ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් පසු ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පියවර ගැන ව්‍යාජ වම්මුන් මුනිවත රකී

වසන්ත රූපසිංහ විසිනි, 2019 මැයි 2

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව, අප්‍රේල් 21දා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් ගසා කමින් මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් වනසා දැමීමට, ගොරතර පොලිස් රාජ්‍ය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර සියලුම ධනපති පක්ෂ හා ව්‍යාජ වාම පක්ෂ ආන්ඩුවේ මෙම ප්‍රයත්නයට විවෘතව මෙන්ම වක්‍රකාරයෙන් තම සහය පලකරමින් සිටී.

අප්‍රේල් 25දා සිරිසේන විසින් කැඳවූ ඊනියා “සර්ව පාක්ෂික” සමුලුව, ආන්ඩුව බෝම්බ ප්‍රහාරවලින් ක්ෂනික ඉක්බිත්තේ ක්‍රියාවට දැමූ හදිසි නීති විධිවිධානවලට රබර් මුද්‍රාව තැබූ අතර “ත්‍රස්තවාදය පරාජය කිරීමේ” මුවාවෙන් ඉදිරියේදී ගනු ඇති ඕනෑම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙතකට තම සහයෝගය ලබා දෙන බවට සපථ කලේ ය.

හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුන), විජිත හේරත් (ජනතා විමුක්ති පෙරමුන), ආර්. සම්බන්ධන් (දෙමල ජාතික සන්ධානය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුන), පාඨලී චම්පික රනවක (හෙල උරුමය), රාවුෆ් හකීම් (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය), වික්‍රමබාහු කරුනාරත්න (නව සම සමාජ පක්ෂය), ඩිව් ගුනසේකර (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), තිස්ස විතාරන (ලංකා සමසමාජ පක්ෂය) ඇතුලු තවත් පක්ෂ ගනනාවක නායකයින් හා නියෝජිතයෝ සම්බන්ධවූහ.

නව සම සමාජ පක්ෂය ඍජුවම රැස්වීමට සහභාගී වී පොලිස් රාජ්‍ය පියවරට සිය සහාය පලකල අතර ව්‍යාජ වාම පක්ෂ දෙකක් වන එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නියෝජිතයන් මෙයට සහභාගීවූ බවට සටහනක් නැතත්, ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් එම පක්ෂ විසින් දැනට නිකුත් කර තිබෙන ප්‍රකාශ, කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී වැඩපිලිවෙල සම්බන්ධයෙන් දක්වන්නේ වඳ ප්‍රතිචාරයකි. එනයින් ඒවා ආන්ඩුවට වක්‍රකාරයෙන් සහය පලකරමින් සිටී.

මෙම පක්ෂ දෙකම, 2015දී සිරිසේන බලයට ගෙනආ වොෂිංටනයේ තන්ත්‍ර මාරුවට ක්‍රියාශීලිව පිටුබලය දුන්නේ ය. බලයට පත් තැන් පටන්, සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රය, චීනයට එරෙහි එක්සත් ජනපදය යුද සූදානමේ කේන්ද්‍රයක් වසයෙන් මෙම දූපත පරිවර්තනය කරමින් මිලියන සංඛ්‍යතා මහජනයා ලෝක යුද්ධයේ අද්දරට ඇදගෙන ගොස් ඇති ආකාරය පිලිබඳව අනවරතව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔස්සේ කම්කරු පන්තියට පැහැදිලි කර ඇත්තේ සසප පමනි. එයට එරෙහිව සටන් කල හැකි එකම ක්‍රියාමාර්ගය වන සමාජවාදී ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සසප අවධාරනය කරයි.

පසුගිය වසරේදී පුනර්ජීවනයවූ ජාත්‍යන්තර කම්කරු පන්ති අරගල මේ වසරේදීත් අඛන්ඩව පැවැතීම සහ එයින් තැති ගැනුනු අධිරාජ්‍යවාදී සහ ඒවාට ගැති ආන්ඩු, එම අරගල තලා දැමීම සඳහා ෆැසිස්ට්වාදී පිලිවෙත් කරා මාරුවෙමින් සිටින ආකාරයත්, එනයින් රුදුරු පොලිස් රාජ්‍ය සඳහා අරඅදින ආකාරයත් ලෝසවෙඅ එක දිගට අවධාරනය කලේ ය. ඊනියා “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක්” දියත් කරමින් ජනාධිපති සිරිසේන, පැනනගින කම්කරු අරගලවල ගෙල සිරකරලීමට ක්‍රියාකරගෙන යන ආකාරයද එක දිගට අවධාරනය කලේ සසප පමනි.

අප්‍රේල් 21දා බෝම්බ ප්‍රහාරවලින් මහජනයා තුල ඇතිකල සන්ත්‍රාසය ගසාකමින් පන්ති අරගලය මර්දනය කිරීමට පාලක පන්තිය වැඩටබැසගෙන ඇති ආකාරය ගැන, ලෝසවෙඅ හරහා සසප මේ වනවිට පලකර ඇති ලිපි ගනනාවකින්ම කම්කරු පන්තියට අනතුරු අඟවා තිබේ.

එහෙත් පාලක පන්තියේ මෙම මර්දනය සම්බන්ධයෙන් කේන්ද්‍රීය අවධාරනයක් කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයා ගතයුතු සමාජවාදී වැඩපිලිවෙල ගැන කීමට ව්‍යාජ වම්මු සිතාමතාම මගහැර සිටිති.

පරීක්ෂනවල සහාය සඳහායැයි දැනටමත් එෆ්බීඅයි සහ පැසිෆික් බලඇනියේ විශේෂඥයින් කන්ඩායමකට ආන්ඩුව ආරාධනා කර තිබීම ගැන ව්‍යාජවාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අප්‍රේල් 25දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්, “එවන් මුග්ධ දේශපාලන තීරන ගන්න එපා”යැයි ආන්ඩුවට කන්නලව් කලේ ය. මෙම ආන්ඩුව අධිරාජ්‍ය ගැති ආන්ඩුවක් බවත්, වැඩෙන කම්කරු පන්තික අරගල මැඩීමට සහ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට, ආන්ඩුව අධිරාජ්‍යවාදීන් සමග එකට අත්වැල් බැඳගෙන වැඩකරන්නේය යන කාරනයත් මහජනයාගෙන් වසන් කිරීම මෙම ප්‍රකාශයේ අරමුන යි.

එමපමනක් නොව, “එවන් විපත් [බෝම්බ ප්‍රහාර]මේ රටේ ජනතාවට ඇති නොවන විසඳුමක් වෙනුවෙන්...මනුෂ්‍යත්වයට පන පොවමු, ජනඝාතන වලකමු, අන්තවාදයට ඉඩ නොදෙමු” යනුවෙන් පෙසප යෝජනා කරයි. ත්‍රස්ත බෝම්බ ප්‍රහාර දැනුවත්වම සිදුවීමට ඉඩහල, සිරිසේන-වික්‍රමසිංහ ඇතුලු සමස්ථ ධනපති පාලක පන්තිය ඔවුන්ගේ විද්‍යුත් මාධ්‍ය හා පත්තර කඩමාලුවලින් දිවා රෑ වමාරන ඊනියා “සහජීවනය” ගැන පවත්වන නොකෙරෙන කතා හා පෙසප උක්ත සටන්පාඨ අතර කිසිදු වෙනසක් ඇත්තේ නැත. ධනපති ආන්ඩුවේ කුමන්ත්‍රනය වසන් කරමින්, දැන් එය සුලුතර ජනයා හා සමස්ථයක් ලෙස කම්කරු පන්තිය ලෙයින් මැඩීම එල්ල කර ඇති “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා පෙසප අත්වැල්බැඳ ගැනීම, එහි “අන්තවාදයට ඉඩ නොදෙමු” සටන් පාඨය හරහා ප්‍රකාශයට පත් කෙරී ඇත.

ඇත්ත වසයෙන්ම, සමාජවාදී විසඳුමට පයින් ගසා කෙරෙන “අන්තවාදයට එරෙහි අරගල” වනාහී ධනපති රාජ්‍ය මර්දනයට දෙන සෘජු සහයක් විනා අන්කවරක්වත් නොවේ.

සිරිසේන බලයට ගෙනආ පාලන තන්ත්‍රමාරුවට සහය දුන් තවත් පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂය, “ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එපා, වර්ගවාදය සහ බෙදීමේ වැඩීම ඒකාබද්ධ කම්කරුවන්ගේ අරගලයකින් වැලක්විය හැකිය” යන පාඨයන් සහිතව ප්‍රකාශයක් පලකර ඇති අතර එම ප්‍රකාශය ද වංචාකාරී බවින් නොඅඩු එකකි. ව්‍යාජ-වාම “කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ” ඉංග්‍රීසි භාෂාවෙන් පලවන නිල වෙබ් අඩවියේ පලකර ඇති ප්‍රකාශය, බෝම්බ ප්‍රහාර ගසාකමින් ආන්ඩුව සීග්‍රයෙන් පොලිස් රාජ්‍ය පියවර කරා මාරුවී තිබීම ගැන කිසිදු අනතුරු ඇඟවීමක් කම්කරු පන්තියට සිදුකරන්නේ නැත.

මෙරට “දක්ෂිනාංශික ආන්ඩු” දශක ගනනාවක් තිස්සේ “ඔවුන්ගේ අස්ථාවර පාලන තන්ත්‍ර පවත්වා ගැනීම සඳහා අන්තර්-වාර්ගික ප්‍රචන්ඩත්වය උසිගැන්වීමට ආගමික අන්තවාදයේ විවිධ රූපාකාරයන් රැලි කිරීම ප්‍රයෝජනවත් බව දැක ගෙන තිබේ” යයි ලියන එසප, කම්කරු පන්තියේ පන්ති එකමුතුව කඩා දැමීම සඳහා වර්ගවාදය ධනේශ්වර පාලක පන්තියට අත්‍යවශ්‍ය ආයුධයක්ව පවතින්නේ කෙසේද යන්න ගැන විස්තර කරන්නේ නැත.

විශේෂයෙන්ම, සුලුතර මුස්ලිම් ජනයාට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ජනයාට එරෙහිව බොදුබල සේනා වැනි “විවෘතවම වර්ගවාදී බෞද්ධ භික්ෂූන්ගේ” ව්‍යාපාරයක් බිහිකිරීමට සම්බන්ධවූ බව එසප ප්‍රකාශය සඳහන් කරයි. එසප නායකයා මෙහිදී, මෙම බෞද්ධ ස්වෝත්තමවාදය පෝෂනය කිරීමෙහිලා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දායකවී ඇති ආකරය ගැන මුනිවත රකී.

දෙමල විරෝධී ජනඝාතක යුද්ධය ආරම්භ කිරීමට මූලිකත්වය දුන් යූඇන්පියේ නායක රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට ඉහලින් දායක වෙමින්, නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න සමග ඊනියා “නිදහසේ වේදිකාව” නිර්මානය කලේ, තම පක්ෂය වර්ගවාදයට ඉදුරාම එරෙහි පක්ෂයකැයි සපථ කරන මෙම ජයසූරිය ම ය.

ධනේශ්වර පාලනය සමාජවාදී විප්ලවයකින් පෙරලා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට ඉදුරා එරෙහිව සිටින එසප, “අනාගතයේදී සිද්ධවනු ඇති බෙදීම් හා බෙදුම් ප්‍රහාර උත්සන්න කිරීම්වලින් අපව ආරක්ෂා කිරීම කලහැකි හැකි එකම දේ වන්නේ එක්සත් කම්කරු පන්තික ක්‍රියාවන් සහ විශාල කම්කරු පන්තික සංවිධාන ගොඩනැගීම” බව සඳහන් කරයි. ධනපති ක්‍රමය පවත්වා ගැනීමට හැම අතින්ම කරබදුවී සිටින අතර කරන මෙවන් ප්‍රකාශවල එල්ලය වන්නේ, කම්කරු පන්තිය එක්සත් කිරීමට නොව ඔවුන් ඒ හෝ මේ ධනපති පන්තික කන්ඩායම්වල අතයටට ගාල් කරවීමට ය. එසප උරදී සිටින්නේ එම ප්‍රතිගාමී කර්තව්‍යයට ය.

අනෙක් අතට, ලිබරල් වෙස් ගත් ධනේශ්වර බුද්ධිමතුන්ගේ බංකොලොත් බවද මෙම ප්‍රහාරවලට දක්වන වඳ ප්‍රතිචාරවලින් ඉස්මත්තට පැමින තිබේ. උදාහරනයක් ලෙස, “දින කීපයකට පසු ශ්‍රී ලංකාව තුල” මැයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනියක වන හරිනි අමරසූරිය ඉන්දියාවේ දි හින්දු පුවත්පතට අප්‍රේල් 25දා ලියා ඇති උපදේශ කොලම දැක්විය හැක. සිරිසේන බලයට ගෙනඒමෙහිලා ගෙන ගිය ප්‍රෝඩාකාරී “යහපාලන” උද්ඝෝෂනයේ ප්‍රමුඛ උද්ඝෝකාවක වූ අමරසූරිය, දැන් ජනතා විමුක්ති පෙරමුන බලයට ගෙන ඒම සඳහා කහිමින් සිටින අයෙකි.

මෙම ප්‍රහාරයන් මගින් ඇති කල අනාරක්ෂිතබව උපයෝගි කරගෙන‘ප්‍රබල’ නායකයෙක්, විශේෂයෙන්ම එක්සත් සමාජවාදී පක්ෂය බියපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ වැනි කොටස්වලට අවස්ථාව සැලසිය හැකිවීම පිලිබඳව අමරසූරිය බිය පලකරයි.

“මහජනයාට විකල්ප දෘෂ්ටියක් පිරිනැමිය හැකි භාෂාවක් හා දේශපාලන මූලෝපායක්” සොයාගැනීම සඳහා අමරසූරිය වැනි මධ්‍යම පන්තික බුද්ධිමතුන් අත්වැල්බැඳ ගත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග යි. ඔවුන් එලෙස තැනූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මහජනයා ඉදිරියේ කුජීතවන විට කථිකාචාරිනිය ඇතුලු යහපාලන නඩය ජනතා විමුක්ති පෙරමුනට බඩගෑමට පටන් ගත්තෝ ය. අමරසූරිය ආවැඩූ ජවිපෙ, දැන් ආන්ඩුවේ මර්දනකාරී පොලිස්-රාජ්‍ය පිලිවෙත් අනුමත කරන ඊනියා සර්වපාක්ෂික සමුලුවේ ඉදිරියෙන්ම වාඩිවී සිටී.

අමරසූරිය වැනි මධ්‍යම පන්තික බුද්ධිමතුන් බියට පත්ව ඇත්තේ, තමා ඇතුලු සුලුධනේශ්වර බුද්ධිමතුන් පලිප්පු ලමින් තිබූ “යහපාලන” ආන්ඩුවේ හා සමස්ථයක් ලෙස ධනේශ්වර පන්ති පාලනයේම මිනීමරු ස්වභාවය මේ අයුරින් මහජනයාගේ දෑස් ඉදිරිපිට නිරුවත්වීමත් එයට එරෙහි වෛරය හා කලකිරීම ප්‍රකාශයට පත්කරමින් කම්කරු පන්තික අරගල පුපුරායාමේ ශක්‍යතාව ගැනත් ය.

ව්‍යාජ වම්මුන් හා මෙම සුලුධනේශ්වර බුද්ධිමතුන් අතර පවතින සමානකම වන්නේ, හුදෙක් කම්කරු පන්තියක් පවතිනවා යන්න පිලිගැනීමට ඔවුන් තුල ඇති අකමැත්ත පමනක් නොවේ. එනයින් ත්‍රස්තවාදය මෙන්ම ධනේශවර ක්‍රමයේ ම්ලේච්ඡත්වය ප්‍රකාශයට පත් කරන අනෙකුත් සියලුම මර්දනකාරී පිලිවෙත් පරාජයට පත්කිරීමට කම්කරු පන්තියට පවතින විප්ලවවාදී ශක්‍යතාව ද ඔවුහු ප්‍රතික්ෂේප කරති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

Share this article: