සුමිත් චාමින්දගේ "වාම ජනතාවාදය" සහ සමාජවාදය සඳහා අරගලය

කේ. රත්නායක විසිනි, 2019 සැප්තැම්බර් 6

කොලඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ ලංකාවේ පශ්චාත් නූතනවාදී ගුරෙක් වන සුමිත් චාමින්ද "සමාප්ත කාලයක සමාජවාදය" යන මාතෘකාවෙන් "අවතාරය" නම් වූ සඟරාවකට ලිපියක් ලියා ඇත. ඉන් ඔහු කැසකවා ඇත්තේ සමාජවාදය සඳහා අරගලය අභව්‍ය වී ඇතැයි "ඔප්පු කිරීමට" කුතර්ක ගොතමින් කැරලිකාරිවන කම්කරුවන් හා දුගීන් ධනපති පන්තියට ගැටගසන "වාම ජනතාවාදී ව්‍යාපාරය" නමින් උගුලක් ඇටවීම සඳහා න්‍යාය සම්පාදනය කිරීමටයි. .

මාක්ස්වාදයට සතුරු ලංකාවේ පශ්චාත් නූතනවාදීන් කන්ඩායමක එකතුවක් විසින් විටින් විට පලකෙරෙන අවතාරය, ෂන්ටාල් මූෆ්, අර්නෙස්ටෝ ලක්ලාවූ, ස්ලවෝජ් ශිෂෙක් ආදී සිය ගුරාලාගේ සංකල්ප ප්‍රචාරයටත් මූෆ්ගේ "වාම ජනතාවාදය" (චාමින්ද සිය ලිපියේ පාවිච්චි කරන වචනය ජනප්‍රියවාදය යන්නයි) නම්වූ ප්‍රතිගාමී ව්‍යාපෘතිය ලංකාව තුල ඉස්මතුකර ගැනීමටත් කැපකර ඇත. අප්‍රේල් මාසයේ පලවූ එහි දෙවන කලාපයේ චාමින්දගේ ලිපිය පලවී තිබුනි. මෙම අදහස්ම හුවා දක්වමින් ඔහු, හිටපු රැඩිකලුන්ගේ හා පශ්චාත් නුතනවාදීන්ගේ අම්බලමක් වන, රාවය පුවත්පතට ද අගෝස්තු 4 දා "ලාංකීය දේශපාලනයේ ගෝලීය දර්ශක" යන මාතෘකාවෙන් ලිපියක් ලියා තිබුනි.

මාක්ස්වාදයට පහරදීම සඳහා Living in End Time නම්වූ ශිෂෙක්ගේ කෘතියේ "මහා ලෝක විනාශය" නමින් ඉදිරිපත් කර ඇති ප්‍රතිගාමී අදහස් පුනරුච්චාරනය කරන ඔහු උග්‍ර වන ගෝලීය උනුසුම හා කාලගුනික වෙනස්කම් නිසා මනුෂ්‍ය වර්ගයා අතිශය විනාශකාරී අන්තයන්ට පමුනුවා "සමාප්ත කාලයක්" නැතහොත් "සාමූහික මරනයේ මොහොතක්" නැතහොත් "ලෝක විනාශයේ කොන්දේසි" උද්ගත කර ඇතැයි කියා සිටී.

විද්‍යාඥයින් විසින් කෙරෙන වැදගත් එලිදරවු කිරීම්, විශ්ලේෂන හා අනතුරු ඇඟවීම් පෙන්නුම් කරන්නේ අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මුල්කරගෙන නිෂ්පාදනය ගෙනයන ධනපති පන්තිය පාරිසරික විනාශයන් මගින් මනුෂ්‍ය වර්ගයාට උදාකර ඇති විනාශකාරී තත්වය යි. එය නතර කිරීමට නම් ධනපති පන්තිය අතින් නිෂ්පාදන බලවේග මුදාගෙන ඒවා විද්‍යාත්මකව හා තාර්කිකව ප්‍රතිසංවිධානය කල යුතුය. එය සිදුකල හැක්කේ ලෝක සමාජවාදී විප්ලවය මගින් පමනකි; එහි කතෘකයා ලෙස ක්‍රියා කල හැකි විප්ලවවාදී බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

එහෙත්, සමාජවාදයට සතුරු ආචාර්යවරයා, විද්‍යාඥයන්ගේ මෙම අනතුරු ඇඟවීම් යොදාගෙන ඇත්තේ, ශිෂෙක්ගේ "දර්ශනවාදය" හා ෂන්ටාල් මුෆ් ඉදිරිපත්කරන "වාම ජනතාවාදය" නම්වූ ප්‍රතිගාමී පිලිවෙත ඔස්සේ ධනවාදය තුලම මෙම විනාශයන්ට විසඳුමක් සොයාගත යුතු බවට ව්‍යාජ තර්ක ඇඹරීම සඳහා ය.

ධනවාදයට ක්ෂමාලාප ගොතන්නෙක්

ශිෂෙක්ගෙන් ඔහු මෙසේ උපුටා දක්වයි: "තනිතනි පුද්ගලයින් ලෙස අපි සැවොම මේ විනාශයට වගකිවයුතු ය." ... "තනි තනි පුද්ගලයන් පරිසර හා කාලගුන අර්බුදය සමග ගනුදෙනු කරන්නේ ඔවුන් ධනවාදී වෙලඳ පොල සමග ගනුදෙනු කරන නරුමවාදී දෘෂ්ටිවාදය අනුවමය. මෙය තේරුම් කිරීමට මාක්ස්ගේ හුවමාරු භාන්ඩ අධිවන්දනාව පිලිබඳ ප්‍රවාදය කදිමට වලංගු වේ."

නිෂ්පාදන මාධ්‍ය සිය ලාභ අවශ්‍යතා සඳහා ඉවක්බවක් නැතිව සූරාකන ධනපති පන්තිය සමග කම්කරු පන්තිය හා අනෙකුත් ජන කොටස් එකගොඩකට දමා "අප" යනුවෙන් හඳුන්වන ශිෂෙක් සහ චාමින්ද මේ සියලු දෙනා පරිසර විනාශය නතර කර ගැනීම සඳහා නම් "පරිභෝජනවාදයෙන්" මිදී "ජීවන ශෛලීන්" වෙනස් කරගැනීම අවශ්‍ය බව කියා සිටී. මෙලෙසින්, පරිසර විනාශයේ වගකීම සමස්ත මහජනයා මත පටවන ඔහු ධනපති පන්තිය ඊට මුලුමනින්ම වගකිව යුතුය යන්න වසන් කරයි.

මාක්ස් භාන්ඩ අධිවන්දනාව පිලිබඳව ඉදිරිපත්කල න්‍යාය ඔවුන් ගසාකන්නේ එය අවධාරනය කිරීමට ය. මාක්ස් මෙම න්‍යාය ඉදිරිපත් කලේ පුද්ගලයන් වෙලඳපොල සමග "ගනුදෙනු කරන නරුමවාදී දෘෂ්ටිවාදී" ආකාරයක් ගැන ශිෂෙක් හා චාමින්ද මෙන් නරුම ලෙස මහජනයාට ගෙරවීමට නොවේ.

මාක්ස් ඉන් පැහැදිලි කලේ භාන්ඩ හුවමාරුව අභිභවන ධනවාදී සමාජය තුල මිනිසුන් අතර සමාජ සම්බන්ධතා දේවල් (භාන්ඩ) අතර සම්බන්ධතා ලෙස දිස්වෙමින් සමාජ සම්බන්ධතා ගුඪකරනයවීම පිලිබඳවයි. භාන්ඩ හුවමාරුව සමාජ බලයක් වී ඇත. භාන්ඩ ලෝකයේ අවසන් මුදල් රූපාකාරය විසින් පුද්ගලික ශ්‍රමයේ සමාජීය ස්වභාවයද තනිතනි නිෂ්පාදකයන් අතර සමාජ සම්බන්ධතාද ආවරනය වී ඇත. ආසන්න අත්දැකීම් පිලිබඳව ලැබෙන ඉන්ද්‍රිය සංවේදනයෙන් ඊට හේතුව නොදත හැකි බව පැහැදිලි කල මාක්ස් එවන් චින්තන රූපාකරයන්ගෙන් වැසී පවතින ද්‍රව්‍යමය වෛෂයික පදනම, එනම්, භාන්ඩයක වටිනාකම තුල එය නිෂ්පාදනය සඳහා වැය කෙරුනු මිනිස් ශ්‍රමය ස්ඵටිකකරනය වී ඇති බව පෙන්වා දුන්නේය. මෙම හෙලිදරවු කිරීම් වලින් පෙන්නුම් කෙරුනේ ධනවාදය පෙරලා දැමීමේ ඓතිහාසික වෛෂයික විප්ලවවාදී අවශ්‍ය තාව යි.

චාමින්ද ඔහුගේ ගුරා අනුව යමින් "භාන්ඩ අධිවන්දනාව" පිලිබඳ න්‍යාය යොදාගෙන ඇත්තේ පරිපූර්න ප්‍රතිවිරුද්ධය අවධාරනය කිරීමටයි. මිනිසුන් අතර පවත්නා බව කියන පරිභෝජනවාදී ගිජුකමකට පහරදෙන ඔහු ධනපති වෙලඳපොල ආර්ථිකය විශ්වාසයන් මත පවතින යථාවක් බව ප්‍රකාශ කරමින් විඥානවාදී මනෝවිශ්ලේෂනයක් පැටවීමට උත්සාහ කරයි. කාබන් විමෝචනය වලක්වා ගැනීම සඳහා නම් එකිනෙකා පරයා බලශක්ති පරිභෝජනය කරන මහජනයාගේ "ජීවන ශෛලීන් වෙනස්කර ගැනීම" අවශ්‍ය බව ඔහු කියා සිටි.

චාමින්ද සිය ලිපියේ මෙසේ සඳහන් කර ඇත: "කාබන් විමෝචනය වලක්වන්නට නම් බලශක්ති පරිභෝජනය බරපතල ලෙස සීමා කරන්නට සිදුවේ. ගෝලීය ධනපති සමාගම් වෙතින් ඒ සඳහා එල්ල වනුයේ බරපතල විරෝධයකි...සරලව කිවහොත් පවත්නා අධිපති ධනවාදී මොඩලය තුල මේ ගැටලුවට විසඳුමක් නැත. ධනවාදී ක්‍රමය අපව වේගයෙන් ලෝක විනාශයක් කරා මෙහෙයවමින් සිටි."

ඔහු එසේ ප්‍රකාශ කරන්නේ ධනපතිවාදයට විරුද්ධ නිසා නොව නිර්ධන පන්ති විප්ලවය, නැතහොත් සමාජවාදී විප්ලවය කිසිසේත් ම ඊට විසඳුමක් නොවන බවට ද "අධිපති ධනවාදී මොඩලය" වෙනස් කර ධනවාදය තුලම විසඳුමක් සොයාගත හැකි බවට ද ව්‍යාජ තර්කයක් ගෙතීමටයි. ඔහු මෙසේ කියයි: "මෙතෙක් පැවති වාමාංශයේ ක්ෂනික ප්‍රතිචාරය වනුයේ නිර්ධන පන්ති විප්ලවය එකම විසඳුම බව ඉහත කී කරුනු වලින් සනාථ වන බවයි." බක පන්ඩිතයකු ලෙස ඔහු කියා සිටින්නේ "එවන් ක්ෂනික නිගමන සංකීර්නත්වය වටහා ගන්නට බාධාවක් විය හැකි" බවයි. මන්ද යත්.... "මෙම අර්බුදය ධනවාදයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා කෙරෙන් පැන නගින්නකට වඩා ධනවාදයත් එයින් පරිබාහිර ලෝකයත් අතර ප්‍රතිවිරෝධතා කෙරෙන් පැන නගින්නකි."

චාමින්ද ධනවාදයේ නිසග ප්රෙතිවිරෝධතා වලට පිටින් පවතින බව කියන එයත් "එයින් පරිබාහිර ලෝකයත් අතර ප්‍රතිවිරෝධතා" නැතහොත් "ධනවාදයෙහි පරිබාහිරත්වය" යනු කුමක් දැයි පැහැදිලිකර නැත. ධනවාදයේ "පරිබාහිරත්වය" පිලිබඳව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් ගෙනෙන තර්ක මෙවැනි ය: කර්මන්ත ශාලාවලින් පිටකෙරෙන දුමාරය නිෂ්පාදකයින් හිතාමතා ඇතිකරන දෙයක් නොවේ; ඒවා ධනවාදයෙහි "පරිබාහිරත්වයකි"; . "ඔවුන්ගේ ඉලක්කය දුමාරය නිර්මානය කිරීම නොවේ. දුමාරය නිෂ්පාදනයෙන් ඔවුන්ගේ ලාභ ඉහල නොයයි."

ධනවාදයත් එයින් පරිබාහිර ලෝකයත් අතර පවතින ප්‍රතිවිරෝධතා පිලිබඳ ඔහුගේ සූත්‍රය, ගෝලීය උනුසුම හා පරිසර විනාශයට ධනපති පන්තියේ පරිපූර්න වගකිම ආවරනය කොට එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් කෙරෙන තවත් තුච්ච ක්ෂමාලාපයකි.

ධනවාදයේ පරස්පරවිරෝධතා

මෙම මුග්ධ පකාශවලට ප්‍රතිකූලව, පරිසර විනාශය හා ගෝලීය උනුසුම නිසා ඇතිකෙරී පවතින අනතුර පමනක් නොව, ලඹදෙන තුන්වන ලෝක යුද්ධයක හදිසි අනතුර උද්ගත කරනු ලැබ ඇත්තේ ගෝලීය ධනවාදයේ නෛසර්ගික පරස්පර විරෝධතා විසිනි. කාල් මාක්ස් මෙම පරස්පර විරෝධතා හෙලිපෙහෙලි කරමින් ඓතිහාසික භෞතිකවාදී සංකල්ප මෙසේ පැහැදිලි කලේය:

"මිනිස්සු සිය පැවැත්ම සඳහා යෙදෙන සමාජ නිෂ්පාදනයේදී, ඔවුන්ගේ කැමැත්තට පිටින්, අනිවාර්යවූ නිශ්චිත සම්බන්ධතාවලට-- එනම් ඔවුන්ගේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග වල සංවර්ධනයේ අවධියට අනුරූපී වන නිෂ්පාදන සම්බන්ධතා වලට එලඹෙති. මෙම නිෂ්පාදන බලවේගවල සමස්තයෙන් සමාජයේ ආර්ථික ව්‍යූහය සමන්විතවෙයි. නීතිය හා දේශපාලන උපරිව්‍යූහය පැනනගින්නාවූ ද සමාජ විඥානයේ නිශ්චිත රූපාකාරයන් අනුරූපවන්නාවූ ද සැබෑ අත්තිවාරම මෙයයි. ....සංවර්ධනයේ යම් අවධියක, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග නැතහොත් මේ දක්වා ඒවා ක්‍රියාත්මකවූ දේපොල සම්බන්ධතා සමග ගැටුමට පැමිනෙයි. නිෂ්පාදන බලවේගවල වර්ධනයේ එම රූපාකාරයන් ඒවායේ විලංගු බවට පත්වෙයි. එවිට, සමාජ විප්ලවයන්ගේ කාල පරිච්චේදයක් ඇරඹෙයි." (A Contribution to the Critique of Political Economy, Preface, 20, 21p, Progress Publishers, 1984)

චාමින්ද සඳහන් කරන්නාක් මෙන්, මාක්ස් මෙම සමාජ විප්ලවය අචේතනික, ස්වයංක්‍රීය සන්තතියක් ලෙස දුටුවේ නැත. "මාක්ස් මෙසේ සඳහන් කලේය: " එවන් පරිවර්තනයන් පිලිබඳව හැදෑරීමේදී, ස්වභාවික විද්‍යා වේ නිශ්චිතතාවයෙන්, නිර්නය කරගත හැකි නිෂ්පාදනයේ ආර්ථික කොන්දේසිවල ද්‍රව්‍යමය පරිවර්තනය ද මෙම ගැටුම ගැන මිනිසුන් සවිඥානික වී එය සටන් කර විසඳා ගන්නාවූ නීතිමය, දේශපාලන, ආගමික, කලාත්මක සහ දාර්ශනික දෘෂ්ටිමය රුපාකාරයන් ද අතර වෙනස හඳුනා ගැනීම හැම විටම අවශ්‍යම වේ." (එම. p 21)

වත්මන් ධනවාදී අවධිය තුල මෙම අභ්‍යන්තර පරස්පර විරෝධතා ප්‍රකාශයට පත්වී ඇත්තේ කෙසේද? අතිශයින් ම ඉහල මට්ටමකට වර්ධනයවී තිබෙන, ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වන සමාජීය වූ නිෂ්පාදන බලවේග පුද්ගලික අයිතියේත් එය පාදකවී ඇති ජාතික රාජ්‍ය පද්ධතියේත් විලංගු තුල හිරවීම ලෙසය. ලාභය සඳහා ධාවනයේදී පරපුටු ධනේශ්වරය භුතලයේ පරිසරය නොතකා ව්‍යසනකාරී ලෙස ක්‍රියාත්මක වීම ගෝලීය කාලගුනික වෙනස්කම් වල මූලික හේතුවයි.

ධනපති ක්‍රමය තුල, මෙම නිෂ්පාදන බලවේග හසුරුවන වඩාත්ම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය (නිර්ධන පන්තිය) ඒවා මත පැටවී ඇති විලංගු බිඳදැමීමේ ඓතිහාසික අවශ්යවතාවය පිලිබඳව සවිඥානක වී ඒවා බිඳදැමිය යුතු ය. මේ කර්තව්යි සාක්ෂාත් කිරීමට කම්කරු පන්තියට විප්ලවවාදී පක්ෂයක් අවශ්ය වේ.

සියයට 99 ව්‍යපාරය හෙවත් ධනපති පෙරමුන

මාක්ස්වාදය හා සමාජවාදය ප්‍රතික්ෂේපකරන චාමින්ද ගෝලීය උනුසුම නිසා මනුෂ්‍ය වර්ගයාට අත්වෙමින් පවතින උග්‍රවන අනතුරට මුහුන දීම සඳහා ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? "ධනවාදී සංවර්ධන මොඩලය මේ අයුරින් ගෙන යනවා යනු මිනිස් වර්ගයා ඇතුලු සමස්ත ජීව ගෝලයම අනතුරේ හෙලීමකි...සරලව කිවහොත් පවත්නා අධිපති ධනවාදී මොඩලය තුල මේ ගැටලුවට විසඳුමක් නැත."

ඔහුට අනුව මේ විසඳුම දිය හැක්කේ කාටද? ".... නිර්ධනයා පමනක් නොව සමස්ත මිනිස් වර්ගයාම අද පැවැත්ම පිලිබඳ අභියෝගයට මුහුන දී තිබේ. අපගේ ජීව ගෝලය, අපගේ ආදරනීය නිවහන, විනාශ කරන සියයට එකක ගෝලීය ධනපතීන් සුලුතරයට එරෙහිව සෙසු සියලු ප්රඅජාවන් ආමන්ත්රමනය කරන ව්යානපාරයක් අද අවශ්යකවී තිබේ."

එනම්, මහා කතිපයාධිකාරීන් සියයට එකට එරෙහිව, ධනපතියන්, මධ්‍යම පන්තිය හා කම්කරු පන්තිය එක පෙරමුනකට ගෙන ආ යුතුය. අප මුලින් සඳහන් කල පරිදි, චාමින්ද මාක්ස්වාදයට හා නිර්ධන පන්ති විප්ලවයට පහර දෙන්නේ ඔහුගේ මෙම ප්‍රතිගාමී සංකල්ප හා ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමට ය. ඔහු යෝජනා කරන්නේ "අධිපතිවාදී ධනපති මොඩලය" ඉවත්කරගත් ධනපති මොඩලයකි! ලක්ලාව් හා එක්ව න්‍යායන් ගෙතූ මූෆ් කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගැසීම සඳහා ඉදිරිපත් කරන "ප්‍රති-හෙජමොනික" වාම ජනතාවාදී ව්‍යාපාරය එයයි.

මෙම සියයට එකට එරෙහිව සියයට 99 ව්‍යාපාරයෙහි පන්ති පදනම කුමක් ද? ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2019 ජනවාරි 3 දා ඉදිරිදර්ශන ලිපියේ සඳහන් කල පරිදි:

"ව්‍යාජ වමේ ව්‍යාපාර විසින් තොරොම්බල් කෙරන වාර්ගික, ලිංග භේද සහ ලිංගික අනන්‍යතා දේශපාලනය බැඳී පවතින්නේ ධනය බෙදීයාම සහ සංගත, විශ්වවිද්‍යල, වෘත්තීය සමිති සහ රාජ්‍ය යාන්ත්‍රනය තුල තනතුරු වලට පැනගැනීම ආදිය අරබයා ඉහලම සියයට 10 අතර පවත්නා ගැටීම සමගිනි.....එසේ ව්‍යාජ වම, සියයට 90 සිට 99 දක්වා ආදායම් හිමි ධනවත් රටවැසියන්ගේ පන්තිමය සහ ආර්ථිකමය අවශ්‍යතාවයන් පහල සියයට 90 සමඟ එකට ගලතා සමානකර කියාපෑම දේශපාලන වංචාවකි. 'සියයට 99යේ පක්ෂය' යනු අතිමහත් කම්කරු පන්තික ජනකායේ අවශ්‍යතා ධනපති ප්‍රභූවේ ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන්ට යටත් කිරීම සඳහා වන දේශපාලන සංවිධානයකට වඩා වැඩි දෙයක් නොවේ." (ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය , ජනවාරි 3).

සියයට 99 පදනම් කරගත් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ෂන්ටාල් මූෆ්‍ අනෙකුන්ට වඩා ඉහලම න්‍යායන් ඉදිරිපත්කර ඇතියි චාමින්ද පුරසාරම් දොඩයි. මූෆ් හා ඇගේ අනුගාමිකයන්ගේ දේශපාලන ක්‍රියාකලාපය මැනවින් හඳුනා ගත හැක්කේ ඔවුන් වර්නනා කරන වාම ජනතාවාදී ව්‍යාපාර දෙස බැලීමෙනි. ඇගේ For a Left Populism (වාම ජනතාවාදයක් සඳහා) නම්වූ කෘතියේ මේ දේශපාලනය විස්තාරනය කෙරී ඇත.

එක්සත් ජනපදයේ දී ඇය, ධනපති ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයෙකු වන, වාම වාචාල කතා පවත්වන නමුත් අධිරාජ්‍යවාදී පිලිවෙත් සම්බන්ධයෙන් මොනම වෙනසක් වත් නැති බර්නි සෑන්ඩර්ස් "පැහැදිලිවම වාම ජනතාවාදයක්" නියෝජනය කරන බව කියයි. බ්‍රිතාන්‍යයේ දී ලේබර් පක්ෂ නායකයා ලෙස ජෙරමි කොර්බින් පත්වීමත් සමග "ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නව උත්තේජනයක් දීමට වාම ජනප්‍රියවාදයට පවතින ධාරිතාව" ඔප්පු කර ඇත. කෝර්බින් බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිවලට පක්ෂ ය. ස්පාඤ්ඤයේ පොඩෙමොස්, ජර්මනියේ ඩි ලින්කේ, පෘතුගාලයේ බ්ලොකෝ ඩි එස්කුවෙයිර්දා, ප්‍රන්සයේ ල ප්‍රාන්ස් ඉන්සවුමයිස් ආදිය මූෆ්ගේ අනෙකුත් වාම වෙස්ගත් ජනප්‍රියවාදී සංවිධානයන්ගේ ක්‍රියා කලාපය ඊට වෙනස් නැත.

ඇයට අනුව "ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකෘතිමත් කිරීමට හා ගැඹුරු කිරීමට ප්‍රථමයෙන්ම පැමිනි ව්‍යාපාරය" ග්‍රීසියේ සිරිසා (රැඩිකල් වාම සභාගය) ය. "සමාජ ව්‍යාපාර සහ පක්ෂ දේශපාලනයන් අතර අන්තර්-ප්‍රතික්‍රියාකාරිත්වය ඇති කිරීම මගින් විවිධ වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වල සාමූහික අවශ්‍යතාවලට ප්‍රකාශනයක්" දුන් බව කී සිරිසා සංවිධානය සිදු කලේ කුමක්ද?

සිරිසා සංවිධානය වෙනුවෙන් ද්‍රෝහී ක්ෂමාලාපයක් ලියමින් ඇය මෙසේ කියන්නී ය. "අවාසනාවකට 'මූල්‍ය කුමන්ත්‍රනයකින්' ප්‍රතික්‍රියා කොට ට්‍රොයිකාවේ ආඥා පිලිගැනීමට තමන්ට බල කරමින් යුරෝපියානු සංගමය, දැක්වූ මුර්ග ප්‍රතිචාරය නිසා කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සිය වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සිරිසාවට නොහැකිවිය."

එය හුදෙක් බලයට එනවිට මහජන විරෝධය අවමන්ගත කිරීම සඳහා සිරිසා දුන් ව්‍යාජ පොරොන්දු කඩකිරීමක් පමනක් නොවේ. මෙම "වාම සභාගය" අවුරුදු හතර පුරා ට්‍රොයිකාව- එනම් යුරෝපා මහබැංකුව, යුරෝපියානු කොමිසම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ඇනවූ කප්පාදු වැඩපිලිවෙල මහජන ප්‍රතිරෝධය මඩිමින් ක්‍රියාවට දැම්මේය. එහි වැඩපිලිවෙල අවසානයේ පාර කැපුවේ "නව ප්‍රජාතන්ත්‍රවාදය" නම්වූ අන්ත දක්ෂිනාංශික පක්ෂයට බලයට ඒමටයි.

ඔහුගේ ලිපියේ ජාත්‍යන්තරවම--ඇමරිකාවේ, ප්‍රන්සයේ, ඉතාලියේ, ඉන්දියාවේ ආදී වසයෙන්--අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර නැගී ඇතැයි අනතුරු අඟවා ඇත. ඒවා ඉබේ වර්ධනය වනවා නොවේ. ව්‍යාජ වම්මු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට සතුරුව අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර පැනනැගීමට හා වර්ධනයවීමට තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටුකරති.

සුමිත් චාමින්ද හා ඔහුගේ ලංකාවේ සගයෝ මූෆ් තොරොම්බල් කරමින් කලෙක සිට මෙවන් ව්‍යාපාරයක් ගොඩනැගීමට වලිකෑවේය. ඔවුන් ග්‍රීසියේ කම්කරුවන්ට හා දුගීන්ට එල්ලවූ හා එල්ලවන ප්‍රහාරයන්ට දේශපාලනිකව සම්මාදන්වී ලංකාව තුල ද කම්කරුවන්ට හා දුගීන්ට එවැනිම විනාශයක් කැටීමට සූදානම් වෙති.

මාක්ස්වාදය හෙලාදැකීමට ව්‍යාජ "න්‍යායන්" ගෙතීම සඳහා චාමින්ද නොගන්නා තැතක් නැත. සමජවාදීන් ද ගෝලීය උනුසුම ඇතිකිරීමේ කතෘකයින් වීයයි ඔහු තවත් චෝදනාවක් ගොතයි. ඔහු එසේ කියන්නේ සෝවියට් සංගමයේ 1920 ගනන් අග පැනනැගුනු හා නැගෙනහිර යුරෝපයේ පැවති ස්ටැලින්වාදී ප්‍රති-මාක්ස්වාදී පාලනය "සැබවින්ම පැවති සමාජවාදයය" යන පට්ටගිය ව්‍යාජය තොරොම්බල් කරමිනි. ස්ටැලින්වාදී නිලධරය සමාජවාදය නියෝජනය කලේ නැත. එය නියෝජනය කලේ "තනි රටේ සමාජවාදය" නම්වූ ප්‍රතිගාමී න්‍යාය හා වැඩපිලිවෙලයි.

ග්‍රාම්ෂි වැලඳගැනීම

ධනවාදයේ පරස්පර විරෝධතා තියුනුවීමෙන් සහ "ධනවාදී ආර්ථික අර්බුදය අනිවාර්යයෙන්ම සමාජවාදී සමාජ විප්ලවයකට පරිවර්තනය කෙරේ" යයි මාක්ස්වාදීන් කියන බව ලිපියේ කිහිප තැනක චාමින්ද ලියා ඇත. ඔහුට අනුව, ෆැසිස්ට්වාදයේ නැගීම තුල ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුව සිටි අන්තෝනියෝ ග්‍රාම්ෂි "මුහුන දුන් සංසිද්ධිය" එය බව චාමින්ද කියයි.

සමාජවාදී විප්ලවය සාංසිද්ධික වර්ධනයක් ලෙස මක්ස්වාදීන් නොසලකන බව මාක්ස්වාදය ගැන අයන්න ආයන්න දන්නා අය දනිති. මෙය චාමින්දගේ කෙප්පයකි. ඉතාලියේ ෆැසිස්ට්වාදීන් ජය ගැනීමට තුඩු දුන්නේ දෙවන ජාත්‍යන්තරයේ සමාජවාදී පක්ෂයේ පාවාදීමයි. ග්‍රාම්ෂි "මුහුන දුන් සංසිද්ධිය" නම් ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින්වාදයට අනුගතවී ජාතිකවාදී ගොහොරුවේ ගිලීමයි. ලක්ලාවූ, මූෆ් හා ලංකාවේ හා ජාත්‍යන්තරව වයිවාරන්න පශ්චාත් නුතනවාදීන් ග්‍රාම්ෂි වැලඳගෙන සිටින්නේ මාක්ස්වාදයට පහර දීම සඳහා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සඳහන් කලාක් මෙන්: "ස්ටැලින්ගේ ජාතිකවාදී දිසානතිය ආරක්ෂා කිරීම පමනක් නොව එය න්‍යායිකව සහ දේශපාලනිකව යුක්තිසහගත කිරීම කල අය අතර අන්තෝනියෝ ග්‍රම්ෂි ද විය. ඔහු මෙසේ ලිවීය: 'සහතිකෙන්ම, වර්ධනයේ රේඛාව ජාත්‍යන්තරවාදයේ දිසාවට වුවත්, වෙන්වීමේ ලක්ෂ්‍යය 'ජාතික වේ'-- යමෙකු පටන් ගත යුත්තේ මෙම ලක්ෂ්‍යයෙනි.' " (Prison Notebooks, New York 1971, p 240). නෝර්ත් මෙම දේශපාලනයේ ඇඟවීම් දක්වමින් මෙසේ සඳහන් කලේය: "මුසෝලිනිගේ තන්ත්‍රය බිඳ වැටීමෙන් පසුව, ධනේශ්වරය සහ ඉතාලියානු ධනවාදය බේරා ගත්තාවූ ද ඉස්තරම්ම වාම ප්‍රතිසංස්කරනවාදී පක්ෂයක් බවට විකාශනය වුවා වූද ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂයේ පසුකාලීන ඉතිහාසය ගත්කල, ග්‍රාම්ෂිගේ එම ආස්ථානයේ දේශපාලන ඇඟවීම් සුපැහැදිලි ය."

ග්‍රාම්ෂි, ලියොන් ට්‍රොට්ස්කි වර්ධනය කල, 1917 රුසියානු විප්ලවයෙන් සනාථ වූ නොනවතින විප්ලව න්‍යායට විරුද්ධ විය. මාක්ස්වාදයට එරෙහි චාමින්ද වැන්නන් ග්‍රාම්ෂි වැලඳ ගැනීම මේ තතුතුල පුදුමයක් නොවේ.

ලෙනින්ගේ අරගලය විකෘත කරයි

මාක්ස්වාදයට ගැරහීමේ කොටසක් ලෙස චාමින්ද, සමාජවාදී විප්ලවය ජය ගැනීම සඳහා ලෙනින් ගෙන ගිය අරගලය ඔහුගේ පශ්චාත් නූතනවාදී, තත්කාර්යවාදී ගුලට රිංගවා ඊනියා ප්‍රති-හෙජමොනික ව්‍යාපෘතියට තල්ලුවක් දීමේ කැත උත්සාහයක ද යෙදෙයි. ඔහු මෙසේ සඳහන් කරයි:

"දැන් සියල්ල පවතින්නේ එම [වාම ජනතාවාදය සඳහා] අරගලයේ ජයපරාජය මත ය. පලමු ලෝක යුද්ධය ආරම්භවීමත්, දෙවන ජාත්‍යන්තරය බිඳී විසිරී යාමත් තවදුරටත් 'මහා අනෙකෙකු නොමැති බැව් වටහා ගත් ලෙනින් හරියටම ඒ මොහොතේදී රුසියානු විප්ලවය නමැති ක්‍රියාවට නව සමාරම්භකත්වයක් දුන්නාසේ ය. (ලෙනින්ගේ මහා අනෙකා හෙවත් සංකේතිය පියා වූයේ දෙවන ජාත්‍යන්තරයයි)."

මොහු මාක්ස්වාදයේ ඓතිහාසික උරුමය දරාගත් ලෙනින් සියවස් කාලක් පමන 1917 රුසියානු සමාජවාදී විප්ලවය දක්වා හා ඉන්පසුව ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත ගෙනගිය න්‍යායික හා දේශපාලනික අරගලය ගැන දන්නේ නැත; නැතහොත් ඒ පිලිබඳව ඔහුට පවතින්නේ ඉහල මධ්‍යම පන්තික පන්ති වෛරයයි.

ලෙනින් හා ට්‍රොට්ස්කි පලමු ලෝක යුද්ධය පිපිරී ඒමටත්, දෙවන ජාත්‍යන්තරය බිඳ වැටීමටත් දැක්වූ අනුභූතික ප්‍රතික්‍රියාවක් ලෙස රුසියාවේ සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය මෙහෙයවූවා යයි කීම ඉතිහාස විරෝධී කතාවකි. ලෙනින්ගේ අරගලය දීර්ඝ කාලීන සූදානම් වීමක් මත පාදක විය.

පලමු වන ලෝක යුද්ධය පුපුරා ඒමට මත්තෙන් එවන් තත්වයකට සූදානම් වෙමින් මාක්ස්වාදීන් 1907 ස්ටුට්ගාර්ට් හි සම්මේලනයක් පැවැත්වූ දෙවන ජාත්‍යන්තරය 1912 බැසෙල්හි අති විශේෂ සම්මේලනයක් කැඳ වුයේය. බැසෙල් සම්මේලනය ඊට පෙර සම්මේලනයේ ප්‍රකාශ කෙරුනු පරිදි තීන්දු කරනු ලැබුවේ යුද්ධයක් වැලැක්වීමට නොහැකිවී එය "පුපුරා එන්නේ නම්, එම පක්ෂවල යුතුකම වන්නේ එහි [යුද්ධයේ] ඉක්මන් අවසානය සඳහා මැදිහත් වීමත් යුද්ධයෙන් ඇතිකෙරෙන ආර්ථික හා දේශපාලන අර්බුදය මහජනයා අවදිකර ධනපති පන්ති පාලනය පෙරලා දැමීම වේගවත් කිරීමත්" සඳහා සටන් කිරීමට ය.

ලෝක යුද්ධයෙන් අත්විඳින්නට සිදුවූ ව්‍යසනයන් මධ්‍යයේ ජර්මනිය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් තුල දැවැන්ත විප්ලවවාදී කම්කරු අරගල පැනනැගුනි. සම්මුතිවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරවම අරගලයක යෙදුනු ලෙනින් ප්‍රමුඛ මාක්ස්වාදීන්ට බෝල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලබාදෙමින් රුසියාවේ විප්ලවවාදී නැගිටීම ජයග්‍රහනය කිරීමට හැකිවිය.

මුෆ් ඇතුලු ව්‍යජ වම්මුන් මෙලෙස මාක්ස්වාදයට නොයෙකුත් ප්‍රහාර එල්ල කරමින් වාම ජනතාවාදය නමින් ධනපති ගැති පෙරමුනක් යෝජනා කරන්නේ මුලික හේතු දෙකක් නිසා ය.

පලමුවැන්න, ධනවාදයේ ඓතිහාසික අර්බුදය යලි ගැඹුරුවන කොන්දේසි තුල සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව---ව්‍යාජ වම්මුන් විසින් අවලංගුවී ඇතැයි කී---කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තරව ම පුනර්ජීවනය වෙමින් එම පන්තිය යලි දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්න වීම ඇරඹීමයි.

ව්‍යාජ වම්මුන් භීතියට ලක්කර ඇති අනෙක් හේතුව වන්නේ මෙම වර්ධනයන් තුල සම්භාව්‍ය මාක්ස්වාදය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා කරන අරගලයට කම්කරුවන් හා තරුනයන් ආකර්ශනය වනු ඇත යන්න ගැනයි.

ජාත්‍යන්තරව මොවුන් සෑන්ඩර්ස්, කෝර්බින් සහ පොඩෙමොස්, සිරිසා ආදී සංවිධාන ඔජවඩවමින් කම්කරු පන්තිය කොටුකිරීමට ක්‍රියා කරන අතර චාමින්ද ඇතුලු පිරිස ලංකාවේද එවන් උපායන් ගැන ගනන් බලති. ඒ ඒ රටවල බලයගෙන පරපුටු ධනපති පන්තියේ අවශ්‍යතා සඳහා කම්කරු පන්තිය තලා දැමීමිට ක්‍රියා කරනු ඇති මෙම පාලක කල්ලි පරිසර විනාශය නැති කිරීමට ක්‍රියාකරනු ඇතියි චාමින්ද කරන ප්‍රකාශය දේශපාලන වංචාවකි. චාමින්දට "ආදරනීය නිවහනේ" ගින්න නිවීමට කිසිදු උවමනාවක් නැත. ඔහුගේ තදියම ධනපතිවාදය ආරක්ෂා කරගත හැකි පෙරමුනකට මහජනයා යට කිරීමයි.

චාමින්ද කලෙක සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගුරෙකු ලෙස ක්‍රියාකලේ එවන් පෙරමුනක් ඇටවීමට කොන්දේසි හදාගැනීමට යි. දැන් ඔහු සෑහෙන සෙනගක් රැස්කරගෙන අගෝස්තු 18 දා ගෝල්ෆේස් පිටියේ රැලියක් පැවත්වීම නිසා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ගිනිකන වැටී සිටියි. දේශපාලනිකව අතිශයින්ම දූෂිත ධනපති සංස්තාපිතයේ මෙම පක්ෂයට "වාමාංශික ජනතාවාදය" දෙසට ස්ථිරසාරව හැරෙන ලෙස චාමින්ද ඉල්ලා ඇත. එමගින් ඔහු අපේක්ෂා කරන භූමිකාව සලකන කල එම ඉල්ලීම මනාව ගැලපේ. ව්‍යාජ වම්මුන් රොත්තක් හා සාස්ත්‍රාලිකයින් පිරිසක් ජවිපෙ පෙරට ගැනීමට එලෙස ම ක්‍රියා කරති.

චාමින්දට අනුව, [මහජනයා අතර වැඩෙන කෝපයේ] "මෙවන් නිමේෂයක හමන ජනතා රැල්ලක් කිසිවෙකුත් අපේක්ෂා නොකරන තරම් බලගතු වූවක් විය හැකිය." (රාවය අගෝස්තු 25). මෙම මධ්‍යම පන්තිකයින් භීතියට පත්ව සිටින්නේ ජාත්‍යන්තර අර්බුදයේ කොටසක් ලෙස ලංකාවේ පාලක පන්තිය ගිලී සිටින දේශපාලන අර්බුදය මධ්‍යයේ සිදුවිය හැකි මහා සමාජ පිපිරීමක් ගැනයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය සහ අනෙකුත් ජාත්‍යන්තර සහෝදර පක්ෂ මෙවන් විප්ලවවාදී පිපිරීම් ඇතිවන කාල පරිච්චේදයකට සෑම රටකම කම්කරු පන්තිය එලඹ සිටින බව නිගමනය කර සමාජවාදය සඳහා අරගලය ජය ගැනීම සඳහා විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ යෙදී සිටී.

චාමින්ද ඇතුලු පශ්චාත් නුතනවාදීන් හා අවශේෂ ව්‍යාජ වම්මුන් වමාරන ප්‍රති-මාක්ස්වාදී න්‍යායන් තරයේ ප්‍රතික්ෂේප කර හිතනමතන කම්කරුවන්, තරුනයින් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන් බැරෑරුම්ව මාක්ස්වාදය දෙසට හැරිය යුතුය. ඔවුන් සඳහා විප්ලවවාදී සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සමාජවාදී සමානතා පක්ෂ යි. ඔවුන් සඳහා වන න්‍යායික හා දේශපාලන අවිය ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.

Share this article: