හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීම:
ආන්ඩුවේ අභ්‍යන්තර කාකොටා ගැනීම් තීව්‍රවීමේ ප්‍රතිඵලයක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 ජූලි 8

පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකොට සිටිින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ රැඳවුම් භාරය, කොලඹ මහේස්ත්‍රාත් අධිකරනය විසින්, ජූලි 9 වන දා දක්වා දීර්ඝ කොට ඇත.

දිවයිනේ ප්‍රධාන හෝටල් කීපයකට සහ කතෝලික පල්ලි කීපයකට, පසුගිය අප්‍රේල් 21 දා, එල්ල කල මෙම ප්‍රහාරයෙන් දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් මියගිය අතර තවත් සිය ගනනකට තුවාල සිදු විය.

පසුගිය ජූලි 02 වන දා, ජයසුන්දර සහ ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ලැබුවේ, නීතිපති දප්පුල ද ලිවේරා විසින් පොලීසියට දෙනලද නියෝගයක් මතයි. ප්‍රහාරය “වලක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම” මගින් ඔවුන් දෙදෙනා “ප්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බව” එම නියෝගයේ සඳහන් වෙයි.

බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සහ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිර්දේශ මත, එම නියෝගය නිකුත් කල බව නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍යයට පවසා ඇත.

ප්‍රහාරය “වලක්වා ගැනීමට” හෝ එහි බලපෑම “අඩුකර ගැනීමට” ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති යන දෙදෙනා ද වගකිව යුතු ය. කෙසේ නමුත්, ප්‍රහාරය පිලිබඳව ප්‍රමානවත් පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශපාලනිකව වගකිවයුතු වන්නේ, ප්‍රධාන වශයෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔවුනගේ ආන්ඩුව යි.

ජනාධිපති සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායම සහ අගමැති වික්‍රමසිංහ ගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) කන්ඩායම එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් එම වගකීමෙන් නිදහස්වීම සඳහා නින්දිත ප්‍රයත්නයක යෙදී සිටිති. මේ හේතුවෙන් එම කන්ඩායම් දෙක අතර කලෙක සිට වර්ධනය වන කුලල් කා ගැනීම නව උච්ඡයකට නැග ඇත. නිලධාරීන් දෙදෙනාට එරෙහි මෙම “නීතිමය” පියවර එහි සෘජු ප්‍රතිඵලයකි.

අගමැති වික්‍රමසිංහගේ කන්ඩායම විසින් ප්‍රහාරය නොවැලැක්වීමේ දේශපාලනික වගකීම තමාට පවරද්දී ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දැක්වූයේ, ව්‍යසනයේ පූර්න වගකීම භාර ගනිමින් තම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස දෙදෙනාටම බල කිරීමෙනි. ප්‍රනාන්දු තම තනතුරෙන් ඉල්ලා අස් වූ නමුදු ජයසුන්දර එය ප්‍රතික්ෂේප කලේය.

ජනාධිපති සිරිසේන එයට ප්‍රතිචාර දැක්වූයේ, ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙනි. නිලධාරීන් ඉවත් කිරීමේ පනත (2002) ට අනුව මෙවන් පියවරක් ගත හැක්කේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තුලින් පමනකි. ජනාධිපතිගේ මෙම නීති-විරෝධී පියවරට එරෙහිව, ජයසුන්දර තම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරනයට පැමිනිලි කර ඇත.

අගමැති වික්‍රමසිංහගේ එජාපය කල යෝජනාවක් මත, “ප්‍රහාරය පිලිබඳව විමර්ශනය කිරීම සඳහා” පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (පීඑස්සී) පත් කෙරුනේ මෙම තතු තුලයි. ප්‍රහාරය නොවැලැක්වීමේ වගකීම සිරිසේන වෙත පවරා ඔහුව කොටුකොට පහරදීම එහි අරමුන බව එය ක්‍රියාත්මක වන සියලු ආකාරයෙන් ම ප්‍රකාශයට පත්වෙයි.

පීඑස්සී ය ඉදිරියේ ජයසුන්දර කියා සිටියේ, ව්‍යසනයේ වගකීම භාරගෙන පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් තානාපති තනතුරක් ලබාදෙන බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ බවයි.

තමාට බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සියලු ආරක්ෂක තොරතුරු ලැබෙන බව ජනාධිපතිවරයා පැවසූ හෙයින් බෝම්බ ප්‍රහාරය ගැන ලැබුනු පූර්ව අනතුරු ඇඟවීම ඔහුට නොදැන්වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමට පැවසීය.

පීඑස්සී යේ විමර්ශනයෙන් තමා කොටුවන බව දැනගත් සිරිසේන වහා එය නතර කරන ලෙස කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ සඳහා තමාට බලතල නොමැති බව පවසමින් ජයසූරිය එය ප්‍රතික්ෂේප කල විට ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ ඇතුලු කැබිනෙට්ටුවට කැඳවා තර්ජනය කලේ, විමර්ශනය නතර නොකලහොත් කැබිනට් රැස්වීම් වලට සහභාගි නොවන බව පවසමිනි.

ජයසුන්දර සහ ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනුනේ, ජනාධිපතිගේ තර්ජන නොතකා පීඑස්සී විමර්ශනය ඉදිරියට යද්දී ය. අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කල නීතිපති ලිවේරා ජනාධිපති සිරිසේන විසින්ම පත්කල ඔහුගේ සමීපතමයෙකු බව කුප්‍රකට ය.

ජනාධිපති සිරිසේන ගේ සහ අගමැති වික්‍රමසිංහගේ කන්ඩායම් දෙක අතර කලෙක සිට සිදුවන මෙම කුලල් කා ගැනීම, ජනාධිපති සිරිසේන විසින් පසුගිය ඔක්තෝබරයේදී වික්‍රමසිංහ අගමැති පුටුවෙන් ඉවත් කොට එතැනට මහින්ද රාජපක්ෂ පත්කිරීමත් සමග විවෘතවම කුලුගැන්වින. තම දිගුකාලීන සගයා වන වික්‍රමසිංහ ආරක්ෂා කිරීම සඳහා වොෂින්ටනය යෙදූ පීඩනය හමුවේ නැවත වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කෙරුනද, ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ එම කුලල් කා ගැනීම තවදුරටත් ඉහල නගිමින් පවතී.

කෙසේ නමුත් මහජන ජීවිත සම්බන්ධයෙන් ධනපති පාලක ප්‍රභූවේ සහ ආරක්ෂක සංස්ථාපිතයේ තුච්ඡ නොතැකීම සහ සාපරාධීභාවය සෑම අතකින්ම හෙලිදරව් වන තතු යටතේ දෙපාර්ශ්වයම කෙරෙහි දැවැන්ත මහජන විරෝධයක් වර්ධනය විය. ජයසුන්දර සහ ප්‍රනාන්දු යනු එම විරෝධය අවමංගත කිරීම සඳහා දේශපාලන සංස්ථාපිතය මගින් නිර්මානය කල දඩමීමන් දෙදෙනෙකි.

මෙම නරුමත්වය නොතකා සිටීමට කුප්‍රකට දක්ෂිනාංශික පුවත්පතක් වන ද අයිලන්ඞ් ට පවා නොහැකිවිය. ජූලි 04 වන දා ද අයිලන්ඞ් කතුවැකිය කියා සිටින්නේ පූර්ව අනතුරු ඇඟවීම ලැබී එය බැරෑරුම් ව ගනන් නොගත් තවත් අය සිටින බව සහ ඔවුනට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කලයුතු බවයි.

“බුද්ධි අංශ අනතුරු ඇඟවීම් තමා දැන නොසිටි බව පවසන දේශපාලන නායකයන් අතර ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන අය සිටිති. තමා කියනා දෙය ගිලීමට තරම් මහජනතාව මුග්ධයැයි ඔවුන් සිතනු ඇතැ” යි කතුවැකිය තවදුරටත් ප්‍රකාශ කරයි.

තමන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්වයෙන් දැන නොසිටි බවට ඉහත නම්කොට ඇති කොටස් කරන පුනරුච්චාරනයන් මුලුමනින්ම අසත්‍ය බව, ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක විසින්, “සැලසුම්ගත ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු” යන හිසින් සහ 2019 අප්‍රේල් 11 දාතමින්, “ප්‍රභූ” ආරක්ෂක කොට්ඨාස වලට යවා ඇති ලිපියෙන් සනාථ වෙයි.

ඇමති, අධිකරන, විශ්‍රාමික ජනාධිපති සහ තානාපති යන නිලයන්ගේ සියලු ආරක්ෂක කොට්ඨාස වලට එම ලිපිය යොමු කොට ඇත.

ලිපියේ මෙසේ සඳහන් වෙයි: “ජාතික තව්හීඞ් ජමාත් නායක මොහොමඞ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලැසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ලබා දී ඇති වාර්තාවේ කරුනු සම්බන්ධයෙන් ඔබේ විශේෂ අවධානය යොමු කරවමි.”

එකී වාර්තාවේ උපුටනයක් ඉහත ලිපියට අමුනා තිබූ අතර ඉහත ප්‍රහාරය පිලිබඳව “විදේශ බුද්ධි අංශයකින්” තොරතුරු ලැබී ඇති බවත්, මෙරට ප්‍රසිද්ධ “කතෝලික පල්ලි” සහ “ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය” එම ප්‍රහාරයෙහි ඉලක්කයන් බවත් එහි සඳහන් ව තිබේ. එම “විදේශ බුද්ධි අංශය” ඉන්දියාවට අයත් බව පසුව ප්‍රසිද්ධියට පත්විය.

පීඑස්සී ය ඉදිරියේ හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති ඇතුලු අනෙකුත් නිලධාරීන් කල ප්‍රකාශයන් මගින් යලිත් තහවුරු වනුයේ ආරක්ෂක ප්‍රධානීන් පමනක් නොව ඉහත නම් කෙරුනු සියලු කොටස් ප්‍රහාරය පිලිබඳව පූර්වයෙන් දැන සිටි බව සහ ඔවුන් කිසිවෙකු ප්‍රහාරය “වලක්වා ගැනීමට” හෝ එහි බලපෑම “අඩුකර ගැනීමට” කවර හෝ පියවරක් නොගත් බවයි.

වැදගත්ම ප්‍රශ්නය ඉතිරිව පවතී. මොවුන් සියලු දෙනා ප්‍රහාරය වැලැක්වීමට පියවර නොගත්තේ මන්ද?

පීඑස්සී යේ හෝ විජිත මලල්ගොඩ ජනාධිපති කොමිසමේ විමර්ශන වලින් මෙම ප්‍රශ්නයට පිලිතුරු නොලැබෙනු ඇත. එම විමර්ශන පවත්වනු ලබන්නේමත් එම ප්‍රශ්නය යට ගැසීමටයි.

මෙම ප්‍රශ්නය ගැඹුරින්ම විමසා බැලීම කම්කරු පන්තියට අත්‍යවශ්‍යම වෙයි. බෝම්බ ප්‍රහාරයෙන් පසු ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ ප්‍රතිචාරය සංයුක්තව සලකා බැලීම ඒ සඳහා යතුරයි.

ප්‍රහාරයට පසුදිනම, එනම් අප්‍රේල් 22 දා, පාර්ලිමේන්තුව තුල හදිසි නීතිය සම්මත කරන ලද්දේ ඒකච්ඡන්දයෙනි. හදිසි නීතිය යටතේ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බල ගැන්වින. ඒ යටතේ කවර හෝ පුද්ගලයෙකු අධිකරන නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ සහ ඕනෑම ස්ථානයක් හෝ පුද්ගලයෙකු සෝදිසි කිරීමේ බලය පොලීසියට සහ මිලිටරියට පැවරින. දැන් එම හදිසි නීතිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුග්‍රහයෙන් යලියලිත් දික් කෙරෙමින් පවතී.

පාසැල් තුලට, වැඩපොලතුලට, විශ්ව විද්‍යාල තුලට සහ නිවස්නා ප්‍රදේශ වලට පොලීසිය සහ මිලිටරිය කඩා වැදුනු අතර දෙදහසකට අධික අහිංසක මුස්ලිම් වැසියන් ඉවබව නැතිව අත්අඩංගුවට ගනිමින් ඔවුහු රඳවා තැබූහ. විශ්ව විද්‍යාල තුල ත්‍රස්ත වැඩකටයුතු සිදු කෙරෙන බවට මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුනි.

ජාතික ආරක්ෂාවේ නාමයෙන් ක්‍රියාවට නැංවුනු මේ සියලු මර්දන පියවරයන්ට සමගාමීව රුදුරු මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයක් මුදා හැරුනේ ආන්ඩුවේ, රාජ්‍ය හමුදාවන්ගේ සහ විපක්ෂයේ පූර්න අනුග්‍රහය යටතේ ය. මැයි 13 වනදා සිංහල වර්ගවාදී මැරයෝ කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, හෙට්ටිපොල ආදී ප්‍රදේශ වල මුස්ලිම් ජනතාවට අයත් ව්‍යාපාරික ස්ථානවලට ද ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හා යාබද මුස්ලිම් ගම්මාන වලට ද වැදී පහර දුන්හ.

ජූලි 01 වන දා රුහුනු විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සිසු විරෝධතාවක් මර්දනය කිරීමට මිලිටරිය යොදා ගැනුනේ ද දුම්රිය කම්කරු වර්ජනය මැඩීම සඳහා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කලේද මෙම විෂඝෝර හදිසි නීතිය යටතේ ය.

ධනපති පාලක පන්තිය තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බූදයේ බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව වේගයෙන් වැඩෙමින් පවත්නා පන්ති අරගල මාලාව තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් වෙතට මාරු වෙමින් සිටී. ඔවුහු එයට සමගාමීව, මුස්ලිම්-විරෝධී සහ දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන් අවුලවා කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කොට දුර්වල කිරීමට සෑම අතින්ම වැඩට බැස සිටිති.

ලංකාවේ පාලක පන්තිය වනාහි, දශක තුනක රුදුරු වර්ගවාදී යුද්ධයක් හරහා, උතුරේ දෙමල ජනයාට උන්හිටිතැන් සහ ජීවත්වීමේ මාර්ග අහිමි කල, ලක්ෂයකට අධික පිරිමින්, ගැහැනුන් සහ කුඩා දරුවන් අමුඅමුවේ මරා දැමූ මිනීමරු කල්ලියකි. මොවුහු දකුනේ දියත් කල ප්‍රහාරයන් දෙකක දී ලක්ෂයකට ආසන්න ගම්බද තරුනයන් කුරිරු ලෙස මරා දැමූහ.

එමෙන්ම මෙම කුරිරු මෙහෙයුම් තුල සමාජයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ තම අධිකාරිත්වය තහවුරු කරගත් ආරක්ෂක සංස්ථාපිතයේ ඉහලම නිලධරයට ආඥාදායක පාලනයක් තුල තම වරප්‍රසාද වඩාත් තහවුරු කර ගැනීමේ තමාගේම උත්සුකයන් පවතී.

එවන් සාපරාධී පාලක පන්තියක් සහ ආරක්ෂක සංස්ථාපිතයක් විසින් ආඥාදායක සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ප්‍රහාරය සිදුවීමට ඉඩහල බවට සෑම අතින්ම සැක මතුවෙයි.