චෙල්සී මෑනිං නිදහස් කරනු!

Free Chelsea Manning!

2019 මාර්තු 11

සිකුරාදා, මධ්‍යම අධිකරනයේ විනිශ්චයකාරවරයෙක් ට්‍රම්ප් පාලනාධිකාරිය වෙනුවෙන් විකී ලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට එරෙහිව ගොතන ලද චෝදනා සකස් කරමින් සිටින රහස් මහා ජූරියක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ධෛර්යසම්පන්න අකටයුතු හෙලිකරන්නී වන චෙල්සී මෑනිං හිර ගත කිරීමට නියෝග කලේ ය. මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ දී, විනිශ්චයකාරවරයා ඇය සාක්ෂි දීමට එකඟ වෙමින් තම අධිකරනයට අගෞරව කිරීම ඉවත් කර ගන්නා තෙක් හෝ මහා ජූරියේ වාරය අවසන් වන තුරු, උදාහරන වසයෙන්, අවිනිශ්චිත කාලයක් සඳහා මෑනිං හිරේ තැබීමට අධිකරන තීන්දුව ලබා දුන්නේ ය.

නිදහස ප්‍රදානය කෙරී තිබීම නො තකා, අසාන්ජ් ට එරෙහි ප්‍රධාන අධිකරන ශාලාවේ නඩුව ඇසීමේ දී සාක්ෂි දීමට ප්‍රතික්ෂේප කරමින් මෑනිං නිර්භීත හා ප්‍රතිපත්තිමය ආස්ථානයක් ගත්තා ය. යථා වශයෙන් අසාන්ජ් ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ සිර කර සිටින අතර, එක්සත් ජනපදය හා බි්‍රතානය ඔහු පිටමං කර, මරනීය දන්ඩනයට මග පාදනු ඇති, රාජද්‍රෝහී හා/ හෝ කුමන්ත්‍රන චෝදනාවලට මුහුන දීමට එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට කුමන්ත්‍රනය කර ඇත. මෙම ව්‍යාජ-නීතිමය අසාධාරනය සමග සහයෝගය ප්‍රතික්ෂේප කිරීම මත, මෑනිං එකවර ම හිරේ දැමුනි.

චෙල්සී මෑනිංග් හිර කිරීම කුරිරු, සැහසි මෙන් ම සම්පූර්නයෙන් අයුක්ති සහගත ය. මිලිටරි හා රාජ්‍ය සංවිධානවලට තීරනාත්මක වන තොරතුරු ප්‍රසිද්ධ කරන අකටයුතු හෙලිකරන්නන් හා මාධ්‍යවේදීන් හිර කිරීම සඳහා පූර්වාදර්ශයක් සැකසීමට ධවල මන්දිරයට අවශ්‍ය ය.

2010 දී, මෑනිං විකී ලීක්ස් හරහා, රොයිටර් මාධ්‍ය වේදීන් දෙදෙනෙකු ඇතුලු ව නිරායුද සිවිල් වැසියන් 16 දෙනෙකු අමුඅමුවේ මරා දැමූ 2007 ජූලි 12වැනිදා බැග්ඩෑඩයට එල්ල කෙරුනු එක්සත් ජනපද හෙලිකොප්ටර් ගුවන් ප්‍රහාරයේ සමූහ ඝාතන දැක්වෙන නියමු කුටි වීඩියෝවක් ප්‍රසිද්ධ කලේ ය.

ඇෆ්ගනිස්තානයේ යුද්ධය ඇරඹී වසර නවයකට හා ඉරාක ආක්‍රමනයෙන් වසර හයකට පසු, සංගත මාධ්‍යයේ ආධාර ඇතිව බුෂ් හා ඔබාමා පාලනාධිකාරයන් විසින් වසං කෙරී තිබුනු මෙය හා අනෙකුත් යුද අපරාධ මහජනයාට හෙලි කිරීමට මෑනිං ධෛර්යසම්පන්න තීරනයක් ගත්තා ය.

ඉරාකයේ රඳවන ලද ඔත්තුසේවා විශ්ලේෂකයෙකු වසයෙන්, මෑනිංග්ට ඇෆ්ගනිස්තානු සිවිල් වැසියන් 147කු මරා දැමූ, 2009 මැයි 4වැනිදා ඇෆ්ගනිස්තානයේ ග්‍රනායි ගුවන් ප්‍රහාරයේ වීඩියෝ පට ඇතුලු ව, අතිවිශාල අපරාධ හා කුමන්ත්‍රන වාර්තා කරන තොරතුරු ලබා ගැනීමට සමත් විය.

පසුව ඇෆ්ගනිස්තාන වාර්තා සටහන්, ඉරාක වාර්තා සටන් හා රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් සියදහස් ගනනක් ප්‍රසිද්ධ වූ, මෑනිංග් විසින් කාන්දු කරන ලද වාර්තා පෙලක් ප්‍රසිද්ධ කිරීමට විකී ලීක්ස් නිව් යෝක් ටයිම්ස්, ගාර්ඩියන් හා ඩර් ස්පීගල් ඇතුලු මාධ්‍ය ආයතන සමග වැඩ කලේ ය. ඉරාක යුද වාර්තා සටහන් පෙන් වූයේ ඉරාක යුද්ධය තුල වාර්තා කෙරුනු 109,000ක් වූ මරනවලින්, 66,081ක් සිවිල් වැසියන් වූ බව යි. එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කේබල් රටවල් ගනාවක් තුල ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ කූඨෝපාය හා කුමන්ත්‍රන අනාවරනය කලේ ය.

මෙම සමූහ ඝාතන හා අපරාධ සැලසුම් කිරීමට සම්බන්ධ වූ කිසිවෙකුටත් චෝදනා එල්ල කර නොමත, නඩු දමා හිරේ ලෑම ගැන කියනු ම කවරේ ද. නමුත් මෙම අපරාධ ලෝකයට කීමට සාදාචාරාත්මකව බැඳී ඇති යි හැඟනු, එවකට යුද හමුදා සාමාන්‍ය සොල්දාදුවෙකු වූ මෑනිං, දැන් නැවත වතාවක් හිර අඩස්සියේ ය.

ඔබාමා යටතේ මිලිටරිය 2010දී මෑනිං අත්අඩංගුවට ගත්තේ ය. තම යුද්ධාධිකරනය බලාපොරොත්තුවෙන් සිටන අතර මිලිටරි හිරගෙදර තනිව රඳවා ගැනීමක වසර කීපයත් ගත කිරීමෙන් පසු, ඇය වසර 35ක සිරදඬුවමකට යටත් කෙරුනු අතර, ඇය ඉන් ආසන්න වසයෙන් වසර හතක් සිර බත් කෑවා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වධහිංසාවලට සමාන වී යැයි පැවසූ, දන්ඩනීය ක්‍රියාවන්ට ඇය යටත් කෙරුනේ, අවස්ථා දෙකක දී සිය දිවි නසා ගැනීමේ උත්සාහයන්ට ඇය තල්ලු කර දමිනි.

චෙල්සී මෑනිං හිර කිරීම හා ජූලියන් අසාන්ජ්ට වධ දීම සදහට ම බරක් ඔබාමාගේ ජනාධිපතිකම කිලුටු කරනු ඇත. “අපේක්ෂාව හා වෙනස” නම් සටන්පාඨය මත පාලනය ගෙන ගිය ඔබාමා යුද්ධය, ඝාතන හා දේශීය ඔත්තු බැලීම මත වසර අටක කාලයක් මුලුසන දැරී ය. ඩෙමොක්‍රටික් පක්ෂය අන්තර්ජාලය වාරනය කිරීමේ තම ධාවනයේ කේන්ද්‍රීය තර්කය ලෙස යොදා ගත්තේ, මොස්කව් හා අසාන්ජ් විසින් ප්‍රතික්ෂේප කරන ලද, ඩෙමොක්‍රටික ජාතික කමිටුවේ හා හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ පරිගනක හැක් කෙරුනු විද්‍යුත් තැපල් ප්‍රසිද්ධ කිරීමට රුසියාව සමග විකීලීක්ස් සහයෝගයෙන් වැඩ කලේ ය යන තහවුරු නො කල චෝදනාව යි.

ඩෙමොක්‍රටික් පක්ෂය හාත්පස ව්‍යාජ වාම සංවිධාන විකීලීක්ස්ට වධ දීම වැලඳ ගෙන ඇත. ඔවුන් පලමුව අසාන්ජ්ට විරුද්ධව අශිෂ්ට ස්ත්‍රී දූෂන චෝදනා (2017දී ස්වීඩන බලධාරීන් විසින් ඉවත දැමූ) කඩතුරාවක් ලෙස යොදා ගත් නමුත්, සැබෑ කාරනය වන්නේ ලිබියාව හා සිරියාවේ මිනීමරු තන්ත්‍ර වෙනස් කිරීම් ඇතුලුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සඳහා වන ඔවුන්ගේ සහයෝගය යි.

සැලකිය යුතු ලෙස, ඇමරිකාවේ ඩෙමොක්‍රටික් සමාජවාදී පක්ෂය හා සම්බන්ධ ජැකොබින් සඟරාව හෝ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ සෝෂලිස්ට් වර්කර් පත්‍රය හෝ මෑනිං හිරගත කිරීම වාර්තා කර නොමැත. සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්, කොංග්‍රස් මන්ඩල සභික ඇලෙක්සැන්ඩි්‍රයා ඔකෑසියෝ කෝර්ටෙස්, රෂීඩා තලිබ් හා ඉල්හාන් ඔමාර් යන අයගෙන් එකෙකු හෝ ඇගේ සහාය වෙනුවෙන් වචනයක් වත් කතා කර නැත.

පොහොසත් ඉහල මධ්‍යම පන්තිය අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට වන තම නොතැකීම පැහදිලි කර ඇති අතර, චෙල්සී මෑනිං හා ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට සමත් සැබෑ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කේබල් පනිවුඩ 250,000ක් ඇතුලු ව, විකී ලීක්ස් වෙත මෑනිං විසින් සපයන ලද ලේඛන, 2010 - 2011 ටියුනීසියාවේ නැගිටීම සමග මුල පුරමින්, ලෝකය පුරා කම්කරු පන්තියේ නැගිටීම් මාලාවක් වේගයෙන් ඉදිරියට තල්ලු කිරීමට උදව් කලේ ය.

මෙම විරෝධතා අරාබි ලෝකයේ වැඩි කොටසක් පුරා පැතිරුනේ ටියුනීසියානු බලවතා වූ බෙන් අලී මෙන් ම ඊජිප්තු ඒකාධිපති මුබාරක්ගේ තන්ත්‍ර බිම දමමිනි. එක්සත් ජනපදය තුල අධ්‍යාපන කප්පාදු හා විශ්‍රාම වැටුප් මත ප්‍රහාරයන්ට එරෙහි ව විරුද්ධත්වය දක්වමින් සිටි එක්සත් ජනපදයේ ගුරුවරු “ඊජිප්තුයානුවෙකු මෙන් ඇවිදිනු මැන” යන සටන්පාඨය දරන සංඥා පුවරු ඔසවා ගෙන ගියහ.

චෙල්සී මෑනිං, ජූලියන් අසාන්ජ් හා එඞ්වඞ් ස්නෝඩන් වැනි වික්‍රමාන්විත පුද්ගලයන්ට, මර්දනයේ අතිවිශාල සංවිධාන සහිත රජය සමග, තමන්ට ම සටන් කල නො හැක. ඔවුන්ගේ අරගලය රඳා පවතින්නේ සමාජ සමානතාව සඳහා වන තම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටනින් වෙන් කල නො හැකි බව දකින, කම්කරු පන්තියේ සමාජ ව්‍යාපාරයක වර්ධනය මත ය.

ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිං, පන්ති යුද්ධ සිරකරුවෝ ය. ඔවුන් හිර කෙරෙන්නේ, එක්සත් ජනපදය හා ලෝකයේ ආධිපත්‍ය ගන්නා මූල්‍ය කතිපයාධිකාරීන් රාජ්‍ය අපරාධ හා කුමන්ත්‍රන ගැන මහජනයා දැනුවත් කිරීමේ ඔවුන්ගේ උත්සාහයන් තම පාලනයේ පැවැත්මට එරෙහි විද්‍යමාන තර්ජනයක් ලෙස දකින බැවිනි.

මෑනිං හිර කිරීම ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන් අතර කෝපය අවුලුවා ඇත.

පසු ගිය සතියේ, මෑනිං හා අසාන්ජ් වෙනුවෙන් නිදහස ඉල්ලීමට සමාජවාදී සමානතා පක්ෂය විසින් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ සංවිධානය කරන ලද රැලියට පුද්ගලයන් සිය ගනනක් සහභාගී වුයේ, සිද්ධිය පිලිබඳව සජීව ගලා ගිය විකාශන නැරඹූ ලෝකය පුරා තවත් දහස් ගනනක් සමගිනි. මෙය සිදු වූයේ සැලකිය යුතු ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ඇද ගත්තා වූ ද, එමෙන් ම කීර්තිමත් මාධ්‍යවේදීන් වන ජෝන් පිල්ගර් හා ජෝ ලවුරියා, මෙන් ම සිවිල් අයිතිවාසිකම් නායක ස්ටුවර්ට් රීස්ගේ කතා ද ඇතුලත් වුනු ඊට පෙර සතියේ සිඞ්නි සසප රැලියට පසු ව යි.

සිඞ්නි රැලියේ දී කතා කරමින්, සසප ජාතික ලේකම් ජේම්ස් කෝගන්, අනතුරු ඇඟවූයේ ට්‍රම්ප් පාලනාධිකාරය අසාන්ජ්ට වධ දීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ජාත්‍යන්තර ප්‍රහාරයේ අත්‍යාවශ්‍ය කොටසක් මෙන් ම ලෝකය පුරා ධනේශ්වර පාලක පන්තීන් විසින් ඒකාධිපතිත්වය දිසාවට යන ගමනේ අත්‍යාවශ්‍ය සංරචකයක් වන බව යි. ඉන් යන්තම් දින කිහිපයකට පසු මෑනිං සිරගත කිරීමෙන් මෙය තහවුරු විය.

මෙම රැලි සංවිධානය කෙරුනේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් කල යුතු ය යන ඉදිරිදර්ශනයේ පදනම මත ය. මෙල්බර්න් පෙලපාලියේ දී කැලිෆොර්නියාවේ ඕක්ලන්ඞ් ගුරුවරුන්ගේ සහයෝගයේ ප්‍රකාශනයක් කියවන ලදී.

එක්සත් ජනපදයේ සිට ලතින් ඇමරිකාව, යුරෝපය, උතුරු අප්‍රිකාව හා ආසියාව දක්වා ගෝලීය වැඩවර්ජන රැල්ලක ව්‍යාප්ත වීම මධ්‍යයේ, ප්‍රධාන වශයෙන් චෙල්සී මෑනිං, ජූලියන් අසාන්ජ් හා අනෙකුත් සියලු පන්ති-යුද සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉල්ලීම ඇතුලුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරුවන් බාර ගත යුතු ය.

මෙම සටන යුද්ධය හා සමාජ අසාමනතාව, හා ඒවායේ මූලය වන ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලය සමග සම්බන්ධ කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටන සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ, චෙල්සී මෑනිං හිර කිරීමට විරුද්ධත්වය සංවිධානය කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් සිටී. අද අපි ඇගේ නිදහස ඉල්ලා එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධ රැස්වීම් හා රැලි නිවේදනය කරමින් සිටිමු.

අපි අපගේ සියලු ඇමරිකානු පාඨකයින්ගෙන් මෙසේ ඉල්ලමු: ඔබගේ ප්‍රදේශයේ රැස්වීම් හෝ ජන හමුවලට සහභාගී වෙමින් චෙල්සී මෑනිං හා ජූලියන් අසාන්ජ් ආරක්ෂා කර ගැනිමේ අරගලයට එක්වනු!

අන්ද්‍රෙ ඩැමොන්

Share this article: