ලේඛක සත්කුමාර නිදහස් කරන ලෙස සසප හා සසජාතශි කොලඹ පිකට් උද්ඝෝෂනයක් පවත්වති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 19

සසප උද්ඝෝෂනය

මුහුනු පොතේ කෙටි කතාවක් පලකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන මාස දෙකකට වැඩි කලක් බන්ධනාගාරගත කර සිටින ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ජුනි 17දා පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූ හ.

අප්‍රේල් 01 දා පොල්ගහවෙල පොලීසිය මගින් සත්කුමාර අත්ඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබූයේ ඔහු තම ෆෙස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නම් කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාන්කඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරනු ලැබූ ව්‍යාජ පැමිනිල්ලක් මත ය.

මර්දනකාරී ව්‍යාපාරය උසිගන්වමින්, ඉහත කී සංවිධානය හා ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන’ නම් බෞද්ධ කල්ලි මාර්තු 3 දා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් වෙත යැවූ නිවේදනයකින් “බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රනකාරී ලේඛන කලාවක නිරත” වන සත්කුමාර වැනි “විකෘති පුද්ගලයන්ගේ” නිර්මානවලට මාධ්‍ය වාරනයක් පනවන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටියෝය.

පොලිසිය බෞද්ධ අන්තවාදී නඩවල ඉල්ලීමට අවනත වෙමින් සත්කුමාර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එජා සංවිධනයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (අයිසීසිපීආර්) මත ලංකාවේ සම්මතකර ඇති පනතේ වගන්ති අනුවය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් රැකීම ගැන සීමිත රෙගුලාසි එහි ඇතුලත් වුවත් ප්‍රතිගාමීන් අත එය අනෙක් පැත්ත කැපෙන ආයුධයක් වී තිබේ.

සසප හා සසජාතශි සිය උද්ඝෝෂනය පැවැත්වූයේ සත්කුමාර නිදහස් කරගැනීම සඳහා සසප විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල්කරගෙන ඔහු අත්අඩංගුවට ගත අප්‍රේල් මාසයේ සිටම දියත් කර ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස ය. සසප හා සසජාතශි ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සත්කුමාර නිදහස් කරන ලෙස ඉල්ලා බොහෝ කලාකරුවන් හා ලේඛකයන් මේ වන විට ප්‍රකාශ නිකුත් කර ඇත. ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනය

සසප උද්ඝෝෂනයට පක්ෂ සාමාජිකයන්, ආධාරකරුවන් හා කලාකරුවන් ඇතුලු 100ක් පමන සහභාගි විය. එහි දී උද්ඝෝෂකයෝ “ලේඛක ශක්තික සත්කුමාර වහා නිදහස් කරනු!”, “කලාවේ නිදහසට අත නො තබනු!”, “භාෂනයේ නිදහසට අත නො තබනු!” “ප්‍රජාතන්ත්‍ර අයිති නසන, සමාජ අයිතින් වනසන, න්‍යෂ්ටික යුද්ධය කැඳවන, ධනවාදය තුරන් කරමු!, ජුලියන් අසාන්ජ් නිදහස්කරනු!” යනාදී සටන් පාඨ උද්‍යෝගයෙන් යුතු ව හඬ නැගූ හ.

එම අවස්ථාවේ සිද්ධිය නැරඹූ හෝ ඒ අසලින් ගිය අයට “ලේඛක සත්කුමාර නිදහස් කරනු!” යන ලෝසවෙඅ අප්‍රේල් 12 ප්‍රකාශය හා “ කොලඹ පාලක පන්තියේ පොලිස් රාජ්‍ය සූදානම පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි ” යන සසප ප්‍රකාශයේ පිටපත් සිය ගනනින් බෙදා හරින ලදී.

මාධ්‍ය ආයතන කිහිපයකින් සිද්ධිය ආවරනය කිරීම සඳහා පැමින සිටි අතර, ඬේලි මිරර් පත්‍රයේ අන්තර්ජාල සංස්කරනය සිදුවීම එදින ම වාර්තා කර තිබුනි. අනෙකුත් ආයතන අතර, අයිටීඑන්, සිරස, ස්වර්නවාහිනී, සියත, රන්ගිර ආදී රුපවාහිනි නාලිකා ද විය.

සංජය විල්සන්

උද්ඝෝෂනයෙන් අනතුරු ව මිනිත්තු 30ක් පමන පැවති රැස්වීම අමතා කතා කල නීතිඥ සංජය විල්සන්, සත්කුමාරට එරෙහි ව බෞද්ධ සංස්ථාපිතය විසින් දියත් කර ඇති ප්‍රහාරයේ මූලයන් පැහැදිලි කලේ ය.

විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දෙමල සුලු‍තරයට එරෙහි ව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් 30 අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය වාර්ගික යුද සමයේ, පාලක පන්තිය විසින් සිය අවශ්‍යතා සපුරා ගැනීමට බෞද්ධ සංස්ථාපිතය පෝෂනය කරනු ලැබූ ආකාරය විස්තර කලේය. ”‍එමගින් පැන නංවාගත් අන්තවාදී සංවිධාන දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදීමට යොදාගෙන තිබෙනවා. ලොව පුරා ආන්ඩු විසින් විශේෂයෙන් ම 2008 ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු ගෙන යන සමාජ ප්‍රතිවිපල්වයේ කොටසක් ලෙස කලාවටත් ජනමාධ්‍ය නිදහසටත් එල්ල කරන ප්‍රහාරය ලංකාව තුල දිග හරිමින් සත්කුමාර දඩයමට ලක්කර තිබෙනවා” යි විල්සන් සඳහන් කලේය.

පානි විජේසිරිවර්ධන

සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන සඳහන් කලේ අන්තවාදී බෞද්ධ නඩවල ව්‍යාජ පැමිනිල්ලක් මත සත්කුමාර අත්අඩංගුවට ගැනීමේ අපරාධයට පාලක හා විරුද්ධ පක්ෂ ද මාධ්‍ය සංස්ථාපිතයේ කොටස් ද හවුල් ව ඇති බව යි. “ලංකාවේ පාලක පන්තිය බලයට පත් තැන් පටන්, සිංහල-බෞද්ධ වර්ගවාදය නැවත නැවතත් අවුලු‍වමින් කම්කරු පන්තිය බේද කිරීමට වැඩකර ඇතැ” යි ඔහු පැවසී ය. 1972 සිංහල රාජ්‍ය භාෂාව කිරීමට අමතර ව බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමත්, 1983 වර්ගවාදී යුද්ධය ඇරඹූ තැන් පටන් බෞද්ධ සංස්ථාපිතය ඔසවා සෑම ක්ෂේත්‍රයකට ම ඇඟිලි ගැසීමට එයට ඉඩ දුන් ආකාරයත් ඔහු විස්තර කලේ ය.

ලොව පුරා ආන්ඩු සකල සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සියල්ලට ම පහර එල්ල කරමින් තිබෙන්නේ, ගැඹුරු වන ධනේශ්වර ආර්ථික අර්බුදයේ සියලු‍ බර කම්කරු-පීඩිත මහජනයා මත පැටවීමේ එල්ලය සහිත ව බව විජේසිරිවර්ධන සඳහන් කලේ ය. “මෙම ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් ජනපදය, ප්‍රන්සය, ඉන්දියාව හා ලංකාව ඇතුලු‍ ලොව පුරා පන්ති අරගලවල පුනර්ජීවනයක් මධ්‍යයේ. එම ප්‍රහාරවල මූලික අරමුන වන්නේ මෙලෙස වර්ධනය වන පන්ති අරගල තලා දැමීම” යි කථිකයා පැවසී ය.

විශේෂයෙන් ම අප්‍රේල් 21 දින එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර සිදුවන බව කල්තියා දැන සිට, වැඩෙන කම්කරු පන්තික හා පීඩිත ජනයාගේ අරගල මැඩීම ඉලක්ක කරගෙන ඒවා සිදුවීමට ඉඩ හැර, රුදුරු මර්දන පිලිවෙත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇත. එම ප්‍රහාරයෙන් පසු, මුදා හැර ඇති මුස්ලිම්-විරෝධී වර්ගවාදයට නායකත්වය සපයන්නේ ද පාලක පන්තිය හා බෞද්ධ සංස්ථාපිතය විසිනි.

ව්‍යාජ-වම්මුන් සිටගෙන ඇත්තේ ද මෙම ප්‍රහාරය සමග යි. දැනට ලෝකයේ සිටින ප්‍රධානතම දේශපාලන සිරකරුවා වන විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් පිලිබඳ ව ද සඳහන් කල විජේසිරිවර්ධන, කිසියම් පක්ෂයක් හෝ කන්ඩායමක් අසාන්ජ් සම්බන්ධයෙන් ගන්නා ආස්ථානය, ඔවුන්ගේ පන්ති සබඳතා ප්‍රකාශයට පත්කරන බව පැවසී ය. අසාන්ජ් සම්බන්ධයෙන් මෙන් ම සත්කුමාර සම්බන්ධයෙන් ද ව්‍යාජ-වම පවත්වාගෙන යන්නේ දැඩි නිශ්ශබ්දතාවකි. එයට හේතුව වන්නේ ව්‍යාජ-වම මගින් නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තිය, අධිරාජ්‍යවාදය හා ධනපති ක්‍රමය සමග තදින් බැඳී සිටීම යි.

“‍භාෂනයේ නිදහස රැකගැනීමේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ සටනේ කොටසක්. එම අයිතීන් සඳහා සටන අත්‍යන්තයෙන්ම බැඳී තිබෙන්නේ සමාජවාදය සඳහා අරගලය සමගයි. මෙම ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය හා එහි තරුන සංවිධානයයි”‍ කී විජේසිරිවර්ධන ඊට එක්වන ලෙස කම්කරුවන්ගෙන් තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

කපිල ප්‍රනාන්දු

සසජාතශි කැඳවුම්කාර කපිල ප්‍රනාන්දු සඳහන් කලේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කටයුතු කරමින් සිටින්නේ ජාත්‍යන්තර නීතිය සහමුලින් උල්ලංඝනය කරමින් බව යි. එක්සත් ජනපදය ඉරානයට යුද තර්ජන එල්ල කරමින් හා චීනයට එරෙහි ව සම්බාධක පනවමින්, යුද තර්ජන එල්ල කරමින් සිටී. අධිරාජ්‍යවාදීන් ගෙන යමින් සිටින ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී මිලියන ගනන් ජනයා ඝාතනය කරනු ලැබ ඇත.

“ශ්‍රී ලංකාවේ ද අප්‍රේල් 21 දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට අන්තවාදී බෞද්ධ නඩ පෝෂනය කරමින් හදා වඩා ගත් පාලක පන්තියේ සියලු‍ කොටස් වගකිව යුතු යි. එයට හේතුව සිංහල මෙන් ම දෙමල හා මුස්ලිම් ධනපති සංස්ථාපිතය, අධිරාජ්‍යවාදයේ අපරාධවලට හවුල් ව සිටීම” යි ප්‍රනාන්දු පැවසී ය. යහපත් කොන්දේසි තකා සටන් වැදුනු ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් 13ක් දඩයමට ලක් කොට මරනයට නියම කිරීම මගින් ද පැහැදිලි වන්නේ, පාලක පන්තීන් කම්කරු පන්තියට එරෙහි ව ඕනෑම දුරක් යාමට සූදානම් බව යි.

කලාවේ නිදහස සම්බන්ධයෙන් ගත් විට වර්තමානයේ තරුනයන්ට හා සිසුන්ට කලාව හැදෑරීමේ මංමාවත් අහිමි කර ඇති බව ප්‍රනාන්දු පැවසී ය. පාසල් පද්ධතියෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් අතු ගා දමමින් සිටින ධනපති පාලක පන්තිය, පාසල් වසා දමමින් සිටී. මෙයට විරුද්ධ ව මතු වන අරගල හුදකලා කොට අපසරනය කිරීමට ව්‍යාජ-වම්මුන් හා ධනේශ්වර ශාස්ත්‍රාලිකයන් වැඩකරමින් සිටී.

ජූලියන් අසාන්ජ් හා සත්කුමාර ආරක්ෂා කරගත හැකි එකම ක්‍රමය වන ධනවාදය පෙරලා දැමීමේ අරගලයේ නායකත්වය ගත හැකි එකම පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. කම්කරු පන්තිය දෙසට හැරී සමාජවාදය සඳහා අරගලයට බද්ධ වන ලෙසත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිතිපතා කියවන ලෙසත් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ ය.

යනූෂා ලක්මාලි

රැස්වීමට සහභාගි වූ යනූෂා ලක්මාලි මෙසේ සඳහන් කලා ය: “අදට මගේ මහත්තයා සිරගත කර දවස් 78ක් ගත වී තිබෙනවා. ලේඛිකාවක් විදිහටත්, රජයේ රැකියාවක් කරන තැනැත්තියක් විදිහටත් මා පසුවන්නේ දැඩි කම්පනයකින්. එයට හේතුව කලා නිර්මානයක් කල තැනැත්තෙක් ත්‍රස්තවාදී චෝදනා යටතේ සිරගත කරන්නේ කෙසේ ද කියා මට ප්‍රශ්නයක් තිබීම යි. මා රැකියාවට යන්නෙත් අසීරුවෙන්. අනෙක් හැමෝ ම මා දෙස බලන්නේ දැඩි වරදක් කල තැනැත්තියක් ලෙසට යි. ඒත් අද දින මෙතැනට විශාල පිරිසක් රැස්ව සිටීමෙන් මා, මගේ දරු දෙදෙනා හා මහත්තයා තනි වී නැතැයි මට හැඟෙනවා.”

ප්‍රකාශනයේ නිදහස සඳහා එකමුතුව

සසප පිකට් කිරීම පැවැත්වූ අවස්ථාවේම “ප්‍රකාශනයේ නිදහස සඳහා එකමුතුව” නම්වූ සංවිධානයක් වෙනම සටන් පාඨ සහිතව සත්කුමාර නිදහස් කරගැනීම සඳහා උද්ඝෝෂනයක් පැවැත් වීය. ඊට කලාකරුවන් පිරිසක් හා ව්‍යජවාම කන්ඩායම් වල කොටස් සහභාගී වූහ.

අප උද්ඝෝෂනයට වෙනස් ව, ඔවුන්ගේ සටන් පාඨ අතර වූයේ ආන්ඩුවට බලපෑම් දමා සත්කුමාර නිදහස් කරගැනීම පිනිස ආන්ඩුවට ආයාචනා ඉදිරිපත් කිරීමකි. සසප උද්ඝෝෂනය පැවැත්වෙන අතරතුර අනෙක් සංවිධානයේ පිකට් කිරීම ඉක්මනින් ම අවසන් විය. ඊට සම්බන්ධවූ ව්‍යාජවාම කොටස් සිරිසේන හා වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට මුල්වී කටයුතු කල පුද්ගලයන් හා සංවිධානයන් ය.

සත්කුමාර දඩයමට මුල් වුනු බෞද්ධ අන්තවාදී නඩ ක්‍රියාකරන්නේ ආන්ඩුවේ හා රාජ්‍යයේ පිටු බලය ඇතුව වුවද මෙම උද්ඝෝෂනයේ මුල් තැන ගෙන තිබුනේ පොදුවේ “අන්තවාදය” පිටු දැකීමේ සටන් පාඨ ය.

එහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක් පුද්ගලයෙක්, තමන් ඡන්දය දුන්නේ සිරිසේනට බවත්, දැන් “අපට සලකන්නේ” මෙසේදැයි විමසන බවත් පැවසී ය. සත්කුමාර නිදහස් කරගැනීමේ අරගලය ආන්ඩුවට ආයාචනා කිරීමේ හා ”‍මනුස්සකම රැකගැනීමේ”‍ සදාචාරවාදී කැඳවුමකට සීමා කිරීමට උද්ඝෝෂකයන් පියවර ගෙන තිබුනි.

Share this article: