ග්‍රේෂන් ගීකියනගේ අනුස්මරනය කරමින් සසප හලාවත දී සාර්ථක රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 23

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට් තුවක්කුකරුවන් විසින් ඝාතනය කෙරුනු, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජික ග්‍රේෂන් ගීකියනගේ අනුස්මරනය කරමින්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජූලි 14 වන දා, හලාවත තොඩුවාවේ දී සාර්ථක රැස්වීමක් පැවැත්වීය.

ග්‍රේෂන් ගේ නිවසේ පැවති එම රැස්වීම සඳහා ප්‍රදේශයේ ධීවරයන්, කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුලු 40 ක් පමන සහභාගී වූහ. රැස්වීම නිමිති කොට ගෙන තොඩුවාව, මහවැව, ඉරනවිල ආදී ප්‍රදේශවල සති තුනක් පමන අඛන්ඩව උද්ඝෝෂනයේ නියැලි සසප, “ජවිපෙ ෆැසිස්ට් මැරයන් ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කිරීමෙන් තිස් වසරක්” නමින් ජුනි මස 25 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කල ලිපියේ පිටපත් සහ තවත් සසප ප්‍රකාශ සිය ගනනක් එහිදී බෙදා හරින ලදී.

සසප උද්ඝෝෂනයට ප්‍රදේශයේ කම්කරු පීඩිත ජනයාගෙන් ඉහල සහයෝගයක් හිමි විය. ප්‍රධාන ධනපති පක්ෂ හෙලාදුටු එම ජනයා ජවිපෙ ප්‍රධාන ධනපති පක්ෂ බලයට ගෙන ඒමට හවුල් වී ඇති ආකාරය දැඩි ලෙස විවේචනය කලහ.

ග්‍රේෂන් සහෝදරයා ඝාතනය කරන ලද්දේ 1989 ජුනි 24 දාය. ජවිපෙ මැර කන්ඩායම් විසින් විකොස හි තවත් සමාජිකයන් දෙදෙනෙකු වූ ආර්.ඒ. පිටවෙල සහ පී. ගුනපාල, 1988 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල දී ඝාතනය කරන ලදී.

සසප හි පූර්වගාමී සංවිධානය වන විකොසට එරෙහි මෙම ප්‍රහාරය, 1987-90 කාලපරිච්ඡේදය තුල ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ ගෙන ගිය සිංහල වර්ගවාදී ව්‍යාපාරය තුල දී විකොස ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හා කලාකරුවන් මත දියත් කල ෆැසිස්ට් පන්නයේ ප්‍රහාරයක කොටසකි.

අනුස්මරන රැස්වීමේ මුලසුන හෙබවූයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ (සසජාතශි) කැඳවුම්කරු වන කපිල ප්‍රනාන්දු විසිනි. ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් කල පාවාදීම ලංකාව තුල ජවිපෙ වැනි සුලු ධනේශ්වර ව්‍යාපාරවල ඉස්මතුවීමට කොන්දේසි නිර්මානය කල ආකාරය ප්‍රනාන්දු පැහැදිලි කලේ ය.

“විද්‍යාත්මක මාක්ස්වාදය, පන්ති අරගලය හා කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ප්‍රතික්ෂේප කල ජවිපෙ පදනම් වූයේ කස්ත්‍රෝවාදය, මාඕවාදය හා සිංහල ස්වෝත්තමවාදය කලතා ගත් සහ ආයුධ සන්නද්ධ අරගලය පෙරට දැමූ සුලු ධනේශ්වර සංවිධානයක් ලෙසයි.

“ඊට මුලුමනින්ම වෙනස්ව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස, 1968 දී විකොස පිහිට වූයේ කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා සූදානම් කිරීමට න්‍යායිකව සන්නද්ධ කිරීමටත් කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා සටන් වැදීමටයි” කපිල ප්‍රනාන්දු අවධාරනය කලේ ය.

ජවිපෙ ආරම්භයේ සිට එයට පැවති වතු කම්කරු විරෝධය අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයක ගති ලක්ෂන ගැබ් කර ගන්නා බව විකොස එවක ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය සහෝදරයා විසින් “ජවිපෙ දේශපාලනය සහ පන්ති ස්වභාවය“ නම් කෘතිය තුලින් පෙරදැක්කේ විකොස සතු එම න්‍යායික ශක්තිය නිසා බව සසජාතශි කැඳවුම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

රැස්වීමේ දෙවන කථිකයා වූයේ ග්‍රේෂන්ගේ වැඩිමහල් සොහොයුරා වන සහ ප්‍රදේශයේ ප්‍රමුඛ සසප සාමාජිකයෙකු වන නිහාල් ගීකියනගේ සහෝදරයා ය. නිහාල් ගීකියනගේ 89/90 කාලපරිච්ඡේදය තුල සිය ජීවමාන අත්දැකීම් ගෙනහැර දැක්වී ය.

“ලංකාවේ පලමු ධීවර වෘත්තීය සමිතිය ගොඩනැගීමට විකොස මැදිහත් වුනා. ජවිපෙ එවකදී ඝාතන ගෙන ගිය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඒ සමිතිය නවත්වන්න කියලා අපිට මැර තර්ජන එල්ල කරලා ලියුම් එවලා තිබුනා. ඒ විතරක් නෙමේ යුනිලීවර් සමාගමේ ඉස්සන් ගොවිපලවල කොන්ත්‍රාාත් කම්කරුවන්ගේ රැකියා ස්ථීර කිරීමේ අරගලය තුල, මාදම්පේ හේකාබ් සහ මාරවිල සමරසිංහ වගේ ෆැක්ටරිවල කම්කරුවන් අතරේ අපි සටන් වැදුනා“ යයි නිහාල් පැවසීය.

එම කාලය තුල ජවිපෙ ගෙන ගිය ත්‍රස්ත ව්‍යාපාරයට හා එජාප ආන්ඩුවේ රාජ්‍ය භීෂනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා උපායාත්මක පිලිවෙතක් වූ කම්කරු පන්තික පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා විකොස සටන් වැඳුනේ ය. නව සම සමාජ (නසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) හා ලසසප කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කොට රාජ්‍ය ආරක්ෂක අංශවල පිහිට පැතූ ආකාරය ඔහු පෙන්වා දුන්නේ ය.

“එක්සත් පෙරමුනු යෝජනාව ප්‍රතික්ෂේප කල මෙම පක්ෂ, විකොස සමාජිකයන් ඇතුලු 60,000 ක් පමන වූ ගම්බද තරුන ඝාතනවලට දේශපාලනිකව වගකීම දරනවා. එවකට ලීවර් බ්‍රදර්ස්හි නසසප වෘත්තීය සමිතිය විකොස එක්සත් පෙරමුනට විරුද්ධ වුනා විතරක් නෙමේ කොන්ත්‍රාත් කම්කරුවන් ස්ථීර කර ගැනීමේ අරගලයත් මග හැරියා” යැයි නිහාල් වැඩිදුරටත් විස්තර කලේ ය.

අවසාන කථාව කල සසප දේශපාලන මන්ඩලයේ සමන් ගුනදාස තම කතාව ආරම්භ කලේ, ජවිපෙ, ග්‍රේෂන් ඇතුලු විකොස සාමාජිකයන් ඝාතනය කලේ ධනපති පන්තියේ ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙන් බව ප්‍රකාශ කරමිනි. “ජවිපෙ දේශප්‍රේමය යටතේ කම්කරු පන්තික සංවිධානවලට එරෙහි ධනපති පාලක පන්තියේ ෆැසිස්ට් මුගුරක් ලෙස වැඩට බැසගත්තා. විකොසට එරෙහි මැර ප්‍රහාර මගින් ජවිපෙ කම්කරු පන්තියටත් සමාජවාදයටත් පවතින සතුරුභාවය පෙන්නුම් කලා”.

විකොස මූලධර්මාත්මක අරගලය පිලිබඳව සඳහන් කල ගුනදාස, ජවිපෙ 1971 සභාග ආන්ඩුවට එරෙහිව ගෙන ගිය අතිධාවනකාරී මෙහෙයමට ප්‍රතිචාරී වශයෙන් රාජ්‍ය හමුදාවන් විසින් 15,000 ක් පමන තරුනයන් ඝාතනය කිරීමට විරුද්ධ වූ විකොස, ආන්ඩුවේ විශේෂ අධිකරන මගින් අත්අඩංගුවට පත් කල රෝහන විජේවීර ඇතුලු ජවිපෙ සාමාජිකයන් නිදහස් කර ගැනීම සඳහා “දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!“ යන සටන් පාඨය යටතේ කම්කරු පන්තිය තුල සටන් වැදුනු ආකාරය පෙන්වා දුන්නේය. 1976 මහා වැඩවර්ජනය තුල දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම පිලිබඳ සටන් පාඨය ප්‍රධාන ඉල්ලීමක් වූ බව ඔහු පැවසීය.

ඉන්දු-ලංකා ගිවිසුම යටතේ එජාප ආන්ඩුව උතුරු නැගෙනහිරට ලක්ෂයක ඉන්දියානු හමුදා ගෙන්වා ගත් පසු දකුනේ පන්ති සටන් මැඩීම සඳහා ලංකාවේ හමුදා දකුනුට ගෙනඑන ලදී. ජවිපෙ ඝාතන මගින් විකොස වැඩකටයුතු නතර කල නොහැකි වූ බව පැවසූ ගුනදාස, එජාප ආන්ඩුව ගෙනගිය රුදුරු රාජ්‍ය මර්දනය තුල දසදහස් සංඛ්‍යාත ගම්බද තරුනයන් මරා දමද්දී, විකොස “ගම්බද ඝාතන නතර කරනු” යන සටන් පාඨය යටතේ අඛන්ඩව සටන් වැඳුනු ආකාරය පෙන්වා දුන්නේ ය.

ඉන්දු ලංකා ගිවිසුමට විකොස විරුද්ධ වූයේ ඉන්දියාවේත් ලංකාවේත් කම්කරු පන්තිය ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල මත එක්සත් කිරීම සඳහායි. “දෙමල මහජනයාට එරෙහි යුද්ධයට විරුද්ධව එක රුපියලක්, එක ලේ බින්දුවක් නොදෙනු, උතුරින් හා නැගෙනහිරින් හමුදා ඉවත් කරනු, ජාත්‍යන්තර හා දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වදිනු යන සටන් පාඨ ඉදිරිපත් කරමින් විකොස සටන් වැඳුනා. අදත් එකම ශක්‍ය වැඩපිලිවෙල එම ඉදිරිදර්ශනය” යැයි ගුනදාස පැවසීය.

1980 දශකයේ අගභාගයෙන් පසු ජවිපෙ තම නායකයන් ඝාතනය කල ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක සමගත් සරත් ෆොන්සේකා වැනි කුප්‍රකට මිලිටරි නායකයන් සමගත් ගෙන ගිය දක්ශිනාංෂික හා අවස්ථාවාදී සම්බන්ධය ඔහු විස්තර කලේ ය.

අප්‍රේල් 21 දා ලංකාවට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර පිලිබඳව අවධානය යොමු කල ගුනදාස වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය හා එක්වූ ජවිපෙ, හදිසි නීතිය පැනවීමටත් නව ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ගෙන ඒමටත් පෙරමුන ගනිමින් පාලක පන්තියේ පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් දියත් කිරීමට කරබදු වී ඇති ආකාරය ගුනදාස පෙන්වා දුන්නේ ය.

වර්තමාන ලෝක දේශපාලන තත්වය දෙසට අවධානය යොමු කල ගුනදාස “සති දෙකකට පෙර ඉරානයේ ඔත්තු බැලීමට යැවූ ඩ්‍රෝන් යානාවක් ඉරාන ගුවන් සීමාව තුල බිම හෙලීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට පහරදීමට ගත් තීන්දුව ප්‍රහාරයට විනාඩි දහයක් තිබියදී හකුලා ගත්තා. ඉහල හමුදා මන්ඩලවල අනුමැතිය හිමි වී ප්‍රහාරයක් එල්ල කලා නම් එය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය වීමට ඉඩ තිබුනා“ යයි සඳහන් කලේ ය.

මැද පෙරදිග කලාපයේ පමනක් නොව චීනයට සහ රුසියාවට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද ධාවනය මගින් ලෝක මහජනතාව අභිමුඛ කොට ඇති අන්තරාය කථිකයා දීර්ඝ ලෙස විශ්ලේෂනය කර පෙන්නුවේ ය.

චීන ආර්ථික දේශපාලන සම්බන්ධතාවලට එරෙහි ඇමරිකානු යුද මූලෝපායේ කොටසක් ලෙස, ජවිපෙ හි ද සහයෝගයෙන් 2015 දී සිදු කෙරුනු තන්ත්‍රමාරුවෙන් පසු වොෂින්ටනය ලංකාවේ වත්මන් ආන්ඩුව සහ මිලිටරිය සමග සමීප සම්බන්ධතා තර කර ගෙන සිටී.

ලෝක ධනවාදයේ පෙර නොවු විරූ අර්බූදය හමුවේ සෑම රටක් තුලම වර්ධනය වන සමාජ අසමානතාවය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සමාජවාදය දිශාවට ඇති නැඹුරුව මෙන්ම ලොවපුරා පාලක පන්තීන් ආඥාදායකත්වයන් දෙසට තල්ලුුවීීම සහ ෆැසිස්ට්වාදී අන්ත දක්ශිනාංෂික ආන්ඩු බලයට පත්වීමත් අතර සම්බන්ධය ගුනදාස පැහැදිලි කලේ ය.

“ජර්මනිය තුල යුදෙව්වන් මිලියන ගනනක් ඝාතනය කල හිට්ලර් පුනස්ථාපනය කරමින් තියෙනවා. ඇමරිකාව තුල සංක්‍රමනිකයන්ව හිට්ලර්ගේ වධකාගාරවලට සමාන කඳවුරුවලට ගාල් කෙරෙනවා. දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කෙරෙනවා. ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතාකරුවන්ට මිලිටරිය යොදවලා පහර දෙනවා. ලෝකය පුරාම තත්වය මේකයි. ධනවාදයට දෙන්න පුලුවන් යුද්ධය, අසමානතාවය, මහා පරිසර විනාශය විතරයි“ යයි ගුනදාස සඳහන් කලේ ය.

සිය කතාව අවසන් කරමින් ගුනදාස ලෝකය පුරා ව්‍යාජ-වාම සංවිධාන ඉෂ්ඨ කරන ද්‍රෝහී ක්‍රියාකලාපය පිලිබඳව අවධානය යොමු කලේ ය. ජවිපෙන් මෑතදී සංවිධානාත්මකව භේද වූ ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ලොවපුරා මධ්‍යම පන්තික සංවිධාන විසින් වග වර්නනා කල ග්‍රීසියේ සිරිසා සංවිධානය බලයට පත්වීමෙන් පසු, යුරෝපා මහා බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාවට නැගීම හේතුවෙන් පසුගිය මාසයේ එය ලැබූ මැතිවරන පරාජයේ පාඩම් ගුනදාස දීර්ඝ ලෙස ගෙනහැර දැක්වී ය.

“ධනපති ක්‍රමය තුල වරප්‍රසාද භුක්ති විදිමින් ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින මධ්‍යම පන්තියේ ව්‍යාජ-වාම සංවිධානවල ජාතිකවාදී වැඩපිලිවල් යටතේ කම්කරු පන්තියට හා පීඩිත මහජනයාට අධිරාජ්‍යවාදයට සහ ජාතික ධනපති පන්තියේ ප්‍රහාරවලට සටන් වදින්න බෑ. කම්කරු පන්තියට ධනපති ප්‍රහාර පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව මත ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සටන් වැදීමෙන් පමනි. ග්‍රේෂන් තම ජීවිතය දුන්නේ එම වැඩපිලිවෙලට සහ එයට සටන් වදින එකම සංවිධානය වන හජාජාක සහ සසප වෙනුවෙනි.” ලෝක සමාජවාදී වෙබ් අඩවිය දිනපතා කියවන ලෙසත් සසපට බැඳී ලෝක සමාජවාදය සඳහා අරගලයට උර දෙන ලෙසත් ඉල්ලමින් ගුනදාස සිය කතාව අවසන් කලේ ය.