ඈන්ෆීල්ඩ් වතු සමාගම දොට්ට දමනු ලැබූ බාලසුබ්‍රමනියම් කම්කරුවා යලි සේවයේ පිහිටු වීම ප්‍රතික්ෂේප කරයි

එම්. දේවරාජා සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 මාර්තු 29

වතු කම්කරු වැටුප් අරගලයට ක්‍රියාශීලි ව සම්බන්ධ වීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද දික්ඔය ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවකු වන එස්. බාලසුබ්‍රමනියම් නැවත සේවයේ පිහිටු වීම වතු පාලකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඈන්ෆීල්ඩ් වත්ත පාලනය කරනු ලබන්නේ කැලනිවැලි වතු සමාගම විසිනි. බාලසුබ්‍රමනියම් රැකියාවෙන් නෙරපා මේ වන විට මාසයක් ඉක්මවා ඇති අතර ඔහු ගේ වැඩ තහනමේ සිට මේ දක්වා මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇත.

බාලසුබ්‍රමනියම් සම්බන්ධ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ඇතුලු වතු සමිති මෙම දඩයමට එරෙහි ව කවර හෝ අරගලයක් සංවිධානය කිරීම මුලුමනින් ම පැහැර හැර ඇත. බාලසුබ්‍රමනියම් ඈන්ෆීල්ඩ් වත්තේ ශාන්ත ලේයිස් කොටසේ සිඩබ්ලිව්සි ශාඛා සමිතියේ නායකයා ය. ඔහුට එරෙහි දඩයම කම්කරු පන්තියේ මුලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට හාම්පුතුන් විසින් එල්ල කෙරී ඇති ප්‍රහාරයකි.

සමාගම සමඟ සාකච්ඡා කොට රැකියාව ලබා දෙන්නේ යැයි දොට්ට දමන ලද කම්කරුවා කැලනිවැලි සමාගමේ කොලඹ ප්‍රධාන කාර්යාලයට ද කැඳවා ගෙන ගිය සමිති නායකයන් ඔහු හිස් අතින් ආපසු වත්තට යවා ඇත. බාලසුබ්‍රමනියම් සතියක් ඇතුලත යලි සේවයේ පිහිටු වීමට වතු පාලකයන් පොරොන්දු වූ බව පසුගිය සතියේ සීඩබ්ලිව්සීයේ නායකයන් ඔහුට පවසා ඇතත් එය ද මුසාවකි.

බාලසුබ්‍රමනියම් රැකියාවෙන් නෙරපීම කැලනි වතු සමාගමේ තීන්දුවක් බවත්, ඒ සඳහා කොලඹ ප්‍රධාන කාර්යාලයෙන් උපදේසයක් නැති ව තමන්ට කිසිවක් කල නොහැකි බවත්, ඈන්ෆීල්ඩ් වත්තේ කලමනාකරු සඳහන් කල බව දීක්ඔය සීඩබ්ලිව්සී කාර්යාලයේ ප්‍රධානියා කේ. ක්‍රිෂ්නසාමි බාලසුබ්‍රමනියම්ට පවසා ඇත.

දෙසැම්බර් 13 වෙනි දා බාලසුබ්‍රමානියම් ගේ වැඩ තහනම් කල ඈන්ෆීල්ඩ් වතු පාලකයෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඊනියා අභ්‍යන්තර පරීක්ෂනයකින් පසු පෙබරවාරි 27 වෙනි දා සිට වහා ම ක්‍රි‍යාත්මක වන පරිදි ඔහු සේවයෙන් පහ කල හ.

තවත් කන්ඩායමක් සමඟ එක් වී දෙසැම්බර් 5 වෙනි දා වත්තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන දොරටුව වසා තේ දලු ප්‍රවාහනය කරන වාහන කර්මාන්තශාලාවට ඇතුලු වීම හා පිට වීම අවහිර කිරීම ඇතුලු චෝදනා හතක් ඔහුට සහ එම කන්ඩායමට විරුද්ධව එල්ල කෙරී ඇත. එකී චෝදනා වතු පාලකයන් විසින් ගොතන ලද චෝදනා ය.

බාලසුබ්‍රමනියම් සහ ඉහත "වරදට" ඔහුට ආධාර අනුබල දුන්‍නා යයි කියන වත්තේ තවත් කම්කරුවන් තිදෙනෙකු වන පද්මනාදන්, සුබ්‍රමනියම් හා ක්‍රිෂ්නන් සහ දික්ඔය සීඩබ්ලිව්සී කාර්‍යාලයේ නිලධාරීන් වන අරුල්නයාහි, ක්ලේරා හා සිවසාමි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති. කම්කරුවන් බිය ගැන්වීම සඳහා වත්තේ පාලකයන් මෙම කන්ඩායමට එරහිව පැමිනිලි කිරීම නිසා පොලිසිය ඔවුන්ගෙන් කට උත්තර ලබා ගෙන චෝදනා ගොනු කිරීමේ තර්ජනයක් ද එල්ල කර ඇත.

බාලසුබ්‍රමනියම් සහ ඔහුට අනුබල දුන්නා යයි කියනු ලබන කන්ඩායමට එරෙහි දඩයම් දියත් කෙරුනේ, රුපියල් 500 සිය දෛනික මුලික වැටුප 100ට සියයකින් රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා, 100,000 අධික වතු කම්කරුවන් දෙසැම්බර් 5 වෙනි දා සිට ආරම්භ කර තිබූ වැඩ වර්ජනය මධ්‍යයේ ය.

සීඩබ්ලිව්සී නායකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැටුප් ප්‍රශ්නය විසඳන බවට දුන් බොරු පොරොන්දුවක් මත සතියක් දීර්ඝ ව ගිය වර්ජනය නතර කල හ. ඈන්ෆීල්ඩ් ඇතුලු වතු ගනනාවක කම්කරුවන් දඩයමට වතු පාලකයන් ගැම්මක් ගත්තේ මේ පාවාදීමෙනි. සමිති නොතකා කම්කරුවෝ තවත් දින දෙකක් වර්ජනය ගෙන ගිය හ.

කම්කරු අරගලය නතර කර දැමූ සීඩබ්ලිව්සී නායකයෝ අනෙකුත් සමිතිවල ද උදව් ඇති ව හාම්පුතුන් ගේ සංගමයේ යෝජනාවලට අනුව සැබෑ වසයෙන් රුපියල් 20ක සොච්චම් වැටුප් වැඩි වීමක් පමනක් ලැබෙන පාවා දීමේ ගිවිසුමකට එලඹුන හ. කම්කරුවන් විසින් තරයේ ම ප්‍රතික්ෂේප කරනු ලැබෙන අඳ ගොවි ක්‍රමයට සමාන ආදායම් බෙදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සමිතිවල එකඟතාවය පල කරන වගන්තියක් ද එම ගිවිසුමට ඇතුලත් ය.

වැටුප් අරගලය දියත් වෙද්දී දඩයමට ලක් වූ කම්කරුවන් යලි සේවයේ පිහිටු වීමට, වැටුප් සාමුහික ගිවිසුම අත්සන් කිරීමේ දී සමාගම් එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති හා වතු කර්මාන්ත රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ් දෙසැම්බර් 28 වෙනි දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කලේ ය. එහෙත් එය කම්කරුවන් රැවටීම සඳහා කියූ පචයක් බව බාලසුබ්‍රමනියම් යලි සේවයට ගැනීම වතු පාලකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබීම මගින් දැන් එලිදරව් වී ඇත.

වැටුප් වැඩි කිරීමේ රැවටිල්ල කෙරෙහි කම්කරුවන් අතර බරපතල විරෝධයක් මතු වීම නිසා ආන්ඩුවේ වියදමෙන් තවත් රුපියල් 50ක් මැයි මාසයේ සිට දීමට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක පොරොන්දු විය. එය ද වසරකට පමනි.

සීඩබ්ලිව්සී නිලධරය බාලසුබ්‍රමානියම් සේවයේ පිහිටු වීමේ අරගලයකට එරෙහි වීම අහම්බයක් නොවේ. වතු පාලකයන් හා පොලීසිය සමග එක් වී අරගල මැඩලීම සහ කම්කරුවන් සහ තරුනයන් පොලීසියට කොටු කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් වතු සමිති වලට ඇත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය සමයේ කම්කරු පන්තියට එරෙහිව මුදා හල රාජ්‍ය මර්දනය තුල දුසිම් ගනනක් වතු තරුනයන් හා කම්කරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සීඩබ්ලිව්සී ඇතුලු වෘත්තීය සමිති විසින් සපයන ලද ලැයිස්තු මත ය. එමෙන් ම 2006 වසරේ වැටුප් අරගලය පාවා දීමෙන් පසු, ඊට විරුද්ධ ව අරගලයට පිවිසි කම්කරුවන් අතරින් බොගවන්තලාව ප්‍රදේශයේ කම්කරුවන් දුසිම් ගනනක් මෙම සමිති නායකයන් විසින් පොලීසියට කොටු කර දෙනු ලැබුනෝ ය.

බාලසුබ්‍රමානියම් ඇතුලු වතු කම්කරුවන් දඩයමට විරුද්ධ ව අරගලයක් දියත් කර ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ඇබෝට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව පමනි. එහි කොටසක් ලෙස පෙබරවාරි 17 වෙනි දා හැටන් නගරයේ දී, පිකට් උද්ඝෝෂනයක් සහ රැස්වීමක් සසප සහ ඇබෝට්ස්ලි කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් පැවැත් වූ අතර මාර්තු 7 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුන ලිපියකින් බාලසුබ්‍රමනියම් කොන්දේසි විරහිත ව වහා ම යලි සේවයේ පිහිටු වීමේ අරගලයකට කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම් කලේ ය.

බාලසුබ්‍රමනියම් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටු වීමේ අරගලය සසප සහ ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් පෙරට ගෙන යනු ඇත. මෙම අරගලයට ඒකාබද්ධ වන ලෙස කම්කරුවන්, තරුනයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට උනන්දු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව ආදර්ශයට ගනිමින් වෘත්තීය සමිති වලින් බිඳී සෑම වත්තක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් දඩයමට විරුද්ධ ව, තම අයිතීන් දිනා ගැනීමේ අරගලය වතු කම්කරුවන් සියතට ගත යුතු ය.

ඈන්ෆීල්ඩ් හි මර්දනය සහ වතු වැටුප් අයිතිය සඳහා අරගලය පෙන්නුම් කර ඇත්තේ සමාජවාදී ක්‍රියා මාර්ගය සඳහා අරගලයේ අත්‍යවශ්‍ය භාවයයි.

වතු අරගලයේ පාඩම් සහ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා ඇබෝස්ලි කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ සසප විසින් මාර්තු 17 වෙනි දා හැටන් නගර ශාලාවේ දී පවත් වන ලද බලගතු කම්කරු සම්මේලනය කම්කරු පන්තිය සමාජවාදී ඉදිරි දර්ශනයකින් බලමුලු ගැන්වීමේ අරගලයේ වැදගත් ඉදිරි පියවරකි.

ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප බලගතු රැස්වීමක් පවත්වති

Share this article: