වැඩිවෙන සමාජ විරෝධය මධ්‍යයේ
ඉන්දීය ප්‍රභූව ජාතික මහ මැතිවරනය සඳහා සුදානම් වන්නේ චකිතයෙනි

Amidst mounting social opposition: Indian elite nervously prepares for national elections

වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2019 මාර්තු 27

රැකියා හා සංවර්ධනය පිලිබඳ ව්‍යාජ පොරෙන්දුවල පදනම මත වසර පහකට පෙර බලයට පැමිනි හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයට (බීජේපී) පමනක් නො ව, නව ලිබරල් “ප්‍රතිසංස්කරනවල” දශක තුනක විනාසකාරී ප්‍රතිපලවලට එරෙහිව ද ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයින් අතර ඇත්තේ ගැඹුරට මුල් බැස ගැනුනු කෝපයකි.

කෙසේ නමුත් මෙම කෝපය, ඉන්දීය දේශපාලනය තුල අව්‍යාජ හෝ සාධනීය ප්‍රකාශනයක් සොයා නො ගනු ඇත. බීජේපිය හා කොංග්‍රස් පක්ෂයේ සිට ඉන්දීය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හෝ සීපීඑම් දක්වා සියළු පක්ෂ, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ඉන්දියාව ලාභ ශ්‍රම තටාකයක් කිරීම අරමුනු කර ගැනුනු “ආයෝජන ගැති” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉඩ හැර ඇත. මේ සියල්ලන්ම, මහා බලවතෙකු වීමේ ඉන්දීය ධනේශ්වර අභිලාෂයන්ට සහාය දෙති. ඔවුන් ඊට සහාය දෙන්නේ, අධිරාජ්‍යවාදී කූඨෝපායන් හා ගැටුම් කරා පෙර නො වූ විරූ තරම් දැඩි ලෙස ආසියාව ඇද ගනිද්දී හා නැවත වතාවක් පසු ගිය මාසයේ පෙන්නුම් කෙරුනු පරිදි,පකිස්තානය සමග විනාසකාරී යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරන අතරතුර ය.

ප්‍රාදේශීය අවස්ථා හතක දී මැතිවරනය පැවත්වෙනු ඇත්තේ, මෙතැන් සිට සති දෙකකින්, එනම් අප්‍රේල් 11වැනිදා ආරම්භ කර, මැයි 19වැනි ඉරිදා අවසාන වන ලෙසය. මැයි 23වැනිදා ඡන්ද වගුගත කිරීමට නියමිත ය. ජාතික මැතිවරනයට සමගාමීව ප්‍රාන්ත හතරක (ආන්ද්‍රා ප්‍රදේශ්, අරුනාචල් ප්‍රදේශ්, ඔදිෂා, හා සීකිම්) මැතිවරන පැවත්වෙන අතර, ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතර ප්‍රාන්තය මෙන්ම ඉන්දියා - පකිස්තාන් මූලෝපායික එදිරිවාදීකම් වල කේන්ද්‍රීය ලක්ෂ්‍යය වන ජම්මු හා කාෂ්මීරයේ එය නො පැවත්වෙනු ඇත. “ආරක්ෂක” උත්සුකයන් ඉදිරිපත් කරමින් බීජේපි ආන්ඩුව, පසු ගිය ජූනි මාසයේ ජම්මු හා කාෂ්මීරය තුල ස්ථාපිත කෙරුනු මධ්‍යම ආන්ඩුවේ පාලනය, දින නියමයක් නොමති ව දීර්ග කර ඇත. බීජේපීය කනිෂ්ට පක්ෂයක් ලෙස සේවය කල ප්‍රාන්ත ආන්ඩුව, වැඩිවෙන මහජන විරුද්ධත්වය මැඩපවත්වන්නේ කෙසේ ද යන්න පිලිබඳ මත මතභේද හේතුවෙන් ඇද වැටුනි.

ඉන්දියාවේදී නම් හැම විටම වැරදි යැයි ඔප්පු කෙරී ඇති මත විමසුම් අඟවන්නේ, අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ බීජේපී ආන්ඩුව බලය අල්ලා ගෙන සිටිනු ඇති බව යි. නමුත් පසු ගිය වසර කීපයට වෙනස් ලෙස, ඔවුන් තම පාර්ලිමේන්තු බහුතරය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සහචරයින් මත යැපෙනු ඇත.

කප්පාදු හා ප්‍රතිගාමිත්වය පිලිබඳ බීජේපීයේ වාර්තාව

යලි බලයට පැමිනීමේ බීජේපී උද්ඝෝෂනය බෙහෙවින්ම බ්‍රමනය වන්නේ, ස්වෝත්සාහයෙන් දියුනු වූ හින්දු “බලවතා” ලෙස මෝදි පිමිබීම වටා ය. මෝදි මූර්තිමත් කරන්නේ බලවත් ව “නැගී එන” ඉන්දියාව යි. බීජේපී උද්ඝෝනයේ අනෙක් ප්‍රධාන තේමාව වන්නේ, මෝදි ආන්ඩුව “ලෝකය පරද්දන ආර්ථික වර්ධනයක්, අතත්කරගෙන ඇත යන්න යි.

2014දී, ඉන්දීය සංගත ප්‍රභූව බීජේපීය බලයට පත් කලේ, ඒ මගින් නව ලිබරල් ප්‍රතිසංස්කරන වේගවත් කිරීමට හා ලෝක වේදිකාවේ දී තම උත්සුකයන් හා අභිලාශයන් වඩාත් ආක්‍රමනකාරී ලෙස තහවුරු කිරීමටත් ය.

වසර පහක් ගතවෙද්දී බීජේපීය, තම සියලු තරඟකරුවන් එකට ගත් කල පවා ඊට බෙහෙවින් වැඩි සංගත ප්‍රදානවලින් ඔවුන් පසුබැස්සවීය.

කෙසේ නමුත්, පාලක ප්‍රභූවේ ඇතම් කන්ඩායම් බීජේපීය සුලි සුලඟක් ආරම්භ කරමින් සිටිති යි බිය වෙති: එනම් එහි හානිකර වාර්ගික දේශපාලනය සමාජ දැල ඉරා දමමින් හා රාජ්‍ය ආයතනවල ජනතාවාදී නීත්‍යානුකලභාවයට වල කපමින් සිටින බව; ඉන්දියාවේ වර්ධනය හා මර්දනය ගැන එහි කුරිරු රැවටිල්ල, හා අතිවිශාල බහුතරය මුහුන දෙන අඳුරු යතාර්ථය ආර්ථික සංඛ්‍යා හුවාදක්වීම මගින් ආවරනය කල නො හැකි බව ඔවුන්ට පෙනී යමය.

ඉන්දියානු වර්ධනයේ පලය අත් කර ගෙන සිටින්නේ තුනී ධනේශ්වර ප්‍රභූවක් විසිනි. 2015 හා 2017 අතරතුර, ඉහල සියයට1 විසින් හිමි කර ගන්නා ලද ධනය සියයට 53 සිට 73 දක්වා ඉහල ගිය අතර, ඉතිරි සියයට 99 පංගුව සියයට 27 දක්වා පහත වැටුනි.

ඉන්දියාව, සංගත මාධ්‍යයේ වැඩි කොටස පවා, කෘෂිකාර්මික හා රැකියා යන දෙකේ ම අර්බුදයෙන් අතොරක් නැතිව බැට කති. අඩු තක්සේරුවක් සහිත ආන්ඩුවේ වාර්තාවකට අනුව, ශ්‍රම බලකායේ සහභාගිත්ව අනුපාතය 2003 සියයට 63.7 සිට 2017-18දී සියයට 49.8 දක්වා පහත වැටුනේ, මිලියන ගනන් ජනතාව නො පවතින රැකියා සෙවීම අතහැර දමා ඇති බැවිනි.

ඓතිහාසික ව එහි සහයෝගිතා ප්‍රධාන පදනම සමන්විත වී ඇති, “හින්දු තීරුවේ” කොටස් වන, ප්‍රාන්ත තුනක (මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර්, හා රාජස්තානයේ) දෙසැම්බරයේ පැවති ප්‍රාන්ත මැතිවරනවල දී බීජේපීය ලත් පරාජයෙන් එය වෙව්ලුම් කෑවේය. මෑත මාසවල සමාජ විරුද්ධත්වයේ වර්ධනය පැහදිලිව ම මෙයට හේතු විය. මෙයට ගොවීන්ගේ විරෝධතා මෙන් ම මෝදි ආන්ඩුවේ මහ ව්‍යාපාර ගැති ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනවාරියේ පැවති දෙදින වැඩවර්ජනයට කෝටි මිලියන ගනනාවක් සහභාගී වීම ද ඇතුලත් වෙයි.

වැඩිවන සමාජ කෝපය අවමංගත කිරීමේ හා තම හින්දු දක්ෂානාංහික පදනම බලමුලු ගැන්වීමට උත්සාහ කරමින් බීජේපීය, ෆෙබරවාරි 11දා ජම්මු හා කාෂ්මීරයේ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය ඩැහ ගනිමින් පකිස්තානය සමග යුද්ධයක් ඇවිල වීමට වෙර දැරී ය. ප්‍රහාරය සඳහා පකිස්ථානයට දඬුවම් දෙන බවට මෝදි දුන් දිව්රුම ක්‍රියාවට නැඟීම පිනිස ඉන්දියානු යුද ගුවන්යානා, 1971 ඉන්දු-පකිස්තාන් යුද්ධයට පසු පලමු වරට ෆෙබරවාරි 25වැනිදා රාත්‍රියේ පකිස්තානයට පහර දුන්නේ ය.

මෙහි ප්‍රතිඵලය විය හැකි වූයේ දකුනු ආසියානු ප්‍රතිවාදී න්‍යෂ්ටික බලවතුන් මහා යුද්ධයක අද්දරට ගෙන එන පකිස්තානු ප්‍රති ප්‍රහාරයක් වූ නමුත්, බීජේපීය හා සංගත මාධ්‍ය යේ වැඩි කොටස ඉන්දියානු ගුවන් ප්‍රහාරය අති දක්ෂ උපායක් යැයි දිගට ම ප්‍රචාරය කලහ. පකිස්තානය සමග ඉන්දියාවේ “මූලෝපායික මධ්‍යස්ථකම” පිලිබඳ විලංගු මෝදි විසින් විනාස කල අතර ඉන්දියාව විසින් පාලනය කරන කාෂ්මීරයේ ප්‍රධාන ත්‍රස්තවාදී ප්‍රහාරයකට පකිස්තානයට දඬුවම් කිරීමේ ඉන්දියානු “අයිතිය” සඳහා ජාත්‍යන්තර පිලිගැනීම හිමිකර ගත් බව ඔවුහු කියති.

කොංග්‍රස් පක්ෂය හා එහි ස්ටැලින්වාදී සහචරයෝ

පසු ගිය මාසයේ යුද අර්බුදයට කොංග්‍රස් පක්ෂයේ ප්‍රතිචාරය, අනෙකුත් විරුද්ධ පක්ෂවල ඒවාට සමාන විය. එය ඉන්දියානු ගුවන් ප්‍රහාරයට ප්‍රශංසා කල නමුත්, ඉන්දියානු මිලිටරියට අයත් “වීරයන්ට” සියලු කීර්තිය යා යුතු යැයි පිලිතුරු දෙමින්, බීජේපීය මැතිවරන වාසි සඳහා කුරිරු ලෙස එය යොදා ගන්නා විට විවේචනයට බැසගත් බව කිව යුතු ය.

දීර්ග මැතිවරන පරාජයන් මාලාවකින් පීඩා විදීමෙන් පසුව ඉන්දීය ධනේශ්වරයේ ඓතිහාසික පාලක පක්ෂය වන කොංග්‍රසය, පසු ගිය වසරේ දෙසැම්බරයේ මැතිවරනයෙන් ඇඩි්‍රනලින් හෝමෝන් එන්නතක් ලැබෙන තෙක් තම මරන මංචකයේ වැතිර සිටි බවක් පෙනුනි.

දැන් රාහුල් ගාන්ධි හා ඔහුගේ මව වන සෝනියා ගාන්ධි විසින් මෙහෙය වනු ලබන පෙලපත් පක්ෂය වන කොංග්‍රසයට, ආර්ථික හෝ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බීජේපීය සමග සැලකිය යුතු වෙනස්කම් නැත. සැබවින් ම කොංග්‍රසය ධනේශ්වර පශ්චාත් නිදහස් රාජ්‍යය ක්‍රියාත්මක කල සංවර්ධන වැඩසටහන් අතහැර දැමීම, සිය ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය හඹා යාම,” හා ප්‍රධාන මිලිටරි බලවතෙකු ලෙස ඉන්දියාවේ තල්ලුව වේගවත් කලේ ය.

එසේ නමුත්, කොංග්‍රසය බලාපොරොත්තු වන්නේ, රැකියා හා කෘෂිකර්මාන්තය සඳහා ආන්ඩුවේ සහාය නැතිකම හා දල ජාතික නිෂ්පාදනයේ අනුපාතයට නය අඩු කිරීමේ නාමයෙන් බීජේපීය පටවා ඇති දරනු කප්පාදු පියවර පිලිබඳව පුලුල් ව පැතුරුනු කෝපය ගසා කෑමටය. කොංග්‍රසය “සහතික කෙරුනු වාර්ෂික ආදායමක” වැඩපිලිවෙලක් යෝජනා කරන අතර ඒ අනුව, අවසානයේ දී ඉන්දියානු පවුල්වල දුප්පත් ම සියයට 20ට වසරකට රුපියල් 72,000ක් (හෝ දල වශයෙන් ඩොලර් 1,000ක්) හිමිවනු ඇත. ඔවුන්ගේ ආදායම සතියකට රුපියල් 12,000 (ඩොලර්172) දක්වා ඉහල නැංවීමේ අරමුන ඇතිව බව ද කියනු ලැබේ.

මෙහි වැඩි කොටස මහජනයා නො මග යවන රැවටිලිය. එසේ වන්නේ, කොංග්‍රස් පක්ෂය මෙම වැඩසටහනේ විස්තර සම්පූර්නයෙන් පැහැදිලි කිරීමට අසමත් ව ඇති නිසා පමනක් නොව, මෙය වසර ගනනාවක් තිස්සේ දිග හැරෙනු ඇති බැවිනි. එහි වැඩි කොටස“තර්කානුකූල කිරිම” ඔස්සේ ගෙවීමට වන්නේ, උදාහරන වශයෙන් පවතින සමාජ ශුභසාදන වැඩසටහන් කප්පාදු කිරීමෙනි.

පකිස්තානයට එරෙහි තම “හදිසි ප්‍රහාරයන්” පිලිබඳ මෝදිගේ කයිවාරුවට ගැලපෙන පරිදි, රාහුල් ගාන්ධි කයිවාරු ගසන් නේ, කොංග්‍රසයේ ව්‍යාජ සහතික කෙරුනු ආදායම් යෝජනා ක්‍රමය “දුප්පත්කමට එරෙහි හදිසි ප්‍රහාරයක්” වන බව පවසමිනි. නමුත් ගාන්ධිගේ දේශපාලන තරඟකරුවන්ගෙන් ඇතමෙකු සඳහන් කර ඇත්තේ, තමන් පරම්පරා ගනනාවක් ඉන්දියාව දුප්පත්කමෙන් ඔසවන බව ප්‍රකාශ කරමින් සිටි බව යි. 1971දී රාහුල් ගාන්ධිගේ මිත්තනිය වූ ඉන්දීරා ගාන්ධි විශාල මැතිවරන ජයක් ලැබුවේ “දුප්පත්කම තුරන් කිරීමට” පොරොන්දු දෙමිනි.

කොංග්‍රසය බීජේපීයේ “භේද බින්න විය හැකි” වාර්ගික දේශපාලනය ද හෙලා දකිමින් සිටී. නමුත් එය ම ද කේරල සිද්ධස්ථානයක් කාන්තාවන්ට විවෘත කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයකට එරෙහි ආර්එස්එස් නායකත්වය කරන ලද උද්ඝෝෂනයකට සම්පූර්නන සහාය පුද කිරීම හා මධ්‍ය ප්‍රදේශ් ආන්ඩු න්‍යායපත්‍රයේ කේන්ද්‍රයෙහි “ගව-ආරක්ෂාව” තබමින් හින්දු දක්ෂිනාංශය සමග ලජ්ජාවිරහිත ව අනුකූලතාව දක්වා ඇත.

කලාපීය හා කුලවාදී පක්ෂ සමූහයක් සමග “මහා සභාගයක්” ඇති කිරීමේ අදහස ගැන කොංග්‍රසය ගනන් බලමින් සිටියේ ය. නමුත් අන්තිමේ දී එය ඇති කර ඇත්තේ ප්‍රාන්ත අතලොස්සක් සමග මැතිවරන සංන්ධානයකි. “මහා සභාගයක්” තෙමේ ම සැබෑ ජාතික පක්ෂයක් ලෙස යලි-පුනස්ථාපනය කිරීමේ උත්සාහය ඉක්මවා යනු ඇතැ යි කොංග්‍රස් නායකත්වය බිය වෙයි. කොංග්‍රසයේ දුර්වලකම් හඳුනා ගනිමින් එහි විභව මිතුරන්ගෙන් බොහෝ අය, (උතුරු ඉන්දියාවේ සමාජවාදී පක්ෂය (එස්පී), හා බහුජන සමාජ පක්ෂය (බීඑස්පි), හා ආන්ද්‍රා ප්‍රදේශ් හා තෙලන්ගනාවේ තෙලුගු දේසම් පක්ෂය (ටීඩීපී) දැඩි කේවල් කිරීමකට මෙහෙයවීය. කොංග්‍රස් හා බීජේපී (ඔවුන්ගෙන් බොහෝ දෙනා හැමදාම බිජේපී මිතුරන්ය) යන දෙක සමග ම කැබිනට් තනතුරු මත කේවල් කිරීමට මිතුරන්ගෙන් තම අත් නිදහස් ව තබා ගන්නේ නම්, ඡන්ද ගනන් කිරීමෙන් පසුව, තමන්ට වඩා විශාල වාසියක් ලැබෙනු ඇතැ යි ඔවුහු ගනන් බලමින් සිටිති.

සීපීඑම්, එහි සහෝදර ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපිඅයි) හා ඔවුන්ගේ වාම පෙරමුන කම්කරු පන්තිය දේශපාලනිකව මර්දනය කිරීමේ දී දශක තුනක් තිස්සේ ප්‍රධාන කාර්භාරයක් ඉටු කර ඇත. 1991 සිට 2008 දක්වා ස්ටැලින්වාදීහූ, වැඩි කොටස කොංග්‍රසය විසින් නායකත්වය දෙන ලද, දක්ෂිනාංශික ඉන්දීය ආන්ඩු ගනනාවක්ම ඔසවා තැබූහ. තව ද, ඔවුන් බලය දැරූ ප්‍රාන්තවල, එනම් බටහිර බෙංගාලය, කේරලය හා ත්‍රීපුරයේ ඔවුන් ක්‍රියාත්මක කර ඇත්තේ තමන් ද එකඟවූ “ආයෝජන ගැති ප්‍රතිපත්ති යි.”

මෝදී හා ඔහුගේ බීජේපී ය ධනේශ්වරය වාර්ගික ප්‍රතිගාමීත්වය හා ඒකාධිකාරිවාදය වැලඳ ගැනීමට ස්ටැලින්වාදී ප්‍රතිචාරය වී ඇත්තේ, තවත් දකුනට හැරිම යි. බීජේපී පිටු දැකීමට හා “ප්‍රජාතන්ත්‍රවාදය” හා “සමූහාන්ඩුව” ආරක්ෂා කිරීම සඳහා, ධනේශ්වර පක්ෂ වලට හා රාජ්‍යයට කම්කරු පන්තිය ඈඳීමේ උත්සාහය ඔවුන් දෙගුන කර ඇත්තේ, කම්කරු පන්තිය හා පීඩිතයින් “විකල්ප අනාගාමික” ආන්ඩුවක අරමුන වෙනුවෙන් වැඩ කල යුතු යැයි පවසමිනි. එනම්, කම්කරු පන්තිය ගසාකෑම තීව්‍ර කිරීම හා චීනයට එරෙහි මිලිටරි -මූලෝපායික ප්‍රහාරයේ දී වොෂින්ටනයේ යුව රජෙකු ලෙස ඉන්දියාවේ කාර්යභාරය පවත්වා ගනිමින් හා ව්‍යාප්ත කරමින් පාලක පන්තියේ න්‍යායපත්‍රයට කැපවුනු, පෙනෙන විදියට කොංග්‍රසය නායකත්වය දෙන තවත් දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙන ඒමට උදව් කිරීම යි.

හින්දු දක්ෂිනාංශය එවැනි තර්ජනාත්මක වර්ධනයක් බවට පත්ව ඇත් නම් ඒ, සමාජ අර්බුදයට තමන්ගේ ම සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කිරීම වලක්වමින්, හා එය දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ හා ආන්ඩුවලට යටත් කිරීමෙන්, නිශ්චිතව ම ස්ටැලින්වාදී දේශපාලනය, කම්කරු පන්තිය අබ්බාගාත කර ඇති බැවිනි.

ඉන්දීය කම්කරුවන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පදනම් වූ, නව දේශපාලනික මාවතක් තෝරා ගත යුතු ය: එනම් ධනවාදයට එරෙහි ගෝලීය කම්කරු පන්තියේ ප්‍රහාරයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා සටනේදී තම ස්වාධීන පන්ති ශක්තිය බලමුළු ගැන්වීම හා පීඩිතයින් හා දුප්පතුන් තමන් පිටුපස පෙල ගස්වා ගැනීම යි.

කතුවරායා මෙම ලිපි ද කියවන ලෙස යෝජන කරයි:

ඉන්දියාව හා පාකිස්තානය අලුත් යුද තර්ජන එල්ල කරගනියි

සමාජ ව්‍යසනයට හා දේශපාලන ප්‍රතිගාමීත්වයට එරෙහි ව
සටන් වැදීම සඳහා ඉන්දියානු කම්කරුවන්ට
විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය

Share this article: