ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ප්‍රකාශය ආඥාදායක පාලන තන්ත්‍රයකට මාරුවීම පිලිබඳ පෙර ඇඟවුමක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 06

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 25 දා “රට හදන සෞභාග්‍යයේ දැක්ම” නම් වූ පූච්චානම් මාතෘකාවකින් මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කර ඇත. “දස ප්‍රතිපදාවක්” ලෙස නම් කෙරුනු වැඩපිලිවෙලේ පම්පෝරිවලින් ආවරනය කෙරී ඇත්තේ, හමුදාව සහ පොලීසිය මත වාරුවී ඒකාධිපති පාලනයකට මාරුවීම සඳහා ශ්‍රීලපොපෙ හා එහි ජනාධිපති අපේක්ෂකයා ගන්නට යන පියවරයි.

දැවැන්ත මහජන විරෝධයකට මුහුන දෙමින් 2015 ජනාධිපතිවරනය පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ තමන්ට පක්ෂපාත මන්ත්‍රීන් කන්ඩායමක් රැලිකරගෙන 2016 අග ශ්‍රීලපොපෙ සංවිධානය කලේ නැවත දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව බලයට ඒමේදී දුන් පොරොන්දු පාගාදමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම නිසා තරයේ මහජන අප්‍රසාදයට ලක්වීම ගසාකමින් යලි කරලියට නැග ගැනීමට කුජීතව සිටි රාජපක්ෂ ප්‍රමුඛ කන්ඩායමට හැකි විය.

මහජන විරෝධය අපසරනය කිරීමට එක අතකින් දෙමල හා මුස්ලිම් විරෝධී ඇවිස්සීම්වලට සිංහල වර්ගවාදී හා භික්ෂු නඩ උසිගන්වා ගත් ශ්‍රීලපොපෙ නායකයෝ මිලිටරියට නිරන්තරව ආයාචනා කරමින් දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනගාගෙන ජනාධිපතිවරනයෙන් දේශපාලන බලය අල්ලා ගැනීමට ඔට්ටු අල්ලති.

“ශක්තිමත් පාලනයක්” ඉල්ලා සිටින ධනපති පන්තියේ කන්ඩායමක් ගෝඨාභය වටා රැලිවෙමින් සිටී. ආරක්ෂක ලේකම් ලෙස, රාජපක්ෂ ආන්ඩුව යලි ඇරඹු එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය ලේවැකි අවසානයකට ගෙන ඒමට මිලිටරිය සන්නද්ධ කරමින් මූලිකත්වයක් ගැනීම හා කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අරගල රුදුරු ලෙස මැඩීම ඔහුගේ වාර්තාවයි. ඔහු ඇතුලු රාජපක්ෂ කල්ලිය යුද අපරාධ පිලිබඳව දෝෂාරෝපනයට ද ලක්ව සිටිති.

පසුගිය අවුරුදු කිහිපයේ, ගෝඨාභය, විශ්‍රාම ගිය මිලිටරියේ ප්‍රමුඛ නිලධාරින් එකතුකර ගත් වියත්මග හා තවත් සංවිධාන මගින් ජනාධිපතිවරනයට ඉදිරිපත්වීමේ තමන්ගේ ම ව්‍යාපාරයක් ගෙන ගොස් ශ්‍රීලපොපෙ මගින් අපේක්ෂකත්වය ලබා ගත්තේය.

ඔහුගේ අනෙක් ප්‍රධාන ධනපති තරඟකරුවා වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද “ජාතික ආරක්ෂාව” තර කිරීමේ නමින් මිලිටරිය බලගැන්වූ පාලනයකට තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කර තිබේ. පාලක පන්තියේ සියලු කන්ඩායම්වල භීතියට තුඩුදී ඇත්තේ කම්කරුවන්ගේ අරගල හා දුගීන්ගේ වැඩෙන පෙරලිකාරිත්වයයි.

තම වැඩපිලිවෙල ආරම්භයේ ම ගෝඨාභය සඳහන් කර ඇත්තේ “මාගේ මූලික වගකීම වන්නේ යලිත් බරපතල ත්‍රස්තවාදී උවදුරකට මුහුන පා ඇති අපගේ මාතෘභූමිය ඉන් මුදවා ගෙන කිසිදු ත්‍රස්තවාදයකට ඉඩ නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීම” බවයි. ජාතික ආරක්ෂාව තහවුරු කල විට “ආර්ථිකය පුබුදුවා ලීම අසීරු කරුනක් නොවේ,” යයි ඔහු කියයි.

“ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම” හා “ත්‍රස්තවාදය මැඩීම” ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සිට අසල්වැසි ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව දක්වා සියලු ආන්ඩු හා පාලක කල්ලි මර්දනකාරී පාලනය උසිගැන්වීමට යොදා ගනිති. ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” එරෙහි වීමේ නමින් ගෙනගිය යුද්ධය කම්කරු පන්තිය භේද කර පාලනය කිරීමේ දිගු කාලීන විසකුරු වර්ගවාදී ප්‍රතිපත්තියක කුලු ගැන්වීමකි.

ගෝඨාභයගේ ව්‍යාපාරයේ අලුත් නිමිත්ත අප්‍රේල් 21 දා ඉස්ලාමිය අන්තවාදී කන්ඩායමක් එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරයි. මෙම මිනීමරු ප්‍රහාර ආරක්ෂක අංශවල මුදුන් පමනක් නොව සිරිසේන-වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ද දැන සිටියත් ඒවා සිදුවන්නට ඉඩහැරිය බවට සාක්ෂි අතටම අහුවන තත්වයක් තිබුනේ වුව ද, ජනමාධ්‍ය හා දේශපාලන පක්ෂ ඒවා දැනට යට ගසා ඇත. කිසි කම්කරුවෙක්, තරුනයෙක් එය අමතක නොකල යුතුය. පාලක පන්තියේ කන්ඩායම් දැන් එම ප්‍රහාර නරුම ලෙස යොදාගෙන ඇත්තේ මුස්ලිම්-විරෝධී ප්‍රචාරයකින් විසකවා මර්දනකාරී වැඩපිලිවෙල පෙරට ගැනීමටයි.

පාලක පන්තියේ ශබ්දකෝෂයට අනුව අන්තවාදය හා ත්‍රස්තවාදය යන්නට කම්කරුවන්ගේ, දුගීන්ගේ අරගල ද ඇතුලත්වේ. උතුරු නැගෙනහිර යුද්ධය රුදුරු ලෙස ගෙන ගිය රාජපක්ෂ ආන්ඩුව විසින් දකුනේ දී තෙල් මිල ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂනය කල ධීවරයන්ට වෙඩි තබා එක් ධීවරයෙක් ද, විශ්‍රාම වැටුප් කප්පාදුවට විරෝධය පෑ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට එල්ල කල මෘග ප්‍රහාරයෙන් කම්කරුවෙක් ද පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනය කල රතු පස්වල ගැමියන්ට වෙඩි තබා තරුනයන් තිදෙනෙකු ද ඝාතනය කෙරුනි. කවර ආකාරයකින් හෝ රාජපක්ෂ ආන්ඩුව විවේචනය කල මාධ්‍ය ආයතන හා මාධ්‍ය වේදීහු ප්‍රහාරයට ලක් වුහ. කම්කරුවන්ගේ හා දුගීන්ගේ එම ක්‍රියා රාජපක්ෂ ආන්ඩුවට හා පාලක පන්තියට අනුව ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් විය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ “ජාතික ආරක්ෂාව” දුර්වල වූ බවට චෝදනා කරන ගෝඨාභය එය යලි තහවුරු කර ශ්‍රී ලංකාව “සුරක්ෂිත රටක්” බවට පත් කල හැක්කේ තමන්ට බව මැතිවරන ප්‍රකාශයේ පුන පුනා පවසන අතර, “ප්‍රජාතන්ත්‍රවාදී මහජන අවකාශයන් අහුරාලීමෙන් තොරව” එය සිදු කරන බව ප්‍රකාශනය තුල අවධාරනය කර ඇත. රාජපක්ෂලාගේ පාලනයේ කුරිරු මර්දනය ගැන දන්නා මහජනයාට එවන් දේ යලි සිදුනොවන්නේ යයි රැවටීමට මේ ප්‍රකාශ කෙරෙයි.

“බුද්ධි අංශ සියල්ල සක්‍රීය කර අදාල අංශ අතර මනා සම්බන්ධීකරනයක්” ඇති කරමින් පොලිස් පාලනයක අංග ශක්තිමත් කිරීම ගෝඨාභයගේ ඉලක්කයයි.

”අභුත හේතු මත නිසි ආකාරයේ චෝදනාවක් පවා නොමැතිව දේශපාලන පලිගැනීම් සඳහා බන්ධනාගාර බාරයේ රඳවා සිටින සියලු ආරක්ෂක, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් හා නිලධාරීන්” වහාම නිදහස් කරන” බව ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ. මහජන විරෝධය සහ ජාත්‍යන්තර මානවහිමිකම් ආයතනවල විවේචනයන් මධ්‍යයේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝනය ගැන චෝදනා ලැබූ මිලිටරි නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගත් නමුත් ඔවුන්ගෙන් බහුතරයක් “නිදොස් කොට නිදහස්” කර හෝ ඇප මත මුදාහැර ඇත. මිලිටරියට හා පොලිසියට කිසිදු අපරාධ චෝදනාවකින් තොරව මුක්තිය ඇතිව නිදැල්ලේ මර්දනයේ යෙදීමට අවකාශ ඔහුගේ පාලනයක් යටතේ පවතින බව මේ පොරොන්දුවල තේරුමයි.

රටේ ස්වෛරීත්වය රැකෙන “සමමිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට” කැප වන බව ලියවිල්ලේ සඳහන් කර ඇත. “සමමිත්‍ර” යනුවෙන් අදහස් කෙරෙන්නේ අධිරාජ්‍යවාදී මෙන් ම, චීනය, රුසියාව බඳු බලයන් සමග සමතුලන විදේශ පිලිවෙතක් අනුගමනය කිරීමකි. එහෙත් අධිරාජ්‍යවාදී පද්ධතිය තුල තීව්‍ර වන භූ-දේශපාලන ආතතිය තුල එවන් පිලිවෙතකට ඉඩක් නැත. එක්සත් ජනපද මෙහෙයුමකින් 2015 තන්ත්‍ර මාරුවක් සිදු කෙරුනේ රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතා චීනයට එරහිව ආසියානු-ශාන්තිකර කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මුලෝපායික උත්සුකතාවයන්ට බාධකයක් ලෙස සැලකු හෙයිනි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත ගැටගසා ඇත්තේ එක්සත් ජනපද මූලෝපායික සැලසුම් සමග ය. පසුගිය වසරේ සිරිසේන විසින් රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීමේ දේශපාලන කුමන්ත්‍රනය තුල දී එක්සත් ජනපදය ඊට එරෙහිව කල විවෘත මැදිහත් වීම පෙන්නුම් කලේ ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත ආපසු කරකැවීමට එය තරයේ විරුද්ධ වන බව ය.

“පාරදෘශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් යටතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ පිරිසිදු කැප කිරීම සහතික කරන දුෂනයෙන් තොර රාජ්‍ය පාලනයක් ස්ථාපිත” කරන බව ප්‍රකාශනය කියයි. මෙය ද අමූලික පචයකි. ඔහුත් ඇතුලු රාජපක්ෂ ගේ සමීපතමයන්ගේ කල්ලියක් විසින් පාලන තන්ත්‍රය මෙහෙයවිනි. රාජ්‍ය වියදම්වලින් හරි අඩක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රාජපක්ෂ පවුල විසින් හසුරවනු ලැබු අතර රාජ්‍ය මුදල් අවභාවිතයන් පිලිබඳ බරපතල චෝදනා රාජපක්ෂ පවුලට සහ ඒ වටා සිටි නිලධර කල්ලියට එල්ල වී ඇත.

“ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරනයක් ඉදිරිපත් කිරීම” තවත් බේගල් පොරොන්දුවකි. පසු වාක්‍යයක සඳහන් වන්නේ එම ව්‍යවස්ථාව ද “ඒකීය රාජ්‍යය හා බුදුදහමට ලැබෙන ප්‍රමුඛස්ථානය” රකින එකක් බවයි. එනම්, දැනට පවතින්නාක් මෙන් ජනවාර්ගික හා ආගමික භේද සංස්ථාපිත කෙරුනු ව්‍යවස්ථාවකි. වෙනස වනු ඇත්තේ ඒකාධිපති ව්‍යවස්ථාවක් තහවුරු කිරීමට ප්‍රයත්න දැරීමයි. ජනාධිපතිගේ බලතල යන්තම් සීමා කෙරුනු 19වන ව්‍යවස්ථා සංශෝධනයට පවා පහර දෙමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කල යුතුයයි ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ කරන බිරුසන් දීම්වල තේරුම එයයි.

“සෑම පුරවැසියෙකුට ම නිශ්චිත ආර්ථික ස්ථාවරත්වයක්, දියුනුවීමේ සමාන අවස්ථා සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අයිතිය ස්ථාවර කිරීම සඳහා කොන්දේසි සකසමින් පෞද්ගලීකරනය තහනම් කිරීම, අහිමිකල විශ්‍රාම වැටුප සියලු රාජ්‍ය සේවකයන්ට ලබාදීම, පුද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය දියනු කිරීමට අවශ්‍ය අරමුදල් හා පහසුකම්, ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලේ සැපයීම සහ අඩු පොලී නය, වී වලට ඉහල මිලක්, තරුනයන්ට රැකියා” ආදී ධනපතියන්ගේ අතීත මැතිවරන ප්‍රකාශවල අඩංගු වූ බේගල් ගෝඨාභයගේ ප්‍රකාශයට එක් කරන්ට එය ලියූ ලියනප්පුලා ද අමතක කර නැත.

මැතිවරන පොරොන්දු කවරක් වුව ද බලයට පත් වන කවර හෝ ධනපති ආන්ඩුවක් විසින් ක්‍රියාවට දැමිය යුත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ එය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) අනකරනු ලබන ආර්ථික පිලිවෙත් ය. ජාමුඅ නියෝගවලට අනුව සමාජ සුබසාධන කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, අයවැය පරතර 2020 වනවිට දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 3.5 දක්වා පහත හෙලීම ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමිය යුතු ය.

ගනන් බැලීම් සහ ඉලක්කයන් කුමක් වුවත් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ අන් කවර රටක වුව ද ආර්ථික වර්ධනයේ ඉහලපහල යාම මූලිකව තීන්දු කෙරෙන්නේ ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ය. ලෝක ආර්ථිකය මේ වනවිට පවතින්නේ බරපතල අවපාතයක් දිසාවට ලුහුටා යමිනි.

තතු එසේ හෙයින් ජාතික ආර්ථික වර්ධනය සහ ස්වයංපෝෂිත ආර්ථිකයන් පිලිබඳ ජාතිකවාදී ආර්ථික පිලිවෙත් තවදුරටත් වලංගු නැත. ධනවාදය පෙරලා දැමීමකින් හා සමාජවාදී විද්‍යාත්මක සැලැස්මක් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමකින් තොරව කිසිදු රටක කම්කරු-පීඩිත ජනයාගේ මූලික සමාජ ප්‍රශ්න පවා විසඳිය නොහැක.

ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම පිලිබඳ අව්‍යාජ විරුද්ධත්වයක් හිතනමතන කම්කරුවන්, තරුනයන් හා දුගීන් අතර පවතී. ඊට හේතුව දස අවුරුද්දක රාජපක්ෂ ආන්ඩුවේ කෲරතර ක්‍රියා කලාපය යි. ගෝඨාභය රාජපක්ෂ එහි දුෂ්ටකම් සියල්ල අන්තර්ගතකරගෙන ක්‍රියා කලේය.

ව්‍යාජ වාම සහ ඇතැම් ශාස්ත්‍රාලික කන්ඩායම් මෙම විරුද්ධත්වය අපසරනය කිරීම සඳහා දැනුවත්වම ක්‍රියා කරමින් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා ජනතා විමුක්ති පෙරමුනේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පුම්බා තැබීමට ක්‍රියා කරන්නේ ඔවුන් කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නියෝජනය කරන බව ප්‍රකාශ කරමිනි. ඔවුන්ගෙන් ඇතැමෙක් එලෙස අඩු නපුර වටා එක්වීමට යෝජනා කරයි. මෙම ඊනියා විකල්ප තවත් උගුලකි.

රාජපක්ෂලාගේ “දුෂ්ටත්වය” ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවේ. ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ කම්කරු පන්තියේ පෙරලිකාරිත්වය තලා දැමීම සඳහා පාලක පන්තිය තුල සිදුවන පෙල ගැසීම් ඉන් නියෝජනය වේ. ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් පැමිනියේ මුල්‍ය සමපේක්ෂනයෙන් තරවූ ධනපති මාෆියාවෙනි. මූල්‍ය ප්‍රාග්ධනයේ රුදුරු උවනාකම්වලින් මෙහෙයවෙනු ඇති සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක ක්‍රියා කරනු ඇත්තේ ද කම්කරු පන්තියේ හා දුගීන්ගේ අයිතීන් තලා දමන ඒකාධිපති පන්නයේ පාලනයකට මාරුවෙමිනි.

එක ධනපති කල්ලියක් වෙනුවට තවත් කල්ලියකට සහාය දීම කම්කරු පන්තියේ, එලෙසම දුගීන්ගේ හා තරුනයන්ගේ විකල්පය නොවේ. ලංකාවේ හා ජාත්‍යන්තරව කටුක අත්දැකීම් මේ බව සනාථ කර ඇත. එකම විකල්පය නම්, සියලු ධනපති පක්ෂවලින් වෙන්ව කම්කරු පන්තිය සිය දේශපාලන ස්වාධීනත්වය තහවුරු කරගනිමින් දුගී හා පීඩිත ජනයාගේ සහයෝගය දිනාගෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂක පානි විජේසිරිවර්ධන ඉදිරිපත් කරන්නේ මෙම පිලිවෙතයි. සසප ජනාධිපතිවරන ප්‍රකාශය හදාරමින් හා සසපට බැඳෙමින් එම අරගලයට එක් වන්න.

Share this article: