නාගරික කම්කරු හා දුගී නිවාස ඉවත් කිරීමේ වැඩපිලිවෙල ජනාධිපතිවරනයෙන් පසුව තීව්‍ර කිරීමේ තර්ජනයක්

විජිත් සමරසිංහ විසිනි, 2019 නොවැම්බර් 06

2019 ජනාධිපතිවරනයට ඉදිරිපත් වී ඇති සියලු‍ ධනපති අපේක්ෂකයන් කොලඹ කම්කරු හා දුගී නිවහන් ප්‍රදේශ බලහත්කාරයෙන් පවරාගෙන පුද්ගලික ආයෝජකයන්ට විකිනීමේ වැඩපිලිවෙල ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට එක ලෙස කැපවී සිටින බව ඔවුනේ කතා හා ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් පැහැදිලිවේ.

ලංකාවේ ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල විධානයන් වෙනුවෙන්ද පෙනී සිටින බවට සහතික වී ඇති, එක්සත් ජාතික පෙරමුනේ (එජාපෙ) සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, ජාතික ජන බලවේගයේ (ජාජබ) අනුරකුමාර දිසානායකද, ඒ සඳහා නාගරික දුගී ජනතාවගේ නිවාස අයිතියට පහරදීමට කිසිසේත්ම පසුබට නොවනු ඇත.

මීලඟ ජනාධිපති වන කුමන ධනපති නායකයා වුවත්, 2019-22 කාලය ඇතුලත පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 15කට ආසන්න විදේශ නය ප්‍රමානයක් ගෙවීමට බැඳී සිටී. විදේශ ආයෝජන කැඳවා ගැනීමට හා සංචාරක පුරයන් ගොඩනැගීමට අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින්, නාගරික ඉඩම් පුද්ගලීකරනය කිරීම සිදුකෙරිනි. මැතිවරන පොරොන්දු පත්‍රිකා වල ඇති බේගල් මොනවා වුවත්, ඉදිරි ආන්ඩුවට මේ ප්‍රතිපත්තිය වඩාත් විසකුරු ලෙස ඉදිරියට ගෙනයාමට සිදුවනු ඇත.

“‍රට හදන සෞභාග්‍යයේ දැක්ම”‍ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන් වන්නේ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ දියත් කල, “‍නාගරික පුනර්ජනන”‍ වැඩපිලිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමන් කැපවන බවයි. ඒ යටතේ නාගරික දුගීන් ගාල් කිරීමට තට්ටු නිවාස තවත් ඉදිකර, ඒවා “සහන මිලට”‍ ලබා දෙන බවට වංචනික පොරොන්දුවක් ඔහු ලබා දෙයි.

සජිත් ප්‍රේමදාස තොරොම්බල් කරන්නේ “‍සැමට නිවසක්”‍ යන කයිවාරුවයි. වර්තමාන ආන්ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමති වරයා වශයෙන් නාගරික තට්ටු නිවාස දහස් ගනනක් ඉදිකල බවට පම්පෝරි ගසන ඔහු, එම වැඩපිලිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බව පවසයි. නමුත් ඔහු සැබවින්ම කැපවී සිටින්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩු ව යටතේ නාගරික ඉඩම් ආයෝජකයින්ට විකිනීම වඩාත් තීව්‍ර කල “‍මෙගාපොලිස්”‍ වැඩපිලිවෙල, ඉදිරියට ගෙනයාමටයි. එම වැඩපිලිවෙලේ ප්‍රධාන නියමුවෙක් වන, බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් ඇමති පාටලී චම්පික රනවක, ප්‍රේමදාසගේ ප්‍රධානම හොරනෑකරුවෙක් වී සිටී.

මොවුන් මේ පවසන “‍නාගරික පුනර්ජනන”‍ හා “‍මෙගාපොලිස්”‍ වැඩපිලිවෙලවල් මොනවාද? 2009දී වර්ගවාදී යුද්ධය ලේවැකි අවසානයක් කරා ගෙන ඒමෙන් පසු, ඉන් අත ශක්තිමත් කරගත් මහින්ද රාජපක්ෂ පාලනය, “‍නාගරික පුනර්ජනනය”‍ නමින් කොලඹ කම්කරු හා දුගී නිවහන් ප්‍රදේශ වලින් නිවැසියන් ඉවත් කිරීම ආරම්භ කලේය.

මේ යටතේ 2010-11 කාලය තුල තොටලඟ වැලිගොඩවත්ත, බොරැල්ල කාසල් පාර, බම්බලපිටිය ආදී ප්‍රදේශ වල නිවාස සියගනනක් කඩා ඉවත් කල අතර, 2013 දී කොම්පඤ්ඤවීදියේ අක්කර 8ක ඉඩමක පිහිට නිවාස 400කට ආසන්න ගනනක් එක් දිනකින් බිමට සමතලා කොට එම ඉඩම ඉන්දියාවේ ටාටා සමාගමට විකුනන ලදී. නිවාස අයිතිය වෙනුවෙන් ජනතාව කල උද්ඝෝෂන වලට රාජපක්ෂ ආන්ඩු ව ප්‍රතිචාර දැක්වුයේ පොලිස්-හමුදා මර්දනය මුදා හරිමිනි.

2015 ජනාධිපතිවරනයේදී රාජපක්ෂ පාලනයට එරෙහිව කොලඹ දුගීන්ගෙන් හා කම්කරුවන්ගෙන් එල්ලවී වී තිබුනු විරෝධය ගසාකමින්, නිවාස කැඩීම නතර කරන බවට බොරු පොරොන්දු දෙමින් බලයට පැමිනි වර්තමාන සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව, තම මහා නගර ව්‍යාපෘතිය (මෙගාපොලිස්) හරහා රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියේය. 2016 පෙබරවාරි මාසයේ තොටලඟ කජිමා වත්ත ප්‍රදේශයේ පැල්පත් 120ක් පමන කඩා දැමුනු අතර මාර්තු මාසයේ ඇපල් වත්ත ප්‍රදේශයේ නිවාස ඩෝසර් කරන ලදී.

කම්කරු හා දුගී පවුල් නගරයෙන් පලවා හැර නාගරික ඉඩම අල්ලා ගැනීමේ ධනපති වැඩපිලිවෙලේ ම්ලේච්ඡත්වය කොතරම්ද යත් 2017 අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ ව්‍යසනය ද දඩමීමා කරගනිමින් ප්‍රදේශයේ නිවාස ඉවත් කිරීමට ආන්ඩු ව වහාම උත්සුක විය. ව්‍යසනයෙන් පසුව ඊනියා “‍අවදානම් කලාපයක්”‍ ප්‍රකාශයට පත් කොට නිවාස සිය ගනනකින් පවුල් ඉවත් කෙරුනු අතර, නුදුරේදීම තවත් නිවාස සිය ගනනක් ඉවත් කොට, අක්කර 62 ක සමස්ත භුමි ප්‍රමානයක් විදේශීය ආයෝජකයෙකුට විකිනීමට සැලසුම් කර ඇත.

අනුප්‍රාතික ආන්ඩු විසින්, මෙසේ අවතැන් කල පවුල් වලින් සමහරක් ජීවත් වීමට කිසිසේත්ම නුසුදුසු, අඩු ආදායම් තට්ටු නිවාස වලට ගාල් කල අතර, තවත් සමහරකට ලැබුනේ කුලී නිවසක් සඳහායයි කියමින් ලබාදුන් මාසික සොච්චම් මුදලක් පමනි. ”‍අනවසර පදිංචි කරුවන්”‍ යයි හංවඩු ගැසූ සමහර පවුල් පාරට වැටුනේ කිසිඳු වන්දියකින් තොරවය.

ජනතාවට ලබා දී ඇතැයි මොවුන් උජාරුවෙන් පවසන හා ඉරිදිරියේදී ලබාදීමට නියමිත තට්ටු නිවාස වල තත්වය කොතරම් පහත්ද යත්, දැනට පැල්පත් වල වෙසෙන නිවැසියන් ඒවාට යාම ඍජුව ප්‍රතික්ෂේප කරති. වනාතමුල්ල “මෙත්සරපුර”‍, සාලමුල්ල “‍සිරිසඳ සෙවන”‍, තොටලඟ “‍මුවදොර උයන”‍ වැනි තට්ටු නිවාස වල ජනතාව මුහුන දී සිටින අතිමහත් දුෂ්කරතා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දිගින් දිගටම වාර්තා කර ඇත. නිවෙස් වල බිත්ති පුපුරා යාම, වැසිකිලි හා අපජල නල උතුරා යාම, විදුලි සෝපාන නිතර ක්‍රියා විරහිතවීම, හා කසල බැහැර කිරීමේ තැනක් නොමැතිවීම ආදිය මේ ජනතාව මුහුන දී ඇති බරපතල ගැටලු වලින් කීපයක් පමනි.

මේ මැතිවරනයේදී ජාතික ජනබලවේගය නම් අවස්ථාවාදී හවුලක් අටවාගෙන ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුන ද ධනපති ආන්ඩු වල මේ නිවාස කැඩීමේ වැඩපිලිවෙලට දිගින් දිගටම කුමන්ත්‍රනකාරී සහයෝගයක් ලබා දී ඇත. නිවාස අයිතිය ආරක්ෂා කරගැනීමට දේශපාලන වශෙයන් ජනතාව බලමුලු‍ ගැන්වීමට එරෙහිව නෛතික ක්‍රියාවල ජනයා පැටලවීම ඔවුන්ගේ පිලිවෙත විය.

2013 දී වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස ඉවත් කිරීමට එරෙහිව නැගී සිටි ජනතාව ඔවුන් මෙවැනි නෛතික උගුලක පැටලවූ අතර, 2014 සැප්තැම්බර් මාසයේ රාජපක්ෂ ආන්ඩුවට කිසිඳු බාධාවකින් තොරව150 ක් පමන වූ එම නිවාස කඩා දැමීමට ඉඩ සැලසීය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩු ව සමයේ ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ ද සමග එක්ව, ආන්ඩුවට විරෝධතා මගින් බලපෑම් දමා නිවාස කැඩීම නතර කල හැකිය යන මිත්‍යාව පැතිරවීය. මෙවර මැතිවරනයේදීද ඔවුන්, “‍දේශයේ අපේක්ෂාව”‍යනුවෙන් නම් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින්, ජනතාවට ගිල්වීමට උත්සාහ කරන්නේ ධනපති ක්‍රමය තුල “‍නිසි කලමනාකරනය”‍ මගින්, නිවාස ප්‍රශ්නය වැනි ගැටලු‍ විසඳිය හැකිය යන අමුලික බොරුවයි.

කුමන අපේක්ෂකයෙක් බලයට පත්වුවද නිවාස ඉවත් කිරීම් කඩිනම් කිරීමට රාජ්‍ය බලධාරීන් සූදානම් වන බව, නිලධාරි තන්ත්‍රය විසින් දැනටම ගනිමින් ඇති පියවර වලින් පැහැදිලිය. අගෝස්තු මාසයේදී, මීතොටමුල්ල ප්‍රදේශයේ කසල කන්ද අසල මෙතෙක් ඉවත් නොකල නිවාස වලින්, නුදුරේදීම ඉවත් වීමට සූදානම් වන ලෙස බලධාරීන් පැමින නිවැසියන්ට තර්ජනය කර ඇත. සැප්තැම්බර් මාසයේදී, තොටලඟ කජිමා වත්ත ප්‍රදේශයේ නිවැසියන්ට ද ඉක්මනින්ම ඔවුන් එම ඉඩම් වලින් ඉවත්කරන බව පවසමින්, නිවාස සංවර්ධන අධිකාරිය මගින් තට්ටු නිවාස සඳහා අයදුම් පත් ලබා දී ඇත.

නිවාස සඳහා ගෙවිය යුතු මාසික කුලය රුපියල් 8000 ක් වන බව ඔවුන්ට දැනුම් දී ඇති අතර මුලික ගෙවීමක් වශයෙන් රුපියල් 18,000ක් තැන්පත් කල යුතු බව ද දන්වා ඇත. මෙය කලින් නිවාස සඳහා අය කල රුපියල් 2500ක කුලියට වඩා තුන් ගුනයකට වැඩි මුදලකි. මේ අතර ලියකියවිලි සහිත හා “‍අනවසර”‍ පදිංචි කරුවන් ලෙස නිවැසියන් කන්ඩායම් දෙකකට බෙදා වෙනස් කුලී ප්‍රමාන අය කිරීමටද සූදානමක් ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිටම බලධාරීන් සඳහන් කලේ කොලඹ දුගී ප්‍රදේශ වලින් පවුල් 60,000 ත් 130,000 ත් අතර ප්‍රමානයක් ඉවත් කල යුතු බවයි. මෙය 500,000 ඉක්මවූ ජනගහනයකි. මේ සියලු‍ දෙනාම සඳහා දැනට තනා ඇති ඉතා බාල තත්වයේ තට්ටු නිවාස වුවද ලබාදීමට ධනපති ආන්ඩු වලට හැකියාවක් නැත. මෙම වැඩපිලිවෙල සම්පූර්න කිරීමට දසදහස් ගනන් ජනයා පලවා හැරීමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත. කුලිය වැඩිකරමින්, ජන කන්ඩායම් අතර බෙදීම් ඇති කරමින් හා විවිධ සංකීර්නතා ඇති කරමින්, ඔවුන් මේ සූදානම් වන්නේ ඒ සඳහා ය.

කම්කරු පීඩිත ජනතාව ජීවිත කාලයක ශ්‍රමයෙන් සාදාගත් නිවාස එක රැයෙන් කුඩුපට්ටම් කර, ධනපති ආයෝජකයන්ට ලබාදෙන නාගරික ඉඩම් වලට සිදුවන්නේ කුමක්ද? නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය හෝ ප්‍රවාහනය වැනි සමාජයේ එකදු මූලික අවශ්‍යතාවයක්වත් සපිරීමට ඒවා යොදා ගන්නේ නැත. ඒ වෙනුවට ඒවා යොදා ගන්නේ මහා ධනපති සමාගම්, බැංකු හා ජාවාරම් කරුවන්ගේ පරපුටු මූල්‍ය සමපේක්ෂන සඳහායි.

එම ඉඩම් වල ඉදිවන අධි සුඛෝපභෝගී නිවාස සංකීර්න බොහොමයක, නිවසක අවම මිල රුපියල් කෝටි තුන ඉක්මවයි. මේ නිවාස හා වානිජ ගොඩනැගිලි විශාල ප්‍රමානයක ස්ථිර පදිංචි කරුවන් නැත. ඒවා බොහෝවිට මූල්‍ය සමපේක්ෂකයන් විසින් මිලදී ගන්නේ අනාගතයේ වැඩිමිලට විකුනා දැමීමේ අරමුනිනි. කම්කරු දුගී පවුල් වල නිවාස පමනක් නොව මුලුමහත් ජීවිතම ගල්රෝල් කෙරෙන්නේ මේ ධනපති පරපුට්ටන්ගේ මූල්‍ය සූදු කෙලීම් වලට ඉඩ සැලසීමටය.

නිවාස ප්‍රශ්නය ඇතුලුව කම්කරු පීඩිත ජනතාව මුහුන දී ඇති කිසිඳු ප්‍රශ්නයක්, පුද්ගලික ලාභය ප්‍රමුඛ කර ගනිමින් සියලු‍ ආර්ථික හා සමාජ කාර්යයන් තීරනය කෙරෙන ධනපති ක්‍රමය තුල විසඳීමට කිසිඳු හැකියාවක් නැත. ඒ සඳහා, පරපුටු මූල්‍ය සමපේක්ෂන වෙනුවෙන් ඉදිකර තිබෙන ගොඩනැගිලි ජනසතු කර ඒවා මහජනතාවගේ සැබෑ නිවාස අවශ්‍යතා සපිරීමට ලබාදීම, තත්වයෙන් බාල නිවාස සංකීර්න පිලිසකර කර ගුනාත්මක බවින් උසස් කිරීම, හා ඉහල තත්ත්වයේ නව නිවාස ඉදි කිරීම වහාම සිදු කල යුතුව පවතී. මෙවැනි නිවාස වලට ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, දුරකථන හා අන්තර්ජාල ආදී සියලු‍ සේවා ලබාදීම පමනක් නොව, ඒවා ඉදිකිරීමේදී ඇතිවන පාරිසරික බලපෑම් අවම වන ලෙස සැලසුම් කිරීම ද අත්‍යාවශ්‍ය වේ.

1872 තරම් ඈතදී, විද්‍යාත්මක සමාජවාදයේ පුරෝගාමියෙක් වූ ෆෙඞ්රික් එංගල්ස්, ධනපති ක්‍රමය තුල කම්කරු පීඩිත ජනතාවගේ නිවාස ප්‍රශ්නය පිලිබඳව මෙසේ සඳහන් කලේය. “ධනපති ක්‍රමය පවතින තාක් කම්කරු පන්තිය මුහුන දෙන නිවාස ප‍්‍රශ්නය හෝ සමාජ ප‍්‍රශ්න හෝ හුදෙකලා ගැටලු‍ ලෙස ගෙන විසඳිය හැකි යැයි සිතීම මුලාවකි. විසඳුම ඇත්තේ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය අහෝසි කර දමා සියලු‍ම ජීවන මාධ්‍යන් හා ශ‍්‍රමයේ මාධ්‍යයන් කම්කරු පන්තිය තමා වෙතම අත්පත් කර ගැනීම තුල පමනි.” (පිටුව 368, මාක්ස් එංගල්ස් එකතු කල කෘති, වෙලුම 23).

ශ්‍රී ලංකාවේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ද අදටත් මේ විශ්ලේෂනය වලංගුය. කම්කරු පීඩිතයන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කල හැක්කේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් මගින්ම පමනි. මේ මැතිවරනයේදී කම්කරු පන්තියේ එකම අපේක්ෂකයා වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පානි විජේසිරිවර්ධන ඉදිරිපත්වන , “ අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන්න!”‍ අධ්‍යයනය කොට, එයට සහාය දෙන ලෙසත්, නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීමේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු‍ගන්වීමක් සඳහා සටන් කරන ලෙසත්, ලංකාවේ නිවාස අහිමි වීමේ තර්ජනයට මුනුන දී සිටින දහස් ගනනක් කම්කරු පීඩිත පවුල් වලින් සසප ඉල්ලා සිටී.

Share this article: