ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති සිරිසේනගේ පොලිස්-රාජ්‍ය පියවරයන් සඳහා දේශපාලන පක්ෂ දුන් සහයෝගය හෙලා දකී

Sri Lankan SEP denounces political parties’ support for President Sirisena’s police-state measures

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) විසිනි, 2019 මැයි 2

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “සර්ව-පාක්ෂික සම්මේලනයක්” සඳහා දේශපාලන පක්ෂවලට ආරාධනා කලේ ය. ඔහු විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සමග බලාත්මක කෙරුනු මර්දනීය පියවරයන් මෙම සමුලුව විසින් අනුමත කෙරුනි.

මෙම පොලිස්-රාජ්‍ය විධිවිධානයන්ගේ ප්‍රධාන ඉලක්කය ඉස්ලාමීය අන්තවාදීන් නො ව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර හදිසි නැග්මක් මධ්‍යයේ අරගලයට පැමිනෙන වැඩ කරන ජනයා බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි.

අහිංසක මිනිසුන්, ගැහැනුන් හා ලමුන් සිය ගනනක් ඝාතනය කරමින් දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල්වලට අප්‍රේල් 21 දා එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය, දුරදිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් සඳහා කඩතුරාවක් ලෙස ජනාධිපතිවරයා විසින් ඩැහැගෙන ඇත.

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවල බොහෝ අංශ තවමත් පැහැදිලි නැත. එහෙත් ඉස්ලාමීය කන්ඩායමක් දේවස්ථානවලට බෝම්බ එල්ල කිරීමට සැලසුම් කල බවට ලැබුනු විශේෂ අනතුරු ඇඟවීම් කෙරෙහි ආන්ඩුවේ නායකයෝ හා ආරක්ෂක සේවාවන් නොතකා සිටිය හ.

කොලඹ සමග තම මිලිටරි හා දේශපාලනික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයන්ගේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ විමර්ශකයන්ට “සහය වීම” සඳහා එෆ්බීඅයි හා මිලිටරි විශේෂඥයන් එවා ඇති එක්සත් ජනපදය ද මෙම අපරාධය ගසා කා ඇත. චීනයට එරෙහි තම යුද ධාවනයේ දී ශ්‍රී ලංකාව මූලික සහකරුවෙකු ලෙස වොෂින්ටනය සලකයි.

සර්ව-පාක්ෂික සමුලුවට සහභාගි වූ පක්ෂ, ඔක්තෝබරයේ විවෘත ව පුපුරා ගිය දේශපාලන ආරවුල තුල පැටලී සිටී. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපූ සිරිසේන, එම ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කලේ ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේනගේ ක්‍රියා ව්‍යවස්ථා-විරෝධී යයි ප්‍රකාශ කිරීමෙන් පසු, වොෂින්ටනයේ පීඩනය යටතේ වික්‍රමසිංහ යලි පත් කිරීමට ඔහුට බල කෙරුනි. රාජපක්ෂ චීනයට වඩා සමීප කෙනෙකු ලෙස එක්සත් ජනපදය දැක ගනී.

පාලක කවවල කටුක බෙදීම් නො තකා, ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීමේ හා “ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ” කඩතුරාව යටතේ මිලිටරි-පොලිස් යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ වීමේ දී පක්ෂවලට මනස්තාපයක් නැත. කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් හා තරුන ජනයාගේ විරෝධතා හා වර්ජනවල නැගෙන ව්‍යාපාරය කෙරෙහි පාලක පන්තිය සමස්තයක් ලෙස ගැඹුරින් ම භීතියට පත්ව සිටී.

දෙසැම්බරයේ දී 100,000කට අධික වතු කම්කරුවෝ, ඔවුන්ගේ දරිද්‍ර මට්ටමේ මූලික වැටුප දෙගුන කරන ලෙස ඉල්ලා දින නවයක වර්ජනයක නිමග්න වූ හ. පසුගිය මාසයේ 200,000කට අධික ගුරුවරු එක්දින වර්ජනයක් කල හ. මෙම අරගල මර්දනය කොට කඩාකප්පල් කිරීමට වෘත්තීය සමිති උත්සාහ දරා ඇතත්, කම්කරුවන්ගේ කැරැල්ලක් වැලැක්වීමට වෘත්තීය සමිති යාන්ත්‍රනයට පවතින හැකියාව කෙරෙහි ගැඹුරු උත්සුකයන් පාලක පන්තියට පවතී.

හදිසි නීති හා රෙගුලාසිවලට, කැලැඹීම් ඇති කරන රැස්වීම්, පෙලපාලි හා ප්‍රකාශන තහනම් කිරීමක් අඩංගු ය. අත්‍යවශ්‍ය සේවා විධිවිධාන වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා තහනම් කිරීමට යොදාගත හැකි ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දශක තුනක වාර්ගික යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රථම වරට මිලිටරිය හා පොලීසිය දිවයින පුරා සියලු නිවාස හා ඒවායේ පදිංචිකරුවන් පිරික්සීමක් සිදු කරති.

සොල්දාදුවන්ට හා පොලීසියට වරෙන්තුවකින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි ය. ඔවුන් මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කල විට ආරක්ෂක ලේකම්ගේ නියෝග පරිදි වසරකට රඳවාගත හැකි ය. අතීතයේ දී මෙන් ම මෙම විෂඝෝර නීති, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, නඩු නො අසා දිගුකල් රඳවා තබාගැනීම් හා උසාවිවල දී යොදාගත හැකි වන පාපෝච්ඡාරන ලබාගැනීම සඳහා වධබන්ධනයන්ට භාජනය කිරීමට හේතු වනු ඇත.

පොලිස්-රාජ්‍ය මර්දනයේ මෙම වටාපිටාව යටතේ, ඝාතක කල්ලි සහ දේශපාලනික විරුද්ධවාදීන් හා විවේචකයන් නඩු නො අසා මරා දැමීම ඇතුලු යුද සමයේ යොදාගත් රුදුරු විධික්‍රම ආරක්ෂක හමුදාවන් යලි පනගන්වනු ඇත.

සතියකට වැඩි කාලයක් බලාත්මක කෙරී තිබුනු සියලු සමාජ මාධ්‍ය ජාල මත පෙර නුවූ විරූ තහනම ජනාධිපති සිරිසේන විසින් මේ සතියේ අකමැත්තෙන් ඉවත් කල ද යලි එය සිදු කල හැකි බවට ඔහු අනතුරු ඇඟවී ය.

සර්ව-පාක්ෂික සමුලුවට සහභාගි වූ විවිධ පක්ෂවල නියෝජිතයෝ මුස්ලිම්-විරෝධී වර්ගවාදය ගැන කුහක ලෙස උත්සුකතා පලකරමින් සාමකාමී වන ලෙස ආයාචනා කලේ, වාර්ගික කැලඹීම් ඇවිලවීමට විරුද්ධ බව කියමිනි.

කොතරම් කුහකත්වයක් ද! දෙමල හා මුස්ලිම් වැසියන්ට එරෙහි ස්වෝත්තමවාදයේ ගිලී සිටින සමස්ත කොලඹ සංස්ථාපිතයට, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික කැලඹීම් ඇවිලවීමේ ඉතිහාසයක් පවතී. 1983 දී, දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයේ ආරම්භය සලකුනු කල, දෙමල-විරෝධී සංහාරය තුල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව ඍජු ව සහභාගි විය.

සර්ව-පාක්ෂික සමුලුවෙන් යන්තම් දින කිහිපයකට පසුව, ආන්ඩුව හිතාමතා ම මුස්ලිම්-විරෝධී අගතීන් ඇවිලවූයේ, හදිසි අවස්ථා තත්ත්වය යටතේ, මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැලඳීම මත තහනමක් පනවමිනි. මෙය, යුරෝපයේ හා ජාත්‍යන්තර අන්ත-දක්ෂිනාංශික කන්ඩායම් හා පක්ෂවල එක් මුස්ලිම්-විරෝධී හඬතැලීමකි.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වික්‍රමසිංහගේ එජාපය, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ධනේශ්වර දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂ හා ඒවායේ ආධාරකරුවන් සමුලුවට සහභාගි විය.

ඍජු ව හෝ වක්‍ර ව සියලු ව්‍යාජ-වාම කන්ඩායම්, සිරිසේනගේ හදිසි තත්ත්වයට ආධාර දීමට පෙලගැසී ඇත.

සමුලුවට සහභාගි වූ නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුනාරත්න විලිලජ්ජා රහිත ව මෙසේ ප්‍රකාශ කලේ ය: “ලංකාවේ මුදුනත අසාර්ථක වූ අවස්ථාවේ ඔත්තු සේවා නිලධාරීන්ට, පොලීසියට හා සන්නද්ධ හමුදාවන්ට ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීම පිලිබඳ ව අපගේ ප්‍රශංසාව හිමි විය යුතු යි.”

එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ආන්ඩුව පිලිබඳ නො සැලකිලිමත් විවේචන නිකුත් කල ද හදිසි අවස්ථාව හෙලා නුදුටු අතර එහි මර්දනීය පියවරයන්ට විරෝධය පල කලේ ද නැත.

විවිධාකාර උපායාත්මක වෙනස්කම් නො තකා ව්‍යාජ-වාම පක්ෂ ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීම පිටුපස පෙලගැසී ඇත.

මෙම ප්‍රතිගාමී දේශපාලන පෙලගැසීමට විවෘත ව විරුද්ධ වන හා හදිසි අවස්ථාව වහා ම අවසන් කරන ලෙස ඉල්ලන එක ම පක්ෂය සසප පමනි.

සර්ව-පාක්ෂික සම්මේලනයන් සැමවිට ම කැඳවුම් කරනු ලබන්නේ තියුනු දේශපාලන අර්බුද සමයන්හි දී ධනේශ්වර පාලනයට මුක්කුව දීම සඳහා ය. 2000 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එවන් සමුලුවක් කැඳවූයේ එල්ටීටීඊය අතින් මිලිටරිය විනාශකාරී පරාජයන් මාලාවකට මුහුන දුන් අවස්ථාවේ ය.

සසපට එයට සහභාගි වන ලෙස ආරාධනා කල අතර, එය එකහෙලා ප්‍රතික්ෂේප කෙරුනි. ප්‍රකාශයක් නිකුත් කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ කියා සිටියේය: “ආන්ඩුවේ පිලිවෙත් කෙරෙහි වන ඕනෑම විරෝධයක් මැඩපැවැත්වීමට එය දුරදිග යන හදිසි නීති පනවා ඇති කොන්දේසි යටතේ, මෙම රැස්වීම සම්පූර්නයෙන් ම ව්‍යාජයකි.”

මෙවර, සමුලුවේ අර්ථය සියලු නිල දේශපාලන පක්ෂ කැඳවීම වුවත්, සසපට ආරාධනා කලේ නැත. එලෙස ආරාධනා කලේ නම්, එය පූර්ව ප්‍රතිචාරය ම දක්වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

සසප සටන් වදින්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, ධනවාදයේ සියලු පක්ෂ හා ඒජන්තයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා ය. එය පැවතී ඇති වසර 50 තුල, වැඩකරන ජනයාගේ හා පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකපැහැර ආරක්ෂා කර ඇති සසප, සියලු වර්ගයේ ජාතිකවාදයන්ට හා ස්වෝත්තමවාදයන්ට විරුද්ධ වී තිබේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ධාවනයටත්, මෙම දිවයින එහි මිලිටරි මෙහෙයුම්වල කඳවුරක් බවට පරිවර්තනය කිරීමේ එහි උත්සාහයන්ටත් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය විරුද්ධ විය යුතු ය. සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සටන් කරමින් සිටින්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට යි.

හදිසි තත්ත්වය පැනවීම හරහා, පාලක පන්තිය කම්කරු පන්තියටත් නාගරික හා ගම්බද දුගීන්ටත් එරෙහි පන්ති යුද්ධයට සූදානම් වෙමින් සිටින බවටත්, ආඥාදායක පාලන රූපාකාරයන් ස්ථාපනය කිරීම දෙසට ගමන් කරමින් සිටින බවටත් සසප අනතුරු අඟවයි.

වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජීය අයිතීන් ආරක්ෂා කිරීමට වාර්ගික හා ආගමික රේඛා කපාගෙන, කම්කරු පන්තිය මෙන් ම ගම්බද දුගීන් හා තරුනයන් ද රැලි කිරීම සඳහා වැඩපොලවල, විශාල වතුවල හා නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සමාජවාදය සඳහා අරගලය සමග බැඳී පවතී. දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසප සටන් කරයි.

Share this article: