සසප පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී අසාන්ජ් හා මැනිං වෙනුවෙන් සහයෝගය දිනා ගනී

SEP wins support for Assange and Manning at Sri Lanka’s Peradeniya university

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජුනි 29

මහනුවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං ආරක්ෂා කිරීම සඳහා අරගලයට සහයෝගය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජුනි 25දා උද්ඝෝෂනයේ යෙදුනි.

විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්, ශාස්ත්‍රාලිකයන්, කම්කරුවන් හා පාසල් ගුරුවරුන්, චුදිත විකිලීක්ස් ආරම්භකයාට හා රහස්‍ය තොරතුරු හෙලිකල ධෛර්යය සම්පන්න හිටපු සෙබලියට සිය සහයෝගය ප්‍රකාශ කලේ ය. සාකච්ඡාව කේන්ද්‍රගත වූයේ ජුනි 20දා නිකුත් කල “ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා! ” යන ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශය කේන්ද්‍රකර ගෙනය.

අසාන්ජ්ගේ නිදහස සඳහා පැවති විරෝධතාව අමතන පානි විජේසිරිවර්ධන

ලන්ඩනයේ බෙල්මාෂ් බන්ධනාගාරයේ අසාන්ජ් රුදුරු කොන්දේසි යටතේ රඳවාගනු ලැබ සිටින්නේ, 2012 දී ඔහුට දේශපාලන රැකවරනය ප්‍රදානය කල ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටිය දී පොලීසිය විසින් අල්ලා ගනු ලැබීමෙන් පසු ය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරන දඬුවම පවා නියම කල හැකි ගොතන ලද ඔත්තු බැලීමේ චෝදනාවන්ට ලක්කිරීම කල හැකි වන පරිදි ඔහු ව බි්‍රතාන්‍යයෙන් උදර්පනය කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය ඉල්ලා සිටී. අසාන්ජ්ට එරෙහි ව සාක්ෂි දීම නිර්භීත ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා මැනිං බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨය අසලින් ආරම්භ වූ ජුනි 25 දින උද්ඝෝෂනයට බැනර්, සසප පොත්පත් මේසයක් සහ අසාන්ජ් පිලිබඳ ව හා ඔහු පලමුව අත්අඩංගුවට ගත් 2010 සිට ඔහුගේ ආරක්ෂාව සඳහා ලෝසවෙඅ උද්ඝෝෂනය පිලිබඳ ව වූ වාර්තාමය වීඩියෝවක් අඩංගු විය.

එක්සත් ජනපදයේ හා අනෙකුත් රටවල ආන්ඩු වෙතින් රහස් තොරතුරු හොරකම් කල ද්‍රෝහියෙකු ලෙස අසාන්ජ් ව හුවා දක්වන මාධ්‍ය ලිපි තමන් දැක තිබුනු බව විද්‍යා පීඨ ශිෂ්‍යයාවක් වන ශෂිකලා ලෝසවෙඅ වෙත කීවා ය. “දැන් මම අසාන්ජ්ට විරුද්ධ චෝදනා බොරු බව දන්නවා. මැනිං හා අසාන්ජ් ඇමරිකාවේ යුද අපරාධ ලෝකයට හෙලිදරවු කල විරුවන්.”

තවත් විද්‍යා පීඨ ශිෂ්‍යයාවක් වන මේධාවිනී අදහස් දක්වමින්: “අසාන්ජ් හා මැනිං පිලිබඳ ව මා ඇසූ පලමු වතාව මෙය යි. අසාන්ජ් වැනි මාධ්‍යවේදියෙක් හා ආන්ඩුවේ අපරාධ හෙලිදරවු කල මැනිං වැනි අයෙක් ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් විසින් ආරක්ෂා නො කරන්නේ මන්දැයි මට තේරුම් ගන්න බැහැ. ඒක තීරනාත්මක ප්‍රශ්නයක්. අසාන්ජ්ට චෝදනා නැගීම හා ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරමින් යන ප්‍රහාරය අතර සම්බන්ධයක් තිබේයැයි කීම නිවැරදි යි.”

ටෙනිශාන් (වමේ) හා සමුදිත

කෘෂි විද්‍යා ශිෂ්‍යෙයෙක් වන ටෙනිශාන් මෙසේ කීවේ ය: “අසාන්ජ් පිලිබඳ තොරතුරු ටිකක් මා දැන සිටියා. දැන් මා ඔහු පිලිබඳ සත්‍යය දන්නවා. ඇත්තෙන් ම ඔහු ‘නියම මිනිහෙක්’ යුද අපරාධ හෙලිදරවු කර ඇති මාධ්‍යවේදීන් හිරේ දැමීම මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද?”

අසල පිහිටි ගලහ හන්දියේ සසප-සසජාතශි උද්ඝෝෂන තොරතුරු මේසයට පාසල් ගුරුවරු හා සිසුහු දුසිම් ගනනක් පැමිනියහ.

ගුරුවරියක් වන බස්නායක, අසාන්ජ් හා විකිලීක්ස්හි ක්‍රියාකාරීත්වයේ වැදගත්කම තමන් අවබෝධ කරගත් බව කීවා ය. “අනෙක් දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ගැන තකන්නේ නැහැ. ඔවුන් කරන්නේ සත්‍යය මර්දනය කිරීම යි.”

විකිලීක්ස් විසින් හෙලිදරවු කල යුද අපරාධ පිලිබඳ ව දැනගැනීමට ඉතාමත් කැමති වූ සරසවි සිසුන් දෙදෙනෙක් වන එස්. සුබවිත්තාරන් හා කේ. අන්නාදීර් සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන නමැති පොත්පිංච මිල දී ගත් හ.

එස්. සුබවිත්තාරන් (වමේ) හා කේ. අනනාදීර්

සවස 4ට පමන සසප හා සසජාතශි උද්ඝෝෂකයෝ විරෝධතාවක් පැවැත්වූ හ. ශාස්ත්‍රාලිකයෝ හා අනධ්‍යයන විශ්ව විද්‍යාල කම්කරුවෝ විරෝධතාවට සම්බන්ධ වූ හ. විරෝධතාකරුවෝ “අසාන්ජ් හා මැනිං නිදහස් කරනු”, “අන්තර්ජාල වාරනයට විරුද්ධ වනු”, “ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිනු” හා “ප්‍රකාශනයේ නිදහසට අත නො තබනු” යනාදී සටන් පාඨ හඬ නැගූ හ.

තම මුහුනුපොත් ගිනුමේ පලකල කෙටි කතාවකින් බුද්ධාගමට නින්දා කලේ යයි බෞද්ධ අන්තවාදීන් කල ව්‍යාජ පමිනිල්ලකින් අනතුරු ව මාස තුනකට ආසන්න කාලයක් රඳවාගෙන සිටින ශ්‍රී ලංකාවේ ලේඛක ශක්තික සත්කුමාර පිලිබඳ ප්‍රශ්නය ද ඔවුහු ඉස්මතු කල හ.

විරෝධතාවෙන් පසුව සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන ශ්‍රාවකයන් ඇමතී ය. එය තවත් සසප දේශපාලන මන්ඩල සභිකයෙක් වන එම්. දේවරාජා විසින් දෙමල බසට පරිවර්තනය කෙරිනි.

ටෙලිකොම් කම්කරුවන් සමග කතා කරන විජේසිරිවර්ධන

අසාන්ජ්ට හා මැනිංට චෝදනා නැගීම, ජාත්‍යන්තර ව පාලක පන්තීන්ගේ දකුනට යාමෙහි හා මූලික අයිතීන් මත ඔවුන් එල්ල කරන තීව්‍ර වන ප්‍රහාරයන්ගේ තියුනුතම ප්‍රකාශනය වන බව විජේසිරිවර්ධන විස්තර කලේ ය. “ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා කම්කරු පන්තිය අසාන්ජ් ආරක්ෂා කරගැනීමේ සටනට නායකත්වය දිය යුතු” යි ඔහු කීවේ ය.

ලෝකය තුන්වන ලෝක යුද්ධයක අද්දරට ගෙනැවිත් ඇති එක්සත් ජනපද පරිපාලනයේ ඉරානයට එරෙහි ක්‍රියා ඇතුලු‍ පුපුරමින් පවතින භූ-දේශපාලනික ආතතීන්වලට කථිකයා අවධානය යොමු කලේ ය. “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සැබෑ මුහුනුවර හා ලෝක පරිමාන වහ්නිජාලාවක තර්ජනය පිලිබඳ ව මහජනයාගේ විඥානය ඉහල දැමීමට විකිලීක්ස් විසින් පලකල පුවත් ඉමහත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා” යි ඔහු කීවේ ය.

අසාන්ජ් හා මැනිංගේ නිදහස ආරක්ෂා කරගැනීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා එහි සගයන්ට ප්‍රහාරයක් ද ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ජයග්‍රහනයක් ද වනු ඇතැයි වීජේසිරිවර්ධන කීවේ ය. “කම්කරුවන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් අගයන සියල්ලන් බලමුලු‍ගැන්වීම සඳහා ගෝලීය ආරක්ෂක කමිටුවක් තැනීම සඳහා අපගේ කැඳවුමෙහි වැදගත්කම එන්නේ මෙතැනින්.”

ශ්‍රී ලංකාවේ සිද්ධීන් ලෝක පරිමාන ප්‍රවනතාවක කොටසක් බව විජේසිරිවර්ධන කීවේ ය. “පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දැන දැන ම සිදුවීමට ඉඩහල ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සියලු‍ කොටස්, විෂඝෝර ප්‍රජාතන්ත්‍ර-විරෝධී බලතලවලින් සන්නද්ධ මිලිටරිය හා පොලීසිය වැඩපොලවලට විශ්ව විද්‍යාල හා වීදිවලට මුදාහැරීමට මග පාදා ගැනීමට එසේ කලා.

“ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීමට යොදාගත හැකි සීසීටීවී කැමරා ස්ථාපනය කිරීමට විරුද්ධ ව අද දින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් විරෝධතා පැවැත්වූවා...මේ සියල්ලේ අවසන් ඉලක්කය වන්නේ කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට මුහුන දෙන කම්කරු පන්තිය යි.”

අසාන්ජ් නිදහස් කරගැනීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනය හා සම්බන්ධ වීමට තරුනයන් හා කම්කරුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ සන්නිවේදන තොරතුරු ලබා දුන් හ.