වෙනිසියුලාව ආරක්ෂා කිරීම හා ලතින් ඇමරිකාව තුල සමාජවාදය සඳහා සටන

The defense of Venezuela and the struggle for socialism in Latin America

බිල් වෑන් ඕකන් විසිනි, 2019 මැයි 10

මැයි 4 වන සෙනසුරාදා ජාත්‍යන්තර කමිටුව සිය 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය පැවැත්වීය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාකයේ හයවන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියේදී, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදයේ විවිධ පැතිකඩවල් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂයේ හා ලොව පුරා ඊට සහාය දක්වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයන් 12 දෙනෙකුගේ දේශනවලට සවන්දීමට හැකි විය.

රැලියේදී පවත්වන ලද දේශන ඉදිරි දිනවලදී ලෝසවෙඅහි පලකෙරෙනු ඇත. පහත පල කරන්නේ ලෝසවෙඅ ලතින් ඇමරිකානු කර්තෘ බිල් වෑන් ඕකන් විසින් පවත්වන ලද කතාව යි. එහි ආරම්භය වශයෙන්, ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද සමාරම්භක දේශනය මැයි 18 දාතමින් ද ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර් විසින් කරන ලද දේශනය මැයි 19 දාතමින් ද පල කෙරුනි.

***

අප 2019 මැයි දිනය සමරන විට, කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදය සඳහා වැඩෙමින් තිබෙන සහයෝගය ලෝකය පුරා වර්ධනය වෙමින් තිබෙන්නේ, යුද්ධය හා ෆැසිස්ට්වාදී ප්‍රතිගාමීත්වය කරා ධනේශ්වර පාලක ප්‍රභූවේ හැරීමත් සමග වෙන් කල නො හැකි ගැටුම මධ්‍යයේ ය. ලතින් ඇමරිකාව තුල මිලියන 650ක් පමන වන ජනකායක් ගැඹුරු ම සමාජ අසමානතාවට මුහුන දෙති. එහි තරම් වෙන කිසි තැනක මෙය මෙතරම් සත්‍ය නොවේ.

වැඩිවෙන්නා වූ සංඛ්‍යාවක් අන්ත දක්ෂිනාංශය විසින් ද සමහරක් තවමත් “වාම” ජාතිකවාදීන්ගේ (ඊනියා “රෝස ප්‍රවාහයේ” ක්ෂය වෙමින් තිබෙන සුන්බුන්) කලාපීය ආන්ඩු විසින් ද පාලනය කෙරෙන්නා වූ මහාද්වීපයේ, ආර්ථික හා සමාජ අර්බුදයන්ගේ මුලු බර කම්කරු පන්තිය මත පටවා ඇත.

වෙනිසියුලාව තුල එක්සත් ජනපදයේ ඍජු මිලිටරි මැදිහත් වීමක් පිලිබඳ ව වැඩෙන්නා වූ අනතුර මධ්‍යයේ, යුද්ධය හා ප්‍රතිගාමිත්වයට එරෙහි අරගලය ඉමහත් හදිසි භාවයකින් මතු කරයි.

එක්සත් ජනපද මැදිහත්වීමේ රූකඩයෙකු ලෙස සේවය කරන, දක්ෂිනාංශික හා එක්සත් ජනපද අරමුදල් ලබන දේශපාලන සොක්කෙකු වන, ජුවන් ගුඅයිඩෝගේ අසාර්ථක කුමන්ත්‍රනය හමුවේ, ට්‍රම්ප් පාලනාධිකාරිය තම තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම තියුනු ලෙස උත්සන්න කර ඇත.

නැගී සිට මදුරෝ ආන්ඩුව පෙරලා දමන ලෙස ගුඅයිඩෝ මිලිටරියෙන් ඉල්ලා සිටීම, නින්දිත අසාර්ථකත්වයක් බව ඔප්පු කෙරුනි. එය සන්නද්ධ හමුදාවන් තුල බෙදීමක් හෝ කිසිදු මහජන ප්‍රතිචාරයක් ඇති කලේ නැත. කෙසේ නමුත්, නව හා ඊටත් වැඩි ලේ වැකි ප්‍රකෝපකරනයක් මෙන් ම එක්සත් ජනපද ඍජු මිලිටරි ප්‍රහාරයක් දිනෙන් දින වඩා බලවත් ලෙස වර්ධනය වෙමින් ඇත.

එක්සත් ජනපද දකුනු බල ඇනියේ අද්මිරාල් ක්‍රේග් ෆෝලර් 9දා, වොෂින්ටනයට ගියේ වෙනිසියුලාවේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් ගැන ඉහල නිලධාරීන්ට වාර්තා කිරීමට යි. අඩු වසයෙන් එක් ගුවන් යානා හාරක නාවික බලඇනියක් එහි වෙරලාසන්න මුහුද කරා ලඟාවෙමින් තිබෙන බවට වාර්තා ඇත.

යුද්ධයකට සමාන පරිමාවකින් ආර්ථික සම්බාධක පැනවීමත් සමග රට වටා ක්‍රමයෙන් තොන්ඩුවක් තද කෙරෙමින් ඇත. එක් මෑත ඇස්තමේන්තුවකට අනුව, වෙනිසියුලාව මත සම්බාධක තුලින් ආහාර හා ඖෂධ සැපයීම කපා දැමීම නිසා පුද්ගලයන් 40,000ක් තරම් සංඛ්‍යාවක් මියගොස් ඇත. සිදුකල තුවාල පෑරීමක් සේ වන, නූතන ට්‍රෝජන් අශ්වයින් සේ පෙබරවාරියේ දී, ආහාර ස්වල්පයක් ගෙනයන ට්‍රක් රථ යොදා ගැනීමට වොෂින්ටනය උත්සාහ කලේ, වෙනිසියුලා-කොලොම්බියා දේශසීමාවේ මිලිටරි ගැටුමක් ඇවිලවීමට යි.

නිර්ලජ්ජිතකම හා සාපරාධිත්වය හමුවේ වෙනිසියුලාවට එරෙහි ප්‍රහාරය සිහියට නඟන්නේ, ලතින් ඇමරිකාව තුල මිලිටරි ප්‍රචන්ඩත්වය, කොල්ලකෑම් හා පොලිස් රාජ්‍ය මර්දනය පිලිබඳ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ දිග්ගැස්සුනු ඉතිහාසයේ අඳුරු ම කාල පරිච්ඡේද යි.

ට්‍රම්ප් පාලනාධිකාරියේ බෝල්ටන් හා අනෙකුත් අය තමන් මොන්රෝ ප්‍රකාශනයේ දූවිලි ගසා දමමින් සිටින බවට පුරසාරම් දොඩා ඇත. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ආසන්න වශයෙන් සියවස් දෙකක් පැරනි මෙම සිද්ධාන්තය මුලින් නිකුත් කෙරුනේ යලි යටත්විජිතකරනයට උත්සාහ නො කරන ලෙස යුරෝපයේ ප්‍රතිගාමී අධිරාජ්‍යාවදී බලවතුන්ට ඇමරිකාව කල අනතුරු ඇඟවීමක් ලෙස ය. කෙසේ නමුත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැගීමත් සමග, එක්සත් ජනපද බැංකු හා සංගතවල උත්සුකයන් ආරක්ෂා කිරීම සඳහා මිලිටරි මැදිහත්වීම් හා වාඩිලා ගැනීම් සඳහා එය සකලාකාරයෙන්ම යුක්තිසහගත කරනු ලැබින.

මොන්රෝ ප්‍රකාශනයේ කැත ධජය යටතේ, වොෂින්ටනය එම අර්ධගෝලය තුල ඍජු එක්සත් ජනපද මැදිහත්වීම් 50ට වඩා දියත් කලේ ය.

අද, ඊටත් වඩා නරුම ආකාරයකින් මෙම ප්‍රකාශනය පුනුරුත්තාපනය කෙරී ඇත. වොෂින්ටනය විසින් එහි පිහිට පතා ඇත්තේ, නය හා ආධාර සැපයීම මගින් වෙනිසියුලානු තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට බාධා කිරීම වෙනුවෙන් රුසියාව, චීනය හා කියුබාවට දෝෂාරෝපනය කිරීමට ය. මෙම රටවල් “වෙනිසියුලාවෙන් පිට විය යුතු” යැයි ඉහල නිලධාරීන් ඉල්ලා ඇත්තේ, කියුබාවට එරෙහි ව කටුක නව සම්බාධක පනවමින් හා රුසියාවට එරෙහිව මිලිටරි පියවර ගැනීමට පවා තර්ජනය කරමිනි. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රිපබ්ලිකානු කොංග්‍රස් සභිකයෙකු, මොස්කෝව, වෙනිසියුලාවේ න්‍යෂ්ටික අවි පවා රඳවා ඇතැ යි පවසන තරම් දුර ගියේ, එය 1962 කියබානු මිසයිල අර්බුදයට සන්සන්දනය කරමිනි.

ග්‍රහලෝකයේ ඇති විශාල ම වෙනිසියුලානු තෙල් නිධි මත එක්සත් ජනපද තෙල් සංගතවල ඍජු පාලනය තහවුරු කිරීම හා එරට මෙන් ම කලාපයේ වඩා පුලුල් කලාපයක, වොෂින්ටනයේ ඊනියා තරඟකාරී “මහා බලවතුන්ගේ”, එනම් චීනය හා රුසියාවේ ආර්ථික බලපෑම සැලකියයුතු පරිදි අඩු කිරීම තම අරමුන වන්නේ ය යන කරුන එක්සත් ජනපද නිලධාරීන් විසින් වසන් කර නැත. මෙය න්‍යෂ්ටික තුන්වැනි ලෝකයක සටන් බිමක් බවට වෙනිසියුලාව හැරවීමට තර්ජනය කරයි.

ලතින් ඇමරිකාව පුරා ගැරහීමට ලක්ව ඇති අපකීර්තිමත් (මොන්රෝ) ප්‍රකාශනයේ පුනුරුත්තාපනය, “තමන්ගේ ම පිලිකන්නේ” පවා විදේශ ආයෝජනයන්ගේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස චීනය මතුව ඇතැ යි යන කාරනයට මුහුන දෙන, පරිහානියට යමින් තිබෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඊට දක්වන ප්‍රතිචාරය යි.

අපරාධකාරිත්වය හා කොල්ලකෑමේ මෙම අභ්‍යාසය සඳහා කඩතුරාව ලෙස ඉදිරියට දැමෙන පරන බොරුව වන්නේ වොෂින්ටනය වෙනිසියුලාව තුල “ප්‍රජාතන්ත්‍රවාදයට” සහාය දැක්වීම පිලිබඳ කථාව යි. මෙම ප්‍රකාශය නීච සංගත මාධ්‍ය මෙන් ම, තන්ත්‍ර වෙනස පිටුපස පෙල ගැසී ඇති, බිඩෙන් සිට සෑන්ඩර්ස් දක්වා ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් යැයි කියනු ලබන ඩිමොක්‍රටිකයන් විසින් ද දෝංකාර නංවනු ලැබේ.

මෙහි අලුත් දෙයක් නැත. වසර පනහකට පෙර, බ්‍රසීල මිලිටරිය එරට ඡන්දයෙන් පත් වූ ජනාධිපති ජාඕ ගෞලාට් පෙරලා දැමූ අවස්ථාවේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය ප්‍රතිචාර දැක් වුයේ මෙලෙස ය:

“එකත් එකට ඔවුන් සියලු දෙනා, තමන්ගේ ම කැමැත්තෙන් තෝරා ගැනුනු නිලධාරීන් වන, සිවිල් තත්වයේ ආන්ඩුකාරවරුන් හා මිලිටරි අනදෙන්නන් විසින් ඒකාබද්ධව සැලැසුම් කෙරුනු කුමන්ත්‍රනය තුල එක් තනි පෙලඹවීමක් සොයා ගත හැකි වූයේ නම් ඒ, බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදී රූපරාමුව පවත්වා ගැනීමේ ඔවුන්ගේ උත්සුකයයි.”

1964 කුමන්ත්‍රනයේ දී ස්ථාපිත කෙරුනු රූපරාමුව වූයේ මිලිටරි ඒකාධිපතිත්වය යි, මෙය ඊ ලඟ දශක දෙක තුල රටේ දැඩි පාලනයක් ගෙන ගිය අතර අර්ධගෝලය පුරා කම්කරුවන් හා තරුනයන් සියදහස් ගනනක් මරා දමා, වධ දී සිරගත කල ෆැසිස්ට් මිලිටරි තන්ත්‍රවල ව්‍යාප්තියට උදව් කලේ ය.

ට්‍රම්ප් පාලනාධිකාරිය ලතින් ඇමරිකාවේ “ප්‍රජාතන්ත්‍රවාදය” හා “නිදහස” ගැන උනන්දු වන්නේ යයි කාට විශ්වාස කල හැකි ද? එය සෑම දිනක ම දකුනු දේශසීමාවේ කම්කරුවන් වෙත තම ආකල්පය පෙන්වන්නේ, එක්සත් ජනපද යුද්ධ හා වොෂින්ටනයේ අනුග්‍රහ ලත් මධ්‍යම ඇමරිකාවේ ඒකාධිපතිත්වයන් විසින් නිර්මානය කෙරුනු තත්වය හමුවේ පලායමින් සිටින සරනාගතයන් පසුපස කුරිරු ලුහුබැඳ යාමේ දී ය. ෆැසිස්ට් මනසක් ඇති දේශසීමා ඒජන්තයින් විසින් මෙම කම්කරුවන් ලුහුබැඳ ගොස්, වධ කඳවුරුවලට ගාල් කර, ඔවුන්ගේ ලමුන් ඔවුන්ගේ රැකවරනයෙන් උදුරා ගෙන ඇත.

සැබවින් ම, මොන්රෝ ප්‍රකාශනයේ අපවිත්‍ර ධජය වැනීමේ දේශීය සංරචකයක් ද වේ. එය වෙන් කල නො හැකි ලෙස බැඳෙන්නේ “සමාජවාදයට” එරෙහි ෆැසිස්ට්වාදී උදඝෝෂනය, 2020 මැතිවරනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් කිරීමේ ට්‍රම්ප් පාලනාධිකාරියේ උත්සාහය සමගිනි. එය ලෝක ධනේශ්වර අර්බුදය, එක්සත් ජනපද දන්ඩන සම්බාධක හා මදූරෝගේ ධනේශ්වර ආන්ඩුවේ ධනපති -ගැති ප්‍රතිපත්ති මගින් නිර්මානය කෙරුනු වෙනිසියුලාවේ සමාජ පරිහානිය වෙනුවෙන් සමාජවාදයට දෝෂාරෝපනය කිරීමේ උත්සාහයකි.

කම්කරු පන්තිය අතර සමාජවාදී විරුද්ධත්වයේ වර්ධනයට එරෙහි ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් අවුලුවන පාලක පන්තියේ උත්සාහයන්ට එරෙහි අරගලය, තම ඉතාමත් කිට්ටුම මිතුරා සොයා ගනු ඇත්තේ, බ්‍රසීලයේ හිටපු හමුදා කපිතාන් ජායිර් බොල්සොනාරෝ ගේ සිට, විකීලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ගේ උදර්පනය සඳහා වන වොෂින්ටනයේ ඉල්ලීම් මත වැඩ කරමින්, බි්‍රතාන්‍යයේ පොලිස් අත්අඬංඟුවට ගැනීමේ රැලට ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ දොරවල් විවෘත කර දී තම අවනතභාවය ඔප්පු කල ලෙනින් මොරේනෝ දක්වා වන තමන්ගේ ම දක්ෂිනාංශික ධනේශවර ආන්ඩුවලට එරෙහි ලතින් ඇමරිකානු කම්කරුවන්ගේ අරගලය තුල යි.

මැටමොරොස් නගරයේ මැකිලඩෝරාවේ මෙක්සිකානු කම්කරුවන් දසදහස් ගනනකගේ මෑත වැඩවර්ජනය ඉතා බලගතු ලෙස ප්‍රදර්ශනය කල පරිදි, ජාතික දේශසීමා හරහා පොදු නිෂ්පාදන ක්‍රියාදාමයක් ඔස්සේ වෛෂයික ව ඒකාබද්ධ, කම්කරු පන්තියට ඉදිරි මාවතක් සොයා ගත හැක්කේ, පොදු හතුරන්, එනම් අන්තර්ජාතික බැංකු හා සංගත, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා කලාපයේ ජාතික පාලක කතිපයාධිකාරිය පරාජය කිරීමේ අරගලයේ දී එක්සත් ජනපද හා ලතින් ඇමරිකානු කම්කරුවන්ගේ දැනුවත් එක්සත් වීම ඔස්සේ පමනි.

සමස්ත මහාද්වීපයට හා සැබවින් ම මුලු ලෝකයටම විනාසකාරී ගම්‍යයන් සහිත වෙනිසියුලාවට එරෙහි යුද තර්ජනය පරාජය කල හැක්කේ, සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක, එවන් එක්සත් අරගලයකට පමනි.

මෙම අරගලය සූදානම් කර මෙහෙය විය යුතු ය.

මෙම අන්තර්ජාල ඔන්ලයින් රැලියට සහභාගී වන්නා වූ ද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්නා වූ ද, ලතින් ඇමරිකාවේ අපගේ සහෝදර/සහෝදරියන්ගෙන් මෙන් ම සමාජවාදී මාවතක් සොයමින් සිටින කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි මෙසේ ඉල්ලා සිටිමු: හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මෙන් ම ලතින් ඇමරිකාව තුල සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය විසින් ගෙන යන ලද දීර්ග අරගලයේ ඉතිහාසය පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයක් අරඹා, මෙම ප්‍රතිපත්තිමය පදනම මත, සෑම රටකම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛා ගොඩනගනු මැනවි.

Share this article: