මැයි දින සැමරුම් තහනම් කිරීමට ආන්ඩුව දැරූ උත්සාහයන් නො තකා සසප කොලඹ දී සාර්ථක මැයි දින රැස්වීමක් පවත්වයි

SEP (Sri Lanka) holds successful May Day meeting in Colombo, despite government efforts to bar celebrations

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 3

දිවයින පුරා ප්‍රදේශවලින් පැමිනි කම්කරුවන්, සිසුන්, තරුනයන්, වෘත්තිකයින් හා ගෘහනීන් 200ක් පමන රැස්වීමට සහභාගි වූ හ.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, කොලඹ නව නගර ශාලාවේ දී මැයි 1දා සවස සාර්ථක මැයි දින රැස්වීමක් පැවැත්වූ හ. එහි තේමාව වූයේ “ජාත්‍යන්තර පන්ති අරගලයේ නව රැල්ල හා සමාජවාදය සඳහා අරගලය” යන්න යි.

යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ යාපන අර්ධද්වීපය ඇතුලු දිවයින පුරා ප්‍රදේශවලින් සසප සාමාජිකයින් හා ආධාරකරුවන් ඇතුලු කම්කරුවන්, සිසුන්, තරුනයන්, වෘත්තිකයින් හා ගෘහනීන් 200ක් පමන, මැයි දින සැමරුම් තහනම් කරමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ගසාකෑමේ ආන්ඩුවේ උත්සාහය නො තකා රැස්වීමට සහභාගි වූ හ.

මැයි දින රැස්වීමේ ශ්‍රාවකය

ජීවිත සිය ගනනක් බිලිගනිමින් අප්‍රේල් 21දා එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් අනතුරු ව, සිවිල් වැසියන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට පොලීසියට හා සන්නද්ධ හමුදාවන්ට දුරදිග යන බලතල ලබා දෙමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විෂඝෝර හදිසි නීති රෙගුලාසි පැනවී ය.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව පසුගිය වසර පුරා වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වූ කම්කරුවන් හා දුගීන් බියවැද්දීමට උන්මත්තක උද්ඝෝෂනයක් දැන් කෙරීගෙන යයි.

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, රටෙහි “ආරක්ෂක තත්ත්වය සලකා බලා” මැයි රැලි හා පෙලපාලි නො පවත්වන ලෙස ආන්ඩුව “ආයාචනා” කලේ ය. ඒ අනුව, අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ඔවුන් කලින් සැලසුම් කල පෙලපාලි හා රැලි අවලංගු කල අතර ශ්‍රීලනිපය හා ජවිපෙ රැස්වීම් පැවැත්වූයේ වැසුනු කාමරවල ය. ව්‍යාජ-වම සම්බන්ධ ව ගත් කල, ඔවුහු සැලසුම් කල පෙලපාලි හා රැලි අවලංගු කල හ. ඉන් එකක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එහි සැමරුම කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවකට සීමා කලේ ය.

කේ. රත්නායක

සසප රැස්වීමේ මුලසුන දැරුවේ, එහි දේශපාලන මන්ඩල සභික හා ලෝසවෙඅ ජාතික කර්තෘ වන කේ. රත්නායක ය. ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සහෝදර පක්ෂවලට විප්ලවවාදී සුභපැතුම් පිරිනැමූ ඔහු, තම මූලික අයිතීන් මත ප්‍රහාරයන්ට විරුද්ධ ව ජාත්‍යන්තර ව ධෛර්යය සම්පන්න අරගලවල යෙදී සිටින කම්කරුවන්ට හා දුගීන්ට ආචාරය පුද කලේ ය. 2019 මැයි දිනය වන විට එක්සත් ජනපදය, පෝලන්තය, ඇල්ජීරියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා අනෙකුත් තැන්වල කෙරීගෙන යන අරගල පිලිබඳ ව රත්නායක සඳහන් කලේ ය.

“පන්ති අරගලයේ නැගෙන මෙම රැල්ල, පාලක ප්‍රභූන් සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම හා පශ්චාත්-නූතනවාදී ගැත්තන් විසින් කම්කරු පන්තිය හෝ එහි විප්ලවවාදී භූමිකාව තව දුරටත් නො පවතී ය යනුවෙන් හා සමාජවාදයට සහයෝගයක් නැතැයි යනුවෙන් කරන කියාපෑම් නිෂ්ප්‍රභා කරනවා.” මෙම කියාපෑම්වලට විපරීත ව, සමාජවාදය කෙරෙහි උනන්දුව යලි වතාවක් නැගෙමින් පවතින අතර, පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ ෆැසිස්ට්වාදය ඇතුලු ආඥාදායක පාලන රූපයන්ට හැරීම යි.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරවලින් අනතුරු ව ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන ද පොලිස් රාජ්‍ය පාලනයකට හැරී ඇතැයි අවධාරනය කල රත්නායක, මෙසේ අනතුරු ඇඟවී ය: “කම්කරු පන්තිය දේශපාලන තත්ත්වයට තීරනාත්මක ව මැදිහත් වී, තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්ව සමාජවාදී පිලිවෙත් සඳහා එහි අරගලය ඉදිරියට ගත යුතු යි.”

හජාජාක විසින් මැයි 4-5 දිනවලට සංවිධානය කර ඇති ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට සහභාගි වන ලෙස ශ්‍රාවකයට ඔහු ආයාචනා කලේ ය.

විලානි පීරිස්

සමාජ අසමානතා පෙර නුවූ විරූ මට්ටම්වලට නැග තිබෙද්දී සෑම තැනක ම කම්කරු පන්තිය අරගලයන්ට පිවිසෙමින් සිටින බව සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් පැවසුවා ය. වාර්තාගත මිලිටරි වියදම්වලට හා වැඩ වර්ජනයේ යෙදෙන කම්කරුවන් “ත්‍රස්තවාදීන්” ලෙස ලේබල් ගැසීම ඇතුලු හදිසි නීතිය යටතේ රට තුල ක්‍රියාවට දමමින් තිබෙන විෂඝෝර පියවරයන්ට ඇය අවධානය යොමු කලා ය.

පාලක පන්තිය ගලවා ගැනීමට උත්සාහ දරනු ලබන විවිධ ව්‍යාජ-වාම සංවිධානවල විනාශකාරී භූමිකාව පීරිස් හෙලිදරවු කලා ය. “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙක් වන දුමින්ද නාගමුව, ප්‍රති-ත්‍රස්ත පනත සම්මත කරනවා වෙනුවට ආන්ඩුවට දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) උපයෝගී කරගත හැකි යයි යෝජනා කලා. පීටීඒ මහ ජනතාව මර්දනය කිරීමට යොදාගෙන ඇතැයි පිලිගන්නා අතර ම එහි ඕනෑම අන්තවාදී කන්ඩායමක් මර්දනය කිරීමට ඇති තරම් බලතල තිබෙන බව ඔහු අවධාරනය කලා. මෙම කන්ඩායම් පාලක පන්තියට වක්‍ර ව සහයෝගය දෙන්නේ මේ ආකාරයට යි.”

කපිල ප්‍රනාන්දු

මානව වර්ගයා නව යුගයකට එලඹෙමින් සිටින බව සසප දේශපාලන කමිටු සාමාජික හා සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු විස්තර කලේ ය. විද්‍යාත්මක සමාජවාදයේ ආරම්භක කාල් මාක්ස් විශ්ලේෂනය කොට පෙන්වූ පරිදි “මානව වර්ගයාගේ ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසය යි.” 1988 තරම් ඈත දී ම, පන්ති අරගලය හරයෙන් පමනක් නො ව රූපයෙන් මත් ජාත්‍යන්තර විය යුතු බව හජාජාක අපේක්ෂා කලේ ය. කම්කරු පන්ති අරගලවල නව රැල්ල මෙම කරුන අවධාරනය කරයි.

රැස්වීමේ ප්‍රධාන කථිකයා වූයේ, සසප ප්‍රධාන ලේකම් හා ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬල සාමාජික විජේ ඩයස්ය. ලෝසවෙඅ 2019 ජනවාරි 3දා පල කල “ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය හා 2019 වසරේ ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන සටන” යන ඉදිරිදර්ශන ප්‍රකාශනය කෙරේ ප්‍රෙක්ෂකයින්ගේ අවධානය යොමු කරවමින් ඩයස් ඉන් කොටස් උපුටා දැක්වීය.

විජේ ඩයස්

“පසුගිය සතියේදී අප අත්දුටුවේ, ඉදිරිදර්ශන ලිපියේ ගෙනහැර දක්වා තිබුන, ලෝක තත්වයේ අති මූලික ලක්ෂනවල ඉතා තියුනු ප්‍රකාශනයකි. ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහගේ ධනපති ආන්ඩුව, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් විසින් අරමුදල් සම්පාදනය කර මෙහෙයවන ලද දේශීය අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් එල්ල කරන ලද බිහිසුනු ත්‍රස්තවාදී ප්‍රහාරය දඩමීමා කර ගැනීමට උත්සාහ දරමින්, කම්කරුවන්ගේ, සිසුන්ගේ හා පීඩිත ජනතාවගේ නැඟී එන පන්ති සටන් වලින් බියපත්ව, පොලිස්-මිලිටරි තන්ත්‍රයක් ගොඩනැඟීමටවෙහෙසෙන ආකාරය අපි දුටිමු.”

පසුගිය වසරේදී ආන්ඩුව බෞද්ධ වෙසක් උත්සවය යොදාගනු ලැබුවේ, 2018 මැයි දිනය සඳහා කලින් වෙනුකරගෙන තිබූ ස්ථානවල රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමටය. මේ වසරේ ආන්ඩුව, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ආරම්භ කර දශක ගනනාවක් තිස්සේ මෙරට කම්කරු පන්තිය භුක්ති විඳි මැයි දින උත්සවය සැමරීමේ අයිතිය උදුරා ගැනීමට, මිනිසුන්, කාන්තාවන් හා ලමුන් 300ට ආසන්න පිරිසකට මරු කැඳවමින් 500ට අධික පිරිසකට බරපතල තුවාල සිදුකල මාරක සිදුවීම් යොදාගෙන ඇත.

මේ වසරේ ශාලාව තුලත් පසුගිය වසරේ මෙම ශාලාවෙන් පිටතත් අපගේ ප්‍රසිද්ධ මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා සසප සාමාජිකයින් හා ආධාරකරුවන්, ආන්ඩුවේ “ඉල්ලීම” නොතකා සහභාගී වීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

මීට සපුරා වෙනස් ලෙස ස්ටැලින්වාදී, සමසමාජවාදී හා ව්‍යාජ වාම සංවිධාන, සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වන ලෙස ආන්ඩුව කල කැඳවුම පිලිගත්තේය. සමුලුව පැවැත්වීමේ අරමුන වුවූයේ, සියලු ජන කොටස්වල කම්කරුවන් හා පීඩිත ජනතාවට එරෙහිව මර්දන නීති හා ප්‍රායෝගිකව ගනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට අනුමැතිය ලබා ගැනීමයි.”

විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප මැයි දිනය සලකන්නේ, අපගේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය වෛෂයික ලෝක වර්ධනයන් සමඟ කොතෙක් දුරට ගැලපුනෛ් ද හා ඒය පන්ති අරගලයේ වර්ධනයන්ට සම්බන්ධිතව අපගේ විප්ලවවාදී කර්තව්‍යයන් කෙතෙක් නම් යථාර්තවාදී වීදැයි සලකා බැලීමටය. කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමේලා අපගේ පක්ෂ කර්තව්‍යයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම පිනිස මෙය අත්‍යවශ්‍යය.

2008දී ලෝක බැංකු පද්ධතිය බිඳවැටීමේ තැන් පටන් ලෝක ධනේශ්වර අර්බුදය උග්‍ර වීමත් රටක් රටක් පාසා ආර්ථික වර්ධනය පහත වැටීමත් ඩයස්ගේ විමසුමට ලක් විය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යොදනු ලැබූ නොයෙකුත් ප්‍රතිකර්මයන්, ධනපති ආර්ථිකයේ පුනර්ජීවයක් ඇති කිරීමට නොසමත්වී ඇත. ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට නංවන ලද දරුනු කප්පාදු පියවර පවා ආයෝජකයින් දිරිගැන්වීමට අසමත්වී ඇත. මෙයයි පාලක පන්තිය ෆැසිස්ට්වාදයේ හා මිලිටරි පාලනයේ පිහිට පැතීමට යොමුකරවන්නේ.

එහෙත් ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරයේදී මෙන් මධ්‍යම පන්තික කොටස්වල සහයෝගය ද දිනාගනිමින් පන්ති අරගල පැනනඟිමින් ඇත. මෙක්සිකෝවේ මැටමොරොස් කම්කරුවන්ගේ බලගතු වැඩවර්ජන ද ඉන්දියාවේ රාජ්‍ය සේවකයින් දියත් කල වැඩවර්ජනය ද ඒ අතර වේ. ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ දෙකේ හා වෘත්තීය සමිති නිලධරයේ ධනපති ගැති ඉදිරිදර්ශනය බිඳ දමමින් එම වර්ජනය ක්‍රියාත්මක විය. මෙරට ලක්ෂයක් වතු කම්කරුවෝ සියයට සීයක වැටුප් වැඩිවීමක් ඉල්ලා අරගලයක නිරත වූහ. මධ්‍යම පන්තියේ විවිධ කොටස්, කුඩා වෙලඳසැල් හිමියන් හා විශ්වවිද්‍යාල සිසුන් මෙම වතු කම්කරු අරගලයට සහාය දක්වමින් 10,000ගේ ශක්තිමත් රැලියක් පැවැත්වීය.

අසාන්ජ් හා මැනිං නිදහස් කරන ලෙස බලකරමින් ඉදිරිපත් කරන ලද යෝජනාව ට ඡන්දය විමසීම

කම්කරුවන් සාමාජිකයින්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීම සඳහා වෘත්තීය සමිති පසෙකට ලා ඒවායින් බිඳී වෙන්වීමට පටන්ගෙන ඇත. ඒ අතර හජාජාක සියලු ශාඛා ගෝලීය සමාජවාදී හා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමේ සටනක නිරතව සිටී යයි ඩයස් පැවසීය. “කිසිදු රටකට, විශේෂයෙන්ම ඇමරිකාවට, අධිරාජ්‍යවාදී රටවල් විසින් අනුගමනය කරන ලද ලෝක යුද්ධයේ මූලෝපායෙහි විනාශකාරී ප්‍රතිවිපාකයන්ගෙන් ගැලවී ගත නොහේ. ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ ඇමරිකාවේ යුද යාන්ත්‍රනය වඩ වඩාත් චීනයට එරෙහිව යොමු වෙමින් සිටී. මෙම ප්‍රතිගාමී ව්‍යාපෘතියට අනුකූලව ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාවේ මිලිටරි සම්බන්ධකම් යෝධ පියවරයන් තබමින් ඉදිරියට යයි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දැන්, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවල වාසිය ඩැහැගෙන ඇත්තේ, වොෂින්ටනය හා ඇමරිකානු මිලිටරි යාන්ත්‍රනය සමඟ වඩාත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට බව විජේ ඩයස් පැවසීය. දැනටමත් එෆ්බීඅයි කන්ඩායමක් මෙරටට පැමින සිටියි. ඒ ත්‍රස්තවාදී පරීක්ෂන වලට සහාය දැක්වීමේ කඩතුරාව යටතේ ඇමරිකානු මිලිටරිය සමඟ තව තවත් ආන්ඩුවේ බැඳීම් සවිමත් කර ගැනීමටයි.

පරීක්ෂනවල හා නිලධාරීන්ගේ ප්‍රකාශවල සියලු සොයාගැනීම් හෙලිදරව් කරන්නේ, ආන්ඩුව කල්තියාම ප්‍රහාරයන් ගැන දැනසිටි බවයි, ඩයස් පැවසීය. ඒවා මෙහෙයවා ඇත්තේ අයිඒස් ක්‍රියාධරයින්ය. සිරියාවේදී ලද පරාජයන්ගෙන් පසුව ඔවුන් ලෝකයේ විවිධ ප්‍රදේශ කරා සංක්‍රමනය වී ඇති අතර ඒ බොහෝකොටම ඇමරිකාව දැනුවත්ව විය හැකිය.

කම්කරු පන්තිය වාර්ගික ව්‍යසනයක් වෙත හැරීවීම පිනිස ආන්ඩුව හා ඒහි වොෂින්ටන් හාම්පුතුන් දැනුවත්ව ප්‍රකෝපකරනය සැලසුම් කිරීමට හොඳටම ඉඩ ඇත. විජේ ඩයස් සිය කථාව නිමා කලේ, “මෙම සාපරාධී කටයුතු යලි වතාවක් පෙන්නුම් කරන්නේ, සියලු ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව කම්කරු පන්තිය මෙහෙයවන මහජන පක්ෂය ලෙස සසප ගොඩනැඟීමේ අවශ්‍යතාවයි. සියලු ජන වර්ගයන්ගේ ගැමි දුප්පතුන් හා තරුනයින්ගේ නායකයා ලෙස වැඩ කරමින් කම්කරු පන්තිය, තමන් ස්වාධීන දේශපාලන මාවතක් ගැනීමෙන් වලක්වන සියලු පැරනි “වාම” පක්ෂ වලට මෙන්ම ව්‍යාජ වාම හා අනෙකුත් කොටස් වලට එරෙහිව නොපැකිලෙන අරගලයක් මෙය ඉල්ලා සිටී.

“ජාත්‍යන්තර” ගීතය ගායනා කිරීම

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංඟමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ඉදිරිදර්ශනය පමනක් ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරකින එකම ශක්‍ය ක්‍රියාමාර්ගය වන්නේය. එම ක්‍රියාමාර්ගය සඳහා සටනේ නිරත එකම පක්ෂය හජාජාක මෙරට ශාඛාව වන සසප පමනක් යයි විජේ පැවසීය.

කථාවලින් පසුව ප්‍රේක්ෂකයෝ, ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරන ලෙස බලකරමින් ගෙන යන ජාත්‍යන්තර ව්‍යාපාරයට සහයෝගය පල කරමින්, ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඒකමතිකව සම්මත කලහ. ඔවුන් දෙදෙනාම ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් විසින් සිදුකරන ලද යුද අපරාධ හෙලිරව් කිරීමට ගෙන ගිය දිරිමත් කටයුතු නිසා දැන් සිරගතව සිටී.

සසප ඉදිරිදර්ශනය හා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය පිලිබඳ උනන්දුව හා සහයෝගය පෙන්නුම් කරමින් ප්‍රේක්ෂකයෝ රුපියල් 33,000ක් පක්ෂ අරමුදල වෙත ලබාදුන්හ. එමෙන්ම රැස්ව සිටියවුන්ගේ උද්‍යෝගය පෙන්නුම් කරමින් රුපියල් 5,400ක පක්ෂයේ පොත්පත් අලෙවි විය. රැස්වීම නිමා කෙරුනේ “ජාත්‍යන්තර” ගීතය ගායනා කිරීමෙන් පසුවය.

Share this article: