දේශගුනික විපර්යාස පිලිබඳ ක්‍රියාමාර්ගයක් නොමැතිකම මෙතෙක් වාර්තා වූ උනුසුම්ම දශකයට මග පාදයි

Lack of action on climate change leads to warmest decade ever recorded

2020 ජනවාරි 20

ලෝක කාලගුන විද්‍යා සංවිධානය (ලෝකාස), එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා හා ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (ජාසාවාප) යන සියලු සංවිධාන ස්වාධීනව නිගමනය කර ඇත්තේ 2010 සිට 2019 දක්වා වූ පසුගිය දශකය මෙතෙක් වාර්තා වූ උනුසුම්ම ගෝලීය මතුපිට උෂ්නත්වය අත්විඳ ඇති බව යි. 1960 ගනන්වලින් පසු සෑම දශකයක් ම තිබී ඇත්තේ ඊට පෙර පැවති දශකයට වඩා උනුසුම්ව යි.

2015-2019 දක්වා වසර පහ වඩාත් ම උනුසුම් කාලය විය. 2019 දෙවන වඩාත් උනුසුම් වසර වූ අතර, එය 2016 දී පමනක් ඉක්මවා ගියේ, එල් නිනෝ කාලගුනික රටාව මගින් උෂ්නත්වය මෙතෙක් ලියාපදිංචි වී ඇති ඉහලම මට්ටමට තල්ලු‍ කල අවස්ථාවේ දී ය. පූර්ව කාර්මික යුගයේ සිට සාමාන්‍ය මතුපිට උෂ්නත්වය සෙල්සියස් අංශක 1.1 කින් ඉහල ගොස් ඇති අතර බොහෝ තාපය උරා ගන්නා සාගර ඊටත් වඩා වේගයෙන් උනුසුම් වෙමින් තිබේ. විශ්වාසනීය විද්‍යාඥයින් අතර, මිනිසා විසින් කාබන් ඩයොක්සයිඞ් සහ අනෙකුත් හරිතාගාර වායුව වායුගෝලයට විමෝචනය කිරීමේ දිගුකාලීන බලපෑම මෙයට හේතුවන බවට කිසිදු විවාදයක් නොමැත.

ලෝකාස මහලේකම් පෙටෙරි ටාලස් මෙසේ අදහස් දැක්වී ය. “2019 වසර ශේෂ වූ තැනින් 2020 වර්ෂය ආරම්භ වී ඇත්තේ, ඉහල බලපෑම් සහිත කාලගුනය හා දේශගුනය සම්බන්ධ සිදුවීම්වලිනි. 2019 දී ඔස්ටේ්‍රලියාවට තම වාර්තාගත උනුසුම් මෙන් ම වියලිම වසර ගෙවුනේ, දැවැන්ත ලැව්ගිනිවලට වාතාවරනය සකස් කරමිනි, මෙය මිනිසුන් මෙන් ම දේපල, වන ජීවීන්, පරිසර පද්ධති සහ පරිසරයට අතිමහත් ලෙස විනාශකාරී විය. අවාසනාවන්ත ලෙස, 2020 සහ ඉදිරි දශක කිහිපය තුල වඩාත් ආන්තික කාලගුනයක් දැකීමට අපි අපේක්ෂා කරමු. වායුගෝලයේ උනුසුම සිර කර තබා ගන්නා හරිතාගාර වායුවල වාර්තාගත මට්ටම්වලින් ඉන්ධන සපයන වඩාත් ආන්තික දේශගුනයක් දැකීමට අපි අපේක්ෂා කරුමු.”

2020 ජනවාරි 15 ​​වන බදාදා ඉක්වදෝරයේ ක්විටෝවට උතුරින් පිහිටි කැසිටගුවා කන්ද මත ලැව් ගින්නක් හටගනී. ගින්න නිවෙස්වලට තර්ජනයක් නොවන අතර දුම ක්විටෝහි උතුරට ලඟා වේ. (AP ඡායාරූප / ඩොලරස් ඔචෝවා) (AP Photos/Dolores Ochoa)

ලොව පුරා මිලියන සිය ගනනක් ජනයා දේශගුනික විපර්යාසයන්ගේ බලපෑමෙන් පීඩා විඳිති. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, 2019 දී පමනක් වඩාත් දැඩි තාප තරංග, නියඟ සහ ගින්න, වඩාත් නිත්‍ය හා දැඩි නිවර්තන කුනාටු සහ ගංවතුර, සාගරවල ආම්ලිකතාව වැඩි වීම, වේගවත් නිත්‍ය තුහීන දියවීම, ආක්ටික් හා ඇන්ටාටික් ප්‍රදේශවල අයිස් තට්ටු තුනී වීම හා මුහුදු මට්ටමේ අඛන්ඩව ඉහල යාම සඳහා ප්‍රධානතම සාධකය වූයේ ගෝලීය උනුසුම බව යි.

ගෝලීය උෂ්නත්වය ඉහල යාම වැලැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය කවුරුත් දන්නා කරුනකි. වායුගෝලයේ පවතින කාබන් ග්‍රහනය කර ගැනීම සඳහා සත්‍යාපිත මාධ්‍යයන් යෙදවීමත් සමඟ පොසිල ඉන්ධනවල කාබන් නොවන විකල්ප තොග වශයෙන් යෙදවීමෙන් විමෝචනය විශාල ලෙස අඩු කල යුතු ය. ඒවා නැත්නම්, “වත්මන් මාවතේ... අප ගමන් කරමින් සිටින්නේ සියවස අවසන් වන විට සෙල්සියස් අංශක 3 සිට 5 දක්වා උෂ්නත්වය ඉහල යාමක් කරා” යැයි ලෝකාසහි ටලාස් අදහස් දැක්වී ය.

එහෙත්, ගෝලීය කාබන් ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වලට අනුව, ප්‍රසිද්ධ අන්තරායන් සහ පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමේ අවශ්‍යතාව පිලිගන්නා බව සංගත සහ ආන්ඩු විසින් කරන ලද සියලු‍ම ප්‍රකාශයන් තිබිය දී, 2019 දී කාබන් විමෝචනය මෙතෙක් පැවති ඉහලම මට්ටමට නැග තිබේ. තවමත් ගෝලීය සමස්තයෙන් සියයට 40ට වග කියන, ගල් අඟු‍රු වලින් එන විමෝචනය අඩුවුව ද, ඒවා වැඩි වූයේ තෙල් හා ස්වාභාවික ගෑස් භාවිතයෙනි.

විනාශකාරී ගෝලීය උෂ්නත්වය ඉහල යාම වැලැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති, බලයේ සිටින අයගේ නොසැලකිලිමත්කම සහ සාපරාධීත්වය පිලිබඳව ජාත්‍යන්තර ව, විශේෂයෙන් කම්කරු පන්තිය තුල හා ලෝකයේ තරුන තරුනියන් අතර ඉමහත් කෝපය වර්ධනය වෙමින් පවතී.

කෙසේ වෙතත්, ඉදිරි මාස හා අවුරුදුවල දේශපාලන අරගලවලට ලබා දිය යුතු අවබෝධය වන්නේ, මෙම සංගත හා ආන්ඩුවල අකාර්යක්ෂමතාව මෙන් ම උදාසීනත්වය කෙලින්ම පැන නගින්නේ ධනේශ්වර පද්ධතියේ අතාර්කිකත්වයෙන් බව යි. දේපලවල පෞද්ගලික අයිතිය, ලාභ සමුච්චනය සඳහා නිෂ්පාදනය යටත් කිරීම හා ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම මත පදනම් වූ සමාජ පද්ධතියක්, එනම් ධනේශ්වර පද්ධතිය දේශගුනික අර්බුදය විසඳීමට අවශ්‍ය සමායෝජිති ජාත්‍යන්ර සැලසුම්කරනයට හා අවශ්‍ය සම්පත් වෙන් කිරීමට අසමත් ය.

නව යොවුන් වියේ දේශගුනික විපර්යාස ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග්ගේ සෘජු තක්සේරුව අනුව, දේශපාලන හා සංගත නායකයින්ගේ සදාචාරාත්මක හෘදය සාක්ෂියට කෙරෙන විරෝධය දැක්වීම, “කිසිවක් අත් කර ගෙන නැත.”

ඒ වෙනුවට, එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ආන්ඩු අවධාරනය කරන්නේ, “තම” කර්මාන්තවල තරඟකාරිත්වය හා තමන්ගේ “ජාතික අවශ්‍යතා” සඳහා අඛන්ඩ පමනක් නො ව විහිදුනු පොසිල ඉන්ධන භාවිතය අත්‍යවශ්‍ය බව යි.

ධනවත් ප්‍රභූ පැලැන්තියට විශාල ප්‍රතිලාභ ලබා දෙන, අන්තර්ජාතික පෞද්ගලික හෝ රජය සතු බලශක්ති සංස්ථා 100 ක් පමනක් සියලු‍ම විමෝචනයන්ගෙන් සියයට 71 කට වගකිව යුතු ය. සමස්තයක් වශයෙන් මානව වර්ගයාගේ දිගුකාලීන අවශ්‍යතාවන්ට වඩා කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ හෝ කර්මාන්ත සඳහා ලාභ බලශක්තිය පිලිබඳ පටු, කෙටිකාලීන වුවමනාවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

ගින්න මහාද්වීපයේ විශාල ප්‍රදේශවල පැතිරෙන ඕස්ටේ්‍රලියාවේ, දේශගුනික විපර්යාසයන්ගේ යථාර්ථයන් මුලුමනින් ම එරටට ගෙන එනු ලැබූ අතර, රටේ අගමැති ස්කොට් මොරිසන් සති අන්තයේ තරයේ මෙසේ කියා සිටියේ ය: “මම කාබන් බද්දක් පනවන්නේ නැහැ. මම මිනිසුන්ගේ විදුලි මිල ගනන් ඉහල දාන්නේ නෑ වගේ ම මම මිලියන ගනනක් ඕස්ටේ්‍රලියානුවන්, විශේෂයෙන් කලාපීය ඕස්ටේ්‍රලියානුවන් යැපෙන සම්පත් අංශයක් අතුගා දමන්නේ නෑ.”

පොසිල ඉන්ධන කර්මාන්තයේ විශේෂයෙන් ගොරහැඩි ආරක්ෂකයෙකු වන මොරිසන්ට “මිලියන සංඛ්‍යාත ඕස්ටේ්‍රලියානුවන්” ගැන කිසිදු තැකීමක් නැති නමුත් විශාලතම ගල් අඟු‍රු අපනයනකරුවා මෙන් ම විශාලතම ස්වාභාවික වායු නිෂ්පාදකයින්ගෙන් එකක් ලෙස, ඕස්ටේ්‍රලියාවේ තත්වයෙන් ඩොලර් බිලියන ගනනක් ලාභ උපයන බලශක්ති සමාගම් ගැන උත්සුක ය. බදුකරනය සම්බන්ධයෙන් ගත් කල, ගෝලීය ක්‍රියාදාමයන්ට සමාන්තර වෙමින් ඕස්ටේ්‍රලියාවේ අනුප්‍රාප්තික ආන්ඩු, සංගත සහ පුද්ගලික ආදායම යන දෙකට ම බදු අනුපාතය අඩු කර ඇත. අඩු වියදම් පුනර්ජනනීය විදුලි උත්පාදනය ඇතුලුව සමාජමය වශයෙන් ප්‍රයෝජනවත් අරමුනු සඳහා භාවිතා කල හැකි අති විශාල ධනය ඉහලම සියයට 10, විශේෂයෙන් ම ඉහල සියයට 1 වෙත හරවා යවා ඇත.

මෑත සතිවල ඕස්ටේ්‍රලියාව තුල පෙන්නුම් කර ඇති පරිදි, වඩ වඩාත් දරුනු ව්‍යසනයන් සඳහා සූදානම් වීමට හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය හදිසි හා සෞඛ්‍ය සේවාවන් සම්පත් අඩු සහ කාර්ය මන්ඩල අඩු ඒවා වන අතර ජනගහනයෙන් ඉතා සුලු සංඛ්‍යාවක් පුද්ගලික ධනයෙන් අශිෂ්ට ප්‍රමානයක් උපයාගෙන ඇත.

එපමනක් නොව, වෙලඳපල සහ ලාභ පංගුව සඳහා වන සංගත අරගල මධ්‍යයේ, ජාතික රාජ්‍යයන් වෙන කවරදාටත් වඩා විශාල සම්පත් හරවා යවමින් සිටින්නේ යුද සූදානමට මිස වායු විමෝචන අඩු කිරීමට නො වේ. 2018 දී මිලිටරි වියදම් තවත් සියයට 2.7 කින් වැඩි වී අවම වශයෙන් ඩොලර් ටි්‍රලියන 1.8 ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් වැඩි ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් දරන අතර චීනය, යුරෝපීය බලවතුන්, සවුදි අරාබිය සහ ඉන්දියාව ඊට පසු පස සිටී. මෙම රටවල් ද වැඩිම කාබන් විමෝචනයට වගකිව යුතු රටවල් වේ.

මිලිටරි උපකරන ම ද වායු විමෝචනයේ කැපී පෙනෙන සාධකයකි. එය වෙනම ජාතියක් ලෙස ගනන් ගනු ලැබුවහොත්, කොල්ලකාරී යුද්ධ හා බිය ගැන්වීමේ තම දැවැන්ත ගෝලීය මෙහෙයුම් පවත්වා ගැනීම සඳහා, එක්සත් ජනපද මිලිටරිය විසින් කෙරෙන ඉන්ධන භාවිතය පමනක්, එය 2017 දී ලෝකයේ 47 වන විශාලතම විමෝචකයා ලෙස ශ්‍රේනිගත කිරීමට ඉඩ තිබුනි.

ජනවාරි 3වැනිදා, “සමාජවාදී විප්ලවයේ දශකය ආරම්භ වේ” නම් ලෝක සමාජවාදී වෙබ් අඩවි ඉදිරිදර්ශන ලිපිය එලඹෙන කාල පරිච්ඡේදයේ දේශපාලන අභියෝග පිලිබඳ සංක්ෂිප්ත හා වෛෂයික සාරාංශයක් ඉදිරිපත් කලේ ය. ඓතිහාසිකව යල්පැන ගිය ධනවාදී පර්යාය ආරක්ෂා කරන අය, විනාශකාරී මහා බලවතුන්ගේ යුද්ධ, අමාරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම, පරිසරය පිරිහීම, පෙර නොවූ විරූ ආකාරයේ සමාජ අසමානතාවයන් සහ අනවශ්‍ය වියෝගය හා දුක් වේදනා කරා යන අවගමනේ ප්‍රධානත්වය ගනිමින් සිටිති.

ධනවාදයට අවසානයක් ගෙන ඒමට සහ පුද්ගලික ලාභයට නොව මානව අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙන සමාජවාදී සමාජයක් බිහි කල හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. කෙසේවෙතත්, සෑම දෙයක්ම රඳා පවතින්නේ, සමාජවාදී විඥානයෙන් යුක්ත වෙමින් හා විප්ලවීය වෙනසක් සඳහා ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ වෙමින්, මේ වන විටත් රටකින් රටකට දිග හැරෙමින් පවතින, කම්කරුවන්ගේ මහජන අරගල මත ය. ලෝක තත්වයේ බරපතලකම සහ දේශගුනික විපර්යාස නිසා ඇති වන අර්බුදය හඳුනා ගන්නා සියලු‍ම කම්කරුවන්ගේ හා තරුනයින්ගේ උත්සාහය මෙම කාර්යය සඳහා කැප කල යුතු ය.

ජේම්ස් කොගන්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෙනෙට් සභා විමර්ශනය බ්‍රහස්පතින්දා ආරම්භ වූයේ අගවිනිසුරු ජෝන් රොබට්ස්ගේ දිවුරුම් දීමෙන් පසුව ය. ඔහු එහි කටයුතු අධීක්ෂනය කරනු ඇත. ඉන්පසු සෙනෙට් සභිකයෝ 100දෙනා දිවුරුම් දෙනු ඇත. නමුත්, ඉතිහාසයේ සියලු කැඳවීම් හා නිල ආකෘතීන් සම්බන්ධයෙන් ගත් විට, ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය හා විමර්ශනය, රට තුල හා විදේශයන්හි සාපරාධී ක්‍රියාවන් මත එහි විවෘත යොමුවීම මගින් මතු කෙරෙන, ඔහුගේ ආන්ඩුවේ වඩ වඩා අධිකාරීවාදී ස්වභාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ඇති කෙරෙන දැවැන්ත අනතුර මග හරියි.

ඇත්ත වශයෙන්ම, නඩු විභාගය ආරම්භ වන්නේ ට්‍රම්ප් විවෘතව නීති විරෝධී රාජ්‍ය ඝාතනයක්, එනම් ජනවාරි 3 ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාන රජයේ වඩාත්ම බලගතු චරිතයක් වූ කාසෙම් සුලෙයිමානි ඝාතනය සිදු කර සති දෙකකට පසුව ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කිරීම සඳහා සාපරාධී කුමන්ත්‍රනයකට නායකත්වය දීම, ඔහුගේ ධුර කාලය නීතිවිරෝධී ලෙස දීර්ඝ කිරීමට උත්සාහ කිරීම, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ඇවිස්සීම සහ අයිතිවාසිකම් පනත දියබත් කිරීම යන චෝදනා යටතේ ට්‍රම්ප්ට චෝදනා එල්ල කල හැකිව තිබිනි. එහෙත් ඒ වෙනුවට ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට තීරනය කර ඇත්තේ, යුක්‍රේනයට මිලිටරි ආධාර ලබා දීම නතර කිරීම හා නැගෙනහිර යුක්‍රේනයේ රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන්ට එරෙහි මිලිටරි මෙහෙයුම් පුලුල් කිරීම සඳහා සීඅයිඒ සංවිධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද මෙහෙයුමක කාලසටහන තරමක් ප්‍රමාද කිරීම වෙනුවෙනි.

ඔක්තෝබරයේ වොෂින්ටනයේ ධවල මන්දිරයේ දී ෆින්ලන්ත ජනාධිපති සවුලි නීනිස්ටෝ සමග පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී කතා කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් [Credit: AP Photo/Carolyn Kaster]

දෝෂාභියෝගයේ ලිපි දෙක සෙනෙට් සභාව වෙත භාර දුන් කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටිකයින්ගේ සියලු කඩාවැටුනු මුහුනු සලකා බලන විට, දෝෂාභියෝග උද්ඝෝෂනය කෝලමක ස්වභාවයක් ගෙන ඇත. සෙනෙට් සභාවේ රිපබ්ලිකන් බහුතරය චෝදනා පිලිබඳ නොසැලකිලි විමර්ශනයකට වඩා වැඩි දෙයක් නො කරනු ඇත යි ඩිමොක්‍රටිකයෝ අපේක්ෂා කරති. මෙයින් ඉක්බිතිව නිදොස් කොට නිදහස් කිරීමේ ඡන්ද විමසීමක් සිදු කරනු ඇත්තේ, ට්‍රම්ප්ට තමන් නිදොස් බව ප්‍රකාශ කිරීමට ඉඩ දී, විය හැකි ලෙස ඔහුගේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් කිරීමට ඉඩ දෙමිනි.

කොන්ග්‍රසය යෝජනා පරීක්ෂා කරන අතර, ට්‍රම්ප් රැස්වීම් පවත්වමින් සිටින්නේ, කලහකාරී වාතාවරනයක් නිර්මානය කිරීමට ෆැසිස්ට් වාචාලකම් යොදා ගනිමිනි. අඟහරුවාදා රාත්‍රියේ, දෝෂාභියෝග ලිපි සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ අවසන් සභා ඡන්ද විමසීමට ආසන්න දිනක, ට්‍රම්ප් විස්කොන්සින් ප්‍රාන්තයේ පැවති රැලියක දී වල්පල් දෙඩුවේ, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් එක්සත් ජනපදය සිදු කල, ඉරාන ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ ඝාතනය සමරමිනි. ට්‍රම්ප් මැරයෙකු මෙන් කතා කරමින් “මේ බැල්ලිගෙ පුතා” යැයි සුලෙයිමානිට නින්දා කලේ ය.

ඔහු ඩිමොක්‍රටිකයින් ගැන ද ඒ සමාන වචන වලින් දිගටම කතා කර ගෙන ගියේ, ඔවුන් “විකෘති”, “පිස්සු” සහ “නින්දිත” අය ලෙස විස්තර කරමින් හා ඔවුන් සමාජවාදීන් හා “ද්‍රෝහීන්” ලෙස හෙලා දකිමිනි. මෙම බැනවැදීම සිදු වූයේ, පෙලෝසි හා සෙනෙට් ඩිමොක්‍රටික් නායක චක් ෂුමර් මුස්ලිම් ඇඳුමින් සැරසී, ඉරාන ධජයක් ඉදිරිපිට සිටගෙන සිටිනවා පෙන්වන ඡායාරූපයක් ට්‍රම්ප් විසින් නැවත ට්වීට් කල දිනට පසුව ය.

මේ ආකාරයේ භාෂාවකට ලඟා වන කිසිවක් ඇමරිකානු ජනාධිපතිවරයකු විසින් මෙතෙක් භාවිතා කර නොමැත. ඔහුගේ වචන ඔහු සතුරන් ලෙස සලකන අයට එරෙහිව ප්‍රචන්ඩත්වයට කෙරෙන විවෘත උසිගැන්වීමකි; ඒවාට දේශපාලන ප්‍රතිවිපාක ඇත.

බ්‍රහස්පතින්දා, එෆ්බීඅයි සංවිධානය සුදු ස්වෝත්තමවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, හිටපු සොල්දාදුවන් වන ඔවුන්ගෙන් දෙදෙනෙකු වර්ජිනියා ප්‍රාන්ත අගනගරයට සන්නද්ධ ප්‍රහාරයක් සූදානම් කරමින් සිටියේ, එලඹෙන සඳුදා, එනම් මාටින් ලූතර් කිං අනුස්මරන දින‍යේ, ඔවුන්ගේ ක්‍රියාවට කඩතිරයක් ලෙස තුවක්කු අයිතිය පිලිබඳ රැලියක් ප්‍රයෝජනයට ගනිමිනි. වර්ජිනියා ආන්ඩුකාර රැල්ෆ් නෝර්තම්, 2017 චාලොට්ස්විල් නව නාසි කැරල්ල මෙන් තවත් සිදුවීමක් පිලිබඳ අනතුරු අඟවමින්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කලේ ය. 2017දී චාලොට්ස්විල් දී, ෆැසිස්ට් විරෝධී විරෝධතාකරුවෙකු ඝාතනය කෙරුනු අතර, ට්‍රම්ප් සුදු ස්වෝත්තමවාදීන් “යහපත් මිනිසුන්” යැයි ප්‍රශංසා කලේ ය.

දෝෂාභියෝග ක්‍රියාවලිය ම දිග හැරෙමින් තිබෙන්නේ ප්‍රචන්ඩකාරී තර්ජන හා ප්‍රකෝපකාරී වාතාවරනයක ය. මේ සතියේ ට්‍රම්ප්ගේ නීතිඥ මෙන් ම විශේෂ මෙහෙවර තානාපතියෙකු වන රූඩි ගියුලියානිගේ සහායකයකු වන ලෙව් පර්නාස්, එවකට යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති මාරි යොවනොවිච්ගේ භෞතික හා විද්‍යුත් නිරීක්ෂන සිදුකිරීමේ උත්සාහයන් හෙලිදරව් කිරීමට ඉදිරිපත් වී තිබේ. ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට එරෙහිව යුක්‍රේනය තුල දේශපාලන මූනිස්සම් සොයා ගැනීමේ උත්සාහයේ දී යොවනොවිච් ට්‍රම්ප්ට බාධාවක් ලෙස දකින ලදී.

ඩිමොක්‍රටිකයන්ගේ ස්ථාවරය මුලුමනින් ම කමකට නැත. දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබියදී පවා, ඔවුහු ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියේ තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ධවල මන්දිරය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරති. බ්‍රහස්පතින්දා සෙනෙට් විමර්ශනය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සෙනෙට් සභා ඩිමොක්‍රටිකයෝ, චීනයට හා යුරෝපයට එරෙහිව වෙලඳ යුද්ධය තීව්‍ර කිරීමට ට්‍රම්ප් විසින් අපේක්ෂා කරන,එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා වෙලඳ ගිවිසුමට විශාල වශයෙන් ඡන්දය දුන්හ. කොංග්‍රස් මන්ඩල කථානායිකා පෙලෝසි, කොන්ග්‍රස් මන්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් තම වාර්ෂික දේශනය ඉදිරිපත් කරන ලෙස ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ.

ට්‍රම්ප් යනු ඇමරිකානු මූල්‍ය වංශාධිපතිත්වයේ බලගතු කොටස් ෆැසිස්ට්වාදය දෙසට හැරීමේ ප්‍රකාශනයක් වනවාට වඩා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒජන්තයෙකු වෙතැ යි යන ප්‍රතිගාමී මනඃකල්පිතය ඩිමොක්‍රටිකයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබේ.

ඔවුන් කියා සිටින්නේ 2020 මැතිවරනයේ “නීත්‍යානුකූලභාවය” ආරක්ෂා කිරීමට තමන් ක්‍රියා කරමින් සිටින බව යි. එහෙත් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජන යටතේ මැතිවරනය පැවත්වීමට ඉඩ ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ; එමෙන් ම තමා පරාජයට පත් වුවහොත් ට්‍රම්ප් නොවැම්බර් 3 දා ඡන්ද ප්‍රතිඵල පිලිගනු ඇතැ යි උපකල්පනය කිරීමට හේතුවක් නැත. විස්කොන්සින් හි පැවති ඔහුගේ රැලියේදී, එක්සත් ජනපද ව්‍යවස්ථාව නො සලකා දින නියමයක් නො මැතිව ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරන බවට ඔහු නැවත නැවතත් තර්ජනය කලේ ය.

ට්‍රම්ප් නිදොස් වී ධුරයේ රැඳී සිටින්නේ නම්, ඔවුන් කුමක් කිරීමට අදහස් කරනවාද යන්න ඩිමොක්‍රටිකයින් කිසි විටෙකත් පැහැදිලි නො කිරීම කැපී පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ ප්‍රහාරය දිගට ම පවතිනු ඇති අතර, ෆැසිස්ට් මහජන ව්‍යාපාරයක වර්ධනය උසිගැන්වීම සඳහා ඔහු ගන්නා උත්සාහයන් තීව්‍ර කිරීමට ඔහු ධෛර්යමත් වනු ඇත.

ෆැසිස්ට්වාදී ට්‍රම්ප් හා සීඅයිඒ සංවිධානයේ දේශපාලන නීතිඥයින් ලෙස කටයුතු කරන ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන් අතර ගැටුමක දී වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ප්‍රකාශ කල හැකි මාර්ගයක් නොමැත. ජනගහනයෙන් අතිමහත් බහුතරයකට දෝෂාභියෝග ක්‍රියාවලිය ඔවුන්ගේ සැබෑ දේශපාලන හා සමාජ අවශ්‍යතාවලින් මුලුමනින්ම වෙන්වූවකි. කම්කරුවන්ට ට්‍රම්ප්ට විරුද්ධ වීමට බොහෝ හේතු තිබේ, නමුත් රුසියාව සමඟ ගැටුමක් ඇති කල හැකි නැගෙනහිර යුක්රේනයේ යුද්ධයක් සඳහා සීඅයිඒ කාලසටහන ප්‍රමාද කිරීම ඉන් එකක් නො වේ.

ට්‍රම්ප් පරිපාලනය ඉවත් කිරීම හදිසි අවශ්‍යතාවයකි. නමුත් ට්‍රම්ප්ට එරෙහි අව්‍යාජ අරගලයකට ඇමරිකානු ධනවාදයට හා ධනවාදී දේශපාලනයේ සමස්ත කුනු වූ ව්‍යුහයට, එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඩිමොක්‍රටිකයින් මග හැරීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මෙය යි. ඔවුන්ට අවශ්‍ය වන්නේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ ඇතැම් පැතිවල වෙනසක් මිස පාලක පන්තියේ බලය අඩපන කරන හා ඔවුන්ගේ ධනයට බාධා කරන ප්‍රතිපත්තියේ කිසිදු ආකාරයක මූලික වෙනසක් නො වේ.

ට්‍රම්ප් පාලනාධිකාරියේ සාපරාධී ස්වභාවය ඇමරිකානු ධනවාදය කුනුවීමේ රෝග ලක්ෂනයකි. එක්සත් ජනපදය ඓතිහාසික ව පෙර නොවූ විරූ සමාජ අසමානතාව හා විදේශයන්හි දශක ගනනාවක මිලිටරි ආක්‍රමනයේ ද්විත්ව පිලිකාවලින් පීඩා විඳියි. එකම පිලියම වන්නේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී අරගලයකි.

පැට්රික් මාටින්

Share this article: