ජූලියන් අසාන්ජ්ට එරෙහි ලන්ඩන් නඩු විභාගය: බ්‍රිතාන්‍යය අනීතික හොර නඩු විභාගයක් පවත්වයි

Julian Assange’s court hearing in London: Britain stages a lawless show-trial

2019 ඔක්තෝබර් 24

සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයේ ජූලියන් අසාන්ජ්ගේ නඩු විභාගය නින්දිත හොර නඩු විභාගයකි. මෙය කෙසේ හෝ වේවා, නීතිය බලාත්මක කිරීම සහ චුදිතයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම අරමුනු කර ගත් නෛතික ක්‍රියාමාර්ගයක් ය යන්න පිලිබඳ මොනයම්ම හෝ මවාපෑමක්, අතහැර දමනු ලැබිනි.

ලෝකයේ මහජනතාව ඉදිරියේ යුද අපරාධ සහ දූෂන හෙලිකිරිම මගින් ලොව බලවත්ම ආන්ඩු වලට එරෙහිව කටයුතු කල අසාන්ජ්, එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ පෙලේ විශේෂඥයෙකු විස්තර කල පරිදි වධහිංසා පැමින වීම නිසා, දැඩි ලෙස පීඩා විඳ හා කෘෂවී ගොස් ඇති බව පෙනුනි.

හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා වර්තමාන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ක්‍රේග් මරේ මෙසේ ලිවීය. “මගේ මිතුරාගේ බර කෙතරම් අඩු වී ඇත්ද, කොන්ඩය අඩු වී ඇති වේගය සහ අකල් හා ඉතා ඉක්මනින් වයස්ගත වීමේ පෙනුම නිසා මම කම්පනයට පත් වීමි. මම මීට පෙර කවදාවත් දැක නැති ආකාරයේ පැහැදිලි නොන්ඩි ගතියක් ඔහුට තිබුනා. ඔහු අත්අඩංගුවට ගත් දා සිට ඔහුගේ බර කිලෝග්‍රෑම්15 කට වඩා අඩු වී ඇත.”

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් [ස්තුතිය: ඒපී ඡායාරූපය / මැට්ඩන්හැම්]

මරේ ප්‍රකාශ කලේ, අසාන්ජ්ගේ “ශාරීරික පෙනුම ඔහුගේ මානසික පිරිහීම තරම් කම්පන සහගත නොවිය. ඔහුගේ නම සහ උපන්දිනය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි විට, ඔහු ඒ දෙකම සිහිපත් කිරීමට තත්පර කිහිපයක් පුරා පොර බැදූ බව පෙනී ගියා.”

බරපතල අනතුරු ඇඟවීමක් සහිතව මරේ මෙසේ ලිවීය: “අපේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම පුවත්පත් කලාවේදීන්ගෙන්ද සහ වඩාත්ම වැදගත් විරෝධාකල්පවාදීන්ගෙන්ද කෙනෙකු අප ඇස් පනාපිටම රාජ්‍යය විසින් වධහිංසාකර මරා දැමනු ලැබෙමින් සිටින බව එම අධිකරනයේ සිටි සෑම කෙනෙක්ම ඊයේ දුටුවා.”

බ්‍රිතාන්‍ය පාලක ප්‍රභූ පැලැන්තියේ සියලු පලිගන්නා සුලු ස්වභාවය දරාගත් මුලසුනෙ සිටි විනිසුරු වැනේසා බරයිට්සර්, අසාන්ජ්ට ද ඔහුගේ නීති කන්ඩායමට ද සහ ආධාරකරුවන්ට ද ඇති තම සතුරුකම සැඟවීමට වත් උත්සාහ කලේ නැත.

බරයිට්සර් විසින්ගසා බසා දැමූ අසාන්ජ්ගේ නීතිඥයින්ගේ තර්කවල ප්‍රතිඵලය විය යුතුව තිබුනේ අසාන්ජ් බ්‍රිතාන්‍යයෙන් එක්සත් ජනපදයට උදර්පනය කිරීම සඳහා වූ නඩු කටයුතු වහාම ඉවත් කිරීම සහ ඔහු සිරෙන් නිදහස් කිරීමය. පවත්නා ගිවිසුම් මගින් දේශපාලන වැරදි සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයෙන් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම පැහැදිලිවම තහනම් කිරීම හා එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය (සීඅයිඒ) ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරනවලින් ආරක්ෂා වෙමින් සිටියදී අසාන්ජ්ට එරෙහිව නීති විරෝධී ඔත්තු බැලීම් කර තිබීමත් මෙම තර්ක වලට ඇතුලත් වේ. මෙම (සීඅයිඒ) නිරීක්ෂනයට අසාන්ජ්ගේ රහස්‍ය (පුද්ගලික) රැස්වීම්වල ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටිගත කිරීම් සහ ඔහුගේ නීතිමය ලේඛන සොරකම් කිරීම ඇතුලත් ය.

අධිකරනය විසින් වගවිභාග විභාගයට ලක් කිරීම කෙසේ වෙතත්, සීඅයිඒ හෙංචයියන් නඩු විභාගය සඵල ලෙස මෙහෙයවමින්, විවෘතවම බ්‍රිතාන්‍ය අභිචෝදකයින්ට උපදෙස් දෙන ලදී. ගවේෂනාත්මක-පුවත්පත් කලාවේදී ජෝන් පිල්ජර් ලියූ පරිදි, අධිකරනය “එය තුල රොඳ බැඳ ගත් එක්සත් ජනපද නිලධාරීන්ගේ දෘෂ්‍යමාන උපදෙස් අනුයමින් සිටියේය.”

අවසාන වශයෙන්, අසාන්ජ් උදර්පනය සඳහා පෙබරවාරි මාසයට නියමිත පූර්න නඩු විභාගය සඳහා මාස තුනක කල් ගැනීමක් සඳහා වූ ඉල්ලීම බරයිට්සර් විසින් ප්‍රතික්ෂේප කෙරින. කතා කිරීමට ඇති අපහසුතාවය සමග පොර බදමින් අසාන්ජ් මෙසේ පැවසීය: “මෙම සුපිරි බලවතාට මෙම නඩුව සඳහා සූදානම් වීමට වසර 10ක් ලැබුනි… මට මගේ කිසිදු ලිඛිත ලේඛන වලට ප්‍රවේශ විය නොහැක… ඔවුන්ට ලේඛන සමඟ කටයුතු කිරීමේදී අසාධාරන වාසියක් ඇත… මෙහි සිදුවෙමින් පවතින දෙය යුක්ති සහගත නොවේ.”

බරයිට්සර් අවඥාවෙන් යුතුව කියා සිටියේ නඩු විභාගය තේරුම් නොගත්තේ නම් අසාන්ජ්ට පසුව තම නීතිඥයින් සමඟ කතා කල හැකි බවයි. ව්‍යාජ ඇප චෝදනාවක් මත ඔහු රැඳවුම් භාරයේ තබනු ලැබීම සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත්වී තිබියදීත්, ඔහු අධි ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගතකර සිටින්නේ මන්දැයි විනිසුරුවරිය හෝ දූෂිත බ්‍රිතාන්‍ය අධිකරනයේ වෙනත් නියෝජිතයෙකු පැහැදිලි කර නැත.

කාලකන්නි හොර නඩු විභාගය ලෝකයේ කිසිදු ප්‍රධාන සංගත ප්‍රකාශනයකින් බරපතල ලෙස ආවරනය නොවීය. ඔවුන් සියල්ලෝම එයින් අනාවරනය කරන ලද දෙය වසන් කිරීමට උත්සාහ කර ඇත: අසාන්ජ්ට එරෙහි නව අවුරුදු එක්සත් ජනපද පලිගැනීම මුල පටන්ම නීති විරෝධී දේශපාලන හිංසනයකි

එහි සෑම පියවරකදීම, ගාඩියන්, නිව්‍ යෝර්ක් ටයිම්ස් සහ තවත් සංගත හොරනෑ රාශියක්ම, විකිලීක්ස් නිර්මාතෘවරයා විනාශ කිරීමේ උත්සාහයේ දී එක්සත් ජනපද ආන්ඩුවේ සහචරයන් ලෙස ක්‍රියා කර ඇත.

2010 දී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වූ වංචනික පදනම වූ සහ 2012 ජුනි මාසයේදී ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරනාගත භාවය ලබා ගැනීමට අසාන්ජ්ට බලකෙරුනාවු ලිංගික විෂමාචාරය පිලිබඳ ඔහුට එරෙහි ව්‍යාජ ස්වීඩන් විමර්ශනය ඉහත සඳහන් ප්‍රකාශන මාධ්‍යයන් විසින් දිගින් දිගටම ප්‍රවර්ධනය කෙරුනි.

මෙම ඉසුරුමත් පුවත්පත් කලාවේදියෝ කියා සිටියේ අසාන්ජ් “යුක්තියෙන් සැඟවී සිටින” බවයි. අසාන්ජ්ට කිසි විටෙකත් අපරාධයක් සම්බන්ධයෙන් ස්වීඩනයේ චෝදනා එල්ල නොවූ බවත්, ඊට සම්බන්ධ එක් කාන්තාවක ලවා පැමිනිල්ලක් කරවීමට “පොලිසිය තමන් දක්කන” ලද බව ප්‍රකාශ කල බවත් ඔවුහු සැඟවූහ. තම නම කැත කිරීමත්, විකිලීක්ස් විසින් ඇමරිකානු යුද අපරාධ හෙලිදරව් කිරීම හේතුවෙන් එක්සත් ජනපදයට තමන් උදර්පනය කිරීම සඳහා විකල්ප මාර්ගයක් සැපයීමත්, ස්වීඩන් චෝදනා වල අරමුනවූ බව පිලිබඳ අසාන්ජ්ගේ අවධාරනය සංගත පුවත්පත් කලාවේදීන් විසින් අවමානයට ලක් කෙරින.

අසාන්ජ්ගේ සියලු අනතුරු ඇඟවීම් සනාථවී ඇත. ස්වීඩන ව්‍යාජ නඩු ගෙතීම ඇතුලුව ඔහුට එරෙහි උද්ඝෝෂනයේ සමස්ත ව්‍යාජ- නෛතික කවරය වංචාවක් ලෙස හෙලිදරව් වී තිබේ. ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පෙරදීම අසාන්ජ් බ්‍රිතාන්‍යයේ නීති විරෝධී හොර නඩු විභාගයකට මුහුන දී සිටී.

එහෙත් සංගත ප්‍රකාශන ඔවුන්ගේ ස්ථාවරය ආපසු හරවාගෙන නැත. මේවා, අසාන්ජ්ගේ හිංසනයේ දරුනු ඇඟවුම් ගැන මහජනතාව අඳුරේ තබා ගැනීමට උත්සාහ කරන අතර, අපහාසයේ ධාරාව දිගටම පවත්වාගෙන යති.

ඔවුන්ගේ පැත්තෙන්, බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ සිට දැන් අක්‍රිය වී ඇති එක්සත් ජනපද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දක්වා වූ දූෂිත ව්‍යාජ වාම සංවිධාන, ස්වීඩන් චෝදනාවලට අසාන්ජ් පිලිතුරු දිය යුතු බවට සීඅයිඒ සංවිධානය විසින් ගොතන ලද මුසාවන් අනුමත කලහ. එක්සත් ජනපදයේ ජැකොබින් සඟරාවේ සිට ඕස්ට්‍රේලියාවේ සමාජවාදී විකල්පය (සංවිධානය) දක්වා ඔවුන් ගොලුව සිටින්නේ අසාන්ජ්ගේ මන්දගාමක ඝාතන උත්සාහය මේ වසරේ ඉදිරියට සිදු කෙරී ගෙන යද්දී ය. ඉඳහිට තමා සමාජවාදියෙකු යැයි කියාගන්නා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් විකිලීක්ස් නිර්මාතෘවරයා ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩුව සෑම නිල ආයතනයකම-එනම් උසාවිවල සිට මාධ්‍යය ද, එහි ව්‍යාජ වාමාංශික පාර්ශ්වය ඇතුලු දේශපාලන සංස්ථාපිතය දඇතුලු-කුනු වූ ස්වභාවය පිලිබඳ ආන්තික පාඩමකි. 1930 ගනන්වල සිට ධනවාදයේ ගැඹුරුතම අර්බුදය සහ පන්ති අරගලයේ පුනර්ජීවනයක් මධ්‍යයේ ඔවුන් සියල්ලෝම ඒකාධිපතිවාදය දෙසට වේගයෙන් කඩා ගෙන යැවෙමින් පවතී.

අසාන්ජ් නිදහස් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය වන කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයකින් පමනි. වැඩ වර්ජනයෙ යෙදී සිටින 48,000 ක එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් සිට චිලියේ සහ ඉක්වදෝරයේ විරෝධතා දක්වන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් දක්වා ලොව පුරා කම්කරුවන් මිලියන ගනනින් පුපුරන සුලු අරගලවලට අවතීර්න වෙමින් සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අසාන්ජ් සහ චෙල්සි මැනිං (අසාන්ජ්ට එරෙහිව බොරු සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ට්‍රම්ප් පරිපාලනය විසින් සිරගත කරන ලද ධෛර්ය සම්පන්න රහස් හෙලි කරන්නිය) ඇතුලු සියලු පන්ති යුද සිරකරුවන්ගේ ක්ෂනික නිදහස සඳහා අරගලයට උර දෙන ලෙසයි.

මීට වසර 90 කට පමන පෙර, දේශපාලන ක්‍රියාකාරිත්වයේ නිරතවීම නිසා එක්සත් ජනපද රජයේ බොරු චෝදනාවලට ලක්වූ නිකොලා සාකෝ සහ බාර්ටොලමියෝ වැන්සෙට්ටි ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී කම්කරු ව්‍යාපාරය උද්ඝෝෂනයක් දියත් කලේය. ජාත්‍යන්තරව මිලියන සංඛ්‍යාත කම්කරුවන් බලමුලු ගැන්වූ එම සටන ලෝක දේශපාලනයේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අතර රාජ්‍ය හිංසනයට එරෙහි මහා අරගලයක් ලෙස ඉතිහාසයේ සටහන්විය. මෙම පරම්පරාවට අසාන්ජ් පිලිබඳ නඩුව1920 ගනන් වලට සාකෝ සහ වැන්සෙට්ටි නඩුව මෙන් වේ.

විකිලීක්ස් නිර්මාතෘවරයා ලුහුබැඳීම අරමුනු කර ගෙන ඇත්තේ මිලිටරිවාදයට, ඒකාධිපතිවාදයට සහ රජයේ නීති විරෝධී භාවයට එරෙහි සියලු විරෝධතා මැඬ පැවැත්වීම සඳහා පූර්වාදර්ශයක් නිර්මානය කිරීමටය. ඔහු ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ සියලුම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ප්‍රතිප්‍රහාරයක පෙරමුන විය යුතුය.

නාස්ති කිරීමට කාලයක් නොමැත. “ජූලියන් ලඟදීම නිදහස් නොකලහොත් ඔහු විනාශ වනු ඇත” යන ක්‍රේග් මරේගේ අනතුරු ඇඟවීමට අසාන්ජ්ගේ ක්ෂනික නිදහස සඳහා ක්‍රියාකාරී ව්‍යාපාරයක් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනා විසින් පිලිතුරු දිය යුතුය. නගරාසන්න කම්කරු පංතික ප්‍රදේශවල, කර්මාන්තශාලාවල සහ විශ්ව විද්‍යාලවල, සියලුම කම්කරුවන් හා තරුනයින් අසාන්ජ්ගේ දුක්ඛිත තත්වය පිලිබඳව දැනුවත් කරනු ලැබිය යුතු අතර රැස්වීම්, උද්ඝෝෂන සහ පෙලපාලි ඇතුලුව ඔහුගේ නිදහස වෙනුවෙන් බලමුලු ගැන්විය යුතුය.

මෙම තීරනාත්මක අරගලයට සහභාගී වීමට අදම අප හා සම්බන්ධ වන්න.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

Share this article: