දරුවා රැගෙන යාමට පාසැලට පැමිනි පියා “සිසු ආරක්ෂාවට” සිටි හමුදා සෙබලා විසින් වෙඩිතබා ඝාතනය කෙරේ

නන්දන නන්නෙත්ති විසිනි, 2019 ජුලි 09

ජූලි 04 වන දා අක්මීමන, මානවිල උපනන්ද විද්‍යාලයේ “ආරක්ෂාවට” යොදවා සිටි යුද හමුදා සෙබලෙකු විසින් එම විද්‍යාලයේ ඉගනුම ලබන දරුවකු කැටුව ඒමට ගිය තිදරු පියෙකු විද්‍යාල පරිශ්‍රය තුල දීම වෙඩි තබා ඝාතනය කෙරුනි. මෙය කම්කරුවන්, තරුනයන්, සිසුන් හා සෙසු පීඩිතයන් බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු කරුනකි.

ප්‍රහාරයට ගොදුරු වූයේ පිලාන වංචාවල පදිංචිව සිටි 39 වියැති කේ.ටී උදය ප්‍රදීප් කුමාර ය. නාවික හමුදා තූර්ය වාදක කන්ඩායමේ දොලොස් වසරක සේවයෙන් පසු විශ්‍රාම ගෙන සිටි ඔහු, තම ජීවනෝපාය ලෙස සංගීත කන්ඩායමක (පපර බෑන්ඞ්) කටයුතු කරමින් සිටියේ ය. ඔහුගේ බිරිඳ අයේශා දිමුති මංජුලී පිලාන ස්ටාර් ගාමන්ට් කර්මාන්ත ශාලාවේ සේවය කරයි. ඔවුන්ගේ දරු තිදෙනා උපනන්ද විද්‍යාලයේ, දහය, දෙක හා එක වසරවල ඉගෙනුම ලබති.

සිද්ධිය වූ දින 9.30 ට පමන දෙක වසරේ ඉගෙනුම ලබන සිය දියනිය මිතුනි දෙවුහාරා අසනීපයෙන් සිටින බවට පාසලෙන් කල දැන්වීමක් අනුව එහි පැමින ඇය නිවසට කැඳවා ගෙන ආ ප්‍රදීප් කුමාර ඇයට

ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යන අතරතුර නැවත පාසලට ගියේ එක වසරේ ඉගෙනුම ලබන බාල පුතු රැගෙන යාමට අවශ්‍ය වූ බැවිනි.

තමන් ඉදිරියේ ම සිය පියා ඝාතනය කිරීමෙන් කම්පනයට පත්ව සිටින සත් වස් දියනිය දෙවුහාරා සිය මවට පවසා ඇත්තේ ඇය කැටුව යාමට තම පියා මුලින් පැමිනි අවස්ථාවේ දී ගේට්ටුව ලඟ “බලු බල්ලෙක් සිටියෙ නැහැ” යනුවෙන් පන්ති භාර ගුරුතුමියට හා ප්‍රාථමිකයේ උප විදුහල්පතිනියට පැමිනිලි කල බවයි.

නැවත “අප්පච්චි එක්ක ඉස්කෝලෙ ඇතුලට යනකොට ආමි එකේ මාමා පස්සෙන් ආවා. දෙන්නත් එක්ක කෑගහගත්ත.” අනතුරුව අප්පච්චි සහ මා ගේට්ටුව දෙසට ගමන් කරමින් සිටිය දී “ආමි එකේ මාමා අප්පච්චිගෙ අතින් ඇද්ද. අප්පච්චි වැටෙන්න ගියා. එක පාරටම වෙඩි තිබ්බ. මගේ ඇඟටත් ලේ විසි වුනා. අප්පච්චි මගේ කකුල් දෙක ලග ඇදගෙන වැටුනා. අප්පච්චි අත උස්සල දුව දුව කියල දෙපාරක් කතා කරා. ඒ එක්කම අත කඩාගෙන වැටුනා.”

“අප්පච්චිට අයුක්තිය අසාධාරනය පෙන්නන්නම බෑ. ඒකයි එයාට ඔය දේ වෙන්න ඇත්තෙ” ප්‍රදීප් කුමාරගේ වැඩිමහල් පුත් අයේෂ් කීය.

මේ වන විට අත් අඩංගුවේ සිටින ඝාතනය සිදු කල සෙබලා පවසා ඇත්තේ තම අවිය උදුරා ගැනීමට උත්සාහ කල නිසා වෙඩි තැබීම සිදු කල බවය. තම සෙබලා නිර්දෝෂී බව, ඝාතනය සම්බන්ධයෙන් කෙරුනු යුද හමුදා පරික්ෂනයෙන් තහවුරු වූයේ යයි යුද හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු ජූලි 07 වන දා මාධ්‍යයට පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් මහජන විරෝධයක් මතුවෙතැයි ගනන් බැලූ ධනපති මාධ්‍ය සියල්ලක්ම පාහේ ඝාතනයට ලක් වූ තැනැත්තාටම වරද පටවමින් වාර්තා පල කරන්නට වහා ක්‍රියාත්මක විය.

ලක්බිමපුවත්පත එය වාර්තා කලේ “පාසලකට බලෙන් ඇතුලු වීමට ගිය පුද්ගලයෙකුට වෙඩි” යන හිසෙනි. වාර්තාවේ සඳහන්ව තිබුනේ, පාසලට “බලහත්කාරයෙන්” ඇතුලු වීමට ගිය පුද්ගලයෙකු “ආරක්ෂක නිලධාරීන්” විසින් නතර කර පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී, “යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට” යත්න දැරීමේදී මෙම පුද්ගලයාට වෙඩි “වැදී” ඇත යනුවෙනි.

“ගිනි අවි උදුරා ගැනීමට” යත්න දැරීමේදී වෙඩි “වැදුනු” බවට ආරක්ෂක අංශ කරන ප්‍රකාශයන් ලංකාවේ මහජනතාවට ඉතා හුරු පුරුදුය. ඔවුන් විසින් සිතාමතා සිදු කරන සෑම ඝාතනයකදීම පාහේ මෙම ව්‍යාජ හේතු දැක්වීම සිදු කෙරෙන අතර මහජනතාව එය තඹයකට විශ්වාස නොකරයි.

ඝාතනය සම්බන්ධයෙන් මතුව ඇති මහජන විරෝධය හමුවේ ඝාතනයට ලක්වූ තැනැත්තාට කෙලින්ම වරද නොපටවනලංකාදීප පුවත්පත ඝාතකයා නිදොස් කිරීම සඳහා කුතර්කයක් ඉදිරිපත් කරයි. ජූලි 08 වන දා කතෘ මන්ඩල ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාදීප කියා සිටින්නේ පාසැලක ආරක්ෂාවට අදාල නිසි උපදෙස් හමුදා සෙබලුන්ට ලබා නොදීම නිසා මෙම “අවාසනාවන්ත” සිද්ධිය සිදුව ඇති බවයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් මත මෙම වෙඩි තැබීම සිදු නො වූ බව ඉතා පැහැදිලිය. ලංකාදීප කියන ආකාරයට මෙම ඝාතනය හමුදා සෙබලාගේ අනවබෝධයෙන් සිදුවූවක් නොව, සන්නද්ධ මිලිටරි භටයන් “සිසු ආරක්ෂාවේ” නාමයෙන් පාසැල් වලට යෙදවීම හේතුවෙන් සිදුවූ ඝාතනයකි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එයට මුලුමනින්ම වගකිව යුතුය.

ආන්ඩුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ, වැඩපොල, පාසැල්, විිශ්ව විද්‍යාල, නිවස්නා ප්‍රදේශ සහ වීදි ඇතුලු පොදු ස්ථාන වලට හමුදාව යෙදවූයේ කවර අර්ථයෙන් හෝ “මහජන ආරක්ෂාව” සඳහා නොවේ. ආන්ඩුව ඇතුලු පාලක සංස්ථාපිතයට සහ ආරක්ෂක සංස්ථාපිතයට ඒ සම්බන්ධ අංශුමාත්‍ර උත්සුකයක් හෝ නොමැති බව, ප්‍රහාරය පිලිබඳව පූර්ව දැනුම්දීම් තිබියදීම එය සිදුවන්නට ඉඩ හැරීමෙන් පැහැදිලි වෙයි.

ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව වැඩෙමින් පැවති පන්ති අරගල රැල්ල මැඩීම සඳහා පොලීසිය සහ මිලිටරිය වීදි බස්සවා ගැනීමේ නිමිත්තක් සොයමින් සිටි ආන්ඩුව ත්‍රස්ත ප්‍රහාරය වහා ඩැහැ ගත්තේය. හදිසි නීතිය වහා ක්‍රියාත්මක කොට, මිලිටරියට සහ පොලීසියට විසකුරු බලතල පවරමින් ඔවුන් වැඩට බස්සවා ගත්තේ ගුරු සංගම් ඇතුලු වෘත්තීය සමිති ව්‍යාපාරයේ, සංස්ථාපිතයේ සියලු දේශපාලන පක්ෂවල, ධනපති මාධ්‍යයන්හි සහ ව්‍යාජ-වාම සංවිධානයන්හි පිටුබලය සහිතවය.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පාසල් ආරක්ෂාව සඳහා එක් පාසැලකට අවම වසයෙන් එක් ආරක්ෂක භටයෙක් යොදවන බව නිවේදනය කල විට එය ප්‍රමානවත් නො වන බව සඳහන් කරමින් ස්ථාවර ආරක්ෂාව පිලිබඳ වග කීම රජය විසින් භාර ගත යුතු යයි ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් විසින් ඉල්ලා සිටියේ ය.

මෙම තතු තුල ආන්ඩුව පාසැල් ඇතුලු ඉහත දැක්වූ ආයතනයන්ට යොදා ඇත්තේ දශක තුනක රුදුරු වර්ගවාදී යුද්ධය තුල ඉහත බලතල මත ඉවබව නොමැතිව දෙමල ජනයා ඝාතනය කිරීමට පුහුනු කල හමුදාවකි.

මෙම හමුදාව, 1971 දී තිස් දහසක් සහ 88-90 කාලයේදී හැටදහසක් දකුනේ ගම්බද තරුනයන් කුරිරු ලෙස ඝාතනය කලේය. 2011 දී ඊනියා විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් ගෙනගිය අරගලය තුල දී පොලිස් විශේෂ කාර්ය බලකාය රොෂාන් චානක නමැති කම්කරුවා මරා දැමීය. 2012 පෙබරවාරියේ දී තෙල් මිල පහල දමන ලෙස ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු මීගමුවේ ධීවරයන්ට වෙඩි තබා එක් ධීවරයෙකු මරා දැමූ මිලිටරිය 2013 අගෝස්තුවේ දී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු වැලිවේරියේ ජනයාට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් හතලිහකට තුවාල කලේය.

මේ පොලිස්-මිලිටරි ඝාතන සම්බන්ධ මහජනතාවගේ මතකය යටපත් කරනු වස්, හමුදා සෙබලුන් මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ “මුර දේවතාවන්” හා “රන විරුවන්” ලෙස උත්කර්ෂයට නැංවීම සඳහා, එල්ටීටීඊයට එරෙහි තිස් අවුරුදු යුද්ධයේ දී ඉදිරියට දැමූ කුහක ප්‍රචාරයට බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිත්තෙහි යලි පන දෙන ලදී. මීට සමාන්තරව මුස්ලිම් ත්‍රස්ත භීතිකාවක් ද මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයක් ද කොලඹ දේශපාලන සංස්ථාපිතය විසින් මුදා හැරින.

උක්ත ඝාතනය සම්බන්ධයෙන් ගුරු- සිසු-දෙමාපියන් අතරින් බලගතු විරෝධයක් පැන නැගීම වැලකී ගියේ මහජන විඥානය ව්‍යාකුල කිරීමට දැනුවත්ව දියත් කල මෙම ව්‍යාපාරය හේතුවෙනි. කෙසේ නමුත්, ඝාතනයට ලක්වූ ප්‍රදීප් කුමාරගේ අවමගුලට දහසකට අධික ජනකායක් සහභාගි වීමෙන් ප්‍රකාශයට පත් කෙරෙනුයේ හුදු සංවේගය පමනක් නොවේ. එය ආන්ඩුව ඇතුලු සමස්ත පාලක පන්තියේ සාපරාධීභාවය කෙරෙහි වැඩෙන මහජන විරෝධයේ ද ප්‍රකාශනයකි.