ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ පුහු ජාතික නිදහස් සැමරුම

Sri Lanka: The ruling elite’s hollow national independence celebrations

කේ. රත්නායක විසිනි, 2020 පෙබරවාරි 6

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් සිය අන්තේවාසික දේශීය ධනේශ්වරයට දේශපාලන බලය නිල වශයෙන් භාර දුන් දිනය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය උජාරුවෙන් සැමරුවේය.

විශ්ව විද්‍යාල සිසුන් කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පැවැත්වූ රැලියක්

නිදහස් දිනයේ වැදගත්කම පිලිබඳව මාධ්‍ය විසින් ලිපි පලකලේ ශ්‍රී ලංකාවේ දශක හතකට වැඩි ධනවාදී පාලනයේ නින්දිත වාර්තාව ප්‍රවේශමෙන් ආවරනය කරමිනි.

“නිදහසින් වසර 72 කට පසු අප දැන් සිටින්නේ කොතන ද?” යනුවෙන් සඳහන්, පිටුවක් පුරාවූ ලිපියක් ඬේලි මිරර් පුවත්පතේ පල විය. එහි මෙසේ සඳහන් විය: “අපි නිදහස ලබා ගත් කල, එය සමෘද්ධිය කරා ගමන් කිරීමේ සම්භාව්‍ය ආකෘතිය විය. අහෝ, එය එසේ සිදු වූයේ නැත... ”

කෙසේ වෙතත්, ධනවතුන් හා දුප්පතුන් අතර සමාජ අසමානතාව, ප්‍රදේශ අතර ආර්ථික විෂමතා සහ දූෂිත දේශපාලනඥයන් ගැන සඳහන් කරමින් තීරු රචකයා නමුත් අවධාරනය කලේ “වසර ගනනාවක් තිස්සේ බොහෝ ආතතීන් හා පීඩනයන් මධ්‍යයේ වුව ද, [රට] නොනැසී පැවති අතර ඇතැම් විට සමෘද්ධිය පවා අත්කරගෙන තිබෙන”‍ බවයි.

සන්ඬේ ටයිම්ස් කතුවැකිය, “සැමරීමට යමක් තිබේද?” යනුවෙන් විමසමින් වංක ලෙස පිලිතුරු දුන්නේ, “විවේචන තිබියදීත්, සමහරුන් අතීතය දෙස කනස්සල්ලෙන් බැලු‍ව ද රටේ ධනාත්මක දේ බොහෝය” යි සඳහන් කරමිනි.

මෙම ව්‍යාජ අපේක්ෂාවන් ප්‍රචාරය කෙරුන ද කම්කරුවන් සහ දුප්පතුන් අතර නිදහස් දිනය පිලිබඳ කිසිදු උද්‍යෝගයක් නොතිබුනි. පසු ගිය සති කිහිපය තුල කොලඹ වීදිවල දකින්නට ලැබුනේ, තරුන කම්කරුවන් හා සිසුන් දහස් ගනනක් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදෙන ආකාරයයි.

නිවාස අධිකාරියේ සේවකයින් කොලඹදී උද්ඝෝෂනය කරයි

පසුගිය සතියේ පමනක්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නිවාස හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු, ඩෙංගු තුරන් කිරීමේ ව්‍යාපාරය සහ අභ්‍යාසලාභී ගුරුවරුන් දහස් ගනනක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය කලහ. පසුගිය මාස දෙක තුල රාජපක්ෂගේ ආන්ඩුව විසින් මෙම කම්කරුවන් රැකියා වලින් නෙරපා හැර තිබේ. පෙබරවාරි 4 සැමරුමට දිනකට පෙර සහ ඊට පසු දින දහස් ගනනක් සිසුහු, රැකියා සුරක්ෂිතභාවය සහ යහපත් අධ්‍යාපන පහසුකම් ඉල්ලා කොලඹට පා ගමනින් ගොස් උද්ඝෝෂනාවල යෙදුනාහ.

මෙම උද්ඝෝෂන පෙන්නුම් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයගේ සමගි ආන්ඩුව සමයේ ආරම්භ වූ විරෝධතා සහ වැඩ වර්ජනවල අඛන්ඩතාව පෙරට යාමයි. නැගී එන මෙම සමාජ විරෝධයට මුහුන දුන් අපකීර්තිමත් එම ආන්ඩුව දෙකඩ වී ගියේය.

රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන මෙම මහජන විරුද්ධත්වය ගසාකන අතරම දෙමල හා මුස්ලිම් ජනවර්ගයන්ට එරෙහි සිය ජාතිවාදී ප්‍රචාරය වේගවත් කලහ. පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක්ම, කම්කරු පන්තිය සහ දුප්පතුන් බෙදීම සඳහා වර්ගවාදය දිගටම යොදා ගනිති.

මහා ව්‍යාපාරිකයින් සඳහා “ශක්තිමත් හා ස්ථාවර” පාලනයක් ස්ථාපිත කරන බවට පොරොන්දු දුන් ජනාධිපති, කම්කරු පන්තියට එරෙහිව දැඩි පන්ති යුද්ධයක් සඳහා සූදානම් වෙමින් ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රධාන තනතුරු සඳහා පත් කරමින් සිය පාලනය මිලිටරීකරනය කරමින් ද සිටී.

ඇත්ත වශයෙන්ම දැන් පුපුරා යන අරගල, සිය මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භංග වීම පිලිබඳව කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන්ගෙන් පලවන දැඩි කෝපයේ ප්‍රකාශනයකි. ඒවා විසඳීමට පාලක පන්තියට කිසි විටෙකත් හැකි වූයේ නැත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු වෙනත් ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවන් දහස් ගනනක් සම්බන්ධවී කොලඹ පැවති උද්ඝෝෂනය

ලංකාවේ පාලක ප්‍රභුව ව්‍යාජවත්, නිර්ලජ්ජිතවත් කියාපාන ආකාරයට මීට අවුරුදු හැත්තෑ දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව “ලේ නොසෙල්වූ අරගලයකින්” නිදහස දිනා ගත්තා නොවේ.

පසුව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) පිහිටුවා ගත් ලංකා ජාතික කොන්ග්‍රසයේ සංවිධානය ව සිටි ශ්‍රී ලාංකික ප්‍රභූව, 1946 දී නිදහස ඉල්ලා සිටියේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ බි්‍රතාන්‍ය කිරීටය යටතේ ඩොමීනියන් තත්ත්වය පමනි. කොලඹ පාලක ප්‍රභූව අතට බලය පැවරීමේ දේශපාලන විධිවිධාන සංවිධානය කරනු ලැබුවේ, ලන්ඩනයේ සිය යටත් විජිත ස්වාමිවරුන් සමඟ එක්ව, කැරලිකාර කම්කරුවන්ට එරෙහි කුමන්ත්‍රනයකිනි.

ඉන්දියාවේ කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ නැගී එන විප්ලවවාදී කැලඹීමකට මුහුන දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය, “ස්වාධීනත්වයේ” නාමයෙන් ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ සහ මුස්ලිම් ලීගයේ නායකයින් සමඟ සහයෝගයෙන් 1947 දී උප මහාද්වීපය බෙදීමට හා හින්දු ඉන්දියාවක් සහ මුස්ලිම් පාකිස්තානයක් ඇති කිරීමට කටයුතු කලේය. මෙම බෙදීම ජාතිවාදී ප්‍රචන්ඩත්වය අවුලු‍වනු ලැබූ අතර මිලියන ගනනක් ඝාතනය විය. ඉන්දියානු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙම ප්‍රතිගාමී කැබලිකිරීමට සහාය දැක්වීය.

ඉන්දු උප මහාද්වීපයේ හතරවන ජාත්‍යන්තරයේ එවකට පැවති ශාඛාව ලෙස ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) කලාපයේ ඊනියා ස්වාධීනත්වයේ ව්‍යාජ ස්වභාවය හෙලි කරමින්, එය, අධිරාජ්‍යවාදය “සෘජු පාලන ක්‍රමවල සිට වක්‍ර ක්‍රම කරා මාරුවීමක්” පමනක් බව පැහැදිලි කලේය.

ශ්‍රී ලංකාව පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින්, 1948 පෙබරවාරි 4 වන දින බීඑල්පීඅයි මෙසේ ප්‍රකාශ කලේය: “මේ රටේ ජනතාව සැමරීමට යමක් තිබේද? ඉහත ප්‍රශ්නයට බීඑල්පීඅයි හි පිලිතුර පැහැදිලිවම හා එකඑල්ලේම නැත! යන්නයි. නව තත්වය [ඔවුන් ලබාගත් දේ] ‘ස්වාධීනත්වය‘ නොව, ඇත්ත වශයෙන්ම, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට ඇති ලංකාවේ වහල්භාවය පිලිබඳ දම්වැල් අලු‍ත් කිරීමකි.”‍

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පොලිසියට මුහුන දුන් කම්කරුවන්

කෙසේ වුව ද, බීඑල්පීඅයි 1950 දී ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගත් නමුත් ජාතිකවාදී දිශානතියක් සහිත වූ ලංකා සම සමාජ පක්ෂයට (ලසසප) ඇතුලු වූවත්, එහි ප්‍රබල පුරෝකථනය ඊලඟ දශක කිහිපය තුල සනාථ විය.

නව එජාප ආන්ඩුවේ පලමු ක්‍රියාව වුයේ, ඉන්දියානු සම්භවයක් සහිත මිලියනයකට අධික දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමයි. හිතාමතා ගෙන ආ මෙම පනතෙහි අරමුන වූයේ, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය අවුලු‍වාලීමයි. පාලක ප්‍රභූවේ අර්බුදය ගැඹුරු වෙත්ම, සිංහල ස්වෝත්තමවාදයේ වස විස ද කැලතීම ද උග්‍ර කෙරුනි.

ග්‍රාමීය දුප්පතුන්ගේ සහය ලබමින් 1953 අගෝස්තු මාසයේදී රටපුරා කම්කරුවන් අර්ධ නැඟිටීමකට එලඹි වහාම, අලු‍තින් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, (ශ්‍රීලනිප) රටේ රාජ්‍ය භාෂාව බවට සිංහල භාෂාව පත්කිරීමේ සිය ප්‍රතිගාමී “සිංහල පමනක්” ව්‍යාපාරය ආරම්භ කලේය.

ලසසප දේශපාලන පරිහානිය සහ අර්බුදයේ ගිලෙන පාලක ප්‍රභූව එයට අනුගත වීම, ධනපති පක්ෂවලට මෙම ස්වෝත්තමවාදය අවුලු‍වාලීමට උපකාරී විය.

කම්කරුවන් ජනවාර්ගික බෙදීම් නොතකා ඉල්ලීම් 21 ව්‍යාපාරය වටා පෙලගැසෙද්දී 1964 දී ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවා දී අගමැති සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට සම්බන්ධ විය. ලසසප දේශපාලන පාවාදීම සූදානම් කලේ, ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල්ගේ නායකත්වයෙන් යුත් හතරවන ජාත්‍යන්තරයේ අවස්ථාවාදී කන්ඩායම විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-ලසසප-ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ සභාග ආන්ඩුව විසින් පනවන ලද 1972 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී ලසසප නායකත්වය ප්‍රමුඛ කාර්යයක් ඉටු කලේය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, වර්ගවාදය තව දුරටත් ශක්තිමත් කරන ලද අතර බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් සිංහල රාජ්‍ය භාෂාව ලෙසත් ප‍්‍රකාශයට පත් කලේය.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ග්‍රාමීය තරුන තරුනියන් අතර මුල්බැස ගැනීමට ලසසප පාවාදීම උදව් විය. කස්ත්‍රෝවාදය, මාඕවාදය සහ සිංහල දේශප්‍රේමය යන මතවාදී අච්ඡාරුවක් දේශනා කරමින් ජවිපෙ, ග්‍රාමීය තරුන තරුනියන් කම්කරු පන්තියෙන් ඈත් කලේය. ලසසප ද්‍රෝහිකම කම්කරු පන්තිය තුල දෙමල ජාතිකයින්ගේ බලාපොරොත්තු සුන් කල අතර, දෙමල ජනතාව අතර බෙදුම්වාදයට අනුකූලතාවක් දිනා ගැනීම සඳහා, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) මග පෑදීය.

සභාග ආන්ඩුවට සහ ලසසප පාවාදීමට එරෙහි විරෝධය ගසාකමින්, අපකීර්තියට පත්ව සිටි දක්ෂිනාංශික එජාපයට, 1977 දී බලයට පත්වීමට හැකි විය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ එජාප ආන්ඩුව, අත්තනෝමතික විධායක ජනාධිපති ධුරයක් ඇතිකර “විවෘත වෙලඳපොල” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. ගෝලීයකරනය වූ නිෂ්පාදන ක්‍රියාවලීන් සමඟ රට ඒකාබද්ධ කරමින්, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවට කැඳවන ලදී. රජයේ සේවකයින් 1980 ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව මහා වැඩ වර්ජනයක් ආරම්භ කල විට ජයවර්ධන කම්කරුවන් 100,000 ක් රැකියා වලින් නෙරපා හැරියේය.

“නිදහස් වෙලඳපොල” ප්‍රතිපත්ති දිගටම ගෙන යමින්, ජයවර්ධන ආන්ඩුව ක්‍රමානුකූලව දෙමල විරෝධී වර්ගවාදය උසිගැන්වීම මඟින්, දශක තුනකට ආසන්න කාලයක් රට විනාශ කල යුද්ධය, 1983 දී අවුලු‍වනු ලැබින.

දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරු පන්තියට එරෙහිව, 1988 - 1990 කාලය තුල ක්‍රියාත්මකවූ ජවිපෙ ෆැසිස්ට් ව්‍යාපාරයට ජනාධිපති ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, ග්‍රාමීය තරුනයන් මැඬීම සඳහා මිලිටරිය, පොලීසිය හා ඝාතක කන්ඩායම් මුදා හරිමිනි. මෙම කුරිරු මර්දනයෙන් තරුනයින් 60,000 ක් පමන ඝාතනය විය.

මෙම ලේවැකි ගැටුමේ අවසන් වසර කිහිපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ අතර ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, නිරායුධ දෙමල සිවිල් වැසියන් 40,000 කගේ ජීවිත බිලිගත් අවසන් සති කිහිපයත් සමඟ 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් විය.

අද වන විට දෙමල ජනයා බහුතරයක් ජීවත් වන උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මිලිටරි පාලනය සහ වාඩිලෑම දිගටම පවතී.

නිල දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ධනවත්ම සියයට 20 මුලු කුටුම්භ ආදායමෙන් සියයට 52.8 ක් හිමිකර ගන්නා අතර දුප්පත්ම සියයට 10 ලැබෙන්නේ සියයට 1.8 ක් පමනි. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වඩ වඩාත් වියදම් කපාහරින අතර පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ රෝහල් දිගටම ඉහල යන ලාභ උපයයි.

සියල්ලටත් වඩා, පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමකගේම අනුග්‍රහය සහිතව රට මත අධිරාජ්‍යවාදී ග්‍රහනය දැඩි වෙමින් තිබේ. 2015 දී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර සිරිසේන බලයට ගෙන ඒම සඳහා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කලේය. රාජපක්ෂ චීනයට වඩා සමීප යැයි සැලකූ වොෂින්ටනය, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි සැලසුම් පිටුපස පෙල ගැසෙන ලෙස ශ්‍රී ලංකාවට බල කලේය.

මෙම දේශපාලන මෙහෙයුමට ව්‍යාජ වම, ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහාය විය. නව රාජපක්ෂ පාලනයෙන් ලැබෙන වරප්‍රසාද සඳහා හිලව් වශයෙන්, එක්සත් ජනපද භූදේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීමට, දෙජාස විවෘතව ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ ඇතිකරගත් මිලිටරි බැඳීම් වලින් හා චීනයට එරෙහි එහි යුද්ධ සැලසුමෙන් බැහැර නොවන ලෙසට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ගෝඨාභය රාජපක්ෂ ට අනතුරු අඟවා තිබේ. එපමනක් නොව, පැවති කොන්ග්‍රස් ආන්ඩුව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වත්මන් පාලනය යටතේ ඉන්දියාව, බීජිනයට එරෙහි වොෂින්ටනයේ යුද සැලසුම්වල පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ.

පෙබරවාරි 4 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ “තෘප්තියට යම් හේතුවක්” ඇති බව ප්‍රකාශ කලේය. “අපි දැන් යලිත් වරක් ස්වර්නමය යුගයක් අද්දර සිටින්නෙමු.”

මෙය අමූලික මුසාවකි. ලොව පුරා සිටින සිය සහචරයන් මෙන්ම නව රාජපක්ෂ තන්ත්‍රය, වඩ වඩාත් සටන්කාමී වන කම්කරු පන්තියට මුහුනදීම සඳහා වේගයෙන් ආඥාදායක ක්‍රමවේදයන් අනුගමනය කරයි.

ධනේශ්වර පන්තියේ අවුරුදු හැත්තෑ දෙකක කුරිරු පාලනය, නැවත වරක් සනාථ කරනු ලබා ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායයි. ධනේශ්වර වර්ධනය කල් පසුවූ රටවල ධනපති පන්තියට, අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමට හෝ තීරනාත්මක සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳීමට නොහැකිය.

මෙම කාර්යයන් සාක්ෂාත් කරගත හැක්කේ ලෝක සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස, කම්කරු පන්තියට පමනි. සෑම රටකම ගෝලීයකරනය වූ නිෂ්පාදනය හා බෙදා හැරීම පෙර නොවූ විරූ මට්ටමකින් ජාත්‍යන්තර කම්කරු පන්තිය එකට එකතු කර තිබේ.

විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය නමින් 1968 දී පිහිටවූදා සිට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සමාජවාදී සමානතා පක්ෂය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කර තිබේ. මෙම පදනම මත සසප, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා- ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කරයි. මෙම අරගලයට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: