ඉක්වදෝර ආන්ඩුව පෙන්ටගනයට ගැලපගෝස්හි කඳවුරක් ලබා දෙයි

Ecuadorian government gives Pentagon a base in the Galapagos

2019 ජුනි 18

සැන් ක්‍රිස්ටෝබල් ගැලපගෝස් දිවයින මිලිටරි කඳවුරක් ලෙස භාවිතා කිරීම සඳහා එක්සත් ජනපද මිලිටරියට අවසර දීමේ එකඟතාවකට ජනාධිපති ලෙනින් මොරේනෝගේ ඉක්වදෝර ආන්ඩුව එලඹ ඇත.

පසුගිය සතියේ ප්‍රසිද්ධ කල මෙම ගිවිසුම, රටෙහි ජාතික ස්වෛරීත්වය හා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන්නෙක් ලෙසත්, පෘථිවියේ වඩාත් ම වටිනා හා සංවේදී පාරිසරික අඩවියකට තර්ජනයක් ලෙසත්, නිවැරදි ව දැකගන්නා ඉක්වදෝරය තුල මහජන කෝපය අවුලුවා ඇත.

ගැලපගෝස්හි සැන් ක්‍රිස්ටෝබල් දිවයිනේ මුහුදු සිංහයෙක්

එක්සත් ජනපද මිලිටරිය කඳවුරුගත වීමට නියමිත සැන් ක්‍රිස්ටෝබල් යනු, 1835 දී එච්එම්එස් බීගල් සිට චාල්ස් ඩාවින් වෙරල සංචාරය සඳහා පලමු වරට ගිය දිවයින යි. සාගර තරංග තුනක් එක්රැස් වන ස්ථානයක පිහිටා ඇති, ඉක්වදෝර වෙරලේ සිට සැතපුම් 620ක් දුරින් පිහිටා ඇති නො නවතින භූමි කම්පා හා ගිනිකඳු ක්‍රියාකාරී වන්නා වූ, අතිශයින් හුදකලා මෙම දිවයින සත්ත්ව ජීවිතයේ සුවිශෙෂ රූපයන්ට ප්‍රභවය ලබාදුන්නේ ය. එම රූපයන්ට, ස්වාභාවික වරනය මගින් පරිනාමය වීමේ ඩාවින්ගේ න්‍යායට ආවේශය සැපයූ ගොඩ තලගොයා, යෝධ ඉබ්බා හා බොහෝ පක්ෂි වර්ග අයත් වේ.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් හා ජෛවගෝල රක්ෂිතයක් ලෙස වර්ගීකරනය කරන ලද මෙම දිවයින, ලතින් ඇමරිකාව පුරා එක්සත් ජනපද මිලිටරිවාදයේ කොල්ලකාරී හා මාරක මෙහෙයුම් දියත් කරන අඩවියක් බවට පත්වනු ඇත. කලාපයේ ජනයාගේ ජීවිතවලට හා නිදහසට මෙන් ම, පෘථිවියේ ජෛව විවිධත්වය අතින් වඩාත් ම වටිනා ප්‍රදේශයක පාරිසරික ඒකාග්‍රතාවට ඍජු තර්ජනයක් බවට මෙම කඳවුර පත්වනු ඇත.

ලතින් ඇමරිකාවේ ධනපති පාලක පන්තීන් අධිරාජ්‍යවාදයට දක්වන දීන යටත් භාවය හා ඔවුන්ගේ අපරාධකාරීත්වය, මීට වඩා වෙනත් කිසිවකින් මෙතරම් නග්න ලෙස ප්‍රකාශයට පත්කල නො හැක.

පෙන්ටගනය සමග ගනුදෙනුව ඔජ වඩවමින්, ඉක්වදෝර ආරක්ෂක ඇමති හා හිටපු ජෙනරාල් ඔස්වල්ඩෝ හාරින් ප්‍රකාශ කලේ: “ඉක්වදෝරයට ගැලපගෝස් යනු අපගේ ගුවන්යානා ගෙන යන අඩවිය හා අපගේ ස්වාභාවික අඩවිය වන්නේ, එය අපට ස්ථීරත්වය, නැවත පිරවීම, සංඥා පහසුකම් ලබාගැනීම හා එය අපගේ වෙරලේ සිට කිලෝමීටර 1,000ක් දුරින් පිහිටීමත් නිසා ය.”

2008 පටන් රට “සාමයේ භූමි භාගයක්” ලෙසත්, “විදෙස් මිලිටරි කඳවුරු පිහිටුවීමට හෝ මිලිටරිමය කටයුතු සඳහා විදේශයන්ට පහසුකම් ලබාදීමට ඉඩ නො දෙනු ඇති” බවත්, ඉක්වදෝර ව්‍යවස්ථාව ප්‍රකාශ කොට ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ කඩතුරාව යටතේ එක්සත් ජනපද මිලිටරිය ගුවන් යානා අධීක්ෂනය කර තිබුනු පැසිෆික් වෙරලේ මැන්ටා ගුවන් කඳවුරෙන් එක්සත් ජනපද භටයන් ඉන් වසරකට පසුව ඉක්වදෝරය විසින් නෙරපා හැරියේ ය.

“(මැන්ටා) කඳවුර ඒ සමයේ කල දෙය, එක්සත් ජනපදය වැනි බලයක ධාරිතාව සතුව පමනක් ඇති දියුනු තාක්ෂනය හේතුවෙන් දැන් එක් ගුවන් යානයක් පමනක් යොදාගෙන කල හැකි” යි ප්‍රකාශ කරමින් ඉක්වදෝර ආරක්ෂක ඇමති පෙන්ටගනයේ බල පරාක්‍රමය වර්නනා කලේ ය.

ඔහු සඳහන් කරන ගුවන් යානය වන්නේ, නාවික සැතපුම් 4,500කට අධික විහිදුම් කලාපයක් ඇති බෝයිං 707 ගුවන් අනතුරු ඇඟවුම් හා පාලක පද්ධතිය (ඒඩබ්ලිව්ඒසීඑස්) යි. අඩි 30,000කට ඉහලින් පියාසර කරන එයට, වර්ග සැතපුම් 120,000ක් ආවරනය කරන ප්‍රදේශයක් අධීක්ෂනය කිරීමේ හැකියාව ඇත. ගැලපගෝස්හි එහි කඳවුරේ සිට මෙම බලගතු යානයට වෙනිසියුලාව ආක්‍රමනය කිරීම සූදානම් කිරීමටත්, ඉක්වදෝරයේ ම ජනයා පිලිබඳ ඔත්තු බැලීමටත්, උතුරු දෙසට ගලා එන මධ්‍යම ඇමරිකානු සංක්‍රමනිකයන් පිලිබද ඔත්තු බැලීමට පවා හැකියාව ඇත. එය සමග සහයෝගයෙන් සීතල යුද සමයේ සෝවියට් න්‍යෂ්ටික සබ්මැරීනයන්ගේ ගමන් මාවත් පිලිබඳ පිරික්සීමට වර්ධනය කරන ලද ගුවන් යානයක් වන ලොක්හීඞ් ඔරියන් පී3 යානය ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් ජනපද කඳවුර සතුව යෝධ භූ-මූලෝපායික වැදගත්කමක් තිබේ. 1911 පටන්, එනම් පැනමා ඇල සම්පූර්න කිරීමට වසර තුනකට පෙර පටන්, එහි කඳවුරක් ස්ථාපනය කිරීමේ හැකියාව වොෂින්ටනය විසින් සොයා බලා තිබුනි. දෙවන ලෝක යුද සමයේ එක්සත් ජනපද මිලිටරිය ගැලපගෝස් දූපත් සමූහයේ කුඩා දිවයිනක් වන බෝල්ට්‍රාහි කඳවුරක් ස්ථාපනය කලේ, ජපානය හා ජර්මනිය පැසිෆික් සාගරයෙන් පැනමා ඇලට ඇතුලුවීම වැලැක්වීමට භටයන් 2,500ක් මෙන් ම යුද යානා හා නාවික වස්තූන් රඳවමිනි.

අද දින, නැගෙනහිර පැසිෆික් ප්‍රදේශයේ පෙන්ටගනය විසින් එක්සත් ජනපද මිලිටරි ඔත්තු බැලීමේ යානා රඳවමින් සිටින්නේ, ආර්ථික හා භූ-මූලෝපායික තරඟකරුවෙක් ලෙස චීනයේ ඉස්මතුවීම වැලැක්වීම ඉලක්ක කරගෙන මුදා හරින වෙලඳ යුද්ධයේ හා මිලිටරි ගොඩනැංවීමේ වාතාවරනය යටතේ ය.

චීන ආයෝජන හා ඉක්වදෝරය චීනයට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 6ක නය, යැංකි අධිරාජ්‍යවාදයේ “පිලිකන්නට” බීජිනය කරන දැරිය නො හැකි මැදිහත්වීමෙහි රෝග ලක්ෂනය ලෙස වොෂින්ටනය විසින් පෙන්නුම් කරන තතු තුල, තීව්‍ර වන මෙම “මහා බල” ගැටුමේ වැදගත් පොරපිටියක් බවට ඉක්වදෝරය පත් වේ.

වොෂින්ටනයේ ඇනවීම්වලට දනගැසීම සඳහා ජනාධිපති මොරේනෝගේ ආන්ඩුව එයට හැකි සෑම දෙයක් ම කර ඇත. මෙම ක්‍රියාමාර්ග ඔස්සේ එලඹුනු ගිවිසුමේ, වසරකට පෙර එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් කිටෝ වෙත කල සංචාරයේ දී අත්සන් කොට, මුද්‍රා තබා නිදහස් කල කොන්දේසි, දැන් පැහැදිලි වී ඇත.

පලමුව හා ප්‍රමුඛ ව, 2012 දී ජූලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරනය ප්‍රදානය කරන ලද ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දොරටු විවෘත කල මොරේනෝ ආන්ඩුව, ඔහු ව ඉන් ඉවතට ගැනීමට බි්‍රතාන්‍ය පොලීසියේ හදිසි වැටලීම් කන්ඩායමකට පසුගිය අප්‍රේල් මාසයේ ඉඩදුන්නේ ය.

මොරේනෝ හා ඔහුගේ හෙංචයියන් කියා සිටියේ, විකිලීක්ස් සමාරම්භකයා වධබන්ධනයට, මරන දඬුවමට හෝ ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගත කිරීමට මුහුන දෙන රටකට උදර්පනය නො කරන බවට බි්‍රතාන්‍යය සහතික වුනු බව යි. ඔවුන්ගේ පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස, අසාන්ජ් දැන් එක්සත් රාජධානියේ උපරිම ආරක්ෂාව සහිත බෙල්මාෂ් බන්ධනාගාරයේ වධබන්ධනයට සමාන කොන්දේසි යටතේ රඳවා සිටින අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හා අපරාධකාරී කුමන්ත්‍රන හෙලිදරවු කිරීම නිසා, මරන දඬුවමකට ලක්කල හැකි ඔත්තු බැලීමේ පනත යටතේ වන චෝදනාවන් ද ඇතුලු අපරාධ චෝදනා 18කට ඔහු මුහුන පාන එක්සත් ජනපදයේ උදර්පන ආයාචනයකට, එක්සත් රාජධානියේ ස්වදේශ ඇමතිවරයා අත්සන් තබා ඇත.

ඒ අතර ම, ඉක්වදෝරයේ වාසය කරන ස්විස් ජාතික වැඩසටහන්කරන ශිල්පියෙක් හා අසාන්ජ්ගේ මිතුරෙක් වන ඕලා බිනි චෝදනා රහිත ව මාස දෙකක් තිස්සේ බන්ධනාගාරගත කර සිටී. ඔහු ව එක්සත් ජනපද ප්‍රශ්න විමසන්නන්ට බාර දෙන බවට ඉක්වදෝර බලධාරීන් ඉඟිකර ඇත.

අසාන්ජ් පිලිබඳ සිද්ධියේ දී රැකවරනයට ඇති අයිතිය, ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම හා ජාත්‍යන්තර නීතිය මැඩීම, කිටෝහි විදෙස් පිලිවෙත එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙත සමග රැඩිකල් ප්‍රතිසංවිධානය කිරීමක් සමග අත්වැල් බැඳගෙන ඇත්තේ, වෙනිසියුලාව තුල වොෂින්ටනයේ තන්ත්‍ර-මාරු මෙහෙයුමේ වඩාත් උද්‍යෝගිමත් ආධාරකරුවෙකු බවට මොරේනෝ පත්වෙද්දී ය.

රට තුල මොරේනෝ ආන්ඩුව ඉක්වදෝර කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්ත්වයන් මත නිර්දය ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, ජාමූඅ සමග එය එලඹුනු ගිවිසුම මගින් ඉල්ලා සිටින කප්පාදු පියවරයන් කැපවීමෙන් ක්‍රියාවට දමමිනි.

මෙම ප්‍රහාර හා අසාන්ජ් පාවාදීම යන දෙක ම විරෝධතා අවුලුවා ඇති අතර, එම විරෝධතා පොලිස් මර්දනයට මුහුන දී ඇත.

ඉක්වදෝරයේ මොරේනෝ ආන්ඩුව දකුනට වේගයෙන් පැදීම, ලතින් ඇමරිකාවේ විවිධාකාර ජනතාවාදී හා ජාතිකවාදී ධනේශ්වර පක්ෂ විසින් පාලනය කිරීම හෙවත් ඊනියා “රෝස රැල්ල” යන දෙයෙහි පලල් ඉරනමෙහි කොටසකි. බ්‍රසීලයේ කම්කරු පක්ෂය බලයෙන් ඉවත් කොට ෆැසිස්ට්වාදී ජනාධිපති හායිර් බොල්සොනාරෝ බලයට පත්වීම, 2015 දී ආර්ජන්ටිනාවේ පෙරෝන්වාදී කර්ෂ්නර් රාජවංශය දක්ෂිනාංශික කෝටිපති මවුරුසියෝ මාක්රි විසින් විස්ථාපනය කිරීම සහ වෙනිසියුලාවේ නිකොලස් මදුරෝගේ හා නිකරගුවාවේ ඩැනියෙල් ඔර්ටේගාගේ ආන්ඩුවල තීව්‍ර අර්බුද ඊට අයත්ය.

ලතින් ඇමරිකාව තුල මෙම දකුනට හැරීම සූදානම් කරන ලද්දේ, පසුගිය දශක දෙක පුරා ඊනියා “වමට හැරීම” සමග අනන්‍ය වුනු ආන්ඩු විසිනි. ජාතිකවාදී හා “සමාජවාදී” පූච්චානම් යොදාගන්නා අතර ම, ලතින් ඇමරිකාවේ, එක්සත් ජනපදයේ හා යුරෝපයේ ව්‍යාජ-වම්මුන් විසින් අනවරත ව දිරිමත් කරන ලද ඔවුන් ධනේශ්වරය විසින් පාලනය කරන ආන්ඩු තුල රැඳී, පුද්ගලික දේපොල ආරක්ෂා කිරීමටත් දේශීය හා විදේශීය යන දෙවගේ ම ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙනුත් කැප වුනි.

රටවල් තුල මැදහත් සමාජ සහකාරක වැඩසටහන් හඳුන්වා දෙමින්, වොෂින්ටනය සම්බන්ධයෙන් වඩා ස්වාධීන ඉරියවුවක් අනුයෑමට ඔවුන්ට ඉඩ ලබාදුන් භාන්ඩ හා නැගී එන වෙලඳපොල බුබුලේ ඇද වැටීමට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ, කම්කරු පන්තිය මත ප්‍රහාර තීව්‍ර කරමිනි. අවසාන ප්‍රතිඵලය වූයේ, මෙම ආන්ඩු කෙරෙහි මහජන විරෝධය වැඩී, කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් නැති තතු තුල දක්ෂිනාංශයට යලි මාවත පෑදීම යි.

ඉක්වදෝරය තුල මෙම දේශපාලන ක්‍රියාදාමය පුද්ගලාරෝපනය කරන්නේ වර්තමාන ජනාධිපති විසිනි. ලෙනින් මොරේනෝ දේශපාලනයට පිවිසියේ, ලතින් ඇමරිකාව මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයටත්, එම ආධිපත්‍යය විසින් බිහිකල ෆැසිස්ට්-මිලිටරි ආඥාදායකත්වයන්ටත්, එරෙහි ව විරෝධයා පෑ රැඩිකලීකරනය වූ ශිෂ්‍ය පරම්පරාවක කොටස්කාරයෙක් වසයෙනි. ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ, කස්ත්‍රෝවාදයේ හා ගෙවාරාවාදයේ සුලු-ධනේශ්වර ජාතිකවාදී හා ගරිල්ලවාදී දේශපාලනය උත්කර්ෂයට නැංවූ එම්අයිආර් හෙවත් විප්ලවවාදී වාම ව්‍යාපාරයේ සාමාජිකයෙක් ලෙසිනි.

තම තරුන අවධියේ දී මෙවන් රැඩිකල් සුලු-ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට සහභාගි වූ අනෙක් බොහෝ අය මෙන් (මෙයට හිටපු බ්‍රසීල ජනාධිපතිනි දිල්මා රුසෙෆ් ද ඇතුලත් ය) මොරේනෝ ද ඔහුගේ තරුන කාලයේ රැඩිකල්වාදය බොහෝ කලකට පෙර අත්හැරියේ, අධිරාජ්‍යවාදයේ හා ඉක්වදෝරයේ පාලක කතිපයාධිකාරයේ නිර්දය දේශපාලන බලධාරියෙක් බවට පත්වෙමිනි.

හිටපු උප ජනාධිපති ලෙස, බොලිවාරියානු විප්ලවයේ ස්වයං-ප්‍රකාශිත ආධාරකරුවෙක් වන ජනාධිපති රෆායෙල් කොරෙයාගේ අතින් ඇහිඳ ගත් අනුප්‍රාප්තිකයා මොරේනෝ විය. තම පැරනි දේශපාලන සගයාට එරෙහි ව කටුක ලෙස හැරුනු මොරේනෝ, ඉක්වදෝරය ප්‍රචන්ඩ ලෙස දකුනට හරවා ඇති පිලිවෙත් ක්‍රියාවට දැමූ අතර, එම ක්‍රියාවලිය ඒ වනවිටත් කොරෙයා යටතේ ආරම්භ වී තිබුනි.

ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ කාන්දු වූ ඊ-මේල් පනිවුඩ විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව, වොෂින්ටනයේ පීඩනය යටතේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ජූලියන් අසාන්ජ්ගේ අන්තර්ජාල සම්බන්ධතාව ඉවත් කල යුතු යයි පලමු වරට නියෝග කලේ කොරෙයා බව යලි මතකයට ගත යුතු ය. ඊට වසර දෙකකට පෙර, ධනේශ්වර මූල්‍ය වෙලඳපොලවල විශ්වාසය දිනාගැනීම සඳහා, ඔහු ඉක්වදෝරයේ රත්තරන් සංචිතවලින් අඩකට වැඩි ප්‍රමානයක් ගෝල්ඞ්මන් සැක්ස් වෙත මාරුකර යවා තිබුනි.

එක්සත් ජනපදය වෙත ගැලපගෝස්හි කඳවුරක් පිහිටුවීමට ඉඩ දීම වනාහි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම, කලාපයේ ආන්තික දරිද්‍රතාව හා අසමානතාව ජයගැනීම හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යය මුලිනුපුටා දැමීම ලඟා කරගත හැක්කේ, බ්‍රසීලයේ කම්කරු පක්ෂය, වෙනිසියුලාවේ චාවේස්වාදය හා ආජන්ටිනාවේ පෙරෝන්වාදය සහ ඒ හා සමාන ව්‍යාපාර ඇතුලු සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව, ලතින් ඇමරිකාවේ කම්කරුවන්ගේ අරගල, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා භූගෝලය පුරා කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කරන සමාජවාදී ක්‍රියාමාර්ගයක් යටතේ පමනක් ය යන්න මුලුමනින් ම සනාථ වීමකි.

බිල් වෑන් ඕකන්