හෙද සියදිවි නසාගැනීම් හා එක්සත් ජනපද සෞඛ්‍ය ආරක්ෂන අර්බුදය

The epidemic of nurse suicides and the US healthcare crisis

2019 සැප්තැම්බර් 07

“මම කායික මානසික විඩාවේ සහ පීටීඑස්ඩී හි ගොදුරක් වන්නෙමි... මම මුලු උදය පුරා ම හඬමින් සිටියේ දැඩි ලෙස දැනුන මා අභ්‍යන්තරයේ අගුලු දමා තිබෙන වේදනාවකිනි. දින තුනකට පෙර මගේ අන්තිම රෝගියා මිය යන අයුරු හා ඔහුගේ මරනයෙන් බිඳුනු පවුලක් සැබවින් ම දුක්ඛිත හා දුක් වේදනාවලට ඇද දැමෙනු මම බලා සිටියෙමි. ”- “මගේ කායික මානසික විඩාවේ කතාව” (allnurses.com)

මෙම වචන ලියා ඇත්තේ ඒ වන විට වසර හයක පලපුරුද්දක් ඇති හෘද වාහිනී දැඩි සත්කාර ඒකකයේ හෙදියක් (CVICU RN) වන අතර රැකියාව නිසා විඳදරා ගැනීමට සිදුවූ “විශේෂයෙන් ම මරනයේ සහ දුක් වේදනාවන්ගේ අත්දැකීම්, හේතුවෙන්” රැකියාවෙන් ඉවත්ව ගොස් ඇත. මෙම හෙදියගේ කතාව තනි සිදුවීමක් නොවේ.

එක්සත් ජනපදයේ සේවයේ නියුතු ලියාපදිංචි සහ බලපත්‍ර ලාභී හෙදියන් මිලියන 3.9 ක් සිටිති. හෙදියන් 3,300 ක් පිලිබඳව 2014 දී කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ බොහෝ දෙනෙක් මානසික ආතතියෙන් හා වැඩ අධික බවෙන් පෙලෙන බවයි -බහුතරයක් දෙනා සරිලන ආහාර පාන නො ගැනීම සහ හොඳ රාත්‍රී විවේකයක් නො ලැබීම ගැන වාර්තා විය.

නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම සෞඛ්‍ය ආරක්ෂන කම්කරුවන් මත පැටවෙන මානසික සෞඛ්‍ය පීඩාව හේතුවෙන් ඔවුන්ව ඉහල යන සංඛ්‍යාවකින් දිවි තොර කර ගැනීම් කෙරෙහි තල්ලු කර දමමින් හෙදියන්ගේ සියදිවි නසාගැනීම් වසංගතයක තත්වයට ලඟා වී ඇති බවයි. [උපුටනය: ගෙටි රූප සඳහා වේව්බ්‍රේක්මීඩියා, කැන්වා ප්‍රෝ හරහා] [Credit: Wavebreakmedia for Getty Images, via Canva Pro]

මෙම හේතුව සහ ප්‍රචන්ඩත්වය, කලමනාකරනයෙන් වන හිරිහැර කිරීම් සහ රෝගීන් රැකබලා ගැනීමේ චිත්තවේගීය පීඩාව ඇතුලුව වෙනත් සේවා ස්ථාන කොන්දේසි හෙදියන්ගේ සියදිවි නසාගැනීම් වල වැඩිවෙමින් පවතින වසංගතමය තත්වයට මගපාදා තිබේ. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ඩියාගෝ (යූසීඑස්ඩී) වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයෝ වසර 20 කට වැඩි කාලයක් තිස්සේ සිදුවන හෙද සියදිවි නසාගැනීම් පිලිබඳ පලමු ජාතික පරීක්ෂනය සිදු කර ඇති අතර ඉන් පෙන්නුම් කරන ප්‍රතිඵල තැතිගන්වන සුලුය.

යූසීඑස්ඩී පර්යේෂකයන් සොයා ගන ඇත්තේ හෙදියන් අතර සියදිවි නසාගැනීම් සාමාන්‍ය ජනගහනයේ සිදුවනවාට වඩා සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බවයි. කාන්තා හෙදියන් සඳහා සියදිවි නසාගැනීම් 100,000 කට 11.97 ක් විය. පිරිමි හෙද සේවකයන් සඳහා එය 100,000 කට 39.8 ක් ව ඊට තුන් ගුනයකටත් වඩා වැඩිය.

මෙම ඛේදජනක සංඛ්‍යාවන්ට හේතු මොනවාද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුහුනුව ලබා තෝරාගත් පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිය දිවි තොර කර ගැනීමේ දුරකට ශාරීරික හා මානසික සෞඛ්‍ය අර්බුදවලින් පීඩා විඳින්නේ කෙසේද?

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ හෙද සියදිවි නසාගැනීම් පිලිබඳ මෑත පලවූ ලිපිය සේවයේ නියුතු වඩාත් පුලුල් ලෙස කියවන ලද ලිපියකි. මෙම මාතෘකාව සෞඛ්‍ය සේවකයින්ගේ මෙන් ම අපගේ පුලුල් පාඨක පිරිසේ සිත් ද හිරිවට්ටවා ඇත. යූසීඑස්ඩී පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන හෙද විද්‍යාඥ ජූඩි ඬේවිඞ්සන්, ආර්එන්, ඩීඑන්පී සමඟ පසු විපරම් සම්මුඛ සාකච්ඡාවක දී හෙදියන් දෙදෙනෙකුගේ පහත සඳහන් කරුනු ද ඇතුලුව අදහස් ප්‍රවාහයක් අවුලුවාලීය.

ක්‍රේග්: “අපේ අවශ්‍යතා පසෙකට දැමිය යුතුය යි අපව තත්වාරෝපිත කර තිබේ. මෙමගින් සියලු චිත්තවේගීමය හෝ ශාරීරිකමය හෝ ගැටලු සඟවා ගන්නා හෙද සංස්කෘතියක් ප්‍රවර්ධනය කරයි. අපගේ ගැටලු විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට, අපට තවදුරටත් තවදුරටත් දරා ගත නොහැකි වන තෙක් අපි ඒවා අප තුලට ම ඔබා ගන්නෙමු. හිස් කල යුතු කුනු කසල එසේ නොකර පුපුරා යන තෙක් තව තවත් පුරවා දමනවා මෙනි.”

කැතී: “හෙදියන්ගේ මානසික අවපීඩනය ගැන සලකන්න. කලමනාකාරිත්වය විසින් නොතකා හරිනු ලැබ කාර්ය මන්ඩල හිඟ තත්වයන් තුල දිනකට පසු දිනක් වැඩ කිරීමට බල කිරීම කෙනකුගේ ජීව ගුනය විනාශ කරයි. මම අවුරුදු 39 ක කලක් තිස්සේ ලියාපදිංචි හෙදියක්. එකල අඩු කාර්ය මන්ඩලයක් සමග වැඩ කිරීමට සිදුවීම දුර්ලභ අවස්ථාවක් විය. කාර්ය මන්ඩලය සෑහෙන තරම් සිටීම දැන් දුර්ලභ අවස්ථාවකි.”

මෙය හෙදියක් නොවන පාඨකයකු ගෙනි:

ක්ලාරා: “ඔබ අසනීපව සිටින විට හෝ ඔබ ආදරය කරන කෙනෙකු අසනීපව සිටින විට හොඳ හෙදියක් තරම් යහපත් දෙයක් නැත. ඔවුන්ව අගය කොට ඔවුන්ට හොඳින් සැලකිය යුතුය. ඔවුන්ට හොඳ වැටුපක්, යෝග්‍ය වැඩ මුරයක් තිබිය යුතු අතර රැකියාවේ රැඳී සිටීම පිලිබඳව ඔවුන්ට කෘතඥතාවය දැක්විය යුතුය.”

නමුත් ඇමරිකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය මෙම පාඨකයා අවශ්‍ය යැයි පවසන සියල්ලට ම ප්‍රතිවිරුද්ධව වැඩ කරයි. නිරන්තරයේ තව තවත් රෝගීන් හෙදියන්ගේ භාරකාරීත්වය ට එකතු කරනු ලැබේ. මහත් කලබලකාරී කටයුතු, අධික වැඩ ප්‍රමානය සහ රෝගී හෙද අනුපාතය ඉහල යාම හෙදියන් කායික මානසික පීඩාවට ලක්වීම සහ හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සේවයේ රැඳී සිටීමේ අනුපාතය අඩු වීමට තුඩු දෙයි. හෙදියන්ට වැටුප් වැඩිවීමක් නොමැතිව හෝ වැටුප් කප්පාදුවක් සමග පවා හෝ සහ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතුලු අනෙකුත් ප්‍රතිලාභවලට පහර දෙමින් ම ඔවුන් ලවා වැඩි වැඩ කොටසක් ගැනීම අපේක්ෂා කෙරේ.

හෙදියන් සහ සහායක කාර්ය මන්ඩලය මැයි මාසයේ ඔහියෝහි ටොලිඩෝ හි මර්සි හෙල්ත් ශාන්ත වින්සන්ට් රෝහලේ දී වැටුප්, කාර්ය මන්ඩල බඳවා ගැනීම් සහ බලහත්කාරයෙන් අතිකාල සේවයේ යෙදවීම මගින් ඔවුන් පවසන පරිදි රෝගී සත්කාරය අඩපන කිරීම හේතුවෙන් වැඩ වර්ජනයකට එක් විය. වැඩ වර්ජනය අතරතුර හෙදියන් ලෝසවෙඅ වෙත පැවසුවේ ඔවුන්ට පැය 26 ක් අඛන්ඩව වැඩ කිරීමට බල කෙරී ඇති බවත් සමහරුන්ට ආරක්ෂිතව තම නිවසට යනු වස් ඔවුන්ගේ මෝටර් රථවල නිදා ගැනීමට සිදු වූ බවත් ය. රෝගි හෙද අනුපාතය ඉහල ගොස් ඇති අතර එය ඇත්ත වශයෙන් ම වසරක් තුල දෙගුන වී තිබේ.

අසල පිහිටි ෆියට් ක්‍රයිස්ලර් ජීප් සංකීර්නයේ මෝටර් රථ කම්කරුවන්ගේ සහයෝගය ඇතුලුව ප්‍රජාව තුල පුලුල් සහයෝගයක් ලැබුන ද, ඔවුන්ගේ සති හයක වැඩ වර්ජනය පාවා දෙන ලද අතර වැඩ වර්ජනය අවසන් වූයේ මර්සි හෙල්ත් හි මුලින් දුන් සහනයට වඩා මඳකින් වෙනස් වූ කුනු වූ ගනුදෙනුවකිනි.

හෙදියන් සහ අනෙකුත් රෝහල් කාර්ය මන්ඩලය නියෝජනය කරන යුනයිටඞ් ඔටෝ වර්කර්ස්, ජුනි මාසයේ දී සහායක කාර්ය මන්ඩලය නැවත සේවයට යැවූ අතර, සම්මුතිය ප්‍රතික්ෂේප කිරීම සඳහා ඊට පෙර ලද විශාල ඡන්දය ද නොතකා හෙදියන්ට මාසයකට පසු ආපසු වැඩට යාමට බල කෙරුනි. සිය ගනනක් කම්කරුවෝ යූඒඩබ්ලිව් සංවිධානයෙන් පිලිකුලෙන් ඉල්ලා අස්වීම නැතහොත් වෘත්තීය සමිතිය විසින් කරන ලද නින්දිත පාවාදීමෙන් පසු සිය රැකියාවෙන් අස්වී යාම කලහ.

එක්සත් ජනපදයේ සමහර රෝහල් නාමිකව “ලාභ නොලබන” ඒවා වන නමුත්, සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම රෝහල් විධායකයින්, රක්ෂන ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඖෂධ සමාගම් පොහොසත් කිරීම වෙනුවෙන් පනගැන්වී ඇත. මැසචුසෙට්ස් හි විශාලතම “ලාභ නොලබන” සෞඛ්‍ය පද්ධතිය වන පාර්ට්නර්ස් හෙල්ත්කෙයාර් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වෛද්‍ය ඬේවිඞ් ටෝර්චියානා 2016 දී සිය පලමු වසර තුලදී ඩොලර් මිලියන 4.7 ක වන්දි මුදලක් උපයා ඇත.

මිචිගන් හි බ්ලූ ක්‍රොස් බ්ලූ ෂීල්ඞ් හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් ලොප් පසුගිය වසරේ දී ඩොලර් මිලියන 19.2 ක වන්දි මුදලක් ලබා ගත්තේය. රක්ෂනකරු ලාභ නොලබන සංවිධානයක් ලෙස සැලකේ. ඖෂධ සමාගමක් වන මර්ක් ඇන්ඞ් කම්පැනි හි ප්‍රධාන විධායක කෙන් ෆ්‍රේසියර්ට පසුගිය වසරේ දී ඩොලර් මිලියන 20.9 ක වන්දි මුදලක් ලැබුනි.

මෙවැනි කැත ලාභ ලැබීම් මෙම විධායකයින්ගේ පෞද්ගලික කෑදරකම ඒකාන්තයෙන් ම සාධකයක් වන නමුදු සරලව ම එය පමනක් ම විය නොහැක. එක්සත් ජනපදයේ දැවැන්ත හා වර්ධනය වන සමාජ අසමානතාවය ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ සහජ ලක්ෂනයක් වන අතර එහි දී අතිමහත් බහුතරයක් කම්කරුවෝ ධනපති පන්තියට සිය වැඩ කිරීමේ හැකියාව විකුනා ඔවුන් නිෂ්පාදනය කරන වටිනාකමින් සුලු කොටසක් පමනක් ගෙදර ගෙන යති.

රෝහල්වල සහ සායනවල කොන්දේසි හෙදියන්ගේ මානසික යහපැවැත්මට සහ වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මන්ඩලයට රෝගීන්ට උසස් තත්ත්වයේ, අවධානයෙන් යුත් රෝගී සත්කාරයක් ලබා දීමට ඇති හැකියාව යන දෙකට ම ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි. ඇමරිකාවේ ලාභය සඳහා වන සෞඛ්‍ය සේවා පද්ධතිය ඉදිරියට ගෙන යනු ලබන්නේ එහි කටයුතු වලින් හැකි උපරිම ලාභය උකහා ගැනීමේ මූලධර්මය මගිනි. සෞඛ්‍ය සේවකයින්ගේ සහ රෝගීන්ගේ යන දෙපිරිසගේ ම ජීවිත හා සෞඛ්‍යය මෙම ලාභයට දෙවැනි වේ.

සීඩීසී හි සම්පූර්න සංඛ්‍යාලේඛනවල නවතම වසර වන 2017 දී ඇමරිකානුවෝ 150,000 කට වැඩි පිරිසක් මත්පැන් හා මත්ද්‍රව්‍ය මගින් ඇති වූ මාරාන්තික රෝග හා සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය ගියහ. මෙය 1999 ට වඩා දෙගුනයකටත් වඩා වැඩි වන අතර එය වාර්තා තැබීම ආරම්භ වූ එම වසරේ සිට මෙතෙක් වාර්තා වූ ඉහල ම සංඛ්‍යාව මෙයයි.

ඔපියොයිඞ් අධික මාත්‍රාවලින් වාර්තාගත මරන සංඛ්‍යාවක් ඇතුලත් “බලාපොරොත්තු සුන්වීමේ මරන” අනුපාතය අහස උසට නැඟීමේ අනුපාතය වචනානුසාරයෙන් හා සංකේතාත්මක අර්ථයෙන් රෝගාතුර වූ සමාජයක සංකේතයකි. සමාජයක සෞඛ්‍යයේ පරාමිතියක් වන ආයු අපේක්ෂාව එක්සත් ජනපදය තුල පසුගිය වසර තුන ඇතුලත පහත වැටී ඇත.

හෙදියන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් අතිමහත් බහුතරයක් සමඟ හෙද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රෝගීන්ගේ සෞඛ්‍යය හා ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමේ ආභිලාශයෙනි. හෙදියන්ගේ සියදිවි නසාගැනීම් ඛේදනීය ලෙස ඉහල යාම; මෙම ශ්‍රම බලකායේ ජීවිත හා ශ්‍රමය තිරිසන් ධනේශ්වර ක්‍රමය විසින් වෛද්‍ය විද්‍යාවේ දියුනුවට, රෝගවලට එරෙහිව සටන් කිරීමට ඖෂධ සංවර්ධනයට සහ ජනගහනයේ සෞඛ්‍යයට වඩා ඉහල ලාභයක් සූරාකෑම අගය කිරීමේ ප්‍රතිඵලයකි.

හඳ පොරොන්දු වන නමුත් ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමට සහ යෝධ සෞඛ්‍ය සේවා දාමයන් සහ සෞඛ්‍ය රක්ෂන හා ඖෂධ කර්මාන්ත අත්පත් කර ගැනීමට කිසිදු අදහසක් නොමැති බර්නි සැන්ඩර්ස් වැනි ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිපත්ති තුලින් සමාජීය සෞඛ්‍ය සේවාවන් සාක්ෂාත් නොවනු ඇත.

වසංගත තත්වයකට පත් හෙදියන්ගේ සියදිවි නසාගැනීම් මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ සහ සමස්තයක් වශයෙන් මුලු ජනගහනයේ හදිසි අවශ්‍යතාව උදෙසා ඇමරිකාවේ සෞඛ්‍ය අර්බුදය විසඳීමට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයි. සමාජයේ සමාජවාදී පරිවර්තනයේ කොටසක් ලෙස සෞඛ්‍ය ආරක්ෂන පරිපාලනය, රැකවරන නියාමනය කිරීම සහ සෞඛ්‍ය සේවකයින් සූරාකෑම මගින් ලාභ ලබන කතිපයාධිකාරීන්ගේ හස්තයෙන් ඉවත් කල යුතුය.

කේට් රැන්ඩල්

Share this article: