ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේ දී පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න !
ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට රැලි වන්න !

Vote for Pani Wijesiriwardena in the Sri Lankan presidential election! Rally to fight for international socialism!

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) විසිනි, 2019 නොවැම්බර් 12

විප්ලවවාදී ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී ක්‍රියාමාර්ගයකට ඔබගේ සහයෝගය ප්‍රදර්ශනය කරනු පිනිස, නොවැම්බර් 16 දා ජනාධිපතිවරනයේ දී, අපගේ අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප-ශ්‍රී ලංකාව), ශ්‍රී ලංකාවේ කම්කරුවන්, තරුනයන් සහ පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ අයිතීන් හා ජීවන තත්වයන් කප්පාදුවට ද, කම්කරු පන්තිය, තරුනයන් හා ගම්බද දුගීන් මර්දනය කිරීමේ එල්ලය සහිතව ආඥාදායක පාලන රූපයන් සඳහා ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ යන සූදානමට ද එරෙහිව සමාජවාදී විකල්පයක් සඳහා සසප සටන් වදී. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය මත පාදකව දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් උදෙසා වන අරගලය අපගේ ක්‍රියාමාර්ගය වේ.

පසුගිය මාස ගනනාව තුල, ධනේශ්වර පක්ෂවල සියලු‍ ජනාධිපති අපේක්ෂකයන් - එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අනුර කුමාර දිසානායක - ඔවුන්ගේ මැතිවරන ප්‍රකාශ නිකුත් කොට රැස්වීම් අමතා ඇති අතර එහි දී ඔවුහු එකකට පසුව තවෙකක් වශයෙන් බේගල් වපුරා ඇත.

පාසල් ලමුන් සඳහා නොමිලේ දිවා ආහාරය, ගොවීන් සඳහා නොමිලේ පොහොර හා පිටි, රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීම සහ තවත් නිමක් නැති ප්‍රතිඥා ඔවුන්ගේ පොරොන්දුවලට ඇතුලත් වේ.

කෙසේවෙතත්, මෙම බොරුවල ආවරනය යටතේ, එජාප, ශ්‍රීලපොපෙ සහ ජවිපෙ, බලයට පැමිනීමෙන් පසුව තමන් ක්‍රියාවට දමනු ඇති “ප්‍රමුඛතා” ලෙස, “ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම”, “ශක්තිමත් හා ස්ථාවර පාලනයක්”, “නීතිය හා සාමය” සහ “විනයගත සමාජයක්” සඳහා වන සිය කැඳවුම උත්සන්න කර තිබේ. මේවා ආඥාදායක පාලනයක් සඳහා කේත පාඨ මිස අනෙකක් නොවේ.

පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම දුවවනු ලබන්නේ, දැන් සෑම මහාද්වීපයක් ම සිසාරා වැඩෙමින් පවතින ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ නැගෙන සමාජ පෙරලිකාරිත්වය පිලිබඳ ඔවුන්ගේ මාරාන්තික භීතියෙනි.

කොලඹ ආන්ඩුව, මෙම සමාජ අරගල බියගැන්වීම හා මර්දනය කිරීම පිනිස, රුදුරු හදිසි නීති රෙගුලාසි පැනවීම සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් ඇවිස්සීම සඳහා, පුද්ගලයන් 250කට වඩා ඝාතනය කරමින් අයිඑස්අයිඑස් සංවිධානයේ පිටුබලය ඇතිව ඉස්ලාම් මූලධර්මවාදී ජාතික තව්හීත් ජමාත් විසින් සිදු කරන ලද අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර යොදා ගත්තේය.

කෙසේවෙතත්, අඛන්ඩව මුහුන දෙන ඉවසිය නොහැකි කොන්දේසි නිසා, කම්කරු අරගලය මැඩපැවැත්වීම කල නොහැකි විය. සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල දී, 16,000කට වඩා අධික විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවෝ මාසයක් තිස්සේ වර්ජනයක නිරත වූහ. ගුරුවරු ලක්ෂ දෙකක් දින දෙකක් වර්ජනය කලහ. මර්දනකාරී අත්‍යවශ්‍ය සේවා නියෝගවලට අභියෝග කරමින් 2,000කට වැඩි දුම්රිය කම්කරුවෝ වැඩ වර්ජනය කලහ.

ජනාධිපතිවරනයෙන් පසුව, ශක්තිමක් ආන්ඩුවක් තැනීමේ සිය හැකියාව ප්‍රදර්ශනය කරනු පිනිස එජාප සහ ශ්‍රීලපොපෙ එකිනෙකා සමග තරග වැදී සිටී. ශ්‍රීලපොප, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය කෲර ලෙස ගෙනගිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම් වූ, ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස, තමන්, ජාතික ආරක්ෂාව ගැන වගකීම දැරීමට ආරක්ෂක ඇමති ලෙස හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා පත් කරන බව නිවේදනය කර ඇත.

චීනයට එරෙහිව එල්ල කෙරී ඇති, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි බලමුලු‍ තරකිරීමේ වැඩපිලිවෙලට ශ්‍රී ලංකාව තව දුරටත් ඒකාග්‍ර කිරීමේ ප්‍රයත්නයන් ද දැනටමත් ආරම්භ වී ඇත. 1997 දී අත්සන් කරන ලද හමුදා තත්ව ගිවිසුමට (සෝපා), රට තුලට නිදහසේ ප්‍රවිෂ්ට වීමේ හැකියාව එක්සත් ජනපද හමුදාවන්ට ලබා දෙන නව වගන්ති ද ඇතුලත් කරමින්, යලි අලු‍ත් කිරීම පිනිස කොලඹ ආන්ඩුව තල්ලු‍ කර ගැනීමට ජුලි මාසයේ දී වොෂිංටනය උත්සාහ දැරීය. ගිවිසුම අත්සන් කිරීමට ආන්ඩුවට අවශ්‍ය වුනත්, මහජන විරුද්ධත්වය නිසා එය තාවකාලිකව නතර කෙරී ඇත. එහෙත් එය තවමත් න්‍යාය පත්‍රයේ පවතී.

මෙම වර්ධනයන් සමග නිසැකවම බැදී ඇති අධිරාජ්‍යවාදී යුද තර්ජනය පිලිබඳ කාරනාව කිසිදු පක්ෂයක් මතු කර නැත. ඒ ඔවුන් සියල්ලන්ම, චීනයෙන් මූල්‍ය ආධාර බලාපොරොත්තු වන අතරතුරම, එක්සත් ජනපදයේත් එහි කලාපීය සගයා වන ඉන්දියාවේත් සහයෝගය සඳහා තරග වදින බැවිනි.

2015 ජනාධිපතිවරනයේ දී, වොෂිංටනය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකොට මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනඒම පිනිස තන්ත්‍ර මාරු මෙහෙයුමක් සැලසුම් කොට මෙහෙයවීය. එක්සත් ජනපදය රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහ එල්ටීටීඊයට එරෙහි ඔහුගේ යුද්ධයට සහයෝගය දුන් නමුත් බෙයිජිං සමග පැවති ඔහුගේ සබඳතාවන්ට විරුද්ධ විය.

බලයට පැමිනීමෙන් පසුව, සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය සහිතව, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ වාසිය පිනිස ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත තියුනු ලෙස වෙනස් කලේය. එය, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා, විශේෂයෙන් ම නාවික හමුදාව, ඉන්දු-පැසිෆික් අන දෙන මධ්‍යස්ථානයේ කොටසක් වන, එක්සත් ජනපද මිලිටරියට, ගැටගැසීය.

එනයින්, ශ්‍රී ලංකාව, ගෝලීය භූ-දේශපාලනික ආතතීන්ගේ වාසුලිය තුලට ඇදගනු ලැබෙමින් පවතී. දකුනු ආසියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර රාජ්‍ය ලේකම්, ඇලිස් ජී. වෙල්ස්, ඔක්තෝබරයේ දී, විදේශ කටයුතු සම්බන්ධ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අනු කමිටුව ඉදිරියේ මෙසේ පැවසුවාය. “ශ්‍රී ලංකාව වැදගත් සමුද්‍ර බලයක් සහ ඉන්දු-පැසිෆික් හවුල්කරුවෙකි.” ඇය තව දුරටත් පැවසුවේ “ඊලඟ මාසයේ මැතිවරනයෙන් ජයග්‍රාහකයා ලෙස මතුවන කුමන හෝ අපේක්ෂකයකු” සමග වැඩ කිරීමට එක්සත් ජනපදය සූදානම් බවයි.

සසප පමනක්ම, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් වන, ලොව පුරා සිය සහෝදර පක්ෂ සමග එක්ව, න්‍යෂ්ටික අවි හරඔ කෙරුනු ඇති, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක අන්තරාය මතු කරමින්, ඊට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදී.

එලඹෙන මැතිවරනයෙන් කවුරු ජයගත්තත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට ඔහුගේ ආන්ඩුවට බල කෙරෙනු ඇත. පසුගිය ඔක්තෝබර් 28 දා, කොලඹ පල කෙරෙන ඬේලිඑෆ්ටී පුවත්පත, ජාමූඅ ශ්‍රී ලංකාවේ දූත මන්ඩල ප්‍රධානි මැනුවෙලා ගොරෙති විසින් දෙන ලද දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් පල කල ඇත. එහි දී ඇය අනතුරු අඟවා තිබුනේ, ශ්‍රී ලංකාවේ අර්බුදය සහ ජාමූඅ වැඩපිලිවෙලට කැපවීමේ අවශ්‍යතාව ගැනයි.

ඇය මෙසේ සටහන් කලාය: “අපගේ උපදේශය ලෙස පවතින්නේ, මූල්‍ය විනය ද වෙලඳ පොල විශ්වාසය වැඩි දියුනු කිරීමේ සුපරීක්ෂ මූල්‍ය පිලිවෙතක් ද අනුව යන ඥානාන්විත පිලිවෙත් අනුගමනය කල යුතුය යන්නයි. රටේ පවත්නා අනතුරට භාජනය වීමේ හැකියාවන්, සැලකිය යුතු ලෙස, තවමත් ඉහල මට්ටමේ පවතින රාජ්‍ය නය හා සාපේක්ෂ වශයෙන් පහල අවරෝධක, හමුවේ, අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට මුහුන දීමේ ලා ශ්‍රී ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීම වැදගත් ය.”

අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 3.5 දක්වා කප්පාදු කරන ලෙසත් එහි කොටසක් ලෙස, “ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය, විශේෂයෙන් ම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන, වේගත් කරන,” ලෙසත් ශ්‍රී ලංකාවට උපදෙස් ලැබී තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ, සහනාධාර කප්පාදු කිරීම සහ රජය සතු ව්‍යවසායන් පුද්ගලිකරනයයි. කවුරු බලයට පැමිනියත්, මැතිවරන ව්‍යාපාරය තුල දුන් ව්‍යාජ පොරොන්දු පසෙකට දමා, මෙම වැඩපිලිවෙල ක්ෂමා විරහිතව ක්‍රියාවට දමනු ඇත. එහෙත් ආඥාදායක්වයකින් තොරව, කම්කරුවන් හා දුගීන් මත මෙම ප්‍රහාර පැටවීමට පාලක පන්තිය අපොහොසත් වනු ඇත.

පක්ෂ ගනනාවක එකතුවක් වන, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ප්‍රේමදාසට සහහෝගය දීමට තීන්දු කර තිබේ. දෙමල ජනතතාව සඳහා වන “විසඳුමක්” පිලිබඳව ජනාධිපති ලෙස ප්‍රේමදාස සමග සාකච්ඡා කිරීමට තමන්ට හැකි යයි මෙම පක්ෂ අවධාරනය කර ඇත. මෙය මෙම පක්ෂ විසින් සිදු කරනු ලබන තවත් පාවාදීමකි. සෙසු ධනේශ්වර පක්ෂ මෙන්ම, එජාපයට ද ඇත්තේ, දෙමල සුලු‍තරයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගාදැමීම සහ යුද්ධය ගෙනයාම පිලිබඳ ලේවැකි වාර්තාවකි. යලිත් වතාවක් පෙන්නුම් කර ඇත්තේ, මෙම පක්ෂවල අවශ්‍යතාව ලෙස පවතින්නේ, කොලඹ පාලක ප්‍රභූවේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට සේවය කරන, දෙමල ප්‍රභූවේ වරප්‍රසාද රැකගැනීම පමනක් බවයි.

ව්‍යාජ වාම කන්ඩායම්, මෙම තර්ජන හමුවේ කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කොට දේශපාලනිකව නිරායුධ කිරීමෙහි ලා, අතිශය විනාශකාරී ක්‍රියාකලාපයක් ඉටු කරයි. නව සමසමාජ පක්ෂය (නසසප), එජාප අපේක්ෂක ප්‍රේමදාසට සහයෝගය පිනිස විවෘතව උද්ඝෝෂනය කරන්නේ, ඔහු “ෆැසිස්ට්වාදී” ගෝඨාභය රාජපක්ෂට එරෙහි ප්‍රගතිශීලී විකල්පය බව ප්‍රකාශ කරමිනි.

ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාජ වාම සංවිධානයක් වන, එක්සත් සමාජවාදී පක්ෂය (එසප), ෆැසිස්ට්වාදී ගෝඨාභය රාජපක්ෂට එරෙහි “අඩු නපුරක්” ප්‍රේමදාස තුලින් සොයාගෙන ඇත. සිය මැතිවරන ප්‍රකාශය තුල එසප මෙසේ සඳහන් කරයි: “සජිත් [ප්‍රේමදාස] කිසිම දැක්මක් හා ඉදිරිදර්ශනයක් නොමැති හිස් කෙනෙක්.” මෙම නිවට විවේචනයට පසුව එය මෙසේ ප්‍රකාශ කරයි: “රට අන්ධකාර යුගයකට ඇද දැමීමට ගෝඨා ඇතුලු‍ රාජපක්ෂවරුන්ට ඉඩ නොදීමට ඔබ තීන්දු කල යුතුව තිබෙනවා.” එනයින් ගත් කල, නසසප මෙන්ම එසප ද කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ බලය ගැනීම වලක්වනු පිනිස ප්‍රේමදාසට ඡන්දය දෙන ලෙසයි.

තමන් “සමාජවාදී අපේක්ෂකයෙක්” ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කරමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) තරමක් වෙනස් තානයක් වාදනය කරයි. සිය අපේක්ෂක, දුමින්ද නාගමුව සඳහා වන මැතිවරන ප්‍රකාශය තුල පෙසප මෙසේ පැහැදිලි කරයි: “අපගේ වැඩපිලිවෙල තල දෙකකින් යුතු අතර එකක් ජනතාවගේ මේ මොහොතේ සංක්‍රමනීය ඉල්ලීම් සහ සටන්පාඨද දෙවැන්න පවතින අර්බුදය සඳහා දිගුකාලීන සැබෑ විසඳුමද නියෝජනය කරයි.”

මෙය වනාහි, කම්කරුවන් සිය ඉල්ලීම් ධනපති ආන්ඩුවලට හා මහ ව්‍යාාපාරිකයන්ට සීමා කරමින් “දිගු කාලීන සැබෑ විසඳුමක්” සඳහා කල්බලා සිටිය යුතු යැයි සැල කරන, එක්තරා වර්ගයක අවධි දෙකේ න්‍යායකි. පෙසප ප්‍රායෝගිකව ගෙනයන වැඩපිලිවෙල හරියටම මෙයයි. මෑත පැවති කම්කරු හා ශිෂ්‍ය අරගලවල දී, පෙසප, කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා ඉල්ලීම මතු කල සසප සමාජවාදී පිලිවෙත්වලට විරුද්ධ වෙමින්, ඒ වෙනුවට ආන්ඩුවට බලපෑම් දැමීමේ පිලිවෙත තොරොම්බල් කලේය.

මෙම ව්‍යාජ වාම පක්ෂ පදනම් වී ඇත්තේ, ධනපති පන්තියේ සෑම කන්ඩායමකට ම එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු‍ ගැන්වීමට අතිශයින්ම සතුරු, ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනයක් මතයි. මේ ආකාරයෙන්, ඔවුහු, පාලක පන්තියේ පක්ෂ විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය පියවර සඳහා ද ජාමූඅ පනවන කප්පාදු පිලිවෙත් සඳහා ද පදනම සකස් කරති.

ධනපති පන්තියේ ඊලඟ ප්‍රහාරය සඳහා සූදානම් වීම පිනිස, වෘත්තීය සමිතිවලින් මුලු‍මනින්ම ස්වාධීනව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසත්, සිය ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා අරගලය සියතට ගන්නා ලෙසත්, කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී. වැඩපොලවල හා නිවහන් ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය.

මෙම මූලිකත්වය, ගම්බද දුගීන් හා පීඩිත ජනයා තමන් වටා රැලි කර ගැනීම ද සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමනු ඇති කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගැනීම ද පිනිස කම්කරු පන්තිය සූදානම් කරනු ඇත. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට මෙම අරගලය ගෙනයා හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සිය එකමුතුකම ගොඩනගා ගැනීම මගින් ම පමනි.

මෙම අරගලය, සසප කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී සමාජවාදී පක්ෂය ලෙස ගොඩනැගීම ඉල්ලා සිටී. මෙම පක්ෂයට බැඳෙන ලෙසත් අපගේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගන් ඉල්ලා සිටිමු.

Share this article: