ඉරාකයේ මහජන විරෝධතා සහ මැද පෙරදිග නැවත යටත් විජිතයක් බවට පත් කිරීමේ ඇමරිකානු වෑයම

The mass protests in Iraq and the US drive to recolonize the Middle East

2020 ජනවාරි 25

එක්සත් ජනපද හමුදා වහාම රටින් ඉවත් කරන ලෙස ඉල්ලා කල මහජන උද්ඝෝෂනයක දී ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් ගෙන් සිකුරාදා බැග්ඩෑඩ්හි වීදි පිරී ගියේය.

ඉරාකයේ කොඩි ඔසවා ගෙන “පලයව් යන්න, වාඩිලාගත්තවුන් පලයව් යන්න” සහ “ඇමරිකාවට මරනය” යනුවෙන් හඬ නගමින් එම පිරිස ප්‍රකාශ යට පත් කලේ වොෂිංටනය විසින් ඉරාකයේ කරන ලද මිනීමරු භූමිකාවට එරෙහිව දශක ගනනාවක් තිස්සේ ගොඩනගා ඇති දැවැන්ත මහජන කෝපයයි. සමහරු සන්නද්ධ ප්‍රතිරෝධයක තර්ජනය පෙන්වන සංඥාවන් රැගෙන ගිය අතර තවත් සමහරු සුදු පැහැති තොප්පි පැලඳ, මෘත ශරීර ආවරන සංකේතවත් කරමින්, එවැනි අරගලයක දී මියයාමට ඇති කැමැත්ත පෙන්නුම් කලහ.

ඉරාකයෙහි එක්සත් ජනපද ක්‍රියාවන්ට පෙලපාලි කරුවන් විරෝධය දක්වයි [අනුග්‍රහය: ඒපී ඡායාරූපය]

උද්ඝෝෂනයට සහභාගී වූ 18 හැවිරිදි උසස් පාසැල් සිසුවියක වන මීරියම්, අල් ජසීරා සේවයට මෙසේ පැවසීය: “එක්සත් ජනපදය අපේ රට අත්පත් කර ගැනීමට විරෝධය දැක්වීමට මම අද මෙහි සිටිමි. මේ පීඩන ක්‍රියා දාමයන්ගෙන් අපේ රට නිදහස් කර ගැනීමට අපට අවශ්‍යයි. ”

නිසැකවම නැගී එන ජනතා කෝපය පාලිත ලෙස මුදා හැරීමේ උත්සාහයක් ලෙස, මෙම පෙලපාලිය “ෂියා පූජක මොක්ටාඩා අල්-සාදර්” විසින් “මිලියනයක-මිනිස්-පාගමනක්” ලෙස නම් කරන ලදී. ඉරාකයේ දූෂිත ධනේශ්වර ආන්ඩුව තුල බලවත් ම කන්ඩායමකට නායකත්වය දෙන සාදර් වොෂින්ටනය හා ටෙහෙරානය අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරන අතර පහල සිට මතු වී එන කැරැල්ලකින් තම ස්ථාවරය වඩ වඩාත් අභියෝගයට ලක් කරන බව දකියි.

1990-1991 පලමු පර්සියානු ගල්ෆ් යුද්ධයේ සිට, පසුකාලීනව පීඩාකාරී සම්බාධක පැටවුන එක්සත් ජනපද නිලධාරීන් විසින් ම ඉරාක දරුවන් මිලියන භාගයක ජීවිත බිලිගත් බව පිලිගත් පාලන යුගයක් හරහා, මහා විනාශකාරී ආයුධ පිලිබඳ මුසාවන් පදනම් කර ගනිමින් 2003 දී දියත් කරන ලද ආක්‍රමනශීලී යුද්ධය දක්වා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධවලින් මුලු ජීවිතය ම හැඩගැසුන අසංඛ්‍යාත ප්‍රමානයක කම්කරුවන් හා තරුනයින් පෙලපාලි ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එම යුද්ධයේ බලපෑම “සමාජ සංහාරයක්” ලෙස විස්තර කලේය, එනම් සමස්ත සමාජයක් ඝාතනය කිරීම ය. එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් මියගිය සංඛ්‍යාව මිලියනයක් ලෙස ගනන් බලා ඇති අතර තවත් මිලියන ගනනක් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හරින ලදි. සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ අනෙකුත් මූලික සමාජ දර්ශක අතින් මැද පෙරදිග වඩාත් ම දියුනු සමාජයක් සුන්බුන් බවට පත්විය. ඉරාකයේ ජීවන තත්ත්වය තවමත් හැඩගස්වා ඇත්තේ එක්සත් ජනපද මිලිටරිය විසින් රටට ඇති කර ඇති “කම්පනය සහ භීතිය” මගිනි.

එක්සත් ජනපද ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයෙන් ඉරාක රජයේ ප්‍රමුඛ සාමාජිකයෙකු සහ ඉරාකයේ ත්‍රිවිධ හමුදාවේ කොටසක් වන ප්‍රධාන වශයෙන් ෂියා මිලීෂියාවන් යුතු ජනතා බලමුලු ගැන්වීමේ බලකායේ නායක අබු මහඩි අල්-මුහන්දිස් සමඟ ඉරානයේ ජෙනරාල් කසෙම් සුලෙයිමානි, ඝාතනය කිරීමත් සමඟ මෙම දීර්ඝ හා ලේවැකි ඉතිහාසය පිලිබඳ දැඩි කෝපය යලිත් ඇවිලී තිබේ.

ජනවාරි 3 වන දින බැග්ඩෑඞ් හි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී සුලෙයිමානි සහ අල්-මුහන්දිස් සහ තවත් ඉරාක සහ ඉරාන ජාතිකයන් 8 දෙනෙකු ඝාතනය කිරීම ඉරානයට එරෙහි අයුතු යුද්ධයක් සහ යුද අපරාධයක් වෙයි.

පර්සියානු ගල්ෆ් කලාපයේ විනාශකාරී නව යුද්ධයක අද්දරට ලෝකය ගෙන එන අතර ම, ඝාතන ඉරාක ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් එක්සත් ජනපද හමුදාවන්ට හෝ මැද පෙරදිග අවශ්‍යතාවන්ට “ආසන්න ප්‍රහාරයක්” එල්ල කිරීම වැලැක්වීම සඳහා මෙම ඝාතන සිදු කල බවට මුලුමනින් ම පදනම් විරහිත හා මේ දක්වා පරිපූර්නව තහවුරු නො කල චෝදනා ඉදිරිපත් කර තිබේ. යථාර්ථය නම් ඉරානය සහ සෞදි අරාබිය අතර කලාපීය ආතතීන් සමනය කිරීමේ උත්සාහයන් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාකයේ අන්තර්වාර අගමැති ඇඩෙල් අබ්දුල් මහීඩිගේ ආරාධනයෙන් සුලෙයිමානි බැග්ඩෑඩයට පැමිනීම යි.

ඝාතනයෙන් දින දෙකකට පසු ඉරාක පාර්ලිමේන්තුව කැඳවා සියලු එක්සත් ජනපද හමුදා රටින් නෙරපා හරින ලෙස ඉල්ලන නීති සම්මත කලේය. එක්සත් ජනපද මිලිටරි හමුදා ඉවත් කර ගැනීමේ කොන්දේසි සාකච්ඡා කිරීම සඳහා වොෂින්ටනයෙන් බැග්ඩෑඞ් වෙත දූත පිරිසක් එවන ලෙස අබ්දුල් මහඩි ජනවාරි 9 දා විධිමත් ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රතිචාරය වූයේ කෝපය හා අධිරාජ්‍යවාදී උද්දච්ච බවයි. ට්‍රම්ප් ප්‍රකාශ කලේ එක්සත් ජනපදය ඉරාකයේ “ඉතා මිල අධික ගුවන් කඳවුරක්” ඉදිකර ඇති බවත් “ඒ සඳහා ඔවුන් අපට ආපසු ගෙවන්නේ නැත්නම් අපි නොයන” බවත් ය.

භාන්ඩාගාර දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන විසින් දැනටමත් සකස් කර ඇති දඬුවම්කාරී සම්බාධක ක්‍රියාත්මක කරන බවට ඔහු තර්ජනය කලේය. රටේ ආර්ථිකය කඩා වැටීමට තුඩු දිය හැකි මූල්‍ය සම්බාධක හරහා සහ ජනතාව මත තවතවත් විශාල දුක් වේදනා පටවමින් - එක්සත් ජනපද මිලිටරිය රට අත්පත් කර ගෙන සිටීමෙන් උරුමව කලක් පවත්නා තත්වය වන- නිව්යෝර්ක්හි ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සංචිතව ඇති ඉරාකයේ ඩොලර් බිලියන 35 ක ගිනුමට ප්‍රවේශ වීම අවහිර කර දමන බව වොෂින්ටනය බැග්ඩෑඞ් වෙත පැවසීය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉරාකයට දූත පිරිසක් යවන්නේ “අපගේ උපායමාර්ගික හවුල්කාරිත්වයට නැවත යොමු වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහාය- හමුදා ඉවත් කර ගැනීම ගැන සාකච්ඡා කිරීමට නොව මැද පෙරදිග අපගේ නිවැරදි, සුදුසු බලකා පිහිටුවීම” ගැන සාකච්ඡා කිරීම සඳහා බව ය.

බදාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුලුවේ දී ඉරාක ජනාධිපති බර්හැම් සාලිහ් හමුවීමෙන් පසුව ට්‍රම්ප් මෙම ස්ථාවරය යලිත් අවධාරනය කලේ ය. තර්ජිත එක්සත් ජනපද සම්බාධක ගැන විමසූ විට ට්‍රම්ප් පිලිතුරු දුන්නේ, “අපි අපේ කොන්දේසිවලට අනුව කටයුතු කල යුතු නිසා කුමක් සිදුවේදැයි අපි බලමු” යනුවෙනි. 2003 දී එක්සත් ජනපද වාඩිලෑම ආරම්භ වූ දා සිට සෑම පාලන තන්ත්‍රයකම අවස්ථාවාදී දේශපාලන ජීවියෙකු වන සාලිහ් ට්‍රම්ප් හමුවීමට එකඟ වීම නිසා දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර බොහෝ දෙනෙක් ඔහුට ඉරාකයට නොඑන ලෙස අනතුරු ඇඟවූහ.

මෙම සිදුවීම් පසුගිය දශක තුනක කාලය තුල මැද පෙරදිග වොෂින්ටනයේ මැදිහත්වීමේ ඉඳුරාම නව යටත් විජිත ස්වභාවය පැහැදිලි කර ඇති අතර එය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්”, “මානව හිමිකම්”, “මහා ජන සංහාරක ආයුධ” සහ “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම යන තැනින් තැනට ඇදී යන සටන් පාඨ යටතේ ගෙන යන ලදී.

සිරියාවේ තන්ත්‍ර මාරු කිරීමේ යුද්ධයේදී එක්සත් ජනපදය හා එහි සගයන් විසින් මුදා හරින ලද අල් කයිඩාවට සම්බන්ධ හමුදාවන්ගෙන් හැදී වැඩුනු ජිහාඞ් හමුදා කන්ඩයක් ලෙස වොෂින්ටනය විසින් නිර්මිත ෆ්‍රැන්කන්ස්ටියානු යක්ෂයෙකු (තමන් විසින් තැනූ තමන්ටම එරෙහි වන යක්ෂයා - පරි) ලෙසින් පසුව නැගෙනහිරට හැරී 2014දී ඉරාකයෙන් තුනෙන් පංගුවක් අල්ලා ගත් ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්අයිඑස්) පරාජය කිරීමේ මුවාවෙන් ගෙන්වා ගත් දල වශයෙන් 6000ක එක්සත් ජනපද හමුදාවක් දැන් ඉරාකයේ සිටියි. “අයිඑස්අයිඑස්ට එරෙහි යුද්ධය” හේතුවෙන් ඉරාකයේ පෙර පැවති දෙවන නගරය වූ මොසුල් සහ අන්බාර් ප්‍රාන්තය පුරා වූ නගර විනාශ විය, දස දහස් ගනනක් මිය ගිය අතර ලක්ෂ ගනනකට නිවාස අහිමි විය.

දැන් එක්සත් ජනපද මිලිටරි අන දෙන නිලධාරීන් පවසන්නේ අයිඑස්අයිඑස් තවදුරටත් බරපතල තර්ජනයක් නොවන බවත්, අයිඑස්අයිඑස්ට එරෙහිව බොහෝ සටන් සිදු කල ඉරානය සහ ඉරාන බලපෑමට ලක් වූ ඉරාක ෂියා මිලීෂියාවන් ඉරාකයේ ප්‍රධාන සතුරන් බවත් ය. එක්සත් ජනපද කඳවුරු සඳහා සත්කාරකත්වය සැපයිය හැකි වෙනම සුන්නි ඉරාක රාජ්‍යයක් පෝෂනය කිරීම අරමුනු කරගත් එක්සත් ජනපද නිලධාරීන් සහ ඉරාක සුන්නි දේශපාලනඥයින් අතර සාකච්ඡා පිලිබඳ වාර්තා වී තිබේ.

මෙහි සිදුවන්නේ මැද පෙරදිග නව අධිරාජ්‍යවාදී කාවැදීමක් ය. සිරියාවේ මෙම මෙහෙයුමේ සාපරාධී ස්වභාවය ට්‍රම්ප් විසින් විවෘතව ප්‍රකාශ කර ඇති අතර, රටේ සම්පත් කොල්ලකෑමට ප්‍රධාන එක්සත් ජනපද බලශක්ති සමූහයක් ගෙන ඒමට යෝජනා කරමින් ඊසානදිග ඩියර් එසෝර් පලාතේ තෙල් හා ගෑස් නිධි අත්පත් කර ගනිමින් “තෙල් අල්ල ගන්න” යනුවෙන් එක්සත් ජනපද හමුදාවන්ට නියෝග කලේය.

නිර්ලජ්ජිත අධිරාජ්‍යවාදී කොල්ලකෑමක් දෙසට වන මෙම හැරීම යටින් පවතින්නේ වොෂිංටනයේ උපායමාර්ගික අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා මැද පෙරදිග එක්සත් ජනපදයේ බහුවිධ මිලිටරි මැදිහත්වීම් සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් අසාර්ථක වීමයි. චීනය සමඟ “මහා බල” ගැටුම සඳහා පිට පොට ගැසීමේ කොටසක් ලෙස එය දැන් ඉරානයට එරෙහි කලාපීය යුද්ධයක් දෙසට හැරෙමින් සිටින අතර, චීන ආර්ථිකය රඳා පවතින බලශක්ති සම්පත්වල හුස්ම හිරකර තැබීමට මිලිටරි බලය යෙදවීමට උත්සාහ කරයි.

ඉරාක ජනතාවගේ නැගිටීම එක්සත් ජනපද වාඩිලෑමට එරෙහි මහජන විරෝධයක් පමනක් නොව, පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට 600ක් පමන මිය ගිය සමාජ අසමානතාව, විරැකියාව සහ පාලන තන්ත්‍ර දූෂනයට එරෙහි රට සොලවාලූ අඛන්ඩ විරෝධතාවල ප්‍රකාශනයකි..

පරාජිත ඔටෝමාන් අධිරාජ්‍යයේ මලකඳෙන් යටත් විජිතයක් කඩා අත්පත් කර ගත් බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහි ඉරාකයේ සුන්නි සහ ෂියා ජනගහනය එක් ව කල වීරෝදාර අරගලය වූ 1920ශ්‍රේෂ්ඨ ඉරාක විප්ලවයේ සියවස ලඟා වෙත් ම මෙම අරගල දිග හැරෙමින් තිබේ. .

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිතුවක්කාරී ම්ලේච්ඡත්වයකින් පලිගත්තේය, දුගී දුප්පත් ජනතාවකට එරෙහිව විෂ ගෑස් සහ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඉරාක ජාතිකයින් 10,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කලේ ය. එවකට යුද ඇමතිව සිටි වින්ස්ටන් චර්චිල් ප්‍රකාශ කලේ, “ජීවී ලෙස ත්‍රස්තය පැතිරවීම සඳහා අශිෂ්ට ගෝත්‍රිකයන්ට එරෙහිව විෂ වායුව භාවිතා කිරීම ගැන මම බොහෝ සෙයින් එකඟ වෙමි.”

රූපික ස්වාධීනත්වය සහ ඉරාකයේ හා මැදපෙරදිග පුරා ධනේශ්වර ජාතිකවාදී පාලනයේ අඩ සියවසකටත් වඩා වැඩි කාලයක දී කලාපය අධිරාජ්‍යවාදී පීඩනයෙන් නිදහස් කිරීමට හෝ වැඩකරන ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සපුරාලීමට අසමත් වී තිබේ. දැන්, චර්චිල් විසින් තොරොම්බල් කරන ලද ක්‍රමවේදයන් වියරු වේශයෙන් ආපසු පැමිනේ.

පන්ති අරගලයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ දිග හැරෙමින් පවතින අසල්වැසි ලෙබනනයේ මෙන් ම ඉරානයේ ද කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අරගල සමඟ ඉරාකයේ මහජන විරෝධතා ඉදිරි මාවත පෙන්වා දෙයි.

එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ජාත්‍යන්තරව මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ කර ගනිමින් පැවති 2003 ඉරාක යුද්ධයට එරෙහි මහජන පෙලපාලිවලට දැන් වසර දාහතක් ගත වී ඇත. ලොව පුරා කම්කරුවන් හා තරුනයින් අතර යුද්ධයට දැවැන්ත විරෝධයක් පවතී. මෙම විරුද්ධත්වය පුලුල් වන පන්ති අරගලයට හා සමාජ අසමානතාවයට එරෙහි විරෝධතාවන්ට සම්බන්ධ විය යුතුය.

යටත් විජිතවාදය යලි පිහිටුවීමට හා නව අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයකට එකම පිලිතුර සපයන්නේ ඉරාකයේ, පුලුල් මැද පෙරදිග හා ජාත්‍යන්තර වශයෙන් ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගලයයි. යුද්ධයේ හා සමාජ අසමානතාවයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම සඳහා වන පොදු අරගලය තුල ලොව පුරා කම්කරුවන් එක්සත් කිරීම සඳහා මෙම නැගී එන මහජන ව්‍යාපාරය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතුය.

බිල් වැන් ඕකන්

Share this article: