“ආරක්ෂාව සුරැකීමේ” නමින් කැලනිය විශ්වවිද්‍යාලය වසා දැමේ

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 ජූනි 1

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසු ආන්ඩුව විශ්වවිද්‍යාල තුල පනවා ඇති මර්දනකාරී කොන්දේසි අනුව සිසුන් ආරක්ෂක අංශවලට “අවනත නොවී යයි” චෝදනා කරමින් බ්‍රහස්පතින්දා කැලනිය විශ්වවිද්‍යාලය යලි දැනුම්දෙන තුරු වසා දැමුනි. සිකුරාදා නිවේදනය කෙරුනේ සමාජ අධ්‍යයන සහ මානව විද්‍යා අංශය යලි දැනුම්දෙන තුරු වසා දමන අතර අනෙක් අංශ සඳුදා සිට ආරම්භ වන බවයි.

“විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිලිවෙලට සුලු පිරිසකගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තර්ජනයක් වී ඇති නිසා විශ්වවිද්‍යාලය යලි දැනුම් දෙනතුරු වසාදමන බව” උපකුලපති විසින් බ්‍රහස්පතින්දා නිකුත්කරන ලද නිවේදනයක සඳහන් විය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ මෙම තීරනයට ආසන්න හේතුව වූයේ මැයි 30 දා පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂනයක සංවිධාන වැඩකටයුතු සඳහා මැයි 29 දා රාත්‍රී නවයෙන් පසු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය (ජිම් කැන්ටිම) තුල සිසුන් රැඳී සිටීමයි. එදින රාත්‍රියේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ සිසුන්ට එම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස දැන්වීමෙන් පසු ඔවුන් ඊට විරෝධතාවය පලකර තිබේ.

සිසුන්ගේ විරෝධතාවයට ප්‍රතිචාර ලෙස පසුදා දහවල් වනවිට ආචාර්ය මන්ඩලයට සහ සියලු සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස එහි උපකුලපති විසින් දැනුම්දී ඇත. ඉන් පසු සියලු විශ්වවිද්‍යාල පරිශ්‍රයන් සහ නේවසිකාගාර සිසුන්ට තහනම් කලාප බවට පත් කෙරුනු අතර සන්නද්ධ භට පිරිස් විශ්වවිද්‍යාල භූමියේ රඳවා ඇත.

ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසු, දින නියමයකින් තොරව වසා දැමුනු ලංකාවේ විශ්වවිද්‍යාල ඉකුත් සතියේ සිට වරින්වර ආරම්භ කෙරුනි. ඒ අනුව කැලනිය විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුනේ මැයි 28 දා ය. ආරම්භක දිනයේදීම විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගයේ පොලිසියේ සහ හමුදාවේ භටයන් දුසිමක් පමන යොදවා තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් පලකල සිසුන් පැවසුවේ කිහිප වතාවක් යුද හමුදා ට්‍රක් රථයක් එම මාර්ගයේ ඉහල පහල ගමන් කරමින් සෝදිසි කිරීම් වල ද නිරත වූ බවයි. උපකුලපතිවරයාගේ අත්සනින් යුතුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අලවා තිබූ දැන්වීමක සඳහන් වූයේ ආරක්ෂක වැඩකටයුතු වලට සහයෝගයක් වන පරිදි ශිෂ්‍ය මධ්‍යස්ථානය, ආපනශාලා, දේශනශාලා සහ විද්‍යාගාර රාත්‍රී නවය වන විට වසා දමන බවත්, ඊට එකඟ නොවන්නේ නම් ආයතනය අඛන්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවනු ඇති බවත් ය.

මෙම පියවරයන් ආරක්ෂාව තහවුරු කිරීමේ කඩතුරාව යටතේ සිසුන්ගේ නිදහස බරපතල ලෙස සීමා කිරීමක් වන අතර හමුදා සහ පොලිස් භටයන් සරසවි පරිශ්‍ර තුල හා අවට ස්ථානගත කිරීම ප්‍රකෝපකරනයක් අවුස්සන කොන්දේසි නිර්මානය කිරීමකි.

උද්ඝෝෂන වලට පෙරදින රාත්‍රියේදී ඊට අවශ්‍ය විරෝධතා පුවරු සකස්කිරීම ආදී වැඩකටයුතු සඳහා ශිෂ්‍ය කන්ඩායම් විශ්වවිද්‍යාල පරිශ්‍ර තුල රැඳී සිටීම සාමන්‍යයෙන් සිදුවන තතු තුල, එම පරිශ්‍ර රාත්‍රී කාලයේදී තහනම් කලාප බවට පත්කිරීම, පරිපාලනය විසින් සිසුන් සමග ගැටුමක් නිර්මානය කිරීමට ගත් පියවරක් බව වටහා ගැනීම අපහසු නැත.

සිසුන් සටන්පාඨ පුවරු සකස් කරමින් සිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් සංවිධානය කරන, “මඩකලපුව, නාගානන්ද, සිබා, එන්එස්බීඑම්, කොතලාවල ඇතුලු උපාධි කඩ වහා අහෝසි කරනු!” යන ඉල්ලීම් මුල්කරගත් විරෝධතාවලට සහභාගීවීම පිනිස ය. අවිශිබම ආන්ඩුවට බලපෑම දමා ප්‍රශ්න විසඳා ගැනීමට හැකියයි සිසුන්ට අවධාරනය කරමින් බංකොලොත් වැඩපිලිවෙලක් ගෙන යයි.

කැලනිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාවට දමා ඇති සිසු මර්දන කොන්දේසි සෑම විශ්වවිද්‍යාලයක් තුලම දැන් ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම ජනාධිපති සිරිසේන, සියලු පක්ෂවල සහයෝගයෙන් හදිසි නීති පනවා පොලිසිය සහ මිලිටරිය බලගන්වා රට පුරා මුදාහැර ඇත. මෙම පක්ෂ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ව්‍යාපාරයක් අවුස්සා වාර්ගික කාකොටා ගැනීම් ඇවිලවීමට සහ භීතියට පත්කිරීමට උත්සාහ දරයි.

ත්‍රස්ත ප්‍රහාරය යොදාගෙන මෙම වැඩපිලිවෙල ගෙන යන්නේ තමන්ගේ අයිතීන් රැක ගැනීමට හා දිනා ගැනීමට කම්කරුවන්, දුගීන් හා තරුනයන් අරගලවලට ඒම මැඩලීමටයි. විශ්වවිද්‍යාල සිසුන් පසුගිය කාලය පුරා හා ඊට පෙරාතුව අධ්‍යාපන අයිතීන් රැක ගැනීමේ උද්ඝෝෂනයක දිගින්දිගටම නිරතවී ඇත. එම ආයතන තුල මර්දන කොන්දේසි පැනවීමේ ඉලක්කය මෙම අරගල නතර කිරීම හා සිසුන් දඩයමට ලක්කිරීමයි.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන අවිශිබමයේ නායකයෝ විශ්වවිද්‍යාල සහ පාසල් වසා තිබියදී ඒවායේ, “ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කර” විවෘත කරන ලෙස ඉල්ලමින් ආන්ඩුව පාසල්වල සහ අධ්‍යාපන ආයතන තුල සිදු කරගෙන ගිය මිලිටරි තර කිරීම්වලට පිටුබලය දුන්හ. ඉන්පසුව අවිශිබ විශ්ව විද්‍යාල තුල සිදු කරන මිලිටරි සෝදිසි කිරීම් වලට තම නියෝජිතයන් කායිකවම සහභාගි කලේය.

ධනපති පන්ති පාලනය වඩවඩා දක්ෂිනාංෂික දිශාවකට ගමන්කරද්දී ඊට රුකුල් දුන් අවිශිබම දැන් කෙඳිරිගාන්නේ ආන්ඩුව ජාතික ආරක්ෂාව සුරැකීමේ මුවාවෙන් ශිෂ්‍ය මර්දනය ගෙනයන බව කියමිනි.

Share this article: