ශ්‍රී ලංකාව: යාපනය විශ්ව විද්‍යාලයේ දී ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනයට බලගතු සහයෝගයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 6

මෙම උද්ඝෝෂනය, ජූලි 10 බදාදා යාපනය නගරයේ සසප හා සසජාතශි සංවිධානය කර ඇති පිකට් උද්ඝෝෂනය ගොඩනැගීමේ කොටසක් විය. යාපනය පිහිටි උතුරු පලාත බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි තිස් අවුරුද්දකට ආසන්න වාර්ගික යුද්ධයෙන් හානියට පත් ප්‍රදේශයකි.

උතුරු හා නැගෙනහිර පලාත් තවමත් මිලිටරි වාඩිලාගැනීම යටතේ පවතින අතර, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නිරන්තරයෙන් මර්දනයට හා දඩයමට මුහුන දෙති.

විශ්ව විද්‍යාලයට ඇතුලු වන ස්ථානයේ “ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරනු!” යන සටන් පාඨය සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයින්, සසප පොත් මේසයක් ද සංවිධානය කර තිබුනි. ජුනි 20දා ලෝසවෙඅ පලකල “ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂනයක් සඳහා” යන ප්‍රකාශයේ පිටපත් සිය ගනනක් එහි දී බෙදාහැරුනි.

පෙත්සමට අත්සන් තබන ශිෂ්‍ය කන්ඩායමක්

උද්ඝෝෂනයට සහයෝගය දැක්වීම සඳහා වන පෙත්සමකට අත්සන් තැබූ ශිෂ්‍යයෝ, සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් රචිත රුසියානු විප්ලවය සහ නො නිමි විසිවන සියවස ඇතුලු කෘති මිල දී ගත් හ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හෙලිදරවු කිරීම හේතුවෙන් චෝදනාවට ලක් වී සිටින ජූලියන් අසාන්ජ් හා රහසිගත යුද අපරාධ තොරතුරු විකිලීක්ස් වෙත සම්පාදනය කල චෙල්සී මැනිං සිරගත කිරීම ගැන බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නො දැන සිටිය හ. ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ ව්‍යාජ චෝදනා යටතේ බි්‍රතාන්‍යයේ සිරගත කර සිටින අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කරනු ලැබීමේ තර්ජනයට මුහුන පා සිටී. අසාන්ජ්ට එරෙහි ව සාක්ෂි නො දීම නිසා මැනිං සිරගත කරනු ලැබ ඇත.

සසප සාමාජිකයන් මේ පිලිබඳ ව සාකච්ඡා කල විට බොහෝ ශිෂ්‍යයෝ උද්‍යෝගයෙන් යුතු ව උද්ඝෝෂනයට සහාය පල කලහ. දෙමල ජාතිකවාදී දේශපාලනයේ ගිලී සිටින යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයෝ, ශිෂ්‍ය සංගමය හා යාපනයේ දෙමල පුවත්පත් ජූලියන් අසාන්ජ් පිලිබඳ ව මුනිවත රකිති. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහයෝගය සහිත ව දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීමට මං සොයන මෙම සංවිධාන, ඒ හේතුවෙන් වොෂින්ටනයේ අපරාධ නො තකා හරී.

උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ශිෂ්‍යයන් ලෝසවෙඅ වෙත අදහස් දැක්වී ය:

සසප හා සසජාතශි සාමාජිකයන් නිරන්තරයෙන් එහි පැමින සමාජවාදී දේශපාලනය පිලිබඳ ව සාකච්ඡා කරනු තමන් දකින බව එස්. ගජේන්ද්‍රන් නමැති ශිෂ්‍යයා කීවේ ය. “අද දින මෙහි පැමින ජූලියන් අසාන්ජ් පිලිබඳ ව විස්තර කර ඔහු නිදහස් කල යුත්තේ මන්දැයි කතා කරන්නේ ඔබ පමන යි. ඒ ආකාරයට යි මම මේ ප්‍රශ්න පිලිබඳ ව දැනගත්තේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෙලිදරවු කල සමහර විකිලීක්ස් ලේඛන ගැන දැන් මට මතක් වෙනවා. සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් වන මෙම උද්ඝෝෂනයටත් අසාන්ජ් නිදහස් කරගැනීමටත් මම පූර්න සහයෝගය දෙනවා.”

රන්ජන්

අන්තර්ජාලයේ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වීඩියෝව දැක තිබුනු කලමනාකරන පීඨයේ ශිෂ්‍ය රන්ජන් මෙසේ කීවේ ය: “ජනමාධ්‍යවේදියෙක් වන අසාන්ජ් ඇදගෙන ගොස් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පමනක් නො ව ම්ලේච්ඡ ක්‍රියාවක්ද වෙනවා. අද වන විට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ නමට පමනයි. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රය ලෙස විස්තර කරනු ලබන එක්සත් ජනපදය ලොව පුරා මිනී මරනවා. ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං යන දෙදෙනා ම ලෝකයට සත්‍යය හෙලිදරවු කලා. ඒ නිසා ඔවුන් දෙදෙනා ම වහා ම නිදහස් කල යුතු යයි මම අවධාරනය කරනවා.”

මානව හිමිකම් රැකීමට යයි කියමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අනෙක් රටවලට මැදිහත් වන බව ඉංග්‍රීසි උපාධිධාරියෙකු වන එන්. පදප්‍රියන් කීවේ ය. “යුරෝපය හා ඕස්ට්‍රේලියාව එයට සහයෝගය දෙනවා. අසාන්ජ් බි්‍රතාන්‍යයෙන් එක්සත් ජනපදයට පිටුවහල් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය කරන ඉල්ලීම නීති-විරෝධී යි. එක්සත් ජනපද ගුවන්තනාමෝ හා අබු ග්‍රයිබ් වැනි වධක කඳවුරු පවත්වාගෙන යාම ගැන අපි අසා තිබනෙවා. ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීමේ අරගලයට මමත් සහයෝගය දෙනවා.”

අසාන්ජ් නිදහස් කරගැනීමට කරන වැඩකටයුතු ඉතා වැදගත් බව ගුරුවරයෙක් වන සෙල්වා කීවේ ය. “මම ජූලියන් අසාන්ජ් ගැන දන්නවා. ජනමාධ්‍යවේදයට හා නිදහස් ප්‍රකාශන අයිතියට ලොව පුරා තර්ජන තිබෙනවා. ඔබ සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම උද්ඝෝෂනය සියලු රටවල ලේඛකයින්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් ආරක්ෂා කරන එකක් බව මා අවබෝධ කරගත්තා.”

විශ්‍රාමික වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවක ආර්. එස්. දේවේන්දිරම් කීවේ: “විකිලීක්ස් හා අසාන්ජ් ගැන මා අසා තිබෙනවා. ඔහු ලොව පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිදු කල අපරාධ හෙලිදරවු කලා. ඉක්වදෝර තානාපති කාර්යාලය ඔහු ව ලන්ඩන් පොලීසියට භාර දුන්නේ එක්සත් ජනපදය යෙදූ පීඩනය නිසා. එක්සත් ජනපදය ප්‍රධාන බලයක් නිසා අනෙක් රටවල් එහි පීඩනයට යටත් වෙනවා. එහි අපරාධ හෙලිදරවු කල පුවත් ප්‍රකාශකයා එක්සත් ජනපදයට නීති-විරෝධී ව ගෙන්වාගෙන දඬුවම් කිරීමට එක්සත් ජනපදය එහි බලය පාවිච්චි කරනවා.”

එක්සත් ජනපදය බොරු යොදාගෙන සියලු රටවලට මැදිහත් වන බව ඔහු කීවේ ය. “ඉරාකයේ රසායනික අවි තියෙනවා කියා වොෂින්ටනය එය ආක්‍රමනය කලා. ඒත් හොයාගත්ත දෙයක් නැහැ. දැන් එය උත්සාහ දරන්නේ ඉරානයේ යුරේනියම් තියනවා කියා ආක්‍රමනය කරන්න. චීනය හා රුසියාව සමග ගැටුමකට එය සූදානම් වෙනවා” යි ඔහු විස්තර කලේ ය.

කාර්මික විද්‍යාල ශිෂ්‍ය එස්. ප්‍රවීන්, තමන් අසාන්ජ් පිලිබඳ ව නො දැන සිටි බවත් උදඝෝෂකයන් සමග සාකච්ඡා කල පසු ඔහු ගැන අවබෝධ කරගත් බවත් කීවේ ය. “ජනමාධ්‍යවේදියෙක් ලෙස එක්සත් ජනපදයේ හා එහි සහකාරක රටවල යුද අපරාධ හෙලිදරවු කිරීමේ දී අසාන්ජ් නිවැරදි යි. බි්‍රතාන්‍යය හා එක්සත් ජනපදය ඒ හේතුවෙන් ඔහුට දඬුවම් කිරීමට උත්සාහ දැරීම නීති-විරෝධී යි. ඔහු ආරක්ෂා කිරීමට සෑම කෙනෙක් ම ඉදිරියට පැමිනිය යුතු යි” යි ඔහු කීවේ ය.