රුහුනු සරසවියේ ශිෂ්‍ය විරෝධතාවයක් මැඩීමට ආන්ඩුව හමුදාව කැඳවයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 05

ජූලි 02 වන දා රුහුනු සරසවියේ ශිෂ්‍ය සංගමය විසින් මාතර ප්‍රධාන බස් නැවතුම්පලෙහි සිට සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල දක්වා සංවිධානය කර තිබු විරෝධතා පාගමනක් මැඩලීම සඳහා ආන්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය පොලීසියට අමතරව 250 ක පමන හමුදා භටයන් හා බුද්ධි අංශ නිලධාරීන් කැඳවා තිබුනි.

පාගමන සංවිධානය කර තිබුනේ රුහුනු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ගේ හා ලේකම් ඉන්දික විදානපතිරන ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීම ඉවත් කරන ලෙස බල කිරීමටයි.

පසුගිය ජුනි මස 4 වැනි දා ඔවුනගේ ශිෂ්‍යභාවය අහෝසි කෙරුනේ ඊට පෙර සතියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට එරෙහිව ශිෂ්‍ය සංගමය මෙහෙය වූ උද්ඝෝෂනයක් අතරතුර එම සංගමය අනුබද්ධ වී සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) නියෝජිතයන් දෙදෙනෙකු පරිපාලනයේ අවසරයකින් තොරව විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැඳවා ගැනීම යන අභූත චෝදනා මතයි.

ජූලි 02 වන දා උදෑසන 10 ට පමන සරසවියේ රැඳී සිටි සිසුන් පාගමන සඳහා පිටත්ව යෑම වැලක්වීම සඳහා සරසවියේ ප්‍රධාන ගේට්ටු වසා දැමීමට පරිපාලනය පියවර ගෙන තිබුනි. ඒ අතරම සරසවියේ ගේට්ටු අසලත් බස් නැවතුම්පල දක්වා මාර්ගයේත් අයුධ ඇතැති හමුදා භටයන් ස්ථාන ගත කලේ ය.

ගේට්ටුව විවෘත කර ගැනීමට සියයක පමන ශිෂ්‍යයන් සරසවියේ ආරක්ෂක අංශ සමග ගැටුනු අතර හමුදා භටයන් ඒ ආසන්නයේ සීරුවෙන් තබා සිටියේ ශිෂ්‍යයන්ගේ පලල් විරුද්ධත්වයක් මැඩීමේ අටියෙනි.

ආන්ඩුව ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා හමුදාව කැඳවීම පොලිස් රාජ්‍යයක් දිසාවට පියවර ගනිමින් සිටින ආන්ඩුව මහජන විරෝධතා රුදුරු ලෙස මැඩීමට ගනිමින් සිටින පියවරයන්ගේ කොටසකි. හිතන මතන ශිෂ්‍යයන් හා කම්කරුවන් එය බරපතල අන්තරායක් ලෙස ගත යුතු ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දඩමීමා කරගෙන ආන්ඩුව “ආරක්ෂාව තරකිරීමේ“ නමින් විශ්වවිද්‍යාල තුලට හමුදා ඛන්ඩ යෙදවීම ඇතුලු පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම්වල එල්ලය වී ඇත්තේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහි ශිෂ්‍යයන්ගේ අරගල මෙන්ම වැටුප් කප්පාදුව ඇතුලු රුදුරු රැකියා කොන්දේසිවලට එරෙහිව පැන නගින අනධ්‍යයන කම්කරුවන්ගේ සහ ආචාර්යවරුන්ගේ අරගල මැඩීමයි.

ත්‍රස්ත ප්‍රහාරවලින් පසු ක්‍රියාත්මක කෙරී ඇති විශ්වවිද්‍යාලයේ “ආරක්ෂක වැඩපිලිවෙල“ කඩකරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයට “බාහිර පුද්ගලයන්“ කැඳවා ගැනීම “නීති විරෝධී“ යයි පරිපාලනය කියා සිටී.

මෙය සිසුන්ට සංවිධානයවීම සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කල බරපතල පහරකි. මසක් ගත වී ඇතත් පරිපාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීම දිගටම ගෙනයන අතර, පාගමන් හා දේශපාලනිකව සංවිධානය වීමේ ශිෂ්‍යන්ගේ සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට වැට බැඳීමට කටයුතු කරමින් සිටී.

සිසු අයිතීන් මැඩීමට අධිෂ්ටාන කරගෙන සිටින පාලකයින්, අවිශිබම නියෝජිතයන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැඳවීම මගින් නීති විරෝධී ක්‍රියාවක් සිදු කල බව පිලිගන්නා බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට දන්වා තිබුනි. ශිෂ්‍යයෝ එය ප්‍රතික්ෂේප කලහ.

මාධ්‍ය වෙත අදහස් දැක් වූ විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන, ශිෂ්‍ය සංගමය විසින් ශිෂ්‍යයන් “නවක වදයට“ ලක් කරමින් නවක සිසුන් විරෝධතාවලට මෙහෙයවන බවටත්, එම සංගමය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) සම්බන්ධ බවත් කියා සිටියේ ය. ආන්ඩුවේ හෙන්චයියෙකු ලෙස අමරසේනගේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ තමන් කැමති දේශපාලනයක යෙදීමට සිසුන්ට ඇති අයිතිය උදුරා ගැනීමට පාලකයින් තැත් කරන බවයි.

බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම සිදු කරමින් යන ප්‍රතිපාදන කප්පාදුව යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, කම්කරුවන් සහ ආචාර්යවරුන් දරුනු සුභසාධන ගැටලුවලට මුහුන දී සිටී. ශිෂ්‍ය හා ආචාර්ය නේවාසිකාගාර හිඟය ඒ අතර ප්‍රධාන වේ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රාත්‍රී 8 ඉක්මවා සරසවියේ රැදී සිටීම තහනම් කිරීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාඩම් කටයුතුවලට බරපතල පහරකි. තදබදයෙන් පිරුනු නේවාසිකාගාරවල අධ්‍යයන කටයුතු සඳහා නිසි අවකාශයන් නොමැත. දේශන ශාලා ඌනතාවයකට මෙන්ම අනධ්‍යන සේවකයන්ගේ හා ආචාර්යවරුන්ගේ දැඩි හිඟයකට ද සිසුන් මුහුන දී සිටී.

රුපියල් 5,000 ක් තරම් සොච්චම් මාසික ශිෂ්‍යාධාරයකින් ජීවත්විය නොහැකි නිසා ශිෂ්‍යන්ගේ බහුතරයට විවිධ අමතර රැකියාවල නිරත වීමට බල කෙරී ඇත. ඒ තත්වය තුල පරිපාලනය විසින් සියයට 80 පැමිනීම අනිවාර්ය කොට තිබීම ශිෂ්‍යයන් මත එල්ල කොට ඇත්තේ දැඩි පීඩනයකි.

ඒ තත්වය තුල, පහසුකම් කප්පාදුවටත් අධ්‍යාපනයේ පෞද්ගලීකරනයටත් එරෙහිව ශිෂ්‍යයන් අඛන්ඩව විරෝධතාවලට සම්බන්ධ වී සිටින අතර “ආරක්ෂාව“ දඩමීමා කොට ගෙන දියත් කර ඇති නව නීතිරීති මගින් විශ්වවිද්‍යාල සිරගෙවල්වල තත්වයට ගෙන එමින් තිබේ.

රටපුරා සෑම සරසවියකම මෙම “ආරක්ෂක“ වැඩපිලිවෙලවල් ක්‍රියාවට දමා ශිෂ්‍ය මර්දනය ඉහල නංවා ඇත. මැයි 30 දා කැලනිය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයක් සඳහා ඊට පෙර දින රාත්‍රියේ පෝස්ටර් අඳිමින් සිටි සිසුන් පිරිසක් මිලිටරිය යොදා ඉවත් කිරීමට එහි පරිපාලනය මැදිහත් විය. රාත්‍රි 9 න් පසු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටීම සිසුන්ට තහනම් බව ප්‍රකාශ කරමින් කල ඒ මැදිහත් වීමට සිසුන් විරුද්ධ වූ විට පරිපාලනය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමුවේ ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මර්දන පියවර සමස්ත කම්කරු පීඩිත මහජනයාට එරෙහිව දිගේලි කරමින් යන ප්‍රහාරවල කොටසකි. දෙවන මාසයටත් හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල සම්මත කල තත්වය මධ්‍යයේ පසුගිය සතියේ පුපුරා ගිය දුම්රිය සේවක අරගලය තලා දැමීමට අත්‍යාවශ්‍ය නියෝග පැනවූ ආන්ඩුව දැන් වර්ජනයේ යෙදුනු කම්කරුවන් දඩයමට ලක් කිරීමට යයි.

අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබු පාගමන අවලංගු කල රුහුනු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සරසවිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදීමෙන් පසු මේවන විට සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල වටලා සිටී. “ලෙයින් යකඩෙන් මැඩිය නොහැකි ව්‍යාපාරයක්“ යයි පුච්චානම් කියන අවිශිබමයේ නායකයින්ට ආන්ඩුව විසින් වැඩිදියුනු කෙරෙන ප්‍රහාරය පරාජය කිරීම සඳහා වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට නොහැකිව ඇත.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ පසු අවිශිබම හා ඊට සම්බන්ධිත සිසු සංගම් සරසවි තුල ආරක්ෂාව තර කිරීමේ නමින් පරිපාලනය සමග එකතුවී ක්‍රියා කිරීමට යෝජනා ඉදිරිපත් කල අතර ඇතැම් සෝදිසි මෙහෙයුම් වලටද සම්බන්ධ විය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වූ රුහුනු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරියෙක් මෙසේ ප්‍රකාශ කලේය: “අන්තවාදය සරසවිය තුලත් තියෙන්න පුලුවන්. අන්තවාදය, අන්තවාදයෙන් පරාජය කිරීමට නොව මතවාදී ලෙස පරාජය කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් පිලිබඳව අපි පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් වුනා.” ඔහු එසේ සඳහන් කලේ පරිපාලනයට එල්ල කරන චෝදනාවක් ලෙසය.

මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ නමින් ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙල කම්කරුවන්ට, පීඩිතයන්ට හා සිසුන් ඇතුලු තරුනයන්ට හතුරු එකකි. එය සමග මාට්ටුවීමට යාම ආන්ඩුවේ අත් ශක්තිමත් කිරීමකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එය මෙහෙයවන අවිශිබම ”අන්තවාදයට එරෙහිවීම” නමින් ගෙනයන දේශපාලනය ඊට දායක වී ඇත.

සිසු උද්ඝෝෂනයක් මැඩීමට හමුදාව මෙහෙයවීම ඍජුවම සිසුන් ඉදිරියේ මතු කර ඇත්තේ ආඥාදායක පාලනයක් කරා යාම පරාජය කර සිසු අයිතීන් රැක ගන්නේ කෙසේද යන්නයි. අරගලයට ඇදෙන කම්කරුවන් ඉදිරියේ ද මෙම ප්‍රශ්නයම මතු කෙරී ඇත්තේ හදිසි අවස්ථා රෙගුලාසි හා අත්‍යවශ්‍ය සේවා නියෝග ඔවුන් මතට කඩා පැන්නවීම මගිනි.

ධනපති පන්තියේ පොලිස් රාජ්‍ය සැලසුම් පරාජය කිරීමට නායකත්වය දිය හැකි විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය වෙතට හැරී එය සමග එකමුතුව ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැක ගැනීමට සිසුන් සටන් කල යුතුය. සමාජවාදය සඳහා අරගලයට කැපවූ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ අවධාරනය කරන්නේ මෙම මාවත ගැනීමේ අවශ්‍යතාවයි.

කියවන්න: කොලඹ පාලක පන්තියේ පොලිස්-රාජ්‍ය සූදානම පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි

Share this article: