ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ ඉස්ලාම්-භීතිකාව උත්සන්නියක මට්ටමට නංවයි

කේ. රත්නායක විසිනි, 2019 මැයි 31

අප්‍රේල් මාසයේ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් එල්ල කල මිනීමරු ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තක් කරගෙන දේශපාලන පක්ෂ හා සිංහල අන්තවාදී කන්ඩායම් ඇරඹූ මුස්ලිම් විරෝධී ප්‍රචාරය උත්සන්නියක මට්ටමට නංවා ඇත. ජනමාධ්‍ය ඒවාට ප්‍රසිද්ධිය දීම හා තෙල් වත්කිරීම සිදු කරයි.

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්, වෙලඳ ව්‍යාපාර, මුස්ලිම් කාන්තාවන් ගේ සම්ප්‍රදායික ඇඳුම ඇතුලු පුලුල් පරාසයක් අන්තර්ගත කරගනිමින් මෙම ස්වෝත්තමවාදී ව්‍යාපාරය දියත් කර ඇත.

එය ගෙන යන එකදු පක්ෂයක් හෝ සංවිධානයක් වත් මහජනයාගේ අයිතීන් සුරක්ෂිත කර දීමට ක්‍රියාකරන ඒවා නොවේ. මේ සියලු පක්ෂ ආන්ඩු බලයේ සිටිමින් හෝ විපක්ෂයේ සිටිමින් ක්‍රියා කර ඇත්තේ වැඩ කරන ජනතාවගේ අයිතීන් දඬු ගැසීමට යි.

ජාත්‍යන්තරව අර්බුදයෙන් ඇලලී ඇති රටවල ආන්ඩු හා ධනපති පක්ෂ ඉස්ලාම්-භීතිකාව යොදා ගනිමින් මර්දන නීති තද කිරීමට ද පොලිස් විධික්‍රම මුවාත් කිරීමට ද ක්‍රියා කරති. ලංකාවේ පාලක කල්ලි ද කලක සිට ගෙන ගිය ඉස්ලාම් විරෝධය අලුත් මට්ටමකින් පනපොවා ඇත.

කම්කරුවන්, දුගීන් හා තරුනයන් මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයට එකහෙලා විරුද්ධ විය යුතුය. එය දියත් කර ඇත්තේ මෙම මහ ජනතාවන්ම පීඩාවට ලක්කර ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් තලා දැමීම සඳහා ආඥාදායක පාලන කොන්දේසි සකස්කර ගැනීමට ය.

මුස්ලීම් විරෝධී උද්ඝෝෂනය දැන් මූලිකව යන්නේ ආන්ඩුවේ ඇමතිවරයෙකු වන රිෂාඞ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හා කුරුනෑගල රෝහලේ සේවය කරමින් සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයෙකු කාන්තාවන් දහස් ගනන් වන්ද්‍යාභාවයට පත්කලේය යන ප්‍රචාරයක් මැදි කර ගෙනය.

බද්යුදීන් වාර්ගික පදනමක් මත සංවිධානය කෙරුනු සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය නම්වූ ධනපති දේශපාලන පක්ෂයේ නායකයාය. ඔහුගේ සංවිධානය එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන වත්මනේ පාලක සභාගය සමග හවුලක සිටියි.

මීට වසර පහකට පෙර, ඔහු මහින්ද රාජපක්ෂගේ ඊනියා ඒකාබද්ධ විපක්ෂයත් ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ නායකයනුත් ගෙන ගිය ආන්ඩුවේ හවුල්කරුවෙකු විය. පසුගිය දෙසැම්බර් මාසයේ රාජපක්ෂ අගමැති කොට ආන්ඩු බලය මාරු කිරීමට සිරිසේන සිදුකල දේශපාලන කුමන්ත්‍රනයේ දී බද්යුදීන්ගේ පක්ෂය හා තවත් පක්ෂ පාලක සභාගයෙන් කඩාගෙන සිය බලය තහවුරු කර ගැනීමට රාජපක්ෂ තැත් කලේය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිට රාජපක්ෂ වෙත පදින ලද කුප්‍රකට අතුරලියේ රතනසාර බද්යුදීන්ට ඉල්ලා අස්වන ලෙස දුන් පැය විසි හතරක අවසන් නිවේදනය ඊයේ අවසන්වූ අතර ඊලඟට තීරනාත්මක පියවර ගන්නා බවට තර්ජනය කර ඇත.

පාලක පන්තියේ මෙම කල්ලි විටින්විට “නීත්‍යානුකූල පාලනය”, “නීතියේ අධිපත්‍යය”, ගැන ප්‍රකාශ දෙති. එහෙත් බද්යුදීන් සම්බන්ධයෙන් තමන්ම චෝදනා දමා, නඩු විමසා ඔහු වරදකරු කොට දඬුවම් ද පනවා අවසානය.

ඔහුට විරුද්ධව එල්ල කර ඇත්තේ “ඉස්ලාම් මුලධර්මවාදී අයිඑස්අයිඑස් සංවිධනයේ මෙහෙයවීම පිට ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකල ජාතික තවුහීත් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීය යයි ගෙතූ චෝදනාවකි. මුස්ලිම් අන්තවාදීන් ලෙස නම් කරන සංවිධාන සමග මෙම පක්ෂ සියල්ල ගනුදෙනු කල බවත් ඒවා සිහල රාවය, බොදුබල සේනා, හා රාවනාබලය යන බෞද්ධ අන්තවාදී කන්ඩායම් පෝෂනය කොට තමතමන්ගේ අත්ගෙඩි ලෙස යොදා ගන්නා බවත් ප්‍රකට ය.

අවුලුවන ප්‍රතිගාමී ගින්නට තෙල් දැමීම සඳහා, නීතිය පාගා දමමින් ගලගොඩඅත්තේ ඥානසාරට ජනාධිපති සමාව දී සිරිසේන විසින් මුදා හරින ලද්දේ ගිය සතියේය.

අරගලයට ඇදෙන කම්කරු පන්තිය හා දුගී ජන කොටස් අතර අපකීර්තියට පත්ව සිටින පාලක පන්තියේ කන්ඩායම්, සිරිසේන පනවා ඇති හදිසි නීතිය හා මිලිටරිය බලගැන්වීමට මුලුමනින් සහාය දෙති. ඒ අතරම, තම කල්ලිවල ප්‍රතිගාමී න්‍යාය පත්‍රයන් මත බලය ඩැහගැනීමට ද ක්‍රියාත්මක වෙති.

කුරුනෑගල රෝහලේ නාරිවේදී විශේෂඥ දොස්තර සයාබ්දීන් මොහමඞ් සාෆිට එරෙහිව ගෙනයන උද්ඝෝෂනය ඉස්ලාම්-භීතිකාවේ තියුනුම ප්‍රකාශනයකි.

මුලින්ම, දිවයින පුවත්පතේ නම නැති දොස්තරවරයෙකු කාන්තාවන් විශාල ගනනක් වන්ද්‍යාභාවයට ලක්කිරීම ගැන දීර්ඝ ලිපියක් පල කර තිබූ අතර තවත් මාධ්‍ය කීපයක ද එය අඩුවැඩි වසයෙන් පල විය.

ඉන්පසු කුරුනෑගල රෝහලේ සාෆි නමැති වෛද්‍යවරයෙකු විස්තර කල නොහැකි ආකාරයකට විශාල මුදලක් උපයා ගැනීම පිලිබඳව සැක පිට අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ විය.

ඊ ලඟට සිදුවූයේ, ඔහු සිසේරියන් සැත්කමින් දරුවන්ගේ උපත ලබාගන්නා විට යලි දරුපල ලැබීම අවහිර කෙරෙන ක්‍රියාවක් මගින් කාන්තාවන් වන්ද්‍යාභාවයට පත්කරන්නට ඇතැයි ප්‍රචාරයක් පටන් ගැනීමයි. ඒ සමග ඔහුගේ එම ප්‍රතිකාර ගත් මවු වරුන් වන්ධ්‍යාභාවයට පත්ව ඇත්නම් පැමිනිලි ලබා දෙන ලෙස දැන්වීම් පල කෙරුනි. මේ වන විට මවුවරුන් සිය ගනනක් ඉදිරිපත් වී ඇතැයි සැලවේ.

මෙම මව්වරුන්ට වන්දියක් ගෙවිය යුතුදැයි පුවත්පත් වාර්තාකරුවන් ප්‍රශ්න කල විට විපක්ෂ නායක රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේය: “සහතිකෙන්ම ඔවුන්ට වන්දි දිය යුතුයි. ඒක බරපතල අසාධාරනයක්. වන්දි දීම පටන්ගත යුතුයි. ඊට ප්‍රමුඛත්වය දිය යුතුයි.” (ඬේලි මිරර් -මැයි 28).

දැන් කුරුනෑගල රෝහලේ සියලුම වෘත්තීය සමිති වෛද්‍ය සාෆිට එරෙහි උද්ඝෝෂනයට බැස ඇත. වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ ප්‍රතිගාමී උද්ඝෝෂනයේ මුදුනේ ම සිටියි.

මෙහිදීද දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වෛද්‍යවරයාට චෝදනා දමා, නඩු විමසා, වරදකරු කර, දඬුවම් දී ඇත. එහෙත් වෛද්‍යවරයාට විරුද්ධව නීති ප්‍රකාරව චෝදනා ඉදිරිපත්කර හෝ නඩු දැමීමක් සිදු කර නැත. ඔවුන්ට මුස්ලිම් විරෝධය අවුස්සා ගැනීම එකම එල්ලය නිසා මෙම සිද්ධිය මතුකෙරුනේ කෙසේද යන්න තබා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂනයක් ගැන වත් ඉස්පාසුවක් නැත. එවැනි පරීක්ෂන වල ප්‍රතිපල පවා නොපිට පෙරලූ රටකි, ලංකාව. යට ගසා ඇති තාජුදීන් ඝාතන පරීක්ෂනය එවැන්නකි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව යුද්ධය ගෙන ගිය සමයේ පාලක පන්තියේ සෑම කොටසක්ම දෙමල විරෝධී වර්ගවාදී විෂකුරු උද්ඝෝෂනය යලි මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයකින් පනගන්වා ඇත.

මෙම උද්ඝෝෂන ලේ වැගිරීමක් දක්වා උත්සන්න කිරීමට ධනපති පක්ෂ හා කල්ලි යලියලිත් උත්සාහ දරති. ඒ පිලිබඳ ඉඟියක් ආරක්ෂක ලේකම් ශාන්ත කොට්ටෙගොඩ පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ බදාදා කල ප්‍රකාශයකින් එලියට එයි.

ආරක්ෂක ලේකම් බදාදා කුරුනෑගල දී වෛද්‍ය සාෆිට එරෙහිව සංවිධානය කල උද්ඝෝෂනයක් ගැන සඳහන් කරමින් “තත්වයෙන් ප්‍රයෝජන ගන්නට හදන පාර්ශවයන්” කලබලයක් ඇතිකිරීමට ක්‍රියා කරමින් සිටියේ යයි කීවේය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේය: “කුරුනෑගලට ජනයා රැස්වෙමින් සිටියා. පිටපලාත්වලින් කන්ඩායම් පැමින සිටින බවද ඔවුන් සංවිධානය වන බවද අපට දැනගන්නට ලැබුනා. බලවත් පුද්ගලයන් එහි සිටිබවද අපට අසන්නට ලැබුනා.”

ආරක්ෂක ලේකම් මීට වැඩිමනත් දේවල් දැන සිටිනවා ඇත. “තත්වයෙන් ප්‍රයෝජනය ගන්නට බලපොරොත්තුවන” පාර්ශ්වයන් හා “බලවත් පුද්ගලයන්” කවුද? ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා නීතියෙන් ක්‍රියාකිරීමට ආරක්ෂක අංශ ක්‍රියා නොකලේ ඇයි? තම න්‍යාය පත්‍රයන් ක්‍රියාවට දමාගැනීමට තවතවත් පාලක පන්තියේ කල්ලි ලේවැකි සිද්ධීන් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවාට සැක නැත.

ප්‍රචාරයේ විසකුරු භාවයේ තරමට ම විසකුරු න්‍යාය පත්‍රයන් ආන්ඩුව ද විපක්ෂය ද අන්තවාදී සංවිධාන ද සතුව පවතී. මොවුන් සියලුදෙනා තමතමන්ගේ පාර්ශවයෙන් පොලිස් පාලනයක් සඳහා සූදානම් වෙති. මේ අතර මිලිටරිය තමන්ගේම ආඥාදායක පාලනයකට ඉව අල්ලයි.[බලන්න: මිලිටරිය අතට බලය ගොනුකෙරෙන පාලනයක් ගැන හමුදාපති ඇඟවුම් කරයි ]

වර්ධනයවන මෙම අන්තරායකාරී දේශපාලන තත්වය තුල, කම්කරු පන්තිය, දුගීන් හා තරුනයන් තමන් වටා රැලිකරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීමට ස්වාධීනව සංවිධානය විය යුතුය.

Share this article: