ධනපති ජනාධිපති අපේක්ෂකයන් වගුරන පච පොරොන්දුවලට එදිරිව සමාජවාදය සඳහා සටන

දිල්රුවන් විතානගේ සහ කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 8

ජනාධිපතිවරනය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන ප්‍රධාන ධනපති පක්ෂවල අපේක්ෂකයෝ මේ දිනවල තරඟයට මැතිවරන පොරොන්දු ඉදිරිපත් කරමින් දේශපාලන වේදිකා දෙවනත් කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයකට පෙර එලිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ආර්ථික වර්ධන වේගය සියයට 6.5 ක් දක්වා ඉහල දැමීම, ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 6500 දක්වා වැඩි කිරීම, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම හා ඔවුන්ගේ නය අහෝසි කිරීම, එකතු කල අගය මත බද්ද සියයට 8 කින් කපා හැරීම, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ උපයන විට ගෙවන බද්ද ඉවත් කිරීම, සෑම තරුනයෙකුටම රැකියා, අධ්‍යාපනය හා සෞඛ්‍ය නගාසිටුවීම ඇතුලු‍ පොරොන්දු මල්ලක් ඇතුලත් ය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඊනියා සමාජ විප්ලවයක් ඇති කරනු ලබන බව කියයි. ගොවීන්ට නොමිලේ පොහොර, පාසල් ලමුන්ට නොමිලේ දිවා ආහාර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය, සැමට නිවසක්, කම්කරු සුබසාධනය, ආර්ථිකය නගාසිටුවීම ඔහුගේ කප්පරක් පොරොන්දු අතර වෙයි.

මීට නොදෙවෙනි සුරංගනා කතා මාලාවකින් සමන්විත අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවුරුදු 3 සිට 5 දක්වා වයසේ ලමයින්ට මුල් ලමාවිය සංවර්ධන අධ්‍යාපනය නොමිලේ ලබාදීම, සෞඛ්‍ය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5 ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුල එය සියයට 3 දක්වා වැඩි කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයක් පිහිටුවීම යනාදිය ඇතුලත්ය.

ගෝඨාභය රාජපක්ෂගේ පලමුවන පුවත්පත් සාකච්චාවේදී ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට මුදල් උපයා ගන්නේ කෙසේදැයි විමසු විට උත්තර දී ඇත්තේ “‍මම එය කරනවා”‍ යනුවෙනි! පෙනෙන්ට තිබෙන විදියට ප්‍රේමදාසගෙන් කිසිවෙක් එම ප්‍රශ්නය විමසා නැති නිසා ඇඟ බේරාගෙන තිබේ. දිසානායක නම් ආර්ථිකය කලමනාකරනයෙන් සල්ලි හොයා ගන්නා බව කියයි. ඔහුගේ පොරොන්දු ආචාර්ය මහාචාර්ය පට්ටම් දරන්නන් හා විවිධ වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් “‍විද්වත් මන්ඩල”‍ විසින් සකස් කරනු ලැබ ඇති නිසා ඔවුන් එසේ කරනු ඇතියි මහජනයා අඳබාලයින් සේ විස්වාස කරනු ඇතැයි බව ජවිපෙ සිතාගෙන ඇත.

ඔවුන්ගේ පොරොන්දු විවෘතවම පෙනෙන පච නිසා ධනපති මාධ්‍යක් වන දි අයිලන්ඞ් මහජනයා ගැන උපහාසයෙන් යුතුව “‍බේගල්, අමුබේගල් හා මැතිවරන ප්‍රකාශ”‍ යන මැයෙන් ලියූ කතුවැකියක මෙසේ සඳහන් විය: “‍ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති පොරොන්දු රොත්ත ක්‍රියාවට දැමුවහොත් මේ රට පෘථිවි තලයේ පවතින ජිවත් වීමට හොඳම ස්ථානය වනු ඇත. කපටි දේශපාලනඥයෝ මේ පොරොන්දු මැතිවරන ප්‍රකාශවලට අතුල්කරගෙන හිත යටින් හිනාවෙති, මන්ද යත්, බොහෝ මිනිස්සු මේ පොරොන්දු ගෙඩිපිටින් ගිලගැනීමට තරම් රැවටෙන්නන් බව දන්නා නිසා ය.”‍

