ආන්ඩුව විශ්වවිද්‍යාල තුල හමුදා කන්ඩායම් ස්ථානගත කිරීම අරඹයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 මැයි 14

පසුගිය 21 දා එල්ල කෙරුනුූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර ගසාකමින් “අන්තවාදය මර්දනය කිරීම“ යන කඩතුරාව යටතේ සිදු කරමින් යන වැටලීම්වලින් පසු ආන්ඩුව විශ්වවිද්‍යාල තුලට හමුදා කන්ඩායම් ස්ථානගත කිරීමක් අරඹා ඇත.

මේ වන විට විශ්වවිද්‍යාල සියල්ලේම පාහේ “සෝදිසි මෙහෙයුම්” සිදු කර ඇති අතර උතුරු හා නැගෙනහිර පිහිටි යාපනය, නැගෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවලට දැනටම හමුදාභට ඛන්ඩ යොදවා තිබේ. මෙම සැලසුම අන් විශ්වවිද්‍යාලවල ද ක්‍රියාවට දැමෙනු ඇත.

ශිෂ්‍යයන්ද ඇතුලු මහජනයාගේ ආරක්ෂාව පිලිබඳ ආන්ඩුවේ මවාපෑම මුලුමනින්ම ප්‍රෝඩාවකි. 2018 වසරේ සිට ජාත්‍යන්තරව යලි පැන නංවා ඇති පන්ති අරගලවල කොටසක් ලෙස ලංකාවේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීම සඳහා පොලිස්-රාජ්‍ය සැලසුම් බල ගැන්වීම ආන්ඩුවේ අරමුනයි. බලාත්මක කර ඇති රුදුරු හදිසි නීති හා අත්‍යාවශ්‍ය සේවා නියෝග යටතේ ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමේ හා වැඩවර්ජන, පෙලපාලි තහනම් කිරීමේ බලය හමුදාවට හා පොලීසියට ලබා දී තිබේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව අඛන්ඩ විරෝධතා හා වර්ජන දියත් කලහ. විශ්වවිද්‍යාල තුලට හමුදා හා පොලිස් භටයන් යෙදවීම එම අරගල යටපත් කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට යොදාගනිමින් හා ප්‍රකෝපකරනයන් ඇවිස්සීමට පාවිච්චි කෙරෙනු ඇත. එය සමස්ත කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙමින් යන ප්‍රහාරයේ කොටසකි.

■ සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පසු මැයි 3 දා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊය) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත පෝස්ටර් ශිෂ්‍ය සංගම් කාර්යාලයේ තිබී සොයා ගත බවට චෝදනා කරමිනි.

යාපනය සරසවිය තුල මුදා හැරෙන මර්දනකාරී වාතාවරනය පෙන්නුම් කරමින් මෙම හමුදා මෙහෙයුමෙන් පසු දිනම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කල මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් සේවයෙන් ඉවත් කොට මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි නිසි බලධරයෙකු ලෙස පත්කර තිබේ. හිටපු උප කුලපති ඉවත් කිරීමට හේතුව ප්‍රසිද්ධ කර නැත.

මැයි 7 දා යාපනය සරසවියේ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවී යාපනය සරසවි පරිශ්‍රය තුල ආරක්ෂාව ශක්තිමත් කිරීමට ගතයුතු පියවර පිලිබඳව සාකච්චා කල බව හමුදා වෙබ් අඩවිය වාර්තා කර ඇත. එහි තව දුරටත් සඳහන් කර ඇත්තේ, මේජර්වරයා එහි “නීතිය හා සාමය” රැකීමට සියලු පියවර ගන්නා බව දැනුම් දුන් බවයි.

■ නැගෙනහිර ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිය ගනනක් හමුදා භටයින් සම්බන්ධ වී සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පසු, 30 කින් සමන්විත හමුදා කන්ඩායමක් එහි යොදවා ඇත. එමෙන්ම මඩකලපුවේ පිහිටි “මඩකලපු කැම්පස්” නමින් පවත්වා ගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයට පවරාගෙන ඇති අතර එහි ද හමුදා කන්ඩායමක් ස්ථාන ගතකර ඇත.

පසුගිය කාලයේ යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පහසුකම් කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයන්ගේ මෙන්ම අනධ්‍යන කම්කරුවන්ගේ අරගල පන නැගුනි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂන පීඨ සිසුන් සිය පීඨ සංකීර්න ඉදි කොට දෙන ලෙස ඉල්ලා අඛන්ඩ වර්ජනයක නිරතව සිටී. යාපනය සරසවියේ අනධ්‍යයන සේවකයන් පසුගිය මාර්තු මස 27 දා විරෝධතාවයක නිරත වූයේ තම සේවා කොන්දේසි සීමා කිරීමේ කොටසක් ලෙස පැමිනීම සටහන් කිරීමට ඇඟිලි සලකුනු යන්ත්‍ර සවි කිරීමට එරෙහිවයි.

අනෙකුත් විශ්වවිද්‍යාලවල හමුදා ඛන්ඩ ස්ථානගත කිරීම වැඩි ඈතක නොවේ. ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් දඬුගැසීමට පාලකයන් පියවර රැසක් ගෙන තිබේ. විශ්වවිද්‍යාල හා නේවාසිකාගාරවල ඇතුලුවීමේ දී තම ශිෂ්‍ය හැඳුනුම් පත, ආරක්ෂක අංශවල නීරීක්ෂනය සඳහා ශිෂ්‍යයන් රැගෙන එන දෑ පෙන්වමින් පනවා ඇති ආරක්ෂක රෙගුලාසිවලට සහයෝගය දෙන්නැයි දැනුම් දී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩදුරටත් සඳහන් වන්නේ නේවාසිකාගාරවලට බාහිර කිසිවෙකුටත් ඇතුලු විය නොහැකි බවයි.

වයඹ, පේරාදෙනිය හා රුහුන යන සරසවිවල සිදු කරන ලද සෝදිසි කිරීම්වල දී සිසුන් භාවිතා කරන ලද විවිධ තාක්ෂනික උපකරන සහ ඇඳුම් පිලිබඳව මාධ්‍ය වාර්තා කලේ විශ්වවිද්‍යාල තුල “ත්‍රස්තවාදීන්” සිටි බවට සමාන ආකාරයෙනි.

හමුදා සෝදිසි මෙහෙයුමකට පසුව “වයඹ සරසවියේ නේවාසිකාගරයක අධිතාක්ෂන උපාංගයක් ඇතුලු උපකරන රැසක්” සොයාගත් බවට වාර්තාවක් පුවත් පත්වල පල විය. එහි තවදුරටත් සඳහන් වුයේ දුරකතන සිම්පත් 26 ද තිබී සොයාගත් බවයි. සරසවියේ බලධාරීන් විසින් දින දෙකකට පසු පෙන්වා දුන්නේ එම “අධිතාක්ෂන උපාංගය” තාක්ෂන පීඨයේ සිසුන් අලි එලවීම සඳහා නිර්මානය කරන ලද උපකරනයක් බවත්, තිබූ සිම්පත් අමතර ආදායමක් සොයා ගැනීමේ අරමුනින් අලෙවිය සඳහා සරසවියේම සිසුවෙක් විසින් ගෙනවිත් තිබූ ඒවා බවත් ය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයට කඩා වැදී “එහිදී සොයා ගත්” මිලිටරි ඇඳුම්වලට සමාන ඇඳුම් කීපයක් සහ “වෝකිටෝකි” යන්ත්‍ර දෙකක් රූපවාහිනී නාලිකා තුලින් ප්‍රදර්ශනය කෙරුනි. මෙවන් ඇඳුම් ඇඳීම තරුනයන් අතර විලාසිතාවක් වන බවත් විනෝදාංශයක් ලෙස කඳු තරනයේ යෙදෙන සිසුන් “වෝකිටෝකි” බහුලව භාවිතයට ගන්නා බවත් සිසුහු පවසති.

රුහුනු විශ්වවිද්‍යාලය තුල කල සෝදිසි මෙහෙයුම් වලදී ශිෂ්‍ය සංගම් කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුලුවූ මිලිටරිය ශිෂ්‍ය නියෝජිතයින්ගේ තොරතුරු සහ අවිශිබම වාර්තාවන් ඡායාරූප ගත කර ගෙන ගොස් ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) පවසයි.

මෙම හීන් කෙඳිරියේ යෙදෙන අවිශිබමය සිසු නායකයන් ඇතැම් සෝදිසි මෙහෙයුම් වලට කෙලින්ම සම්බන්ධවූ අතර ඔවුන්ගේ අඳෝනාව සියලු මෙහෙයුම්වලට තමන් සම්බන්ධකර නොගැනීම ගැනයි. අවිශිබමය මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි. ආන්ඩුව පාසල්වල සහ විශ්වවිද්‍යාලවල සිදු කරමින් යන මිලිටරි තර කිරීම්වලට දී තිබෙන පිටුබලය ආන්ඩුවේ දෑත් තවත් ශක්තිමත් කර තිබේ. “ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කර” පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කරනු යයි පවසන අවිශිබමයේ විවේචනය එල්ල වී ඇත්තේ ආන්ඩුව පොලිස් මිලිටරි බල ගැන්වීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධවයි.

මඩකලපු කැම්පස් නමින් පවත්වාගෙන යන පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුල “මුස්ලිම් අන්තවාදයට” පිටුබලය සපයන ඉගැන්වීම් සිදු කරන බව පවසන ආන්ඩුව එය රජයේ නිරීක්ෂනය යටතේ පවත්වා ගෙන යන බව නිවේදන කර තිබේ. ආන්ඩුවේ පොලිස් මිලිටරි වාඩිලා ගැනීම්වලට පිටුබලය දෙමින් අවිශිබමය, “මඩකලපුව උපාධි කඩය මුලුමනින්ම අහෝසි කිරීම සඳහා පුලුල් සටනක් ආරම්භ කරමූ!” යයි ශිෂ්‍යයන්ට කැඳවුම් කර තිබේ.

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයන් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය විසින් මැයි 8 දා පල කල ප්‍රකාශයේ මෙසේ අවධාරනය කලේ ය.

“විශ්ව විද්‍යාල තුල සෝදිසි මෙහෙයුම් සහ අත් අඩංගුවට ගැනීම්, ‘ත්‍රස්තවාදය’ මැඩීමේ මුවාවෙන් ආන්ඩුව වර්ධනය කරන පොලිස් මිලිටරි රාජ්‍යය, ඉදිරි පන්ති අරගල කෙරෙහි දක්වන ප්‍රතිචාරය පිලිබඳ පෙර ඇඟවුමකි.

“ආන්ඩුවේ මර්දනය පරාජය කිරීම සඳහා, සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කලහැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට සිසුන් හැරිය යුතුය. එම අයිතීන් සුරක්ෂිත කිරීම ස්වාධීනව සිසුන්ට කරගත හැකිය යි අවිශිබම සහ පෙසප කරන සැඳහුම් පරිපූර්න ප්‍රලාපයන් ය....

“ඒ සඳහා සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමත්, පීඩිත ගොවීන්, ශිෂ්‍යයන් සහ තරුනයන් ඒ වටා බලමුලු ගැන්වීමත් අත්‍යවශ්‍ය කෙරේ. මේ සඳහා සිසුන් අතර සටන් වදින්නේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පමනි.”

Share this article: