ශ්‍රී ලංකාව: ජනාධිපති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරයි

Sri Lankan president extends emergency rule for another month

කේ. රත්නායක විසිනි, 2019 ජූලි 29

ජූලි 22 දා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හදිසි නීතිය හතරවන මාසයට දීර්ඝ කලේ ය. නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) නමැති ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක් සමග සම්බන්ධ වී අයිඑස්අයිඑස් විසින් සංවිධානය කල ත්‍රස්තවාදී ප්‍රහාරය ට පසු දින, අප්‍රේල් 22 දා, මෙම විෂඝෝර නීති පනවනු ලැබී ය.

ත්‍රස්තවාදී කුමන්ත්‍රනය පිලිබඳ ව ආන්ඩුව හා ඔත්තු සේවා ඒජන්සි කල්තබා දැන සිටි නමුත් කොලඹ හා තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී හෝටල් තුනක් හා දේවස්ථාන දෙකක් ද මඩකලපුවේ දේවස්ථානයක් ද මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ඉලක්ක කර ගැනිනි. ප්‍රහාරයෙන් 300 කට ආසන්න පිරිසක් මිය ගියහ. ඉන් 500 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. සමහරුන්ගේ තුවාල වඩා බරපතල විය.

“මහජන ආරක්ෂාව සඳහා, මහජන සාමය පවත්වා ගැනීමටත් මහජනයාගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීමටත්” හදිසි නීතිය දීර්ඝ කිරීම අවශ්‍ය බව සිරිසේන ඔහුගේ ගැසට් නිවේදනය තුල ප්‍රකාශ කලේ ය. මෙම දීර්ඝ කිරීම සති දෙකක් ඇතුලත පාර්ලිමේන්තුව විසින් අනුමත කල යුතු ය.

මෙම රෙගුලාසි යටතේ, සොල්දාදුවන්ට හා පොලීසියට වරෙන්තුවකින් තොර ව මහජනයා අත්අඩංගුවට ගත හැකි අතර සැකකරුවන්ගේ දේපොල ද තහනම් කල හැකි ය. අත්අඩංගුවට ගනු ලැබූවන් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කල විට, ආරක්ෂක ලේකම්ගේ නියෝග මත ඔවුන් ව වසරක් දක්වා රඳවාගත හැකි ය. වධබන්ධන පැමිනවීමෙන් ලබාගන්නා පාපෝච්චාරන උසාවියේ දී සාක්ෂි ලෙස යොදා ගැනීමට පිලිවන. කැලඹිලි ඇති විය හැකි යයි සැලකෙන රැස්වීම්, පෙලපාලි හා ප්‍රකාශන තහනම් කල හැකිය. අත්‍යවශ්‍ය සේවාවන් හෝ සැපයුම් වැලැක්වීම දඬුවම් කලහැකි වරදකි.

“මගීන් හෝ භාන්ඩ සඳහා වන රජයේ ප්‍රවාහන සේවාවන්” හා “දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හසුරවනු ලැබීම අවශ්‍ය කරන ඕනෑම සේවාවක්” ආවරනය කෙරෙන පරිදි සුවිශේෂී ව විස්තීර්න කරමින්, සිරිසේන, ජූලි 28 දා, “අත්‍යවශ්‍ය සේවා” නියෝගයක් පැනවී ය.

අතීතයේ දී මෙන් ම, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් දහස් ගනන් ජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති අතර, ඉන් බොහෝ දෙනෙකු මෙතෙකුදු රඳවාගෙන සිටී. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ කොන්දේසිය විශේෂයෙන් ම, වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා තහනම් කිරීමට යොදාගනු ලබන අතර, දැන් එය දුම්රිය කම්කරුවන් දක්වා පෘථුල කෙරෙයි.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු, සිරිසේන ක්ෂනිකවම මෙම පුළුල් බලතල හා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ නීති මගින් සන්නද්ධ කරන ලද මිලිටරිය දිගේලි කලේ ය. එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 30-අවුරුදු වාර්ගික යුද්ධය අවසන් වීමෙන් මෙපිට සිදුකල විශාලතම මෙහෙයුම යි. පාලක හා විරුද්ධ දේශපාලන පක්ෂ එකසේ මෙම මර්දනීය පියවරයන්ට පිටුබලය දුන් හ.

පාලක හා විරුද්ධ පක්ෂ විසින් දිරිගන්වන ලද අන්ත-දක්ෂිනාංශික සිංහල-බෞද්ධ කන්ඩායම්, ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරන ලද්දේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් ය යන්න ඩැහැගෙන ප්‍රචන්ඩ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් දියත් කර ඇත.

ජූලි 22දා කොලඹ දී පැවති මිලිටරි ප්‍රධානීන්ගේ හමුවක දී ත්‍රස්තවාදය “මැඩලීම” ගැන ඔවුන් ව උත්කර්ෂයට නංවමින් හා “ත්‍රස්තවාදය තුරන් කිරීමේ දී දුර්වල වීම” ගැන ඔහුට හා ආන්ඩුවට චෝදනා කලවුන් හෙලාදකිමින් සිරිසේන කතා කලේ ය. “ත්‍රස්තවාදය මැඩීමටත්, එයට සම්බන්ධ වූ සියලු දෙනා සති තුනක කෙටි කාලයක් ඇතුලත අත්අඩංගුවට ගැනීමටත් අපට හැකි වුනා” යි ඔහු ප්‍රකාශ කලේ ය.එහෙත්, “ත්‍රස්තාවාදීන් හා එයට සම්බන්ධ සියල්ලන්” සති තුනක් ඇතුලත මැඩලා ඇත්නම්, හදිසි නීතිය දීර්ඝ කිරීම අවහ්‍ය වූයේ මන් ද යන්න පැහැදිලි කිරීමට සිරිසේන අසමත් විය. වෛරයට පාත්‍ර මෙම රෙගුලාසි අප්‍රේල් මාසයේ පනවන විට සිරිසේන කියා සිටියේ එය තාවකාලික පියවරක් පමනක් බව යි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 2දා නිකුත් කලප්‍රකාශයක දී අනතුරු ඇඟවූ පරිදි: “පාලක කවයන් තුල කටුක බෙදීම් පැවතුන ද ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමේ” හා “ජාතික ආරක්ෂාව ශක්තිමත්” කිරීමේ කඩතුරාව යටතේ මිලිටරි-පොලිස් යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ වීමේ දී (ආන්ඩුවේ හා විපක්ෂයේ) පක්ෂවලට මතභේදයක් නැත. කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් හා තරුන ජනයාගේ වැඩෙන විරෝධතා හා වර්ජන ව්‍යාපාරය කෙරෙහි පාලක පන්තිය සමස්තයක් ලෙස බියට පත් ව සිටී”.

ආන්ඩුවේ දේශපාලන මර්දනය, බිය පැතිරවීම හා ජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය ඇවිලවීම නො තකා, කම්කරුවන් සමාජ ඉල්ලීම් මාලාවක් මත වර්ජන ක්‍රියා හා විරෝධතා අරඹා ඇත.

ං ජුනි 28 හා 29 දා එන්ජින් රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් හා නියාමකයන් ඇතුලු දුම්රිය කම්කරුවෝ හිඟ වැටුප් ඉල්ලීම් මත වැඩ වැරූහ. වර්ජනය තහනම් කිරීම සඳහා ආන්ඩුව වහා ම අත්‍යවශ්‍ය සේවා නියෝගයක් යොදාගත්තේ ය. එහෙත් දුම්රිය කම්කරුවෝ යලිත් ජූලි 3 දා වර්ජනය කලහ.

ං වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දසදහස් ගනන් ගුරුවරු ජූලි 18 හා 19 දෙදින ජාතික පරිමාන වැඩ වර්ජනයක නිරත වූ හ.

ං සති දෙකකට පෙර මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සේවකයන් වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් දෙදින වර්ජනයක නියැලුනු අතර, යලිත් ජූලි 22දා 26,000 ක් වන තැපැල් සේවකයෝ ලෙඩ නිවාඩු දැමීමේ ජාතික පරිමාන උද්ඝෝෂනයක යෙදී ගත්හ.

ං රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් නිරත වුනු ජාතික පරිමාන වර්ජනයෙන් පසුව, ජනවාරි මාසයේ ආන්ඩුව පොරොන්දු වූ රුපියල් 50 වැටුප් දීමනාව ඉල්ලමින් ප්‍රධාන තේ වගා කිරීමේ දිස්ත්‍රික්කය වන නුවරඑලියේ හැටන් නගරයේ දී කම්කරුවන් සිය ගනනක් ජූලි 24 දා විරෝධතාවක නිරතවූහ.

වඩා හොඳ අධ්‍යාපන පහසුකම් හා විශ්ව විද්‍යාලවල මර්දනීය පියවරයන් අවසන් කරන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල සිසුන් අතර ද ආන්ඩු-විරෝධී උද්ඝෝෂන මතු වී ඇත. විරෝධතාවේ යෙදුනු සිසුන්ගේ පෙලපාලියක් මිලිටරිය විසින් නැවැත්වීමෙන් පසුව, දකුනේ රුහුනු විශ්ව විද්‍යාලය බලධාරීන් විසින් ප්‍රකෝපකාරී ලෙස වසා දැමී ය. විශ්ව විද්‍යාලය තුල ආරක්ෂක කැමරා සවිකිරීමට සිසුන් විරුද්ධ වීම නිසා පසුගිය සතියේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨය වසා දැමුනි.

ජනාධිපතිවරයාගේ හදිසි නීති දීර්ඝ කිරීම් හා පොලිස්-රාජ්‍ය පාලන රූප කරා වන පියවරයන්ගේ ඉලක්කය වන්නේ මෙම වැඩෙන සමාජ අතෘප්තිය මර්දනය කිරීම යි.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලක එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර කටුක දේශපාලන අරගලයක් පැවතීගෙන යයි. පසුගිය වසරේ පලාත් පාලන මැතිවරනයේ දී ලද අන්ත පරාජයෙන් පසුව ඔවුන්ගේ “සමගි ආන්ඩුව” බිඳ වැටුනි. ඡන්දයෙන් පිලිබිඹු වූයේ, ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් පැටවීම කෙරෙහි පවතින ගැඹුරින් මුල් බැසගත් විරුද්ධත්වය යි.

ඔවුන්ගේ කන්ඩායමික වෙනස්කම් නො තකා, වික්‍රමසිංහගේ කැබිනට්ටුව නව ප්‍රති-ත්‍රස්ත නීති සඳහා ගෙන එන යෝජනාවන්ට සිරිසේන සහයෝගය දෙයි. මාධ්‍ය නිවේදනයකට අනුව බි්‍රතාන්‍යයේ ත්‍රස්ත විරෝධී නීති මත පදනම් වන නව නීතිවල ඉලක්කය වන්නේ “මහජනයා ත්‍රස්තවාදීන් බවට පත්වීමෙන් වැලැක්වීම” ය. වෙනත් වචනවලින් කිවහොත්, එම නීති වැඩිදියුනු කරන ලද ඔත්තු බැලීම් හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත පලල්-පරිමාන ප්‍රහාර අන්තර්ගත කරගනු ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සිරිසේනට හා ඔහුගේ ආන්ඩුවට මිලිටරි ඔත්තු සේවා හා ජාතික ආරක්ෂාව “පාවාදීම” ගැන චෝදනා කර ඇතත්, සිරිසේනගේ මර්දනීය ක්‍රියාවන්ට සහයෝගය දුන්නේය. පසුගිය මාසයේ නිකුත් කල නිවේදනයක දී “මා විසින් නායකත්වය දෙන ආන්ඩුවක් යටතේ මේ රට තුල ත්‍රස්තවාදයට පැවතීමට ඉඩ නො දෙන” බවට හිටපු ජනාධිපතිවරයා සපථ කලේ ය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ රුදුරු අභිචෝදකයා වන ඔහුගේ සොහොයුරු ගෝඨාභය, දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරනයේ ශ්‍රීලංපොපෙ අපේක්ෂකයා බව රාජපක්ෂ විසින් නිවේදනය කිරීමට නියමිත ය.

තමන්ගේ පක්ෂය ජනාධිපතිධූරය ජයග්‍රනහනය කලහොත් “බාධාවකින් තොර ව වැඩ කිරීමට” අවශ්‍යම නව පරිපාලනයක් තැනීම පිනිස ආන්ඩුව විසුරුවා හරින බව ශ්‍රීලපොපෙ නායක ජී.එල්. පීරිස් පසුගිය සතියේ සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ මිලිටරිය හා ඔත්තු සේවා පද්ධති “අභ්‍යන්තරික තර්ජනයක් සමග ගනුදෙනු කිරීමට තරම් කාර්යක්ෂම ද?” යනුවෙන් සන්ඬේ ටයිම්ස් පත්‍රයේ ලිපියක් අනතුරු හඟවන ලීලාවෙන් විමසීය. ත්‍රස්තවාදී ප්‍රහාරවලට මාවත විවෘත කරමින්, “යහපාලන ආන්ඩුව බලයට පත් තැන් පටන්” මෙම යාන්ත්‍රනයන්ට “හෙමින් හැකිලී යාමට” ඉඩ දී ඇතැයි ලිපිය කියා සිටියේ ය.

මෙම කියාපෑම් අරටුවට ම ව්‍යාජ ය. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර වැලැක්වීමට අසමත්වීම ගැන පාලක ප්‍රභූවේ ද මිලිටරියේ හා ඔත්තු සේවාවල ද කන්ඩායම් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති. සත්‍යය වන්නේ, ආරක්ෂක බලධාරීන්, ඔත්තු සේවා නිලධාරීන් සහ සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ ඇතුලු දේශපාලන නායකයන් එලැඹෙන ප්‍රහාර පිලිබඳ ව කල්තබා හොඳින් දැන සිට ඒවා සිදුවන්නට ඉඩ හැරි බව යි. කම්කරු පන්තියට එරෙහි ව නව පොලිස්-රාජ්‍ය පියවරයන් ඉදිරියට දැමීම සඳහා ඔවුහු කුහක ලෙස ත්‍රස්ත බෝම්බ ප්‍රහාර ගසාකමින් සිටිති.

පාලක ප්‍රභූව මුහුන දෙන්නේ, ගෝලීය පසුබැසීමක හා පහලින් වැඩෙන සමාජ විරෝධයක බලපෑමට ලක් වන නය-බරින් මිරිකුනු මුදල්-හිඟයෙන් පෙලෙන ආර්ථිකයකට යි. ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් ම ශ්‍රී ලංකාවෙි ධනපති පන්තිය සූදානම් කරමින් සිටින්නේ කම්කරු පන්තිය මත කඩා පනින ආඥාදායකත්වයකි.

කම්කරුවන්ට මෙම සූදානම්වීම් පරාජය කල හැක්කේ ඔවුන්ගේ ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි. මෙහි අර්ථය වන්නේ, ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමට තරුනයන් හා ගම්බද දුගීන් රැලි කරගැනීම යි.

Share this article: