විශ්ව විද්‍යාල කම්කරුවන් දහස් ගනනක් කොලඹ දී විරෝධතා දක්වති

Thousands of Sri Lankan university workers demonstrate in Colombo

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 19

වැඩ වර්ජනය නතර කිරීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට ප්‍රතිවිරෝධීව, ආන්ඩුව කෙරෙහි පමනක් නො ව වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ කෙරෙහි ද කම්කරුවන්ගේ විරෝධය වැඩෙමින් පවතී.

වැටුප් වැඩිකිරීමක්, නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා අනෙකුත් ප්‍රතිලාභ පිලිබඳ තම ඉල්ලීම් සඳහා බලකිරීම පිනිස, 5,000කට අධික විශ්ව විද්‍යාල කම්කරුවෝ හා විධායක නිලධාරියෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) අසල සැප්තැම්බර් 18 දා විරෝධතාවක් පැවැත්වූ හ.

වැඩ වර්ජකයෝ නිදහස් චතුරස්‍රයේ සිට කිලෝමීටරයක් පමන පෙලපාලියකින් පැමින සටන් පාඨ හඬනගමින් යූජීසී පරිශ්‍රය ඉදිරිපිට පැයක පමන විරෝධතාවක් පැවැත්වූ හ. කොලඹ හා තදාසන්න ප්‍රදේශවලින් පමනක් නො ව, උතුර, නැගෙනහිර, දකුන හා කඳුකරයේ සිට පැමිනි විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන් හි කම්කරුවෝ දහස් ගනනක් විරෝධතාවට සහභාගි වූ හ.

අනධ්‍යයන කම්කරුවන් හා විධායක නිලධාරීන් 17,000 ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් 11දා අරඹන ලද අඛන්ඩ වැඩ වර්ජනය දැන් එහි දෙවන සතියට එලැඹ ඇත. කම්කරුවන් අතර සටන්කාමීත්වය වර්ධනය වෙද්දී, වෘත්තීය සමිති කිහිපයක සන්ධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුවට (අයියූටීයූ) ප්‍රසිද්ධ විරෝධතා මාලාවක් කැඳවීමට බලකෙරී ඇත.

වර්ජනයේ යෙදෙන කම්කරුවන්

සැප්තැම්බර් 16 දා කඳුකරයේ අගනගරය වන මහනුවර දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවන් 300 ක් පමන විරෝධතාවක් පැවැත්වූ හ. සැප්තැම්බර් 17දා විශ්ව විද්‍යාල පරිශ්‍රයන් ඇතුලත විරෝධතා කිහිපයක් පවත්වන ලදී. කොලඹ හා ඒ අවට විශ්ව විද්‍යාල සහභාගි වන ප්‍රධාන විරෝධතාවක් සැප්තැම්බර් 20 වන දා නුගේගොඩ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ වැඩ වර්ජනය පැවැත්වෙන්නේ, ඛාදනය වෙමින් පවතින ජීවන කොන්දේසි කෙරෙහි කම්කරුවන් මෙන් ම වෘත්තිකයන් අතර ද වැඩෙන විරෝධයේ මනෝගතියක් මධ්‍යයේ ය. සැප්තැම්බර් 18 දා තම වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් විරෝධතාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ කම්කරුවන් සිය ගනනක් කොලඹට රැස්වූ හ. සැප්තැම්බර් 17දා වන විට රට පුරා පිහිටි බස් ඩිපෝ 110කින් 80ක පමන කම්කරුවෝ වර්ජනයේ නිරත වූ හ.

ඒ අතර ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සේවකයන් දසදහස් ගනනක් සැප්තැම්බර් 18 දා වැටුප් වැඩිකිරීමක් ඉල්ලමින් වැඩ නැවැත්වූ අතර, ඔවුන්ගේ ඉල්ලීම ඉටු නො කල හොත් සැප්තැම්බර් 25දා සිට අඛන්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවට අනතුරු ඇඟවූ හ.

ලබන සතියේ සැප්තැම්බර් 26 හා 27 දෙදින 200,000කට අධික ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයේ යෙදෙනු ඇත.

විරෝධතාවේ යෙදෙන කම්කරුවන්

සැප්තැම්බර් 18 දා යූජීසීය ඉදිරිපිට පැවති රැස්වීමක දී කතා කල වෘත්තීය සමිති නායක ධම්මික ප්‍රියන්ත, සති දෙකක් ඇතුලත ඉල්ලීම් නො විසඳුව හොත් “තීරනාත්මක පියවරයන් ගන්නා” බව කීවේ ය. “තීරනාත්මක පියවරයන්” කවරේදැයි ඔහු විස්තර නො කල ද ඔහුගේ ඉලක්කය වූයේ, ආන්ඩුවට පීඩනය යෙදීම මගින් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරගත හැකිය යන්න කම්කරුවන්ට ඒත්තු ගන්වමින් කෝපය නිවා දැමීම යි.

බලධාරීන් විසින් සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා නැතැයි ප්‍රියන්ත වැලපුනේ ය. “ඇමතිවරයා (උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම්) මැදිහත් වෙලාවත් නැහැ” යි ඔහු කීවේ ය. ප්‍රියන්ත යනු අයියූටීයූට අනුබද්ධ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපතිවරයා ය.

යූජීසීයේ හා ඇමතිවරයාගේ ආකල්පය පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රදානය කිරීමේ අභිප්‍රායක් ආන්ඩුවට නැති බව යි. මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ තන්ත්‍රය, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සමාජ වැඩසටහන් මත වියදම් ඇතුලු ආන්ඩුවේ වියදම් කපාදැමීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට යොමු වී සිටී.

සමාජවාදී පිලිවෙත් මත, කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන දේශපාලන සටනක් ගොඩනැගීමට විරුද්ධ වන වෘත්තීය සමිති, කම්කරුවන්ගේ විරෝධය දක්ෂිනාංශික පක්ෂ පිටුපසට ගාල් කිරීමට ද්‍රෝහී ලෙස උත්සාහ කරමින් සිටිති. ඊයේ රැස්වීමේ දී කතා කල වානිජ හා කාර්මික සේවා කම්කරුවන්ගේ ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ නායක ජානක පෙරේරා, “මේ ආන්ඩුව මෙම ඉල්ලීම් ඉටු කරන්නේ නැත්නම් අපේ ආන්ඩුවක් එය කරනවා” යි ප්‍රකාශ කලේ ය.

පෙරේරාගේ සමිතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) අනුබද්ධ ය. දේශපාලන සංස්ථාපිතයේ අනෙක් කොටස් මෙන් ශ්‍රීලපොපෙ ද, වැඩෙන සමාජ විරෝධය තලා දැමීම සඳහා පොලිස් රාජ්‍ය පාලනයකට මාරුවීමේ අරමුනෙන්, බලයට පැමිනීම සඳහා ප්‍රබල උද්ඝෝෂනයක් ගෙන යයි.

වෘත්තීය සමිතිවල භූමිකාවට විපරීත ව, ආන්ඩුව කෙරෙහි පමනක් නො ව, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ කෙරෙහි ද කම්කරුවන්ගේ විරෝධය වැඩෙමින් තිබේ. පූර්වයෙන්, ජනාධිපතිවරනයක් කැඳවුව හොත් වැඩ වර්ජනය නතර කිරීමට සිදුවනු ඇතැයි වෘත්තීය සමිති ඉඟිකල හ. මැතිවරන කොමිසම සැප්තැම්බර් 18දා නිවේදනය කලේ ඔක්තෝබර් 7 දින ජනාධිපතිවරනය සඳහා නාමයෝජනා කැඳවා නොවැම්බර් 16 දින මැතිවරනය පවත්වන බව යි.

පෙලපාලියෙන් කොටසක්

එහෙත් බොහෝ අනධ්‍යයන කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කීවේ මැතිවරනය යොදාගෙන වර්ජනය නතර කිරීමට තමන් විරුද්ධ බව යි.

විරෝධතාවට සහභාගි වූ වයඹ විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් ඉහල යන ජීවන වියදම මධ්‍යයේ තමන් අත්දකින මූල්‍ය දුෂ්කරතා විස්තර කලේ ය. “අවුරුදු තුනක් තිස්සේ අපි මේ වැටුප් වැඩිවීම සඳහා සටන් කලත්, ආන්ඩුව අපේ ඉල්ලීම් නො තකා හැර තිබෙනවා. ආන්ඩුව අපේ ඉල්ලීම් ඉටුකරතැයි විශ්වාසයක් නැති උනත් පොදු සටනක් නිසා මම මේ විරෝධතාවට සහභාගි වුනා” යි ඔහු කීවේ ය.

“අපි මේ ආන්ඩුවට ඡන්දය දුන්න. ඒත්අප ව රැවැට්ටුව. එලඹෙන මැතිවරනයේ දී යූඑන්පී, ශ්‍රී ලංකා, පොදුජන පෙරමුන යන ඒවායින් කවර ආන්ඩුවක් බලයට ආවත්, අපට ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි ලබා දෙතැයි මා විශ්වාස කරන්නේ නැහැ. ජේවීපී එකත් ඊට වෙනස් නැහැ. බලයට එනකල් පොරොන්දු දෙන මේ සියලු පක්ෂ ඉන්පසු ඒවා අමතක කරනවා.

ධනපති දෙමල ජනතා කවුන්සිලය (ටීපීසී) විසින් පසුගිය සතියේ පැවැත්වූ “දෙමලුනි නැගිටිව්” (එලුහ තමිල්) යන ප්‍රතිගාමී ජාතිකවාදී විරෝධතාවට සහභාගි වන ලෙස ඉල්ලා අනධ්‍යයන කම්කරුවන්ගේ යාපනය විශ්ව විද්‍යාාල සමිති ශාඛාව, සැප්තැම්බර් 12 දා ප්‍රකාශයක් නිකුත් කලේ ය. එය වෘත්තීය සමිතිවල භූමිකාව යහමින් ප්‍රදර්ශනය කෙරුනු අවස්ථාවකි.

පොලීසිය සීරුවෙන්

මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ට කැඳවුම් කරමින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) යාපනය ශාඛාව පත්‍රිකාවක් බෙදා හලේය. එහි මෙසේ සඳහන් විය: “දකුනේ, උතුරේ හා නැගෙනහිර ජනයාට, එක් ව්‍යසනයකට පසු තවෙකක් ගෙන ආ ධනපති පන්තියේ ක්‍රියාමාර්ගවලින් දෙමල ජනයා මෙන්ම, සිංහල හා මුස්ලිම් වැසියන් ලේවැකි පාඩම් උගෙන තිබේ.”

“කිසිම තැනක කම්කරුවන් ධනපති පක්ෂවල වලිගයක් නොවිය යුතුය. “ජාතික විසඳුමක්” සඳහා මොරදෙන ජාතිකවාදය කම්කරුවන් බෙදන හලාහල වසක් වන අතර, ඔවුන් ව ධනපති පක්ෂ පිටුපස ගාල් කරයි.”

“දකුනේ, ඉන්දියාවේ හා ජාත්‍යන්තර තම පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙමින් ඔවුන් සමග එකමුතු විය යුතු දෙමල කතා කරන කම්කරුවන් ඔවුන්ගේ අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව සටන් වැදිය යුතු ය. සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මතත් ජීවන කොන්දේසි මතත් එල්ලවන ප්‍රහාරයන්ගේ මූලය වන්නේ, ලෝක ධනවාදයේ කොටසක් වන ශ්‍රීලංකාවේ ධනවාදය යි.

කම්කරුවන් සමග සාකච්ඡා කරන සසප සාමාජිකයෙක් (දකුනේ)

සසප කැඳවුමට යාපනය විශ්ව විද්‍යාලයේ කම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ ප්‍රතිචාර දැක්වූ හ. නම හෙලිකිරීමට අකමැති වූ කම්කරුවෙක් මෙසේ කීවේ ය: “අපි (ටීපීසී) නායක විග්නේස්වරන් ව දන්නවා. (ඔහු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවකු ව සිටිය දී) ඔහු සිටියේ කොලඹ පාලකයන් සමග. දැන් ඔහු දෙමල වැසියන් ගැන කතා කරනවා. අපිට සිංහල හා දෙමල වැසියන් අතර කිසිදු බෙදීමක් අවශ්‍ය නැහැ. රටේ සිවිල් යුද්ධයට මග පෑදුවේ හරියට ම එවැනි පිලිවෙතක්. ඔබේ පත්‍රිකාව තුල කියන දේ සමග අපි එකඟයි.”

ආන්ඩුවේ සහ, සමස්තයක් ලෙස පාලක පන්තියේ දේශපාලන අර්බුදය ගැඹුරු වෙද්දී, කම්කරුවන්ගේ අරගල මැඩීමට වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස උත්සාහ කරති. ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් සටන තම අතට ගත යුතු බවත්, සමාජවාදී පිලිවෙත් සඳහා සටනේ පදනම මත ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය කැඳවුම් කරමින් තම අරගලය ව්‍යාප්ත කලයුතු බවත්, වර්ජනය ආරම්භයේදී, සසප අනධ්‍යයන කම්කරුවන්ට අවධාරනය කලේ ය.

Share this article: