමාගම සමත් වී ඇත. එහෙත් අමතරව කඩන දලු කිලෝවකට කම්කරුවන්ට ලැබුනේ රුපියල් 1 සත 50 කි. නමුත් එම අමතර කිලෝවක් සඳහා වතු අධීක්ෂකයෙකුට රුපියල් 4 ක් ද කාර්ය මන්ඩලයේ සේවකයෙකුට රුපියල් 6 ක් ද කලමනාකරුවෙකුට 10 ක් ද ගෙවනු ලැබී ය. මෙම අධි සුරාකෑමේ සැලසුම් ක්‍රියාවට දැමුනේ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිවය.

දරිද්‍රතා වැටුප් සහ නො ඉවසිය හැකි රුදුරු වැඩ කොන්දේසි වලට එරෙහිව සමාගමේ 5000 ක් කාන්තා කම්කරුවෝ 2015 අගෝස්තු මාසයේ සතියක වර්ජනයක නිරත වුහ. වර්ජනය සංවිධානය කෙරුනේ වෘත්තීය සමිතිවලට පිටින් පිහිටුවා ගත් වතු කම්කරු කාන්තා එකමුතුවක් විසිනි. දෛනික වැටුප රුපියල් 500 ක් කිරීම සහ වාර්ෂික ප්‍රසාද දීමනාව සියයට 20 දක්වා ඉහල දැමීම ඔවුන්ගේ ඉල්ලීම් විය. වර්ජනයේ බලපෑම යටතේ දෛනික වැටුප රුපියල් 315 දක්වාත් ප්‍රසාද දීමනාව සියයට 20 දක්වාත් වැඩි කිරීමට සමාගමට සිදු විය. නමුදු ඔවුන් මුහුන දෙන දරිද්‍රතාව හා රුදුරු සේවා කොන්දේසි එලෙසම පවතී. රාජපක්ෂ විසින් කන්නන් දේවන් සමාගමේ කම්කරුවන් මුහුන දෙන මෙම රුදුරු කොන්දේසි දැනුවත් ව වසන් කරයි.

යෝජනා කරන ඊනියා සාමුහිකකරනය කම්කරුවන් සූරාකෑමේ යාන්ත්‍රනයකට ගැට ගැසීමේ උපක්‍රමයකි. එය කම්කරුවන් ධනපති ලාභ පද්ධතිය සමග ගැටෙන හා එය අභියෝගයට පත්කරන අරගලවලට ඇදෙන තතු තුල එය වැලැක්වීමේ මංමුලා සහගත වෑයමකි.

රාජපක්ෂ පදනම් වන පතිරනගේ ලිපිය “සාමුහිකකරනයට” අමතරව දලු නෙලීම යාන්ත්‍රීකරනය කල යුතු බව දැඩිව අවධාරනය කරයි. ධනපති ක්‍රමය තුල යාන්ත්‍රීකරනය යොදා ගැනෙන්නේ නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීම මගින් ශ්‍රම පිරිවැය කප්පාදු කිරීමට එනම් රැකියා කප්පාදුව හා වැඩ වේගවත් කිරීම මගින් ලාබ ඉහල දමා ගැනීමටය.

“කම්කරුවන්ගේ දේශපාලන ඉල්ලීම විය යුත්තේ නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කර ගැනීම නොවේ. ඊට ප්‍රතිපක්ෂව කල යුත්තේ වෙන්දේසියේ දී තේ මිල දී ගැනීමට බලපත්‍රලාභී අපනයන සමාගම් වලට ඇති නෛතික අයිතිවාසිකම් අවලංගු කිරීම. ඒ සඳහා නෛතික අවසරය කම්කරුවන්ගෙන් සැදුම්ලත් සාමුහික ආයතනයකට පැවරීම සහ වතු ක්ෂේත්‍රයේ අතිරික්තය ප්‍රතිආයෝජනය සිදුකිරීමට අවශ්‍ය නෛතික බලය හිමිකර ගැනීම” බව පතිරන පවසයි.

මෙය සමාජවාදී වැඩ පිලිවෙලට සතුරුකම විවෘතව ප්‍රකාශ කිරීමකි. මේ අනුව කම්කරුවන් කල යුත්තේ අපනයන සමාගම් වලට ඇති නෛතික අයිතිවාසිකම් අවලංගු කිරීම හා වතු ක්ෂේත්‍රයේ අතිරික්තය ප්‍රතිආයෝජනය සඳහා අවශ්‍ය නෛතික බලය ඉල්ලමින් ධනපති සමාගම් හා ආන්ඩුවලට බලකරමින් කාල්ගෑමයි. මෙය යෝජනා කරන ව්‍යාජ-වම්මුන් නියෝජනය කරන්නේ ධනපති ක්‍රමයට ගැට ගැසුනු හා එහි වරප්‍රසාද කොටසක් හිමිකර ගැනීමට වලිකන ඉහල මධ්‍යම පන්තික අපේක්ෂාවන්ගෙන් නලියන සමාජ තට්ටුවයි.

කම්කරුවන්ට වත්මන් අර්බුදය තුල සිය අයිතීන් තහවුරු කර ගත හැක්කේ දේශපාලන බලය අල්ලා ගැනීම මගින් මහා වතු, බැංකු, කර්මාන්ත ඇතුලු ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කර, අතලොස්සකගේ ලාබය සඳහා නොව, සමාජයේ බහුතර ජනයාගේ අවශ්‍යතාවය සඳහා යොමුවූ විද්‍යාත්මක හා සැලසුම්ගත නිෂ්පාදන ක්‍රමයක් තහවුරු කර ගැනීමෙනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටනකි. වතු අරගලය තුල මෙම මාවත ගැනීමේ අවශ්‍යතාව අතිශය විශද ලෙස ප්‍රදර්ශනය වී ඇත.

පෙසප සංවිධායක ලේකම් දුමින්ද නාගමුවගේ කතාවෙන් 1000 ව්‍යාපාරය ආරම්භ කර ඇති උද්ඝෝෂනයේ ප්‍රතිගාමී අරමුන වඩාත් විශදව එලිදරව් විය. ඔහු මෙසේ සඳහන් කලේ ය: “වතු කම්කරුවන් සමග කරන දේශපාලන ක්‍රියාකාරිත්වය ඇතුලේ දේශපාලන බලපෑමක් කල හැකියි. දේශපාලන වශයෙන් බහුජන ව්‍යාපාරය තුල වතු කම්කරුවන් සංවිධානය කිරීම තුලින් කොදෙව්වක හිරවෙලා තියෙන අරගලය අනෙකුත් බලවේග සමග ඒකාබද්ධ කලයුතුයි.”

නාගමුව සඳහන් කරන “අනෙකුත් බලවේග” යනු ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති. ඊනියා සිවිල් සංවිධාන ඇතුලු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකට පරම ලෙසම සතුරු බලවේගයන් ය. කම්කරුවන් මුහුන දී සිටින ප්‍රධාන ප්‍රශ්නය නම් ධනේශ්වරයට ඔවුන් ගැටගසන “බලවේගවල” බන්ධනයයි. ඒවායින් බිඳී තමන්ගේ ස්වාධීන කාර්මික හා දේශපාලන ශක්තිය මෙහෙයවා ගැනීම සඳහා කම්කරුවන් වැඩපොලවල, වතුකරයේ සහ කම්කරු නිවහන් පෙදෙස්වල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍ය වී ඇත්තේ මේ නිසාය.