එක්සත් ජනපද ප්‍රචාරක යාන්ත්‍රනය කසීම් සුලෙයිමානිගේ ඝාතනය සාධාරනීකරනය කරයි

The US propaganda machine justifies the assassination of Qassem Suleimani

2020 ජනවාරි 7

කසීම් සුලෙයිමානි ඝාතනය කිරීම හෙලාදැකීම පිනිස පසුගිය දින දෙක පුරා මිලියන ගනන් ජනයා ඉරානයේ හා ඉරාකයේ නගරවල පෙලපාලි පවත්වා ඇත. ඝාතනයට දක්වන ප්‍රතිචාරය, ට්‍රම්ප් පරිපාලනය, ඩිමොක්‍රටික් පක්ෂය හා මාධ්‍ය විසින් නීති-විරෝධී යුදමය ක්‍රියාවක් සාධාරනීකරනය කිරීමට ගොඩනගනු ලබන ආඛ්‍යානය ඛන්ඩනය කරයි.

ඝාතනයෙන් පැය කිහිපයක් ඇතුලත, යෝධ ඇමරිකානු ප්‍රචාරක යාන්ත්‍රනය “නරක මිනිසා” න්‍යායයේ කිසිදා අවසන් නො වන දේශපාලනය පිලිබඳ නවතම නවීකරනයන් කැලතීම ආරම්භ කලේ ය. තවත් ඇමරිකානු-විරෝධී අනර්ථකාරකයෙකුට ඔහුට සුදුසු අතුරුපස ලැබී තිබුනි.

ට්‍රම්ප්ගේ මුග්ධ හා පරපීඩාකාමී අන්තර්හාසය ඒවායේ අනිවාර්ය වෘන්දය සොයාගෙන ඇත. සීබීඑස්හි “ජාතියට මුහුන දෙන්න” වැඩසටහනේ සත්කාරිකා මාගරට් බ්‍රෙනන් “කසීම් සුලෙයිමානි මහජනයා ඝාතනය කිරීම මෙහෙයවූවා” හා “කලාපයේ දහස් ගනනක් ජනයා මරා දැමුවා” යි ප්‍රකාශ කල අතර, එම ප්‍රකාශයන් රූපවාහිනී ජාල තුල වාර සියගනනක් ප්‍රතිරාවය කරනු ලැබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් යයි කියා ගන්නා අය ඇතුලු‍ ගනන් නැති දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරයන් තුලට මෙම පිටපත ඇතුලත් කරගන්නා ලදී.

ජනවාරි 3දා එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කරන ලද ජනරාල් කසීම් සුලෙයිමානි හා ඔහුගේ සහෝදර නිලධාරීන්ගේ අවමංගල උත්සවයට සහභාගි ව හඬාවැටෙන්නන්, 2020 ජනවාරි 6 සඳුදා. (ඒපී පුවත්, ඉරාන ශ්‍රේෂ්ඨ නායකයාගේ කාර්යාලය)

“සුලෙයිමානි මරන දහස් ගනනකට වගකිව යුතු මිනීමරුවෙක් විය” යි ජනාධිපති අපේක්ෂිකා එලිසබත් වොරන් හඬතැලී ය. “ඇමරිකානු භටයන්ට හා කලාපය පුරා අහිංසක වැසියන් දහස් ගනනකට එරෙහි අපරාධ හේතුවෙන් ඔහුට නිසි දඬුවම් දිය යුතු විය” යි හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ඊට එකතු කලේ ය.

ඝාතනයේ උපායාත්මක විපාක සහ ආරක්ෂක සංස්ථාපිතයට සම්බන්ධ කොංග්‍රස් නායකයින්ගේ විමසීමට හා මොන ම ආකාරයක හෝ එලඹෙන අන්තරායකට එක්සත් ජනපදය මුහුන දී සිටි බවට සාධනය කිරීමට ට්‍රම්ප් අසමත් වීම අරබයා නො එකඟතාවන් හා උත්සුකයන් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුන ද සුලෙයිමානි ව ඉලක්ක කරගැනීම ගැන කිසිදු හෙලාදැකීමක් කිරීම පසෙක තිබියේවා, මෙම ඝාතනයේ ලජ්ජා විරහිත අපරාධකාරීත්වයට එරෙහි විරෝධයක් පැවතී නැත.

අභියෝගයට ලක් නො කරන දේශපාලන ආඛ්‍යානයෙහි තීරනාත්මක අංශය වන්නේ ඝාතනය සදාචාරාත්මක ව සුජාතකරනය කිරීම යි.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමානිගේ ජීවිතය යම් මට්ටමක අවංකත්වයකින් යුතුව ඉදිරිපත් කිරීමට, වසර 70කට වැඩිකලක් තිස්සේ ඉරානයේ හා සමස්ත මැද පෙරදිග කලාපයේ මහජනයාගේ අවශ්‍යතා විනාශ කිරීමේ දී එක්සත් ජනපදය හා අනුප්‍රාප්තික ජනාධිපති පරිපාලනයන් විසින් ඉටුකර ඇති දේශපාලනික ව සාපරාධී හා සදාචාරාත්මක ව අපචාරී ක්‍රියාකලාපය පිලිගැනීම අවශ්‍ය කරනු ඇත.

පලමුව සමහර මූලික කරුනු ගනිමු. කසීම් සුලෙයිමානි ත්‍රස්තවාදියෙක් හෝ මිනීමරුවෙක් නො වී ය. ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරියෙක් හා දේශපාලන නායකයෙක් වූ ඔහු, මිලියන 82ක් වෙසෙන රාජ්‍යයක රාජ්‍ය-තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස නිල වසයෙන් ඉරාකයට ගමන් කරමින් සිටියේ ය.

ඉරානය හා සවුදි අරාබිය අතර සාම සාකච්ඡා ගැන කතාකිරීම සඳහා ඉරාක අගමැති මුනගැසීමට ඔහු ඉරාකයට ලඟා වී සිටියා පමනි. ජනවාරි 5දා ඉරාක අගමැති අදිල් අබ්දුල්-මහ්දි රටේ පාර්ලිමේන්තුවට කී පරිදි “සුලෙයිමානි ඝාතනය කරන ලද දින උදෑසන මා ඔහු මුනගැසීමේ අපේක්ෂාවෙන් සිටියා, ඔහු ආවේ මට පනිවිඩයක් දෙන්න.”

සුලෙයිමානිට හානියක් වීමේ තර්ජනයක් නැත යන හැඟීම ගෙනදෙමින් ට්‍රම්ප් තමන්ට රාජ්‍ය-තාන්ත්‍රික උත්සාහයන් ගැන පුද්ගලික ව ස්තුතිය පලකර තිබුනු බව අබ්දුල්-මහ්දි කීවේ ය. එහෙත්, පැය ගනනක් ඇතුලත, ඉරාන ජනරාල්වරයා මැරී තිබුනේ ඉරාකයේ ස්වෛරීත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් යයි අබ්දුල්-මහ්දි හෙලාදුටු ක්‍රියාවක ප්‍රතිඵලය ලෙස යි.

1957 මාර්තු 11 දා ගොවි පවුලක සුලෙයිමානි උපත ලද්දේ ය. ආන්ඩුවෙන් ලබාගත් නයක් ගෙවීමට අසමත් වීම හේතුවෙන් ඔහුගේ පියා බංකොලොත්භාවයට හා සිරගත කිරීමට මුහුන දෙද්දී, සුලෙයිමානි ඔහුගේ පවුලේ නය ගෙවීමට උදවු වීම පිනිස වයස 13දී ගොඩනැගිලි කර්මාන්ත අඩවිවල වැඩට ගියේ ය.

සුලෙයිමානි උපත ලැබීමට වසර හතරකට පෙර, එනම් 1953 දී, මධ්‍යම ඔත්තුසේවා ඒජන්සිය (සීඅයිඒ) විසින් සංවිධානය කරන ලද කුප්‍රකට ම කුමන්ත්‍රනයන්ගෙන් එකක දී, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කරගෙන තිබූ ඉරාන ආන්ඩුව පහකල එක්සත් ජනපදය මොහොමඞ් රේසා පාලාවිගේ ආඥාදායකත්වය ස්ථාපනය කලේ ය. ජාතිකවාදී නායක මොහොමඞ් මොසාඩෙග් බලයෙන් ඉවත් කිරීමෙන් පසු, මහජන අනුගාමීත්වයක් තිබූ කොමියුනිස්ට් (තුදේ) පක්ෂයට එරෙහි ව එක්සත් ජනපදය ත්‍රස්ත ක්‍රියා අවධාරනය කොට පැනනැංවී ය.

ඉරාන කම්කරුවන්, බුද්ධිමතුන් හා තරුනයන් දහස් ගනනක් සවාක් රහස් පොලීසියේ බන්ධනාගාරවලට හා වධකාගාරවලට ගාල්කරනු ලැබිනි.

ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනයට (එෆ්ඒඑස්) අනුව “දේශපාලන සිරකරුවන් දහස් ගනනකට වධ දීමට හා ඔවුන් ව ඝාතනය කිරීමට” සවාක් සම්බන්ධ වී තිබුනි. එෆ්ඒඑස්ට අනුව, සවාක්හි විධික්‍රම අතරට “විද්‍යුත් කම්පනය, කසපහර දීම, තැලී ම, අධෝමාර්ගය තුලට කැඩුනු වීදුරු ඇතුලු කිරීම හා නටන වතුර වත්කිරීම, අන්ඩකෝෂවලට භාර ගැටගැසීම සහ දත් හා නියපොතු ගැලවීම” ඇතුලත් විය.

ඊස්රායලය සමග සන්ධානගත වූ ඉරානය “පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු පොලිස් භටයා” ලෙස සේවය කලේ ය. ඊනියා “නික්සන් ධර්මතාව” යටතේ, ෂාගේ තන්ත්‍රයට එක්සත් ජනපදය ආයුධ යෝධ ප්‍රමානයන් පොම්ප කරන ලද අතර, ෂා තන්ත්‍රය දැකගන්නා ලද්දේ මැද පෙරදිග තුල එක්සත් ජනපද ආධිපත්‍යයේ “නිවුන් කුලු‍නු දෙකෙන්” එකක් ලෙස ය. 1970 දී ඩොලර් මිලියන 103.6ක් වූ ඉරානයට යවන ලද එක්සත් ජනපද ආයුධවල වටිනාකම 1972 දී ඩොලර් මිලියන 552.7 දක්වා ඉහල නැගුනි. ෂාගේ ත්‍රස්තවාදී තන්ත්‍රය බිඳ වැට්ටවිය නො හැකි ය යන විශ්වාසය එක්සත් ජනපදයට පැවතුනි.

“ඉරානය යනු ලෝකයේ වඩාත් අස්ථාවර ප්‍රදේශවලින් එකක පවතින ස්ථාවරත්වයේ දිවයිනකි” යි කියමින් 1977 දෙසැම්බරයේ ජනාධිපති ජිමී කාටර් ෂාට සවුදිය පිරුවේ ය.

සුලෙයිමානි හැදී වැඩුනු හා වියපත් වූ ඉරානය මෙය විය.

එහෙත් 1978 වසර පුරා යෝධ මහජන ව්‍යාපාරයක් රටපුරා පැතිරී ගියේ ය. එක්සත් ජනපදයේ ද ආධාරය සහිත ව මහජන ඝාතන සිදුකරමින් බලයේ එල්ලී සිටීමට ෂා දැරූ උත්සාහය අසාර්ථක විය. විශේෂයෙන් ම ඉරාන ආර්ථිකයේ තෙල් අංශය වර්ජන හරහා අබලන් කල කම්කරු පන්තිය විසින් ෂාගේ තන්ත්‍රය විනාශ කිරීමේ මූලික භූමිකාව ඉටුකරන ලදී.

ස්ටැලින්වාදී තුදේ පක්ෂයේ පාවාදීම් හේතුවෙන් විප්ලවයේ නායකත්වය අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි යටතේ පැවති පූජක ජාතිකවාදීන්ගේ හස්තයට පත්විය. එහෙත් විප්ලවයට ඉන්ධන සපයන ලද්දේ එක්සත් ජනපදය විසින් නව-විජිතවාදී ලෙස මර්දනය කිරීම කෙරෙහි පැවති වෛරය හේතුවෙන් බවට විවාදයක් නැත. ෂා බලයෙන් හෙලා අයතුල්ලා කොමෙයිනී 1979 පෙබරවාරි 11දා බලයට ආරෝහනය වීමෙන් පසුව, 22 හැවිරිදි සුලෙයිමානි විප්ලවීය හමුදාවට සම්බන්ධ විය.

1980 සැප්තැම්බරයේ සදාම් හුසේන්ගේ තන්ත්‍රය සමග සන්ධානගත වූ එක්සත් ජනපදය, මිලියනයකට වැඩි මරන සංඛ්‍යාවක් ප්‍රතිඵල කරමින් වසර අටක් පුරා ඇදී ගිය විනාශකාරී යුද්ධයක් ජනනය කරමින්, ඉරානයට පහර දීමට ඉරාකය පෙලඹවී ය. එක්සත් ජනපදයේ සහයෝගය ද සහිත ව ඉරාකය විසින් රසායනික අවි භාවිතා කිරීම හේතුවෙන් ඇති වූ මරන ද ඇතුලු‍ ව ඉරාන වැසියන් දසදහස් ගනනක් මරා දමන ලදී. සුලෙයිමානි වැදගත් මිලිටරි චරිතයක් ලෙස ඉස්මතු වූයේ එම යුද්ධය සමයේ ය.

ඉරාකයේ පරාජය වැලැක්වීමට අධිෂ්ටානවත් වූ රීගන් පරිපාලනය, ඉරාකයට ආයුධ, ප්‍රවර්ධන සහයෝගය හා තීරනාත්මක තොරතුරු සම්පාදනය කලේ ය. එහෙත් ඉරානයට එරෙහි එහි වඩාත් ම කුප්‍රකට මැදිහත් වීම සිදු වූයේ 1988 ජූලි 3දා ය. හිතාමතා ම සිවිල් ගුවන් යානයක් ඉලක්ක කරගත් එක්සත් ජනපද නාවික හමුදාව, ලමුන් 66ක් ද ඇතුලු‍ ව 290ක් ජනයා මරාදමමින් ඉරානයේ එයාර් ෆ්ලයිට් 655 යානය වෙඩිතබා බිම හෙලී ය. ඉන් මාසයකට පසුව යුද්ධය අවසන් විය.

කසීම් සුලෙයිමානිගේ දේශපාලනය ධනේශ්වර ජාතිකවාදියෙකුගේ දේශපාලනය විය. එහෙත් මිලිටරි නිලධාරියෙක් ලෙස, ඔහු නිරත වූයේ ඓතිහාසික ව පීඩිත රටක් ආරක්ෂා කිරීම තුල යි. මිලිටරි නිලධාරියෙක් ලෙස ඔහුගේ වගකීම් ඉටුකිරීමේ දී සුලෙයිමානි දැක්වූ “අනුකම්පා විරහිතභාවය,” යුද්ධය තුල ඔහු ලැබූ අත්දැකීම්වලට සහ එක්සත් ජනපදය හා ඊස්රායලයෙන් පැමිනෙන අනවරත තර්ජනයන්ට ඔහු දැක්වූ ප්‍රතිචාරයක් ලෙස යමෙක්ට උපකල්පනය කල හැකි ය.

සුලෙයිමානි මිනීමරුවෙක් ලෙස හෙලාදකින එම මාධ්‍ය හොරනෑවන් ම, ලක්ෂ ගනනක් ඝාතනය කල ක්ලින්ටන් පරිපාලනයේ රුදුරු සම්බාධක ඇතුලු‍ ව 1991 දී එක්සත් ජනපදය විසින් පලමුව ඉරාකය ආක්‍රමනය කල තැන් පටන් සිදුකරන ලද අපරාධ කෙරෙහි නිශ්ශබ්ද ය.

2003 දෙවන ඉරාක ආක්‍රමනයෙන් පසුව, පරපීඩාකාමී වධබන්ධන පැමිනවීම හා අබුග්‍රයිබ් බන්ධනාගාර සිරකරුවන් දූෂනය කිරීමේ සිට ෆලූජා සංහාරය හා නාවික කපිතාන් එඞ්වඞ් ගැලගර් තුවාල ලැබූ ගැටවරයෙකුට පිහියෙන් ඇන මරා ඔහුගේ මලසිරුර ඝාතනය කරන ලද සත්ත්වයෙක් පරිද්දෙන් ප්‍රදර්ශනය කිරීම ඇතුලත් වූ 2017 ඊනියා අයිඑස්අයිඑස්-විරෝධී මහා සංහාරය දක්වා, ගිනිය නො හැකි යුද අපරාධ තුලට එක්සත් ජනපදය පටලැවී ඇත.

“අපට ඝාතකයන් ඕනෑ තරම් සිටිනවා. ඔබ අපේ රට එතරම් ම අහිංසක යයි සිතන්නේ කුමක් නිසා ද?” යි 2017 දී ට්‍රම්ප් ලිහිල්ව නිරීක්ෂනය කලේ ය. “මහජන සංහාරක අවි පිලිබඳ ව්‍යාජ හා අනාථ වී ඇති තර්කය” මත පදනම් ව මැද පෙරදිග තුල එක්සත් ජනපදය විසින් දියත් කල යුද්ධවල ප්‍රතිඵලයක් ලෙස “මිලියන ගනන් ජනයා මියගොස් ඇත” යි වසර දෙකකට පසුව 2019 ඔක්තෝබරයේ දී ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක සඳහන් කලේ ය.

එහෙත්, “පිස්සු බල්ලා” යනුවෙන් හඳුන්වන ෆලූජා මිනීමරුවා හා ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් සිංහාරෝපනය කරන හා මිනිසුන්ට “වෙඩිතැබීම විනෝදයි” යන ඔහුගේ ප්‍රකාශයට සිනහ පලකරන එක්සත් ජනපද මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපද මිලිටරියේ ප්‍රචන්ඩ ක්‍රියා ප්‍ර‍ශංසාවට ලක්විය යුතු ඒවා ය.

ට්‍රම්ප්ගේ මිනීමරු ක්‍රියාව ක්‍රියාවට දැමීමට මාධ්‍ය උදවු විය. නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් හා එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රධාන පුවත්පත් නීත්‍යානුකූල නොවූ මරාදැමීම් යලියලිත් සාධාරනීකරනය කර ඇත.

“අප ව පාලනය කරන්නේ මිනීමරුවන් විසින් නො ව ඔවුන්ගේ මිතුරන් විසින් පමනි” යි යනුවෙන් සුප්‍රකට ලෙස අවසන් වන රඞ්යාඞ් කිප්ලිංගේ කවියක් තිබේ.

කිප්ලිං අද ජීවත් වූයේ නම්, වර්තමාන යථාර්ථයට ගැලපෙන පරිදි අවසන් පේලිය පහත පරිදි වෙනස් කිරීමට එම කවියාට බලකෙරෙනු ඇත:

“ඇමරිකානු ජනයා පාලනය කරනු ලබන්නේ, සිය මිතුරන් විසින් අනුමැතිය දෙන මිනීමැරීම් සිදුකරන මිනීමරුවන්.”

ආන්ද්‍රෙ ඩැමොන් ඩේවිඩ් නෝර්ත්

Share this article: