ලේඛක ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හතරවන මාසයට එලඹේ

විමුක්ති විදර්ශන විසිනි, 2019 ජූලි 09

නීති-විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් මාස තුනකටත් වැඩි කලකට පසුව, ශ්‍රී ලංකාවේ සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර ඇප නො දී දිගට ම රඳවා ගනු ලැබ ඇත.

බෞද්ධ අන්තවාදී කන්ඩායම් කිහිපයක් විසින් කරන ලද වෛරී සහගත පැමිනිලිවලින් අනතුරු ව සත්කුමාර අප්‍රේල් 1දා පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබී ය. සත්කුමාරගේ මුහුනුපොත් ගිනුමේ පලකල අර්ධ නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට හා බුදුන්ට අපහාස කරන බවටත් බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවටත් භික්ෂුවක් විසින් ව්‍යාජ ලෙස චෝදනා කලේ ය. කතාව තුල බෞද්ධ භික්ෂූන් අතර පවතින සමලිංගිකත්වය පිලිබඳ වක්‍ර සැඳහුමක් තිබූ අතර, එය සැබෑ කාරනාවකි.

කෙටි කතා, කවි හා තවත් සාහිත්‍ය කෘති රචකයෙකු වන සත්කුමාර, 2010 හා 2014 වසරවල “හොඳ ම කෙටි කතාව” පිලිබඳ ජාතික තරුන සේවා සභා සම්මානය ඇතුලු සම්මාන ගනනාවක් දිනාගත්තේ ය. අත්අඩංගුවට ගන්නා විට ඔහු පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කලේ ය. මෙරට තුල, කලාකෘතියකට සහ එහි නිර්මානකරුට එකවර චෝදනා නැගෙන පලමු අවස්ථාව මෙය යි.

බ්‍රිතාන්‍ය යටත් විජිත නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා එක්සත් ජාතීන් විසින් අනුගෘහිත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3 වන වගන්තිය යටතේ පොලීසිය සත්කුමාර ව අත්අඩංගුවට ගත්තේ ය.

අයිසීසීපීආර් පනතේ 3වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනෙන ඕනෑම අයෙකුට ඇප දිය හැක්කේ ඉහල උසාවියක් විසින් පමනක් වන අතර, එය ද සිදු වනුයේ කාලය කා දමන ක්‍රියාවලියකින් පසුව සුවිශේෂී තත්ත්වයන් යටතේ ය. මෙම පනත යටතේ වරදකරු වුවහොත්, චූදිතයාට වසර 10ක් දක්වා සිර දඬුවම් පැමිනවිය හැක.

බෞද්ධ ස්වෝත්තමවාදීන් හා පොලීසිය, සත්කුමාරට එරෙහි ව නඩුවක් පැවරීමටත් පෙර දඬුවම් කිරීම පිනිස අධිකරන පද්ධතිය යොදාගැනීමටත් මෙම නීතිය අවභාවිතයේ යොදවයි. කලාත්මක නිදහස හා නිදහස් ප්‍රකාශනය මත එල්ල කෙරුනු මෙම ප්‍රහාරය, ආන්ඩුවේ හා පාලක පන්තියේ අනුග්‍රහය සහිත ව දේශපාලන, සමාජ හා සංස්කෘතික ජීවිතයේ සෑම අංශයක් මත ම අනසක පැතිරවීමට බෞද්ධ සංස්ථාපිතය දරන උත්සාහයේ පිලිබිඹුවකි.

ශ්‍රී ලංකාව තුල සිංහල-බෞද්ධ අධිපතිවාදය ව්‍යවස්ථාගත කරනු ලැබ තිබේ. 1956 දී බහුතර සිංහලයන්ගේ සිංහල භාෂාවට එකම රාජ්‍ය භාෂාවේ තත්වය ලබාදුන් අතර, 1972 දී ව්‍යවස්ථාව තුල බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” ලබාදුනි. දෙමල ප්‍රජාවට එරෙහි 30 අවුරුදු යුද්ධයේ දී යුද්ධය සාධාරනීකරනය කිරීම සඳහා දිවයිනේ පාලක ප්‍රභූව බෞද්ධ සංස්ථාපිතය යොදාගත්තේ ය.

මුස්ලිම්වරුන්ට එරෙහි ක්‍රමානුකූල උද්ඝෝෂනයකට පසුව, හදිසි නීතිය පැනවීමටත්, මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය තීව්‍ර කිරීම සඳහා සිංහල-බෞද්ධ අන්තවාදී කන්ඩායම් ඇවිලවීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආන්ඩුව හා විපක්ෂය විසින් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර ඩැහැගනු ලැබ ඇත.

කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීමට හා ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලීමටත් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව සෑම විට ම යොදාගන්නා විෂකුරු අවිය මෙම ස්වෝත්තමවාදී උද්ඝෝෂනය යි. බෞද්ධ සංස්ථාපිතය නීතියට ඉහලින් පිහිටි යථා අධිකාරයක් ලෙසට ඔසවනු ලැබ ඇත.

ලේඛකයාට එරෙහි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වූ අතර, ජුනි 25 දා අටවන වතාවට නඩුව කැඳවූ විටත් ඔහුට ඇප ලබා දීම උසාවියෙන් ප්‍රතික්ෂේප විය. එදින පොලීසිය උසාවියට දැනුම් දුන්නේ තමන්ගේ විමර්ශන අවසන් බව හා රචකයාට එරෙහි චෝදනා ගොනුකල යුතු දැයි නීතිපතිගේ අභිමතය විමසා ඇති බව ය.

සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් උසාවියේ අවධානයට ලක්කලේ, සති දෙකක් ඇතුලත පොලීසිය පුදුම සහගත ලෙස, මැයි 13 දා මිනුවන්ගොඩ මුස්ලිම්වරුන්ට එරෙහි වාර්ගික ප්‍රචන්ඩත්වයට සහභාගි වූවන් යයි සැක පිට අත්අඩංගුවට ගත් අය පිලිබඳ විමර්ශන අවසන් කර, අයිසීසීපීආර් පනත යටතේ චෝදනා ඉවත් කරගෙන ඔවුන්ට ඇප දීම සහතික කර ඇති බව යි. එහෙත් සත්කුමාරගේ සිද්ධියේ විමර්ශන “අවසන් කිරීමට” පොලීසිය දීර්ඝ කාලයක් ගත්තේ ය.

මිනුවන්ගොඩ සහ වයඹ පලාතේ ස්ථාන කිහිපයක ප්‍රහාරවල දී, සිංහල වර්ගවාදී මැරයන් මුස්ලිම්වරුන්ට අයත් නිවාස හා සාප්පු සිය ගනනක් විනාශ කර, එක් පුද්ගලයෙකුගේ ජීවිතය බිලිගත්තේ ය. ඔවුන් ප්‍රචන්ඩත්වය ජනනය කලේ, අප්‍රේල් 21දා ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක් විසින් එල්ල කල ප්‍රහාරවලින් සති කිහිපයකට පසු ය.

නිදහසේ අදහස් දැක්වීමේ හා ප්‍රකාශනයේ තම අයිතීන් උල්ලංඝනය කිරීම අරබයා පොලිස්පතිවරයාට හා පොල්ගහවෙල පොලීසියේ ස්ථාන භාර නිලධාරියාට එරෙහි ව සත්කුමාර විසින් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට මැයි 21දා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය අවසර දුන්නේ ය. එම නඩුව සැප්තැම්බර් 30දා විභාගයට ගැනීමට නියමිත ය.

අගෝස්තු 5 දා කුරුනෑගල මහාධිකරනයේ දී විභාගයට ගැනීමට නියමිත සත්කුමාරගේ ඇප අයදුම්පත් නඩුවේ දී ඔහුට ඇප දීමට විරුද්ධ ව ජුනි 26 දා නීතිපති ලියවිලි ඉදිරිපත් කලේ ය. සත්කුමාරගේ නීතිඥයන් විසින් ඔහු නිදහස් කිරීම හෝ ඔහුට ඇප දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කල කරුනු පිලිබඳ අදහස් දැක්වීම ද නීතිපතිවරයා මෙතෙක් පමා කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරන නඩුව හා මහාධිකරන නඩුව පිලිවෙලින් ජූලි 9 හා අගෝස්තු 5 විභාගයට ගැනීමට නියමිත අතර, මුල් නඩුව නීතිපතිගේ තීරනය දැනුම් දීමත් දෙවැන්න නඩුව විභාගයට ගැනීමත් පිනිස ය.

ආන්ඩුව, එය පිලිබඳව මෙන් ම බෞද්ධ සංස්ථාපිතය පිලිබඳ ඕනෑම විවේචනයක් වැලැක්වීම පිනිස අයිසීසීපීආර් පනත යොදාගැනීමට යයි. ජනමාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහි ව අයිසීසීපීආර් පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමට පසුගිය මාසයේ පොලීසියේ අපරාධ කොට්ඨාශය උසාවියෙන් අවසර ඉල්ලා සිටියේ ය. එය, ඬේලි මිරර් පත්‍රයේ ඔහු පලකල, “ඉස්ලාමීය ත්‍රස්තවාදයේ සිට කොල්ලකාරී සිංහල බෞද්ධ ප්‍රචන්ඩත්වය දක්වා” නමැති මැයි 13 ප්‍රචන්ඩත්වය විවේචනය කරන ලිපියකින්, ආගමික වෛරය අවුලුවාලන බව කියමින් ඉදිරිපත් කල වර්ගවාදීන්ගේ පැමිනිල්ලකට ප්‍රතිචාර වසයෙනි.

තවත් සිද්ධියක් නම් මෑත දී පලකල “දඩබ්බරයා” නමැති නව කතාවක රචකයාවූ ඩිල්ෂාන් පතිරත්නගෙන්, පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ග්‍රන්ථය එලිදැක්වීමේ දී කතා කල අය හා එයට සහභාගි වූ අය පිලිබඳ ව ප්‍රශ්න කිරීමයි.

සත්කුමාර ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල කැඳවුමට ප්‍රතිචාර වසයෙන් කලාකරුවන් කිහිප දෙනෙක් ප්‍රකාශ ලබා දී ඇති අතර, ඒවා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකර තිබේ.

තව ද සත්කුමාර වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ජුනි 17දා බලගතු පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූ හ.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී යුදවාදීන් විසින් ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට චෝදනා නැගීම ද ශ්‍රී ලංකාව තුල සත්කුමාර හා අනෙකුත් රචකයන් දඩයම් කිරීම ද සමාජ මාධ්‍ය සීමා කිරීම හා ඒවා මත ඔත්තු බැලීම ද ජනනය වන්නේ ධනවාදයේ හා පන්ති පාලනයේ අර්බුදයෙනි.

“ව්‍යාජ ප්‍රවෘත්ති” හා “වෛරී ප්‍රකාශන” අපරාධකරනය සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව මෑත දී රටෙහි දන්ඩ නීති සංග්‍රහයට හා අපරාධ විධි විධාන සංග්‍රහයට සංශෝධන දෙකක් අනුමත කලේ ය. මෙහි සැබෑ ඉලක්ක වන්නේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මෙන් ම මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ද්වාර වාරනය කිරීම යි.

“ශක්තික සත්කුමාර හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” මැයෙන් ජුනි 24දා ප්‍රකාශයක් නිකුත් කල සසප, කලාවේ හා කලාකරුවන්ගේ නිදහස මත ආන්ඩුවේ කඩාපැනීමට මුහුන දීම සඳහා කලා ක්ෂේත්‍රයේ වැඩකරන්නවුන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාව විස්තර කලේ ය.

“කලාවේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, එවන් ප්‍රහාරවල මූලය වන ධනපති ක්‍රමය, පන්ති සමාජය, ධනපති රාජ්‍යය හා එහි සියලු මර්දන නීති අහෝසි කිරීම පිනිස ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමෙන් පමනක්” වන බව ප්‍රකාශය සඳහන් කලේ ය.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා කලාව ආරක්ෂා කරගැනීමේ ද සත්කුමාරගේ ඉක්මන් නිදහස තහවුරු කරගැනීමේ ද මෙම ක්‍රියාමාර්ගය සමග සම්බන්ධ වන ලෙස කම්කරුවන්, තරුනයන් හා කලාකරුවන්ගෙන් සසප හා සසජාතශි ඉල්ලා සිටී.

Share this article: