විශ්‍රාම පාරිතෝෂිකය කප්පාදු කිරීමට එරෙහිව ගුරු-විදුහල්පති විරෝධතා පා ගමනක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 ජූනි 9

රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය 28 දා බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමේ සිට ඉසුරුපාය දක්වා පාගමනකින් පැමින විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ. විශ්‍රාමික පාරිතෝෂිකය කප්පාදු කිරීම අත්හිටුවීම, වැටුප් විෂමතා ඉවත් කිරීම හා අතුරු වැටුප් යෝජනා ක්‍රියාත්මක කිරීම, උසස්වීම් විධිමත් කිරීම හා හිඟ වැටුප් ලබා දීම ඔවුන්ගේ මූලික ඉල්ලීම් ය. උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකයට කෙටීමේ සැලැස්මක් ක්‍රියාවට දමා ඇත. දැනට පොරොත්තු ලේඛනයේ විශ්‍රාමිකයන් 13,200ක් පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා පෙල ගැසී සිටින බවත් ඒ සඳහා වසරකට අවශ්‍ය රුපියල් බිලියන 7ක මුදල ගෙවීමට භාන්ඩාගාරයට මුදල් නැති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්.ඒ.ජේ. සෙනෙවිරත්න පවසා ඇත.

මෙතෙක් පැවති ක්‍රමය අනුව රජයේ සේවකයෙකු විශ්‍රාම යාමේ දී අඩු නොකල මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුනයක මුදලක් විශ්‍රාම පාරිතෝෂිකය ලෙස හිමිවුනි. වසර 10 ක් තුල දී ඉන් සියයට 50 ක් ආපසු අය කර ගැනුන අතර ඉතිරි සියයට 50 පාරිතෝෂිකයක් ලෙස විශ්‍රාමිකයාට හිමි විය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ 4/2014 චක්‍රලේඛය මගින් විශ්‍රාම පාරිතෝෂිකය බැංකු නයක් බවට පරිවර්තනය කර ඇති අතර වසර 18 ක් තුල දී මුලු මුදල ම අය කර ගනී. පොලී රහිත නයක් ලෙස මෙය හඳුන්වා දී ඇතත් බැංකුව සේවා ගාස්තුවක් අය කරයි.

රාජපක්ෂ ආන්ඩුව විසින් 2006 සිට ක්‍රියාවට දමා ඇති රාජ්‍ය අංශයේ වැටුප් කැටිකර තැබීමේ පිලිවෙතට අනුව සොච්චම් දීමනාවක් වැටුපට එල්ලීම මිස රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ මූලික වැටුපේ ඉහල යාමක් සිදුවූයේ නැත. ජීවන වියදම සීග්‍රව ඉහල යන තතු තුල විශ්‍රාමික පාරිතෝෂිකය කප්පාදු කිරීම මගින් විශ්‍රමිකයන්ගේ සමාජ කොන්දේසි තවදුරටත් ඛාදනය කෙරෙනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල ගුරුවරු කිහිපදෙනෙකු ජීවන වියදම නිතිපතා ඉහල නැගීම නිසා ලැබෙන වැටුපෙන් තමන්ට ජීවත් වීම අසීරු බව ප්‍රකාශ කලහ.

සේවාකාලය වසර 20 ක් වන, ඕපාත මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන එම්.ජේ. වීරවික්‍රම මෙසේ පැවසීය: "මගේ මූලික වැටුප රුපියල් 20,845 යි. අඩුකිරීම් වලින් පසුව අතට එන්නේ රුපියල් 8,000 ක් විතර. දරුවෝ දෙන්නෙකුත් සමග පවුලක් නඩත්තු කරන්න බැහැ. දෙමව්පියෝ විශ්‍රාමිකයන් නිසා ඒ අය නඩත්තු කරන බර සැහැල්ලු වෙලා තියෙනවා." යුද්ධයෙන් පසුව කම්කරු පන්තියට සහන දෙන බව ආන්ඩුව කිව්වත් යුද්ධය පැවති කාලයටත් වඩා ආර්ථික ප්‍රශ්න උග්‍ර වී ඇති බවත් ආන්ඩුවේ සංවර්ධනයෙන් කම්කරු පන්තියට සෙතක් වී නැති බවත් වීරවික්‍රම ප්‍රකාශ කලේ ය. කෙසේ වුව ද ජවිපෙ සාමාජිකයෙකු වන ඔහු තම පක්ෂය යුද්ධයට සහය දීම ආරක්ෂා කලේ ය.

උපාධිධාරී ගුරුවරයෙකු වන කපිල, ගෝනපොල මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. ඔහුගේ ඒකාබද්ධ වැටුප රුපියල් 27,000 කි. "බිරිඳත් රැකියාවක් කලත් මාසෙකට රුපියල් 40,000 පමන අතට එන්නේ. ලමයි දෙන්නත් එක්ක 4දෙනෙකුගේ පවුලේ වියදම පිරිමහ ගන්න අමාරුයි. දෙමව්පියන්ගෙන් ලැබුන ගෙයක් තියෙන නිසා ගෙවල් කුලියක් නැහැ." ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුව ගැන සඳහන් කල ඔහු ගුරුවරුන් සහ දෙමව්පියන් මත අසීමිත බරක් පටවා ඇති බව පැවසුවේ ය. "ලිපි ද්‍රව්‍ය සහ සහ ගුරු වැටුප් ඇරුනම අනෙක් හැම වියදමක් ම දෙමව්පියන් දැරිය යුතුයි. පාසල් පාදක ඇගයීම් ක්‍රමය නිසා ගුරවරු කොල පුරවන්නෝ බවට පත්වෙලා."

ගුරුසේවයේ උසස්වීම් විධිමත් ලෙස ලබා නොදෙන අතර උසසස්වීම් සඳහා හිමි විය යුතු හිඟ වැටුප් නිසි ලෙස ගෙවීම ආන්ඩුව පැහර හැර ඇත. 1994 සිට 2005 දක්වා රුපියල් ලක්ෂ 7 ක් හිඟ වැටුප් ලෙස තමාට ලැබිය යුතු වුවත් එය කප්පාදු කර ලක්ෂ එකහමාරක් පමන ලැබුන බව තවත් ගුරුවරයෙක් කීවේ ය.

"වැටුප් විෂමතාව නිරාකරනය කරන තුරු අතර මැදි විසඳුමක් ලෙස" රාජපක්ෂ ආන්ඩුවේ කැබිනෙට්ටුව විසින් 2008 දෙසැම්බර් මාසයේ දී අතුරු වැටුප් යෝජනාවක් අනුමත කරනු ලැබීය. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කල බව ද ආන්ඩුවෙන් ප්‍රකාශ කෙරුනු අතර සමිති නිලධරය එය පිලි ගත්තේ ය. ආන්ඩුව යෝජනාව කුනු කූඩයට දැමීය. ඇත්තට ම සිද්ධ වුනේ ආන්ඩුවත්, සමිති නිලධරයත් එක්ව ගුරුවරුන් නොමග යවා ඔවුන්ගේ අරගලය පසුපසට තල්ලු කිරීම යි.

තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ දැවෙන උවමනාව ගුරුවරුන් අතර යලි වර්ධනය වෙමින් තිබෙන බව බදාදා උද්ඝෝෂනය තුලින් පිලිබිඹු විය. එහෙත් ගුරු-විදුහල්පති සමිති එකමුතුවේ නායකයන්ගේ අරමුන ඊට පටහැනිය; ඔවුන්ගේ සැබෑ එල්ලය වන්නේ ගුරුවරුන් අතර වැඩෙන නොසන්සුන්තාව පුහු විරෝධතාවලට කොටු කර වාෂ්ප කර දැමීම ය.

විරෝධතා උද්ඝෝෂනය අවසානයේ ගුරුවරුන් ඇමතූ ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේසං) ලේකම් මහින්ද ජයසිංහ, "2012 දෙසැම්බර් 31 සාකච්ඡා කලාට පසු අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන සාකච්ඡාවක් වත් දුන්නේ නැතැ" යි පවසමින් නාහෙන් ඇඬුවේ ය. ආන්ඩුව විශ්‍රම පාරිතෝෂිකය කප්පාදු කිරීමේ සැලැස්ම අකුලා ගත්තේ නැත්නම් ජුනි පස්වෙනිදාට ලංකාවේ සියලූම පාසල් වසා එක් දින සංකේත වර්ජනයක් කරන බවත් ඉන් අනතුරුව ලක්ෂ දොලහහමාරක් වන රාජ්‍ය සේවකයන් සමග පාරට බහින බවත් ඔහු ප්‍රකාශ කලේ ය.

ලංගුසේස ඉතිහාසය මෙම පූච්චානම් කතාවලට විපරීත ය. වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම මුල් කරගෙන 2007 සැප්තැම්බර් මස පැවැත්වූ එක් දින සංකේත වර්ජනයට දිවයින පුරා 200,000 පමන ගුරුවරු සහභාගී වූහ. නමුත්, ගැටලුව විසඳන බවට ආන්ඩුව දුන් ව්‍යාජ පොරොන්දුව පිලිගත් සමිති නායකයෝ රටේ "පවතින තත්වය සැලකිල්ලට ගෙන" දෙවන සංකේත වර්ජනය අත් හිටුවීමට තීන්දු කලහ. "පවතින තත්වය" හෙවත් යුද්ධයට කම්කරු පන්තියේ ඉල්ලීම් යට කොට පාගා දැමීමට ජවිපෙ සහ එහි සමිති ආන්ඩුව සමග ඒකාබද්ධව කටයුතු කලේ එසේ ය.

ජනාධිපති රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය ඇදි ජවිපෙ ඔහු යලි ආරම්භ කල යුද්ධයේ ප්‍රමුඛ උද්ඝෝෂකයෙකු සහ සහකරුවෙකු වුයේ ය. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් දෙමල ජනතාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී වර්ධනය කරගත් මර්දන යන්ත්‍රය දැන් කම්කරු පන්තියට එරෙහිව යොදා ගනිමින් පවතින අතර මෙම තත්වයට ජවිපෙ වගකිව යුතු ය.

වසර 17 ක් පුරා ගුරුවරු ඇතුලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව පිලිබඳ ගැටලුව විසඳී නැතැයි ජයසිංහ ප්‍රකාශ කලේය. නිතැතින්ම මතුවන ප්‍රශ්නය නම් මෙම වසර 17 තුල සමිති නිලධරය කලේ කුමක් ද? යන්නයි. පිලිතුර පැහැදිලි ය. වසර 17 ක් ම ඔවුන් කලේ යුද්ධයට, පුහු විරෝධතාවලට හා බලයේ පැවති ආන්ඩුවල බොරු පොරොන්දුවලට කම්කරු පන්තිය හිරකර ධනපති ආන්ඩුවලට තමන්ගේ වැඩ පිලිවෙල ඉදිරියට ගෙනයාමට කොන්දේසි සකසා දීම යි.

විශ්‍රම වැටුප් කප්පාදුව ඇතුලු කම්කරු පන්තියේ වැටුප් සහ සේවා කොන්දේසි වලට රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්, ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ලොව පුරා ම ධනපති පාලක පන්තීන් කම්කරු පන්තියට එරෙහිව මුදා හැර ඇති සමාජ ප්‍රතිවිප්ලවයේ කොටසකි.

මෙම වසර මුල දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.9 වූ ක් වූ අය‐වැය පරතරය වසර අවසන් වන විට 5.2 දක්වා අඩු කිරීමට ජාත්යයන්තර මූල්‍ය අරමුදල රාජපක්ෂ ආන්ඩුවට නියෝග කර ඇත. එය 2016 වන විට 3.8 දක්වා අඩු කිරීමට නියමිත ය. වැඩකරන ජනතාවගේ අයිතීන් කැපීම හැර වෙනත් මාවතක් ඒ සඳහා ආන්ඩුවට නැත. නිදහස් අධ්‍යාපනය, රෝහල් සේවය හා විශ්‍රාම වැටුප් කප්පාදු කෙරෙන්නේ ඒ අනුව ය.

මේ තතු තුල ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනා ගැනීමේ අවකාශයක් කම්කරු පන්තියට තවදුරටත් නැත. ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්වූ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සඳහා කම්කරු පන්තිය ද එම නායකත්වය වටා අවශේෂ පීඩිතයන් ද බලමුලු ගැන්විය යුත්තේ එබැවිනි.

කියවන්න:

රාජපක්ෂ ආන්ඩුව රජයේ සේවකයන්ගේ විශ්‍රාම අයිතීන් කැපීම අරඹයි

ශ්‍රී ලංකාව: ජවිපෙ මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.

Share this article: