තැපැල් සේවකයන් පැය 24 ක සංකේත වර්ජනයක

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 ජූලි 22

බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් ආන්ඩුව සහ සමිති අතර ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක නොකිරීම, කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ තනතුරු 18 ක් එක තනතුරකට ගොනු කිරීමෙන් සිදුවී ඇති අසාධාරනය ඉවත් කිරීම ඇතුලු කරුනු කිහිපයක් මත තැපැල් සේවකයන් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක යෙදී ඇත. වර්ජනයට 26,000 ක් පමන වන සමස්ත තැපැල් සේවකයෝ සම්බන්ධව සිටිති.

වර්ජනය කැඳවුම් කර ඇත්තේ තැපැල් සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසිනි. එහෙත් සමිති නායකත්වයේ අරමුන තැපැල් සේවකයන්ගේ අයිතීන් සම්බන්ධව අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව. දිගුකාලීනව පවතින ඔවුන්ගේ ගැටලු නොවිසඳීම හා ආන්ඩුව යලි යලිත් පොරොන්දු කැඩීම කෙරෙහි ඔවුන් තුල පැසවමින් පවතින වෛරය සමනය කර ඔවුන් ව දුර්මුඛ කිරීමය.

පසුගිය සතියේ අඟහරුවාදා සහ බදාදා දෙදින වර්ජනයක් කැඳවුම් කල තැපැල් සමිති නිලධරය එය මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයට පමනක් සීමා කල අතර වර්ජනයට කම්කරු පන්තියේ සෙසු කොටස් වල සහයෝගය දිනා ගැනීමේ කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කල ඔවුහු අසනීප නිවාඩු වාර්තා කර නිවෙස්වලට වී සිටින ලෙස වර්ජකයන් ට නියෝග කල හ. මෙවර පැය 24 වර්ජනයේ දී ද ඔවුන්ගේ පිලිවෙත වී ඇත්තේ එයයි.

පසුගිය සතියේ දෙදින වර්ජනය කැඳවුම් කිරීමට ඒතැවෘසට බල කෙරුනේ අඟහරුවාදා පස්වරුවේ තැපැල් ඇමති ඒ.එච්.එම්. හලීම් සමග සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ය. වර්ජනය නිවේදනය කිරීමත් සමග “ආරක්ෂාව” සඳහා යයි කියමින් මධ්‍යම තැපැල් හුවමාරුවට හමුදාව යෙදවීමට පියවර ගෙන තිබුනේ ආන්ඩුව කම්කරුවන්ට එරෙහිව පලල් ප්‍රහාරයකට සූදානම් බව අඟවමිනි.

“වසර 13 ක් පුරා බලයට පත් ආන්ඩු සහ තැපැල් පරිපාලනය විසින් තැපැල් සේවකයන් දැඩි අපහසුතාවයකට ලක් කොට ඇතැ “යි ඒතැවෘසස කැඳවුම්කරු චින්තක බන්ඩාර මාධ්‍යයට සඳහන් කර තිබුනි. එහෙත් ආන්ඩුවට එසේ කල හැකිවුයේ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව බව බන්ඩාර දැනුවත්ව ම වසන් කරයි. වසර 13 ක් පුරාම ඔහු ඇතුලු තැපැල් සමිති නිලධරය කලේ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට තැපැල් සේවකයන් ගේ අරගලයට ඇබ ගැසීමය. පසුගිය වසරේ ජුනි මාසයේ දින 16 ක් පැවති තැපැල් සේවකයන්ගේ අඛන්ඩ අරගලය ජනාධිපතිගේ “පොරොන්දු” වලට යටත් කොට ඔවුහු පාවා දුන්හ.

අනෙකුත් කම්කරුවන් තුල මෙන් ම වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට, උසස්වීම් ලබා නොදීමට සහ පෞද්ගලීකරනයට එරෙහිව තැපැල් කම්කරුවන් තුල ද ආන්ඩුවට සහ සමස්ත පාලක පන්තියට එරෙහිව වර්ධනය වී ඇත්තේ බරපතල විරෝධයකි.

2006 දී ඉදිරිපත් කල චක්‍රලේඛය තැපැල් කම්කරුවන්ගේ හා සමස්ත රාජ්‍ය අංශයේම රැකියා කොන්දේසි මත එල්ල කර ඇත්තේ දරුනු ප්‍රහාරයකි. එසේම ජනාධිපති විසින් පත් කල වැටුප් කොමිසමෙන් ඉදිරිපත්කල යෝජනා හා ඊට පෙර “අමාත්‍ය මන්ඩල යෝජනා”, වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව හුදෙක් ම කම්කරුවන් රැවටීම අරමුනු කරගත් යෝජනා මිස ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේ ඒවා නොවීය.

වැටුප් කොමිසමේ පොරොන්දු පත්‍රයේ අඩංගු වී පැවතියේ පහත සඳහන් කරුනු ය. අලුතෙන් හඳුන්වා දී ඇති තුන්වන ශ්‍රේනියේ තැපැල් ස්ථානාධිපති තනතුර අහෝසි කොට ඔවුන්ව දෙවන ශ්‍රේනියට අන්තර්ග්‍රහනය කිරීම සහ ඒ අනුව 2018 ජුලි මාසයේ 7 වෙනිදා වන විට නව වැටුප් තල සැකසීම; පරිවාස පදනමේ සිටින නිලධාරීන් මාසයක් හෝ දෙකක් ඇතුලත ස්ථිර කිරීම; අහෝසි කල කනිෂ්ට සේවක තනතුරු 18 යලි ස්ථාපිත කිරීම ආදියයි. ආන්ඩුව ඒවා කුනු කුඩයට දමා ඇත.

තැපැල් සේවකයන් ඉල්ලන වැටුප් තලයන් ලබා දුනහොත්, එය, සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් පිලිබඳ අවුලක් නිර්මානය කරන බව කැබිනට් අනුකාරක සභා වාර්තාව අවධාරනය කර තිබුනි. “අවුල” වෙන කිසිවක් නොව දුම්රිය, ගුරු හා විදුලිබල වැනි සෑම අංශකදීම ආන්ඩුව කී පරිදි තැපැල් සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් දුනහොත් රාජ්‍ය අංශයේ සෙසු සේවකයන්ගේ වැටුප් ද වැඩි කිරීමට සිදුවන්නේ ය යන්නයි.

එමෙන් ම තැපැල් සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් ඉටුකල හොත් රුපියල් බිලියන 8 කින් රාජ්‍ය වියදම ඉහලයන බවත්, ඒ සඳහා රජයට අරමුදල් නැති බවත් වැටුප් කොමිසම එහිදි වැඩි දුරටත් පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු මුර්ග හදිසි නීති බලාත්මක කල සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ආරක්ෂක හමුදාවලට හා පොලීසියට අසීමිත බලතල පැවරීය. එහි මුඛ්‍ය අරමුනවූයේ ආන්ඩුවේ ව්‍යසනකාරී ප්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන පන්ති අරගල මැඩලීමය.

තැපැල් ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවේ මර්දනය ආශිර්වාදයක් කර ගනිමින් පන්ති අරගලය යටපත් කර තැබීමට ක්‍රියාත්මක වූ නමුත් රැකියා සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර තීව්‍රවීම මධ්‍යයේ නව පන්ති සටන් පුපුරා ඉස්මත්තට එමින් තිබේ. එය ගෝලීයව සිදුවන පන්ති අරගලයේ නැගීම සමග අත්‍යන්තයෙන් බැඳුනු වර්ධනයකි. තැපැල් සේවකයන්ගේ වර්ජනය එහි කොටසකි.

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීම වෙනුවට ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාර ක්‍රියාවට දැමීමය. ජාමුඅ නියෝග වලට අනුව ආන්ඩුව රාජ්‍ය වියදම් කප්පාදු කරමින් හා රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කරමින් 2020 වන විට ඇය-වැය පරතරය සියයට 3.5 දක්වා පහත දැමිය යුතු ය. එමගින් කම්කරු පන්තියේ රැකියා හා ජීවන තත්වයන්ට පෙර නොවුවිරූ ප්‍රහාර මාලාවක් මුදා හරිනු ඇත. තැපැල් කම්කරුවන්ට එරෙහි ප්‍රහාර කම්කරු පන්තියට විරුද්ධව ධනපති ආන්ඩුව මුදා හැර ඇති එම පෘථුල ප්‍රහාරයේ කොටසකි.