ජවිපෙ, ආන්ඩුවේ පොලිස්-මිලිටරි රාජ්‍ය පියවරයන්ට පූර්න පිටුබලය දෙමින් “ත්‍රස්තවාදයට එරෙහි” උද්ඝෝෂනය ඉස්මත්තට ගනී

සකුන ජයවර්ධන විසිනි, 2019 මැයි 02

පසුගිය 21 වනදා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පාලක පන්තියේ සෑම කොටසක්ම පෙල ගැසී සිටින්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් දිවයින පුරා පොලිස් මිලිටරි රාජ්‍ය විධික්‍රම ක්‍රියාවට දැමීමටය. ධනපති දේශපාලන සංස්ථාපිතයේම පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන ද (ජවිපෙ) මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් උත්සන්න කිරීමේ උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත.

ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි ආන්ඩුව විසකුරු පොලිස් මිලිටරි පියවර ක්‍රියාවට දැමීය. ෆේස්බුක්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය වාරනය කල අතර හදීසි නීති රෙගුලාසි බලාත්මක කරන ලදී. මෙම වැඩ කටයුතු සඳහා මුද්‍රාව ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැඳවු සර්ව-පාක්ෂික සමුලුවේදී ජවිපෙ මෙම රුදුරු පිලිවෙත් සඳහා තම සහයෝගය පල කලේය. මැයි දින සැමරුම් වැලැක්වීම සඳහා ආන්ඩුව දරන ප්‍රයත්නයට පිටුබලය දෙමින් ඔවුන් සිය මැයි දින සැමරුම් හකුලා ගත්තේය.

අප්‍රේල් 21 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ආන්ඩුව ප්‍රහාරයේ වගකීම බාරගත යුතු බව සහ “කඩිනම් පරීක්ෂනයක්” පවත්වා ජනතාවට “ඇත්ත තොරතුරු ලබාදෙන” ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. මෙය, ප්‍රහාරයට පෙර ඒ පිලිබඳව දැන සිටියද ආන්ඩුව එය වැලැක්වීමට පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩී ඇති බලගතු විරෝධය අවමංගත කිරීමේ ප්‍රයත්නයකි. ආන්ඩුව කරන එවන් පරීක්ෂනයකින් කෙරෙනුයේ “ඇත්ත තොරතුරු” වසන් කිරීම බව ජවිපෙ හොඳින්ම දනී.

ධනපති පන්තිය තුල දේශපාලන අර්බුද පැන නැගි අනෙක් සෑම අවස්ථාවකදී මෙන්ම මෙවරත් ජවිපෙ “ජාතික න්‍යාය පත්‍රයකට” අනුව කටයුතු කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ඉස්ලාමිය ත්‍රස්තවාදය පරාජය කිරීම ආදී කඩතුරාවන් යටතේ කම්කරු-පීඩිත මහජනතාව මර්දනය කිරීම සඳහා පොලීසිය සහ මිලිටරිය ශක්තිමත් කිරීමේ හා අනෙකුත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට සහාය පල කරමින් සිටී.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අප්‍රේල් 26 වනදා පැවති මාධ්‍ය හමුවකදි සිය පක්ෂයේ ප්‍රවේශය “ජාතික ආරක්ෂාව” ට “ප්‍රමුඛ තැන දීම බව” සඳහන් කලේය. ජවිපෙ, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ කසකරුවෙකු වූයේ ද ඉහත “ප්‍රවේශය” යටතේ ය. එම යුද කාලය තුල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ගනු ලැබූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් සඳහා ජවිපෙ හවුල් වූයේ “ජාතික ආරක්ෂාව” නැතහොත් “ත්‍රස්තවාදය මැඩීම” යන කඩතුරාව යටතේ ය.

දෙමල පීඩිත ජනතාව පමනක් නොව යුද කාලය පුරා පාලක පන්තීන් විසින් සමස්ත කම්කරු-පීඩිත මහජනතාව මැඩීම සඳහා යොදාගනු ලැබුවේ ජවිපෙ අද දින ද තොරොම්බල් කරන මෙම විසඝෝර සූත්‍රයන් ය.

විජිත හේරත් පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ “දේශපාලන වෙනස්කම්” පසෙක තබා “සමස්ත ජනතාව ආරක්ෂා” කිරීමට සියලු පක්ෂ “ජාතික න්‍යාය පත්‍රයකට” අනුව කටයුතු කලයුතු බවයි. “අපි සියලු පක්ෂ එකතු වෙලා පාර්ලිමේන්තුව එක ඒකකයක් විදිහට හිතලා පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුල බිඳවැටී තියෙන විශ්වාසය නැවත ඇතිකරගන්න අවශ්‍ය” යැයි ද හේරත් පැවසීය.

ජවිපෙ ඇතුලු පාලක පන්තියේ සියලුම දෙනා භීතියට පත්ව ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වහන්තරාව ඉරීයාම හේතුවෙන් කම්කරු පන්තියේ වැඩී එන අරගල මධ්‍යයේ ධනේශ්වර සංස්ථාපිතයටම එරෙහි විශාල කැරලිකාරීත්වයක් පැන නංවනු ඇතැයි යන උත්සුකයෙනි. අනිවාර්යෙන්ම හේරත් සඳහන් කරන “ජාතික න්‍යාය පත්‍රය” යටතේ සිදු කෙරෙනු ඇත්තේ ජනතාව ආරක්ෂා කිරීම නොව කම්කරු පීඩිත මහජනතාවට එරෙහි රුදුරු මර්දන නීති සම්මත කරමින් පොලිස් මිලිටරි රාජ්‍යය ශක්තිමත් කිරීමය.

26 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා කියා සිටියේ පාලකයින් “බල වුවමනාවන්” වෙනුවෙන් කාලය ගත කර “ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ” බවයි. මොවුන් “බල වුවමනාව” යන පදය යොදාගන්නේ ධනපති පාලන ක්‍රමය මුහුන දී ඇති අර්බුදය වසන් කිරීමටයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් පහකර මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කල විටද මොවුන් මෙම පදයම යොදා ගත්තේය. සිරිසේන සහ වික්‍රමසිංහ අතර ගැටුමට මූලිකම හේතුව වූයේ ඔවුන්ගේ ආන්ඩුව මුහුනදුන් බරපතල ආර්ථික අර්බුදය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කල ප්‍රහාරයන් හේතුවෙන් ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ දැවැන්ත මහජන විරෝධය බව ජවිපෙ වසන් කලේය.

දැන් කල යුත්තේ “ඉස්ලාම් අන්තවාදී මතවාදය, ඊට හවුල් පුද්ගලයින්, සංවිධාන මුලුමනින්ම පරාජය කිරීම සදහා කටයුතු කිරීමයි” යනුවෙන් දිසානායක ප්‍රකාශ කලේය. පාලක පන්තියේ “ත්‍රස්තවාදයට එරෙහි” උද්ඝෝෂනයෙහි කසකරුවෙකු ලෙස කටයුතු කරන ජවිපෙ මුස්ලිම් විරෝධය වගුරුවාලීමටද එම හමුවේදී කටයුතු කලේය.

ඉස්ලාම් අන්තවාදීන් “ආරක්ෂා වන්නේ” හා “මතවාදය ප්‍රචාරය කරන්නේ” මුස්ලිම් සමාජය තුල බැවින් ඔවුන් පරාජය කිරීමට මුස්ලිම් සමාජයට “විශේෂ වගකීමක්” පවතින බව දිසානායක පැවසීය.

අන්තවාදී ව්‍යාපාරයන් බිහිවීමේ සහ ව්‍යාප්තවීමේ මූලය පවතින්නේ ධනපති ක්‍රමය මුහුන දී ඇති ගෝලීය පරිමාන අර්බුදය තුලය. ඒවා ඉස්මතු වී ඇත්තේ අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ ධනපති පාලක පාලක පන්තීන් සිය පන්ති පාලනය රැකගැනීම සඳහා ගෙන ගිය රුදුරු පිලිවෙත් වලිනි. මෙයට වගකිව යුත්තේ මුස්ලිම් ජනතාව ඇතුලු සාමාන්‍ය මහජනතාව නොව අධිරාජ්‍යවාදීන් සහ ඔවුනගේ බඩගැත්තරයින් වන ජවිපෙ ද ඇතුලු ලංකාවේ සහ අනෙකුත් රටවල ධනපති පාලක කොටස් ය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා ජවිපෙ හි කැපවීම සහතික කරමින් දිසානායක කියා සිටියේ “අන්තවාදීන් මර්දනයට නීති ප්‍රමානවත් නොමැති බව” පවසනවා නම් ඒ සඳහා “නීති සම්පාදනය පාර්ලිමේන්තුවේ කල හැකි” බවයි. පාර්ලිමේන්තුව තුලදී හදිසි නීති රෙගුලාසි සම්මත කිරීමට විරුද්ධ නොවෙමින් ජවිපෙ එය ක්‍රියාවෙන්ම සහතික කලේය.

“කවර වර්ගයේ හෝ අන්තවාදයක් එපා” යැයි ඉහත මාධ්‍ය හමුවේදී දිසානායක කුහක ලෙස පැවසීය. සිංහල වර්ගවාදයේ ගිලී සිටින පක්ෂයක් වන ජවිපෙ ආරම්භ වූයේ දෙමල කතා කරන වතු කම්කරුවන්ට විරුද්ධව වර්ගවාදය අවුස්සමිනි. දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයේ කසකරුවන් වීමට අමතරව ඔවුහු 1988-89 කාලයේ කම්කරුවන්ට විරුද්ධව ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් දියත් කලහ.

ජවිපෙහි ප්‍රකාශයන් හරහා යලියලිත් ප්‍රකාශයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රමයන් සහ කම්කරු පන්තිය බෙදා වෙන්කරන වර්ගවාදී උද්ඝෝෂනයන් ඉස්මත්තට ගැනීමේ පාලක පන්ති අවශ්‍යතාවය යි. පාලක පන්තියේ සෑම කොටසක්ම පාහේ “ජාතික ආරක්ෂාව” සහ “ත්‍රස්තවාදයට එරෙහිවීම” ආදී සටන් පාඨ ඔසවාගෙන උද්ඝෝෂනයේ යෙදෙන්නේ ජාත්‍යන්තරවම වර්ධනය වන කම්කරු පන්තික අරගල රැල්ලක් මධ්‍යයේ ලංකාවේ පැන නැගීමට නියමිත පන්ති අරගල තලා දැමීමට අවශ්‍ය පොලිස් රාජ්‍ය උපක්‍රම ශක්තිමත් කර ගැනීමටයි.

මාඕවාදය, කැස්ත්‍රෝවාදය හා සිංහල ජනතාවාදය කලතාගත් සුලු ධනේශ්වර ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජවිපෙ උපතේ පටන් කම්කරුවන්ට එරෙහි සතුරු ක්‍රියාවන් හි යෙදීගත් ව්‍යාපාරයකි. ක්‍රමයෙන් ධනේශ්වර සංස්ථාපිතයට දැඩිව ඒකාග්‍රවූ ජවිපෙ සමාජවාදය පිලිබඳ ව්‍යාජ කියාපෑම්ද අතහැර දමා කම්කරුවන්ට එරෙහිව පොලිස් මිලිටරි රාජ්‍යයක් ගොඩනැගීමේ කාර්යයෙහි යෙදී සිටී.

මොවුන්ගේ සූත්‍රයන් සහ ඒමත පාදක වූ ප්‍රතිගමී වැඩපිලිවෙලවල් කම්කරු පන්තිය සහ අනෙකුත් පීඩිතයින් විසින් සපුරා ප්‍රතික්ෂේප කල යුතුය.

ත්‍රස්තවාදය සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාරයන් පරාජය කල හැක්කේ ඒවායේ මූලය වන ලෝක ධනවාදයට එරෙහි සටනකිනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන යි. ඒ පදනම මත පීඩිත ගොවීන් ද තමා වටා රැලිකර ගනිමින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරු පන්තිය නායකත්වය ගත යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

Share this article: