ශ්‍රී ලංකාවේ ආන්ඩුව “අසත්‍ය ප්‍රවෘත්ති” අපරාධකරනයට පියවර ගනියි

නවීන් දේවගේ විසිනි, 2019 ජූනි 19

“අසත්‍ය ප්‍රවෘත්ති” හා “වෛරී ප්‍රකාශන” අපරාධ ලෙස නම් කිරීමට රටෙහි දන්ඩ නීති සංග්‍රහය හා අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වන යෝජනා දෙකකට ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව මෑත දී අනුමැතිය දුන්නේ ය.

අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන වැඩ බලන ඇමති රන්ජිත් මද්දුමබන්ඩාර විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙකෙන් එකක්, “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරයට” වරදකාරී වන ඕනෑම අයෙකුට රුපියල් මිලියනයක දඩයක් හෝ වසර පහක සිර දඬුවමක් හෝ ඒ දෙක ම පැනවීමට යෝජනා කරයි. අනෙක් වෙනස්කමට අනුව, තවමත් විස්තර කර නැති “වෛරී ප්‍රකාශයන්” සඳහා දඩ හෝ සිරගත කිරීම් පනවනු ලැබේ.

යෝජිත පියවරයන් මද්දුමබන්ඩාර විසින් ඉදිරිපත් කෙරුනේ, පාලක සභාගයේ හා නිල විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන ජාතික ආරක්ෂාව පිලිබඳ පාර්ලිමේන්තු අධීක්ෂන කමිටුවේ ඉල්ලීම් මත ය.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මෙන් ම මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ද්වාර වාරනය කිරීමට, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතයෙහි සියලු‍ කන්ඩායම්වලට පවතින ඒකමතිකත්වය හා අධිෂ්ටානය, මෙම ඉල්ලීමෙන් පෙන්නුම් කෙරෙයි.

යෝජිත පියවරයන් තුල අර්ථ නො දක්වන “අසත්‍ය ප්‍රවෘත්ති” හා “වෛරී ප්‍රකාශ” යන යෙදුම්, විශේෂයෙන් ම, ආන්ඩුවට හා රාජ්‍ය තන්ත්‍රයට අභියෝග කරන සමාජවාදීන්, කම්කරුවන් හා තරුනයන් ඇතුලු‍ දේශපාලන විරුද්ධවාදීන්ට චෝදනා ගෙතීම පිනිස යොදාගනු ඇත.

මෙම නීති සාධාරනීකරනය කිරීමට උත්සාහ දරමින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රකාශ කලේ ය: “පාස්කු ඉරිදා, එනම් අප්‍රේල් 21 දින කම්පාකාරී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු සති කිහිපයේ විවිධාකාර කන්ඩායම් විසින් මෙන් ම අන්තර්ජාලය තුල ද ගැඹුරු වන ‘වෛරී ප්‍රකාශ’ හා ඉහල යන සමාජ ආතතීන් පිලිබඳ ව නීතිය හා සාමය පිලිබඳ බලධාරීන් මෙන්ම සිවිල් සමාජ නායකයන් ද වඩ වඩා උත්සුක වී ඇත.” [ප්‍රකාශයේ මෙම කොටස ඬේලි නිවුස් පුවත්පතෙන් පරිවර්තනය ගන්නා ලදී]

මෙම උත්සුකයන් මතුකරන ඊනියා සිවිල් නායකයන් වන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු විපක්ෂ නායකයන් සහ මිලිටරි හා පොලිස් ඉහල නිලධරය මිස අන් කිසිවෙක් නො වේ.

පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරවලට සිරිසේන ප්‍රතිචාර දැක්වූයේ, පොලීසියට හා මිලිටරියට පුලු‍ල් බලතල ලබා දෙන විෂඝෝර හදිසි නීතිය පැනවීමෙන් සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යලි පනගන්වමින් එම පියවරයන් දෙවන මසටත් දීර්ඝ කරමිනි.

සමාජ මාධ්‍ය මත පැනවූ තහනම ඉවත් කරන ලද්දේ ඒවා භාවිතා කරන්නන්ට “වගකීමෙන් ක්‍රියාකරන” ලෙස අනතුරු ඇඟවීමෙන් පසුව පමනි. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් දෙසතියකට පසුව, දෙදිනකට තහනම යලි පැනවූයේ, ආන්ඩුව හා විපක්ෂය විසින් උසිගන්වන ලද වර්ගවාදී මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහි ව කඩාපැනීමක් මුදාහල විට ය. එම ප්‍රචන්ඩ ක්‍රියාවලින් එක් පුද්ගලයෙක් මරා, තවත් බොහෝ පිරිසකට තුවාල කල අතර පලල් පරිමානයෙන් දේපොල විනාශ කෙරුනි. පොලීසිය හා ආරක්ෂක හමුදා එම ප්‍රහාර කෙරෙහි අන්ධ ව සිටිය හ.

වසරකට පෙර, 2018 මාර්තුවේ, මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ දිගන දී සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම් ප්‍රචන්ඩ මුස්ලිම්-විරෝධී ප්‍රහාර දියත් කල විට ද , සිරිසේන සමාජ මාධ්‍ය සති දෙකකට පමන තහනම් කලේ ය.

“අසත්‍ය ප්‍රවෘත්ති” හා “වෛරී ප්‍රකාශ” පිලිබඳ ව සිරිසේන, වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු විපක්ෂය පල කරන “උත්සුකයන්”‍ , ත්‍රස්තවාදී ප්‍රහාර නැවැත්වීමට හදිසි නීති හා මිලිටරිය මහා පරිමානයෙන් දිගේලි කිරීම අවශ්‍ය බව කියා පෑම තරම් ම ප්‍රෝඩාකාරී ය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිලිබඳ ව ආන්ඩුවේ හා විපක්ෂයේ මූලික නායකයන් මෙන් ම ඉහල ආරක්ෂක නිලධාරීන්ට අනතුරු අඟවා තිබුනු අතර, ඔවුහු පොලිස්-රාජ්‍ය පියවරයන් පැටවීම සඳහා සිය ගනනක් අහිංසක මිනිසුන් මියයාම යොදා ගත්හ.

ඊනියා ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශන ශ්‍රී ලංකාව තුල අපරාධ ලෙස නම් කිරීම, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හා විමර්ශනාත්මක ජනමාධ්‍යවේදය මත ජාත්‍යන්තර ව පලල් පරිමානයෙන් එල්ල කරන ප්‍රහාරයක කොටසක් මෙන්ම නිදහස් ප්‍රකාශනය මත ඍජු ප්‍රහාරයකි.

අන්තර්ජාලය මත සමාජවාදී හා යුද-විරෝධී අන්තර්ගතයන් වාරනය කිරීමට, එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය යෝධ ගූගල් හා මුහුනුපොත යන සංගතයන් සමග සහයෝගයෙන් ක්‍රියා කරයි. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රන්සය, ඉන්දියාව හා අනෙකුත් රටවල ඒ හා සමාන සීමාකිරීම් කරමින් තිබේ.

විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත්, ඔත්තු බැලීමේ චෝදනා මත ඔහු ව එක්සත් ජනපදයට උදර්පනය කරගැනීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයත් විසින් විමර්ශනාත්මක ජනමාධ්‍යවේදය හා මාධ්‍ය නිදහස මත එල්ල කරන ප්‍රහාර ඉස්මතු කර දක්වයි.

මේ මස මුල දී, ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, රජයෙන් අරමුදල් සපයන ජාතික ජාලයක් වන ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාවට හා නිව්ස් කෝප් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගේ නිවසට පෙර නුවූ විරූ කඩාපැනීමක් කලේ ය. සෝදිසි කිරීමේ දී පොලීසිය සංඛ්‍යාංක ගොනු සිය ගනනක් අල්ලා ගත්තේ, මාධ්‍යවේදීන් ආන්ඩුවේ රහස් ලේඛන ප්‍රසිද්ධ කර තිබුනු බව කියමිනි.

අන්තර්ජාලය වාරනය කිරීමට හා පාලනය කිරීමට පාලක පන්තීන් රුදුරු ලෙස හැරී සිටින්නේ, ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන කම්කරු-පන්තික අරගල හා සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව කෙරෙහි භීතිය නිසාය. තමන්ගේ අරගල සංවිධානය කිරීමටත්, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමටත් කම්කරුවන් හා තරුනයන් විසින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය බහුල ව යොදා ගනී.

ශ්‍රී ලංකාව තුල සමාජ මාධ්‍ය භාවිතය පෘථුල ය. මෑත වාර්තාවන්ට අනුව, මිලියන 21ක පමන ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ, ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මිලියන 6ක් හෙවත් රටෙහි පුරවැසියන්ගෙන් තුනෙන් පංගුවක් තරම් ඉහල මට්ටමක පවතී.

කොලඹ පාලනය “අසත්‍ය ප්‍රවෘත්ති” අපරාධකරනය කිරීමට ක්‍රියා කරන අතර ම, අන්තර්ජාලය මත පාලනය තීව්‍ර කිරීමේ නව ක්‍රම ද එය විසින් සොයමින් සිටී.

“සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රචාරනය කරන පුද්ගලයන් ඇල්ලීමට” ශ්‍රී ලංකාවට උදවු වන තාක්ෂනික විශේෂඥයන් හා උපකරන එවීමට, මෑත දී ශ්‍රී ලංකාවේ ජනාධිපති චීනයට කල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජිංපිං කී බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර ඇත. ෂීගේ පොරොන්දුව සිරිසේන කල ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරයකි.

මර්දනකාරී නිලධාරී තන්ත්‍රයේ පාලනය කෙරෙහි කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් අතර වැඩෙන විරෝධය තලා දැමීම සඳහා චීනය අධි-බල අන්තර්ජාල ඔත්තු බැලීමේ තාක්ෂනයන් භාවිතා කරයි.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26 අවුරුදු වාර්ගික යුද සමයේ කොලඹ පාලනය වෙබ් අඩවි ක්‍රමානුකූල ව බාධනය කලේ ය. යුද්ධය 2009 දී අවසන් වුවත් බාධනයන් දිගට ම පැවතුනි. එහි පූර්වප්‍රාප්තිකයා මෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඉලක්ක කර ඇති අතර, යුද සමයේ ස්ථාපනය කල විශේෂ අන්තර්ජාල මිලිටරි ඔත්තු සේවා ඒකකයක් පවත්වාගෙන යයි.

පසුගිය නොවැම්බරයේ දී, සිරිසේනගේ පාලනය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසම lankaenews.com බාධනය කර, එහි ප්‍රධාන කතුවරයා එක්සත් රාජධානියෙන් උදර්පනය කරන ලෙස ඉල්ලා සිටියේ එම වෙබ් අඩවිය සිරිසේන ව විවේචනය කිරීමට පටන් ගැනීමත් සමග යි.

ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර, ඔහුගේ ෆෙස්බුක් ගිනුමේ කෙටි කතාවක් පලකල පසු වෛරය පැතිරීම හා වාර්ගික සුසංවාදයට බාධා කලේ යයි ව්‍යාජ ලෙස චෝදනා කරමින් අප්‍රේල් මාසයේ සිට රිමාන්ඞ් භාරයේ තබනු ලැබ සිටී. සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කරමින් ඔහු ව යලි යලිත් බන්ධනාගාරගත කරනු ලැබ තිබේ.

සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලද්දේ මුස්ලිම්-විරෝධී මනෝගතියක් ඇවිලවීමේ පෙරමුනේ ම සිටින අන්ත-දක්ෂිනාංශික බෞද්ධ භික්ෂූන් විසින් කරන ලද පැමිනිල්ලක් මතය.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරනයට හා පාලනය කිරීමට කොලඹ ආන්ඩුව සැලසුම් කරන නව පියවරයන්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීම දෙසට වන පැහැදිලි පියවරයන් ය. කම්කරුවන් හා තරුනයන් මෙම මර්දනයට එකහෙලා විරුද්ධ විය යුතු ය.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

Sri Lankan prime minister threatens increased internet and social media censorship [ශ්‍රී ලංකාවේ අගමැති අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරනය කිරීමේ තර්ජන උත්සන්න කරයි]

මුහුනුපොත ශ්‍රී ලංකාව පිලිබඳ ලෝසවෙඅ පුවතක් ඉවත් කරයි

Share this article: