ජූලි හතරවැනිදාට වොෂින්ටන් ඩීසීහි වීදිවල යුද ටැංකි

Tanks on the streets of Washington, DC for the Fourth of July

2019 ජූලි 2

නිදහස් දින සැමරීමේ සැලසුම් අරබයා මිලිටරිය ඇතුලත සිදුකෙරීගෙන යන සාකච්ඡාවල දී ඩොනල්ඞ් ට්‍රම්ප් ආධිපත්‍යය දරන්නේ නම්, එම්1ඒ1 ඒබ්‍රම්ස් ටැංකි ඇනි ජාතික පරිශ්‍රය දෙසට පොටෝමැක් මතින් ගමන් කිරීමට සූදානමින් සිටිනු ඇත්තේ, නේවි බ්ලූ ඒන්ජල් ප්‍රහාරක ප්‍රදර්ශන ඇනිය, මැරයින් ගුවන් යානා ඇනි හා එෆ්-35 රහස් ප්‍රහාරක යානා කැපිටල් හිල්ට ඉහලින් පස්වරුවේ පියාසර කිරීමට සූදානම් වෙද්දී ය.

සන්ධ්‍යාවට පෙර, ප්‍රහාරක යානාවල ගිගුරුම් හඬ පසෙකින් තිබිය දී, ට්‍රම්ප් ඔහුගේ සහකරුවන් අමතා ජාතික ව විකාශනය කෙරෙන කතාවක් පවත්වනු ඇත.

මෙලෙස කොංග්‍රසය ධවල මන්දිරයෙන් වෙන් කරන ඉඩම් තීරුවේ සැලසුම් කර ඇති මිලිටරි බලය ප්‍රදර්ශනය කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී උපදේශකවරුන් විසින් හිතාමතා සැලසුම් කරන ලද දේශපාලනික ප්‍රකෝපකරනයකි. සාම්ප්‍රදායික ව රතිඤ්ඤා දල්වමින් කරන නිදහස් දින සැමරුම, උද්ඝෝෂන පන්නයේ මිලිටරි පෙරෙට්ටුවක් මගින් විස්ථාපනය කිරීම මගින් ට්‍රම්ප් තම ශක්තිය පරීක්ෂා කරමින් සිටී.

විධායක අංශයේ පුද්ගලික බලය මිලිටරිය මත අවධාරනය කරමින් ට්‍රම්ප් අනුගමනය කරන්නේ, ආඥාදායක පාලනයක් හා ව්‍යවස්ථාමය අයිතීන් අහෝසි කිරීම දෙසට වන ඓතිහාසික මාවතකි.

“ජාතික හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත්කිරීමට හා දේශසීමාව මත කඩාපැනීමට බිලියන ගනන් වැයකිරීමට ට්‍රම්ප්ට දැනට මත් බලය දී ඇති ව්‍යවස්ථාදායක අංශය, කැපිටල් ගොඩනැගිල්ලේ සෙවනැල්ල තුල යුද ටැංකි පැවතීමේ භව්‍යතාවට දැන් මුහුන දෙයි. මේ ගෙවී යන සතියේ ඩිමොක්‍රටික් පක්ෂය, (1) සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ කඩාපැනීමට ඩොලර් බිලියන 4.9කුත්, (2) එදා මෙදාතුර විශාලතම මිලිටරි අයවැයට අරමුදල් සැපයීමටත්, (3) දේශසීමා තාප්පයක් ඉදිකිරීම සඳහා පෙන්ටගනයෙන් ට්‍රම්ප් විසින් වෙන්කර ගත් “පසු-පිරවුම්” මුදල් සඳහාත් ඡන්දය දුන්නේ ය. ට්‍රම්ප්ගේ පියවරයන්ට ඩිමොක්‍රටික් පක්ෂයට විරුද්ධ විය නො හැක්කේ ඔවුන් දෙගොල්ලන් ම එකම සමාජ අවශ්‍යතා -මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා- නියෝජනය කරන බැවිනි.

මාර්තු මාසයේ ලිමා යුද හමුදා ටැංකි කර්මාන්ත ශාලාවේ කතා කරන ට්‍රම්ප් (ස්තුතිය: ධවල මන්දිරය) [Credit: The White House]

ජූලි 4 සැමරුම “ඇමරිකාවට ආචාරය පලකිරීමක්” වනු ඇති බවත්, “ඔබගේ කැමති ම ජනාධිපති, එනම් මම කරන කතාවක්” එයට ඇතුලත් වනු ඇති බවත් ට්විටර් පනිවුඩයක සඳහන් කරමින් ට්‍රම්ප් පෙබරවාරියේ ඔහුගේ නිදහස් දින සැලසුම් නිවේදනය කලේ ය.

ජූනි 28දා, එනම් නිවාඩු දිනට සතියකටත් අඩු කාලයක් පවතිද්දී, නිදහස් දින සැමරුමට අගනුවරට ඉහලින් කරන මිලිටරි පියාසර කිරීම් ඇතුලත් වනු ඇති ය යන පෙර නුවූ විරූ නිවේදනය, ට්‍රම්ප්ගේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදුකලේ ය. පරිස්සමින් තෝරාගත් වචන පාවිච්චි කරමින් අභ්‍යන්තර ලේකම් ඬේවිඞ් බර්න්හාඞ්ට් කීවේ, සැමරුමට “අපේ ප්‍රධාන අනදෙන නිලධාරියාගේ කතාවක්” ඇතුලත් වනු ඇති බව යි. ජූලි 1දා මාධ්‍ය වාර්තා කලේ යුද ටැංකි හා අනෙකුත් මිලිටරි වාහන ද යොදාගන්නා ලෙස ට්‍රම්ප් ඉල්ලා සිටි බව යි.

ජූලි 4 සැමරුම සඳහා ට්‍රම්ප්ගේ සූදානම් වීම් 2017 ජනවාරිය දක්වා ආපස්සට දිවෙන අතර, එහි දී ඔහුගේ සමාරම්භක කමිටුව, ආරම්භක පෙරෙට්ටුවට මිලිටරි භටයන් හා වාහන ඇතුලත් කරගැනීමට උත්සාහ කලේ ය. සමාරම්භක උත්සවයට දින කිහිපයකට පෙර ට්‍රම්ප් වොෂින්ටන් පෝස්ට් වෙත මෙසේ කීවේ ය: “අප මිලිටරිය ගොඩනගමින් සිටින ආකාරය ජනතාවට පෙන්වන්නට යනවා, අපි අපේ මිලිටරිය ප්‍රදර්ශනය කරනවා. පෙන්සිල්වේනියා වීදියේ පෙලපාලි දක්වමින් මිලිටරියට පැමිනිය හැකි යි.”

මෙම ප්‍රදර්ශනය සිදුකිරීමෙන් මිලිටරිය ට්‍රම්ප් ව වැලැක්වූ අතර, ට්‍රම්ප් උත්සාහ කලේ ඔහුගේ සමාරම්භක කතාව සිදුකරද්දී සොල්දාදුවන් ඔහු පිටුපස පෙලගස්වා ගැනීමට යි. 2018 දී ඔහු යලි වතාවක් යුද ප්‍රවීනයන්ගේ දිනයේ දී මිලිටරි පෙරෙට්ටුවක් සඳහා කැඳවුම් කල නමුත්, එය ද අවලංගු කරන ලදී.

පසුගිය වසරේ මධ්‍යවාර මැතිවරනයේ පටන්, මිලිටරිය මත තම පුද්ගලික බලය පරීක්ෂා කිරීම ට්‍රම්ප් විසින් දිගට ම සිදුකර ඇත්තේ, යුද අපරාධ සඳහා වැරදිකාරී වූ සොල්දාදුවන්ට සමාව දීම යෝජනා කරමින් හා ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියාගේ නමින් භාගික ව නම් කර ඇති යූඑස්එස් ජෝන් මැකේන් නමැති නාවික ප්‍රහාරක නෞකාව ජනාධිපතිවරයාගේ දෘෂ්ටියෙන් ඈත් කරන ලෙස නියෝග කරමිනි.

ට්‍රම්ප් වනාහි ඔහු නොමැති නම් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක අපගමනයක් නො වේ. ඔහු දිග්ගැස්සුනු ක්‍රියාවලියක ප්‍රතිගාමී නිෂ්පාදිතය යි.

වොෂින්ටනය හරහා යුද ටැංකි හා භටයන් ගමන් කල අවසන් වතාව වන්නේ, එක්සත් ජනපදයේ පලමු ඉරාක ආක්‍රමනයේ අවසානය සනිටුහන් කරමින් ඊනියා “ජාතික විජයග්‍රාහී සැමරුමේ දී” සොල්දාදුවන් 8,000ක් පෙලපාලියෙන් ගිය 1991 ජුනි මාසය යි. එවකට ද දැන් මෙන් ම මිලිටරි පෙරෙට්ටුව දිශාගත කරන ලද්දේ දැනුවත් දේශපාලනික අවශ්‍යතාවක් වෙනුවෙනි. 1991 පෙරෙට්ටුව සිදු වූයේ, සෝවියට් සංගමය බිඳ විසුරුවීම සිදුකිරීම මධ්‍යයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය “ඒකධ්‍රැව නිමේෂය” ලෙස හංවඩු ගැසූ සමස්ත ලෝකය මත එහි අනභියෝගී භූ-දේශපාලන ආධිපත්‍යය ප්‍රකාශ කරමින් සිටිය දී ය.

වියට්නාම් ජාතිකයින් මිලියන තුනක් හා ඇමරිකානු සොල්දාදුවන් 55,000ක් ඝාතනය කල විනාශකාරී වියට්නාම් යුද්ධයෙන් පසු දශකවල පුලුල් ව පැතිර පැවතුනු යුද-විරෝධී මනෝගතිය, අසංතුලිත මිලිටරි ජයග්‍රහනයක් විසින් අවලංගු කරනු ඇති ය යන අපේක්ෂාවට සැඳහුම් කරමින්, “අපි අවසානයේ වියට්නාම් ව්‍යාධියට පයින් ගසා තිබෙනවා” යි මිලිටරි පෙරෙට්ටුවට සති කිහිපයකට පෙර ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ප්‍රකාශ කලේ ය.

පෙරෙට්ටුව සනිටුහන් කලේ, දේශපාලන හා සංස්කෘතික ජීවිතයේ සෑම අංශයකට ම මිලිටරිය ක්‍රමානුකූල ව ඒකාග්‍ර කිරීමේ උත්සාහයක ආරම්භය යි. අනවරත යුද්ධයේ වසර 30කට පසුව, එක්සත් ජනපදය උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ සමාජයන් ඝාතනය කිරීම සිදු කර ඇත්තේ එක් ව්‍යසනයකට පසු තවෙකක් නිර්මානය කරමිනි. ඇමරිකානු ධනවාදයේ ගෝලීය ස්ථානයෙහි දීර්ඝ-කාලීන පිරිහීම විසඳනු වෙනුවට, එක්සත් ජනපදය දැන් සෑම කොනක ම තරඟකරුවන් දැක ගන්නේ හා දකින්නේ, රට තුල දී වැඩෙන සමාජ අතෘප්තියකට මුහුන දෙමිනි. පාලක පන්තිය කලබලකාරී ලෙස ලෝක යුද්ධය හා දේශීය මර්දනය සඳහා සූදානම් වෙමින් සිටී.

ට්‍රම්ප් වනාහි අපගමනයක් නො වේ ය යන්න නාමික විපක්ෂයේ ප්‍රතිචාරය මගින් ප්‍රදර්ශනය කරනු ලැබේ. ට්‍රම්ප් පත්වූ දා පටන්, ඩිමොක්‍රටික් පක්ෂය, අගනුවර මිලිටරිය බලමුලුගැන්වීමේ ට්‍රම්ප්ගේ උත්සාහයන් මගින් ඉදිරිපත් කරනු ලබන අන්තරාය මහජනයා ඉදිරියේ පහත හෙලා ඇත.

මධ්‍ය-වාර මැතිවරනයෙන් පසු පෙන්සිල්වේනියා වීදියේ මිලිටරිය පෙලපාලි දැක්වීම ට්‍රම්ප් විසින් යෝජනා කල විට, එවන් උපාමාරුවක දේශපාලන ගම්‍යයන් වෙත අවධානය යොමුකිරීම ඩිමොක්‍රටිකයන් ප්‍රතික්ෂේප කලේ ඒවා පිලිබඳ ව හොඳින් ම දැනුවත් ව සිටිමින් ය. ඒ වෙනුවට ඩිමොක්‍රටිකයන් කියා සිටියේ පෙරෙට්ටුව “වඩා මිල අධික වනු” ඇති බව යි.

සංගත මාධ්‍ය මෙම වංක ආඛ්‍යානය සමග ඉදිරියට ගමන් කලේ, වීදිවල යුද ටැංකි ගමන් කිරීම නගරයේ පාරවල්වලට හානි කරනු ඇතැයි කියමින් එයට විරෝධය ප්‍රකාශ කරමිනි. ජූලි 1දා ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන වොෂින්ටන් ඩීසී නගර සභාව, ට්විටර් පනිවුඩයක නීරස විහිලුවක් කලේ ය: “යුද ටැංකි එහෙත් ටැංකි නැහැ.”

ට්‍රම්ප්ගේ පියවරවල ආඥාදායක ස්වභාවය ඩිමොක්‍රටිකයන් විසින් අඩුවෙන් තැකීමේ සැබෑ හේතුව වන්නේ පහලින් එන විරෝධය කෙරෙහි එහි භීතිය යි. ට්‍රම්ප්ගේ ජූලි 4 සැලසුම් පිලිබඳ ව නිව් යෝක් ටයිම්ස් මෙසේ ලීවේ ය: “ඩිමොක්‍රටික් සාමාජිකාවක් හා කොංග්‍රසය තුල කොලොම්බියා දිස්ත්‍රික්කය (ඩීසී) නියෝජනය කරන එලිනෝර් හෝම්ස් නෝටන් කීවේ, ජනාධිපතිවරයා පෙනී සිටීම ට්‍රම්ප්-විරෝධී විරෝධතා ජනනය කල හැකි පවුලක සිද්ධියක් තරමට දේශපාලනීකරනය වීම ගැන ඇය කනගාටු වන බව යි.”

ටයිම්ස් හෝම්ස් නෝටන් ව උපුටා දැක්වී ය: “මහජනයා කෝප වෙමින් සිටිනවා. මෙය එදා මෙදාතුර කෝපාවිෂ්ට ම ජූලි 4වැනිදා යි. මහජනයා කොතරම් කෝපයට පත්වනු ඇද්ද යතහොත්, දේශපාලන චරිතයක් ජූලි හතරවැනිදා අත්පත් කරගනිද්දී, තමන්ගේ අතෘප්තියට දේශපාලන ප්‍රකාශනයක් සොයාගත යුතු යයි විශ්වාස කරන බොහෝ දෙනෙක් ඔබට හමුවනු ඇති.”

ජුනි මාසයේ ප්‍රකාශයක් නිකුත් කල නිව් යෝක් ටයිම්ස් කර්තෘ මන්ඩල සාමාජික මිචෙල් කොට්ලේ, ඒ හා සමාන ව කනගාටු වූයේ ට්‍රම්ප් “මහජන එකමුතුව පිලිබඳ ව කිසිසේත් නො තකන” බවත්, ඔහුගේ ක්‍රියාවන් “ජාතිය තුල බෙදීම් අවුලුවන” බවත් සඳහන් කරමිනි. එවැනි ප්‍රකාශ හෙලිදරවු කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය වනාහි ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පියවරවල උදවුකරුවෙක් වසයෙනි.

ට්‍රම්ප් පරිපාලනය විසින් සිදුකරන ඓතිහාසික අපරාධ පිලිබඳ ව කෝටි සංඛ්‍යාත ජනයා ඇත්ත වසයෙන් ම “කෝපයෙන්” පසුවන අතර එය යුක්තිසහගත ය. ඔහුගේ කුඩා සහයෝගී පදනමෙන් ඔබ්බේ ට්‍රම්ප් ආඥාදායක තර්ජනයන්ට ජනගහනයේ අතිමහත් බහුතර සාමාන්‍ය මහජනයා අතරින් සහයෝගයක් නැත.

වොෂින්ටනයේ මිලිටරි පෙරෙට්ටුවක් පැවැත්වීමේ ට්‍රම්ප්ගේ යෝජනාව, අපකීර්තිමත් හා වඩ වඩා ආඥාදායක පාලන ක්‍රමයක කොටසකි. 2020 මැතිවරනයෙන් ට්‍රම්ප් පරාජය වුවහොත් එය නො තකා සිටින බවට ඔහු යලි යලිත් තර්ජනය කර ඇතත්, ඩිමොක්‍රටිකයෝ එය වංක ලෙස “විහිලුවක්” යයි සැඳහුම් කර තිබේ.

පසුගිය සතියේ, එක්සත් ජනපදය තවත් විනාශකාරී යුද්ධයකට ඇදගෙන යමින්, ඉරානය “වැනසීම සඳහා කුදුමහත් බලය යොදාගන්නා” බවට ට්‍රම්ප් තර්ජනය කලේ ය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සමයේ එක්සත් ජනපදය විසින් සිදුකල යුද අපරාධ හෙලිදරවු කිරීම නිසා විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් උදර්පනය කරගෙන හිරේ දැමීමට ඔහුගේ පරිපාලනය උත්සාහ දරමින් සිටී.

ට්‍රම්ප්ගේ ජූලි 4 සැමරුම පැමිනෙන්නේ, නගර 10ක මිලිටරි පන්නයේ සංක්‍රමන-විරෝධී කඩාපැනීම් දියත් කිරීම සඳහා ට්‍රම්ප් ජුනි මැද යෝජනා සති දෙකේ කාලසීමාව අවසන් වීමේ මුව විට ය.

“ජාතික හදිසි තත්ත්වයේ” අනුග්‍රහය සමගින් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ සොල්දාදුවන් දහස් ගනනක් දැනට ම දිගේලි කර තිබිය දී, ජාතික ව සම්බන්ධීකෘත සෝදිසි කිරීම්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, මියාමි, හුස්ටන්, නිව් ඕලියන්ස්, ඩෙන්වර්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඇට්ලන්ටා හා බැල්ටිමෝර් ඇතුලු රටෙහි වඩාත් ම ජනාධික නගර කිහිපයක් තුල මිලිටරිය දිගේලි කිරීමේ හා යුද නීතිය පැනවීමේ අවතාරය සිහිගන්වයි.

වෛද්‍යවරුන් හා නීතිඥයන් “වධක කඳවුරු” හා “වධබන්ධන පමුනුවන ස්ථාන” ලෙස සැඳහුම් කර ඇති අමානුෂික කොන්දේසි යටතේ සංක්‍රමනික ලමුන් දසදහස් ගනනක් රඳවනු ලැබ සිටිති. මියගිය සංක්‍රමනික පවුල්වල අයගේ මෘතශරීරවලින් රියෝ ග්‍රැන්ඬේහි ඉවුරු වැසී යයි. වඩා හොඳ ජීවිතයක් පතා ජීවිතය නො තකා පැමිනෙන අනාරක්ෂිත සංක්‍රමනික කම්කරුවන් මරා දැමීම විහිලුවට ගන්නා ආන්තික ෆැසිස්ට්වාදීන් වන දේශසීමා ආරක්ෂකයන් දහස් ගනනකගේ මුහුනුපොත් පලකිරීම් පිලිබඳ ව ජූලි 1දා ප්‍රෝපබ්ලිකා හෙලිදරවු කලේ ය.

මිලිටරි පෙරෙට්ටු පිලිබඳ ට්‍රම්ප්ගේ තර්ජනයන්ට ඩිමොක්‍රටික් පක්ෂය විරුද්ධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් නො ව, ට්‍රම්ප්ගේ පුද්ගලවාදී ජනාධිපතිත්වය හා ඔහුගේ වරදකාරී පැවැත්ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලනික ආධිපත්‍යය පවත්වාගෙන යාමට බාධාකාරී වන්නේ යයි ඔවුන් උත්සුක නිසා ය. ට්‍රම්ප් වනාහි රුසියාවේ ඒජන්තයෙක් ය යනුවෙන් ඉදිරිපත් කිරීමටත්, සමාජ මාධ්‍ය වාරනය කිරීමටත් මිලිටරි-ඔත්තු සේවා ආයතන හා ඩිමොක්‍රටිකයන් දරන නව-මැකාතිවාදී ප්‍රයත්නය, ඒ හා සමාන ව ප්‍රජාතන්ත්‍ර-විරෝධී වේ.

ආඥාදායකත්වය දෙසට වන ධාවනය, අධිභාර විදුලි පරිපථයකට සන්සන්දනය කල හැකි බව ට්‍රොට්ස්කි සඳහන් කලේ ය: “අතිශයින් වඩා ආරෝපිත පන්ති හා ජාත්‍යන්තර පරස්පරවිරෝධයන්ගේ බලපෑම යටතේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක යතුරු එක්කෝ පිලිස්සී යයි නැතහොත් පුපුරා යයි.” ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික ලෙස වලකපා ඇත්තේ ඇමරිකානු හා ලෝක ධනවාදයේ ගෝලීය හා අභ්‍යන්තර ගැටුම් ය.

එරික් ලන්ඩන්