ලාභ තරකර ගැනීම හා ධනය ගොඩගසා ගැනීම කේන්ද්‍ර කර ගත් ධනපති පන්තිය අද තරම් ඔලු‍වම යටවෙන මට්ටමකට අර්බුදය නැගී නැති කාලයක වත් අඩකින් හෝ ඉටු නොකල පොරොන්දු අද ඉටු කරනු ඇතැයි කම්කරුවන් හා දුගීන් පිලිගනු නැත. ඔවුන්ට පවතින ලොකුම බාධකය නම් ජන මාධ්‍යවල හා ව්‍යාජ වාම සංවිධානවල ව්‍යාකුල කිරීම් හා අව්‍යාජ විකල්පයක් මුල්බැස නොතිබීම ය.

ධනපති ක්‍රමය තුල එකදු මූලික ප්‍රශ්නයක් වත් විසඳිය නොහැකි මට්ටමට ලෝක ධනවාදය බිඳවැටීමක් තුලින් ගමන් කරයි. ලංකාව වැනි රටවල් ධනවාදී දම්වැලේ දුර්වල ම පුරුක්වලින් එකකි. ලෝක ආර්ථිකය මත්තේ ආධිපත්‍ය දරන ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය කසය අතින් ගෙන අන කරන්නේ වඩවඩාත් උත්සන්න කෙරෙන අතිරික්ත ශ්‍රම සූරා කෑම මගින් කඩාවැටෙන වටිනාකම් හා බිඳවැටෙන ලාභ පියවා දීමටයි.

පොරොන්දු හාහූව මධ්‍යයේ මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්ත සේවයේ යෙදෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) ලංකාව භාර දූතමන්ඩලයේ ප්‍රධානි මැනුවෙලා ගොරේටි ඔක්තෝබර් මස 28 වන දින ඬේලි එෆ්ටී පුවත්පතට දීර්ඝ පැහැදිලි කිරීමක යෙදෙමින් මෙසේ සඳහන් කලාය:

“‍මැතිවරනයට පෙරත් ඉන් පසුවත් දූරදර්ශි පිලිවෙත් සහ මුල්‍ය විනය පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ලංකාවේ රාජ්‍ය නය ප්‍රමානය තවමත් අති විශාලයි. මහ බැංකුව සහ මහා භාන්ඩාගාරය මේ තත්ත්වයට කල්තියා හඳුනාගෙන මුහුන දීම සඳහා බාහිර (විදේශීය) මූලාශ්‍ර වලින් නය ලබාගෙන ඇතත් ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන නය ආපසු ගෙවීම් සඳහා අති විශාල මුදල් ප්‍රමානයක් අවශ්‍ය බැවින්, දූරදර්ශි ලෙස ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම මගින් [මුල්‍ය] වෙලඳ පොලට බලවත් පනිවිඩයක් ලබාදීම අත්‍යවශ්‍යවේ.”‍ ඇය එසේ අඟවන්නේ නය පැහැර හැරීමක් සිදු නොවීමට වග බලා ගත යුතු බවය.

ගොරේටි මෙසේ ප්‍රකාශ කරන්නේ මීට සති දෙකකට පමන පෙර වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුලු‍වේදී 2019 සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.7 ක්, එනම් වසර 17ක් තුල පහලම අගය විය හැකි බවට පුරෝකථනය කිරීමෙන් පසුවය.

එපමනක් නොව අවුරුදු පහකට පමන පෙර ග්‍රීසියේ නය පැහැර හැරීමේ කොන්දේසි පසෙකින් තැබුවත් මේ මෑතකදී ආජෙන්ටිනාව ඉක්වදෝරය ආදී රටවල පැන නැගුනු අර්බුදය ජාමුඅ නිරීක්ෂනය කරයි. ආජෙන්ටිනාවේ හා ඉක්වදෝරයේ කම්කරු පන්තිය ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට එරෙහිව පසුගිය සතිවල දැවැන්ත අරගල දියත් කලහ.

ආර්ථික සහ නය අර්බුදයක කරවටක් ගිලී සිටින ලංකාවේ ධනපති ආන්ඩුව 2016 වසරේ ජාමුඅ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක නය පහසුකම ලබා ගන්නා ලදී. ඒ සඳහා ප්‍රධාන කොන්දේසියක් වන 2020 වන විට අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5ක් දක්වා පහත හෙලීමේ ඉලක්කය සපුරා ලීම සඳහා රාජ්‍ය වියදම් විශාල ලෙස කප්පාදු කිරීම මෙන්ම බදු වැඩි කිරීම ද, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකරනය කිරීමද බලයට පත් වන කවර ආන්ඩුවක වුවද න්‍යාය පත්‍රය වනු ඇත.

ජාමුඅහි නය පහසුකම යටතේ මේ දක්වා වාරික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.31ක් ලංකාවට ලබා දී ඇති අතර හත් වන අවසන් වාරිකයේදී තවත් මිලියන 160ක් ලැබීමට නියමිත ය. හය වන වාරිකය නිකුත් කිරීම සඳහා පසුගිය මාසයේදී සිදු කල සමාලෝචනයෙන් පසු ගොරේටි සඳහන් කලේ “‍ජූනි මාසයේ අවසානය වන විට සපුරාලිය යුතුව තිබූ ඉලක්කයන් විශාල පරතරයකින් සපුරාලීමට අසමත්”‍ ව ඇති බවයි. එනමුත් එය නොතකා හැර මෙම සයවන නය වාරිකය මුදා හැරීමට ජාමුඅ තීන්දුකර ඇත්තේ ආන්ඩුව වැටී ඇති මුල්‍ය අර්බුදය මධ්‍යයේ ය.

“දූරදර්ශි පිලිවෙත් ක්‍රියාවට දැමීම”‍ යනුවෙන් ජාමුඅ අදහස් කරන්නේ ලංකා ආන්ඩුවට නිර්දේශ කර ඇති ඉලක්ක සපුරාලීම සඳහා සුපරීක්ෂාකාරීව කටයුතු කල යුතු බවය. එම නිර්දේශ යටතේ වෙලඳාම නිර්බාධකරනය කිරීමේ කොටසක් ලෙස අධික තීරුබදු ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව කී ගොරේටි, එයට සමගාමීව රජයේ ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ප්‍රතිපත්ති සකසා ගත යුතු බව සඳහන් කලාය.

මෙහි යථා අර්ථය නම් දේශීය සහ විදේශීය ධනපති සමාගම් වලට වෙලෙඳ භාන්ඩ සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය නිදහසේ සංසරනය වීම සඳහා බදු සහන ප්‍රධානය කිරීමත් එමගින් ආන්ඩුවට අහිමි වන බදු ආදායම් මහජනයාගේ වියදමින් පියවාගත යුතු බවත්ය.

තවද රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමේ අවශ්‍යතාව මතු කරමින් ඇය මෙසේ සඳහන් කලාය: “අවධානයට ලක් විය යුතු තවත් අංශයක් වන්නේ පරිපාලනමය ප්‍රතිසංස්කරන සහ දූෂනය වැලැක්වීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් ය. පරිපාලනමය ප්‍රතිසංස්කරන අතරට විශේෂයෙන්ම විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර වල රාජ්‍ය අංශයේ ව්‍යාපෘති ප්‍රති සංවිධානය කිරීමත් ඇතුලත් වේ. මෙය මැතිවරනයෙන් පසු අනිවාර්යයෙන්ම ‍ක්‍රියාත්මක කල යුතුව තිබේ.”‍

බලයට පත් වන ඕනෑම ආන්ඩුවක පිලිවෙත වනු ඇත්තේ, මහජනයාගේ ගැටලු‍ විසඳන බවට ධනපති අපේක්ෂකයන් දෙනු ලබන පොරොන්දු කුනු කුඩයට දමා, ජාමුඅහි ඉහත කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමන අතරතුර මහා ව්‍යාපාරිකයන්ට සහ ධනපතියන්ට සහන සලසා දීම මගින් ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ඉටු කිරීමය.

මොවුන්ගේ පූච්චානම් වලට ප්‍රතිකූලව භාන්ඩාගාරයේ මුදල් හිස් වීම නිසා මෙම වසරේ ගෙවී ඇති මාස 10ක කාලය තුල පමනක් රාජ්‍ය වියදම් දැවැන්ත කප්පාදුවකට ලක් කොට ඇත. ජූනි මාසයේදී ප්‍රාග්ධන වියදම් සියයට 10 කින් කප්පාදු කල මහා භාන්ඩාගාරය ඔක්තෝබර් මස මුල් සතියේදී සියලු‍ම අමාත්‍යංශ වල වියදම් සියයට 15කින් කපා හරින ලෙස චක්‍රලේඛයක් නිකුත් කලේය. ඒ අනුව ගතවූ මාස හතරක කාලය තුල පමනක් රාජ්‍ය වියදම් සියයට 25කින් කප්පාදු කොට තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර ඇති මේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමිය හැක්කේ ඒකාධිපති පාලනයක් මගින් පමනක් බව සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන ප්‍රකාශය පෙන්වා දී ඇත.

ධනපති අපේක්ෂකයන්ගේ වැඩපිලිවෙලේ තවත් පොරොන්දු කිහිපයක් ඇත්තේ නිකමට නොවේ. ඒවා නම් “‍ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම,”‍ ඒ සඳහා මිලිටරිය හා පොලිසිය තරකිරීම හා ඒවායේ අවශ්‍යතා අකුරට ඉටු කිරීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, විනයගරුක සමාජයක් ඇති කිරීම ආදියයි. හිතනමතන කිසිදු කම්කරු‍වෙකු, තරුනයෙකු, බුද්ධිමතෙකු මෙම පොරොන්දු ලිහිලෙන් නොගත යුතුය. එම වැඩපිලිවෙල ආඥාදායක පාලනයක මුරගල් වේ.

ධනපති ක්‍රමය තුල ගොඩවෙදකම් මගින් මහජනයාගේ අති මූලික ප්‍රශ්න විසඳා ගත හැකියයි කියා සිටින ධනපති පක්ෂ හා ඒවායේ අපේක්ෂකයන් දැනුවත් වංචනිකයන් බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටියි.

විදේශීය හා දේශීය මහා සමාගම්, විශාල වතු හා බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන හා විදේශ නය අහෝසි කොට නිෂ්පාදනය හා බෙදාහැරීම ඇතුලු‍ සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිලිවෙලින් මෙපිට, තම ජීවන හා සමාජ අයිතීන් සහතික කර ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීම, පරිසරය ජනයාට හිතකාමී ලෙස සුරක්ෂිත කිරීම හා ඉහලම සංස්කෘතික ජයග්‍රහනයන් අත්පත් කර ගැනීම මහජනතාවට කල නොහැකි බව සසප ජනාධිපතිවරන ප්‍රකාශය පෙන්වා දී ඇත.

එම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා ලංකාවේ කම්කරුවන් තම සහෝදර ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනැගීම මත හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.

සසප ගෙනයන මෙම අරගලයට එක්වන්න. එලඹෙන ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට චන්දය දෙන්න.

Share this article: