සසප මැයි දින රැස්වීම අසාන්ජ් සහ මෑනින් නිදහස් කරන ලෙස ඉල්ලයි

SEP (Sri Lanka) May Day meeting demands freedom for Assange and Manning

ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසිනි , 2019 මැයි 3

පහත පලවන්නේ විකිලීක්ස් ප්‍රකාශක ජුලියන් අසාන්ජ් සහ අනතුරු අඟවන්නියක වූ චෙල්සී මෑනින් නිදහස් කරන ලෙස ඉල්ලමින් අබෝට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් නිකුත් කෙරුනු ප්‍රකාශයයි. එය මැයි 1 දින සසප කොලඹදී පැවැත්වූ මැයිදින රැස්වීමට ඉදිරිපත් කරන ලදුව ඒකමතිකව සම්මත කෙරුනි.

යෝජනාව සභාවට ඉදිරිපත් කල කේ. රත්නායක මේ දැන් ලබුනු පුවතකට අනුව අසාන්ජ් බ්‍රිතාන්‍ය උසාවියක් විසින් සති 50කට සිරගත කර ඇති බව සඳහන් කල අතර ඔහු නිදහස් කරගැනීමේ උද්ඝෝෂනය තීව්‍ර හදිසිභාවය අවධාරනය කලේය.

***

ප්‍රකාශය

ඇබොට්ස්ලි වත්තේ කම්කරු ක්‍රියාකාරි කමිටුව වන අපි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද අපරාධ එලිදරව් කිරීම නිසා සිරගත කොට සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිං වහාම නිදහස් කල යුතු යයි ඉල්ලා සිටිමු.

බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ඉවතට ඇදගෙන ගොස් අත් අඩංගුවට ගනු ලැබූ අසාන්ජ් දැන් දකුනු ලන්ඩනයේ බෙල්මාර්ශ් බන්ධනාගාරයේ හුදකලාව සිරගත කොට ඇත. එක්සත් ජනපදයට උදර්පනය කොට එහි දී සිරගත කිරීමට හා වධ බන්ධනයට ගොදුරුව ඔත්තු බැලීමේ චෝදනාව යටතේ මරන දන්ඩනයට පවා ලක් වීමේ තර්ජනයට ඔහු මුහුන දී සිටී.

එක්සත් ජනපද හමුදාවේ හිටපු විශ්ලේෂකාවක වූ මැනිං අසාන්ජ්ට එරෙහිව මහා ජූරියට ඉදිරියේ සාක්ෂ්‍ය දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මාර්තු 8 දා සිට සිරගතව සිටී. ඇය එක්සත් ජනපදයේ යුද අපරාධ පිලිබද සාක්ෂ්‍ය විකිලීක්ස් වෙබ් අඩවියට ලබා දුන්නාය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

අසාන්ජ් සහ මැනිං අපරාධකරුවෝ නොවෙති. ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ අහිංසක මිනිසුනු දහස් ගනනින් මරා දමමින් එක්සත් ජනපදය කර ඇති යුද අපරාධ එලිදරව් කිරීම මගින් ඔවුහු ජාත්‍යන්තර කම්කරු පන්තියට මිල කල නොහැකි අගනා සේවයක් කර තිබේ.

අසාන්ජ්ට සහ මැනිංට එරෙහි ප්‍රහාරය, අති මූලික ප්‍රජාතන්ත්‍ර අයිතියක් වන ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. එය, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ එලිදරව් කිරීමට නිර්භය වන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවලට එවන් ඉරනමකට ගොදුරු වීමට සිදු වන බවට කල අනතුරු ඇගවීමකි. වැඩ කරන ජනයායේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මැඩීම සඳහා පූර්වාදර්ශයක් ලෙස සෑම රටකම පාලක පන්තිය අසාන්ජ්ට හා මැනිංට එරෙහි ප්‍රහාරය ඩැහැගනු ඇත.

ධනේශ්වර පාලක පන්තීන් සහ මූල්‍ය වංශාධිපතියෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන අරගල හමුවේ බියපත්ව සිටිති. ඔවුහු, සමාජ ප්‍රතිවිප්ලවයේ පිලිවෙත්වලට සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට මැඩීමට එරෙහිව සටන් වදින වැඩ කරන ජනතාවට විරුද්ධව වඩ වඩා දක්ෂිනාංශික පිලිවෙත්වලට මාරුවෙමින් සිටිති.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල වික්‍රමසිංහගේ ආන්ඩුව, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මැඩීම පිනිස පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර ගසා කා තිබේ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 30 අවුරුදු යුද්ධයේ දී යොදා ගැනුනු රුදුරු හදිසි නීති රෙගුලාසි යලි බලාත්මක කොට පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට පුලුල් බලතල සහිතව ආරක්ෂක හමුදා රට පුරා දිගේලි කර තිබේ.

පන්ති අරගලවල ජාත්‍යන්තර පුනර්ජීවනයේ කොටසක් ලෙස කම්කරු පන්තිය අරගවලට එලඹෙන තතු යටතේ, ආන්ඩුව වඩ වඩා පොලිස් රාජ්‍යයක් දෙසට හැරෙමින් සිටී. ලක්ෂයකට අධික වතු කම්කරුවන් සහ දෙලක්ෂයකට වැඩි ගුරුවරුන්වරු මෑත දී වර්ජන අරගලයන්ට පිවිසුනහ.

දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර වටා රැලි වී ඇත. එමෙන්ම ඊනියා වමේ පක්ෂ සහ වෘත්තීය සමිති සෘජුව හෝ වක්‍රව ඒවාට සහයෝගය දෙයි.

අසාන්ජ්ගේ සහ මැනිංගේ නිදහස තහවුරු කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් මගින් පමනි. එබැවින්, ඇබෝට්ස්ලි වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව වන අපි ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පරිමානව කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, අසාන්ජ් සහ මැනිං නිදහස් කරගැනීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනය සමග එක් වන ලෙසයි.

Share this article: