දි අයිලන්ඩ් ධනපති පාලනයේ කුනුවීම මහජනයාගේ ඇඟේ තබා කපයි

කේ. රත්නායක විසිනි, 2019 ජූලි 22

පසුගිය අඟහරුවාදාදි අයිලන්ඩ් පුවත් පතේ කර්තෘ වාක්‍ය මෙසේ ලියා ඇත: “මන්ත්‍රීවරුන් [පාර්ලිමේන්තුවට] නොපැමිනීම පිලිබඳ ප්‍රශ්නය චන්දදායකයන්ට මුනගස්වන ලෙස කතානායකවරයා ජන මාධ්‍යවලින් ඉල්ලා ඇත. මහජනයාට ලැබෙන්නේ ඔවුන්ට උචිත ආන්ඩුවක් යයි කියමනක් තිබේ. තමන් තෝරා ගත් නියෝජිතයින් ව්‍යවස්ථාදායක යුතුකම් නොසලකා හරින බව සහ දූෂිත ක්‍රියාවන්හි යෙදෙන බව මහ ජනයාට කිසිවෙක් කියා දීම අවශ්‍ය නොවේ. චන්දදායකයින් තමන් තෝරා ගන්නේ කවුද යන්න දැනදැනම දිගටම ඔවුන්ටම චන්දය දෙති. ඔවුහු [මහා ජනයා] නුවනක්කාර ලෙස ක්‍රියා කරන්නේ නැත.”

කතුවැකිය පුරා මහජනයා කෙරහි කතුවරයාගේ අවඥාව වමාරා ඇත. මන්ත්‍රීන්ගේ නොපනත්කම් හා පාර්ලිමේන්තුවේ සිදුවන අසික්කිත ක්‍රියාගැන ලියන කර්තෘ නිදැල්ලේ සිටින මේ “තක්කඩියන්ගේ” මුක්තිය අවසන් වන්නේ කවදාදැයි කම්මුලේ අත තබාගනියි.

බැලූබැල්මට කර්තෘවරයා කෙලින් කතා කර ඇතැයි කිසිවෙකුට පෙනෙන්ට පුලුවන. නියපොත්තෙන් ඇබින්දක් සූරා බලන්නෙකුට ඔහුගේ කැත වහංගු කිරීම වහාම පෙනීයනු නිසැක ය.

පලමුවෙන්ම, “මහජනයාට ලැබෙන්නේ ඔවුන්ට උචිත ආන්ඩුවයි” යන ප්‍රලාපය ගැන. මෙය වනාහි පාලක පන්තියේ නියෝජිතයන් වන මන්ත්‍රීන් හා ඔවුන්ගේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන නරුම ක්ෂමාලාපයකි. ඊට අනුව චන්දදායකයින් නැවත නැවතත් ඔවුන් තෝරා පත්කරගන්නා නිසා “වරද අනුවන ලෙස ක්‍රියා කරන” ඔවුන්ගේ ම ය. මේ තර්ක ක්‍රමයට අනුව, මන්ත්‍රීන්ගේ අල්ලස් ගැනීම හා දුෂනවලට, වාසිපතා කරන කරනම් ගැසීම්වලට පමනක් නොව ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ට හා සමාජ අයිතීන් කප්පාදුවට ද අවසානයේ ඒකාධිපතිත්වයට හා ෆැසිස්ට්වාදයට ද වගකිවයුත්තේ මහජනයා ය.

ලංකාවේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුනේ, දෙමල ජාතික සන්ධානයේ, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීන්ගේ ප්‍රතිගාමී ක්‍රියාවන්ට වගකිව යුත්තෝ ඔවුන් තෝරා ගන්නා මහජනයා ය.

දි අයිලන්ඩ්මවා පෙන්වන අයුරු මේ දේශපාලන “තක්කඩියන්” සාමාන්‍ය මහජනතාවගේ නිෂ්පාදිතයක් නොවේ, ඔවුන් වනාහි ධනපති පන්තියේ නිෂ්පාදිතයකි. ධනපති පන්තියේ ප්‍රචාරක උපකරන වන දි අයිලන්ඞ් ඇතුලු ජනමාධ්‍ය මොවුන් නිෂ්පාදනය කිරීමට ද තමන් නියෝජනය කරන ධනපති කන්ඩායම් වෙනුවෙන් තෝරා ගත්තවුන් හුවා දැක්වමින් මහජනයාගේ ඇස්වලට වැලි ගැසීමේ කාර්යයේ පෙරමුනේම සිට ක්‍රියා කරති.

මෙම ධනපති පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන්අයිලන්ඩ්ඇතුලු ජනමාධ්‍යවල ද උදවු ඇතිව තේරීපත්වී පාර්ලිමේන්තුවට යන්නේ කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට සේවය කිරීම සඳහා නොවේ. ඔවුන් චන්දයෙන් තේරී පත්වීම වනාහි, මුදල් බලය, ධනේශ්වරය විසින් අභිබවන ප්‍රචාරක යාන්ත්‍රනය, බොරු පොරොන්දු හා අන් සියල්ලටමත් වඩා තමන්ගේ විරුද්ධත්වය අව්‍යාජව ප්‍රකාශ කිරීමට කම්කරු පන්තියට විකල්ප පක්ෂයක් තවමත් ගොඩනැගී නොතිබීමේ ප්‍රතිඵලයකි.

කතානායක කරු ජයසුරිය ජනතාවට උගැන්වීමට ජනමාධ්‍යවලට අයාචනා කර ඇත්තේ මේ බව දැන දැනම සත්‍යය වසන් කිරීම සඳහා එය හොඳම ප්‍රචාරක උපකරනය ලෙස සලකා ගෙන ය. සත්‍යය කුමක් ද? පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් නොපැමිනීම එය ද අතුලු ධනපති පන්ති පාලනයේ සියලු සංස්ථා කුනුවී ඕජස් ගලන තැනට පත්වීමේ ප්‍රතිඵලයකි.

අයිලන්ඩ්හෝ පොදුවේ ජන මාධ්‍ය ගත්කල ඒවාට කම්කරුවන්, දුගීන් හා තරුනයින්ගේ අවශ්‍යතා කෙරෙහි ඇත්තේ වරෙක විවෘතව පෙන්වන වරෙක සඟවාගත් සතුරු කමකි. මේ මහජනතාවන් සිය අයිතීන් සඳහා අරගලවලට එලඹුනු කල මෙම සතුරුකම නග්නව ප්‍රදර්ශනය වේ.

ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය ගැනඅයිලන්ඩ් කතුවැකිය (අගෝස්තු 10) ලීවේ මෙසේය: “සමස්ත කම්කරු ව්‍යාපාරයම ලැජ්ජාවට පත් කරන ඔවුන්ගේ වර්ජනය පටන්ගත් බදාදා දසදහස් සංඛ්‍යාත මගියෝ අතරමං වූහ. තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීම ගැන ඔවුන්ට දොස් පැවරිය නොහැක. එහෙත්, අපට දකින්නට ලැබුනේ වෘත්තීය සමිති ත්‍රස්තවාදයකි.”

වර්ජනය වරාය හෝ තෙල් කම්කරුවන්ගේ වුනි නම්, පුවත්පත ඒ තැන්වල ත්‍රස්තවාදය ගැන ලියනු ඇත.

ගිය මාසයේ දින දෙකක දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය ගැනඬේලිමිරර්කතුවැකියක මෙසේ ලියා තිබුනි: “අහිංසක මහජනයා අනතුරේ හෙලන මෙවන් විකාර වර්ජන ගැන තදින් ඉඳිමින් ඒවා තහනම් කිරීමට බැරිතරම් ආන්ඩුව දුර්වල ද?” (ජුනි 27).

ලෙනින් වරෙක මෙසේ ලීවේය: “මධ්‍ය කාලීනත්වය සමග සසඳන විට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විශාල ඓතිහාසික ඉදිරි පියවරක් වුවද, එය හැම කල්හිම, ධනවාදය තුල පවතින්නේ සීමා කෙරුනු, කප්පාදුවට ලක්වූ, ව්‍යාජ හා කුහක, ධනවතුන්ට පාරාදීසයක් සහ සූරාකැවෙන්නන්ට සහ දුප්පතුන්ට උගුලක් සහ රැවටිල්ලක් ලෙස ය.”

ලංකාවේ “ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය” හා එහි පාර්ලිමේන්තුව ලෙනින් කියූ තත්වය වඩා ඔද්දල්වූ එකකි. එය ට්‍රොට්ස්කිවාදීන් නායකත්වය ගත් කම්කරු පන්තියේ නැගී ආ විප්ලවවාදී ව්‍යාපාරයට එරෙහිව 1948 විජිත පාලකයන් සමග කුමන්ත්‍රනයෙන් ඇටවූ එකක් විය. පටන්ගත් තැන් පටන් ධනපති පන්තියේ සියලු කන්ඩායම් දෙමල විරෝධී වර්ගවාදී විස නා ගත්හ. ඔවුහු තමන්ගේම ජනයාට එරෙහි යුද්ධයෙන් හා මර්දනයෙන් ලෙයින් නෑවී ගත්තවුන් රොත්තකි. ඉහත සඳහන් කල හා නොකල පක්ෂ ද ඒවායේ නායකකාරකාදීන්ද දුෂිතකමින් ඉහ වහා ගොස් ය.

ලෝක ධනවාදයේ අර්බුදයේ නව කල පරිච්චේදය තුල උත්සන්නවූ අර්බුදයක ගිලි සිටින ලංකාවේ ධනේශ්වර පාලනයේ පාලක පන්තියේ කුනුවීම හා අයථාභාවය ඇස්පනාපිට පැහැදිලි වන්නට පටන්ගෙන ඇත. කථානායකත් දි අයිලන්ඩ්ඇතුලු ධනේශ්වර පාලනයේ මුරකාර මාධ්‍යත් කුලප්පු වී සිටින්නේ මේ තත්වය තුලයි.

“මහජනයාට ලැබෙන්නේ ඔවුන්ට උචිත ආන්ඩුවයි” යන සුත්‍රය පලමුවෙන්ම ඉදිරිපත් කලේ 1789 ප්‍රන්සයේ ශ්‍රේෂ්ට විප්ලවයෙන් පසුව ප්‍රතිගාමීත්වය නැගෙන සමයේ. ජෝසේෆ් ඩි මයෙස්ත්‍රී නම්වූ ප්‍රතිවිප්ලවවාදීන්ගේ දාර්ශනිකයෙකි. පසුව එය ලිබරලුන් ද තොරොම්බල් කලේය.

මහජනයාගේ අනුවනකමින් මේ ආන්ඩුව හා පසුගිය ආන්ඩු බලයට ආවේ යයි ලංකාවේ ව්‍යාජ වාම කන්ඩායම් දෙස්දෙවොල් තියති. මොවුන් ක්‍රියා කරන්නේ ද පාලක පන්තියේ ක්ෂමාලාපක අද්වකාත්ලා ලෙස ය.

කම්කරු පන්තිය ධනපති පන්තිය හා එහි ආන්ඩු එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව සටනට යලියලිත් පිවිස තිබේ. එය දුර්මුඛ කර ආපස්සට හරවා යැවුවේ වෘතිය සමිති, ව්‍යජවාම කන්ඩායම් හා අවශේෂ අවස්ථාවාදීන් විසිනි. ධනපති පන්තියේ කිසිම කන්ඩායමක් කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අවශ්‍යතාවලට සේවය නොකරති.

ඔවුන්ට සිය ඓතිහාසික අවශ්‍යතාව වන සමාජවාදයට සටන් කිරීමට තමන්ගේම විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යය. සමාජවාදය සඳහා සටන් නොකර අද දින කම්කරුවන්ට තම අයිතීන් ද දුගීන්ගේ හා තරුනයන්ගේ අයිතීන්ද රැකදිය නොහැකිය. ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි: “ධනේශ්වර පන්තියේ ආර්ථික බලය මගින්, අධ්‍යාපනය මගින්, ඔවුන්ගේ නගර සභා සහ විශ්ව විද්‍යාල මගින් ධනේශ්වර විප්ලවය තුල ඉටු කරන ලද ක්‍රියා කලාපය, කම්කරු පන්ති විප්ලවයකදී ඉටුකල හැක්කේ කම්කරු පන්තියේ පක්ෂයට ම පමනි. පන්ති සතුරා ද වඩාත් දැනුවත්ව සිටීය යන කරුන සැලකිල්ලට ගන්නා කල්හි පක්ෂයේ කාර්ය භාරය වඩාත්ම වැදගත් බවට පත්ව ඇත.” (ඔක්තෝබරයේ පාඩම්, ලියොන් ට්‍රොට්ස්කි, සිංහල පරිවර්තනය, පිටුව 84, කම්කරු මාවත ප්‍රකාශන).

කම්කරු පන්තිය තමන්ගේ විප්ලවවාදී පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයත් එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියත් ගොඩ නැගීමට කම්කරුවන්, තරුනයින් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන් පෙරට ආ යුත්තේ මේ නිසාය.