ලංකාවේ යුද අපරාධ පිලිබඳ එජා යෝජනාව ගැන සරසවි ආචාර්යවරුන් කන්ඩායමක ආයාචනය -
අධිරාජ්‍යවාදය ඉදිරියේ බුද්ධිමතුන්ගේ දන ගැසීම

කේ. රත්නායක විසිනි, 2015 නොවැම්බර් 22

ලංකාවේ යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝනය පිලිබඳව විමර්ශනය කිරීමේ නමින්, ඒවා ආවරනය කිරීමට එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් ඉදිරිපත්කර ඔක්තෝබර් 1 දා එජා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී සම්මත කරගත් යෝජනාව උත්කර්ෂයට නැංවීමට රොද බැඳ ගත් ඉහල මධ්‍යම පන්තික ව්‍යාපාර අතර විශ්ව විද්‍යාලවල ප‍්‍රධාන පෙලේ ආචාර්යවරුන් කන්ඩායමක් කැපී පෙනෙයි.

දේශපාලන විශ්ලේෂකයන් ලෙස පුම්බා ඇති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි හා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප‍්‍රමුඛ මෙකී කන්ඩායම ඉහත කී යෝජනාවට සුදුහුනු ගා ආන්ඩුව ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගයක් ලෙස “ජාතීන් හා ආගමික කන්ඩායම් අතර සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීමට” උපදෙස් දෙන ආයාචනයක් ඉදිරිපත් කර ඇත.

ඔක්තෝබර් 11 දා රාවය පුවත් පතේ ද තවත් ජනමාධ්‍යවල ද පල කෙරී තිබු මෙම ආයාචනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන් සහ එජා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් රාඩ් හුසේන් වෙත කරන ලද ආමන්ත‍්‍රනයකි. මෙම ලියවිල්ල කලක් රැඩිකලුන් හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස පෙනී සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුලු ලංකාවේ බුද්ධිමතුන් කන්ඩායමක් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට මාරුවී යාම හා ඔවුන්ගේ බුද්ධිමය පරිහානිගත වීම සලකුනු කරයි.

සිවිල් වැසියන් දස දහස් ගනන් ජීවිතක්ෂයට පත් කරමින් හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මිලිටරි පරාජයකට පත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ආන්ඩුව ගෙන ගිය යුද්ධයට වොෂින්ටනය මුලුමනින්ම සහයෝගය දුන් බව ප‍්‍රකට කරුනකි. යුද්ධය අවසාන වීමෙන් පසුව යුද අපරාධ ප‍්‍රශ්නය මතු කිරීමේ යෝජනා කීපයක්ම මානව හිමිකම් කවුන්සිලයට ඉදිපත්කල වොෂින්ටනය ගිය අවුරුද්දේ එහි රැස්වීමේදී ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් අනුමත කර ගත්තේය. ඔබාමා පාලනය මෙවර තවත් හැරීමක් ගනිමින් කොලඹ ආන්ඩුව යෝජනා කරන පරිදි “ජාත්‍යන්තර උදව් ඇතිව” ඊනියා දේශීය යාන්ත‍්‍රනයක් මගින් පවත්වන පරීක්ෂනයකට සහාය දෙන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරදීමට කි‍්‍රයා කලේය.

මෑත දශක එක හමාර පමනක් ගත්තත්, මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී උවමනාකම්වලින් මෙහෙය වෙන එක්සත් ජනපදයට ඇත්තේ ඇෆ්ඝනිස්ථානයෙන් පටන්ගෙන සිරියාව දක්වා දිවෙන අසංඛේය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධවල ලේ වැකි වාර්තාවකි. එවන් රටක් ලංකාවේ මානව හිමිකම් ගැන “අනුකම්පාව” දැක්වීමට උනන්දුවුයේ මන්දැයි විමසනු තබා අඩුම තරමින් ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලීමේ සිට දේශීය පරීක්ෂනයක් කරා මාරුවූයේ මන්දැයි සොයා බැලීමට වත් උවමනාවක් මේ ආචාර්යවරුන්ට නැත.

ඇමරිකාව කලේ, ලංකාවේ යුද අපරාධ තම අධිරාජ්‍යවාදී මූලෝපායික අවශ්‍යතා සඳහා උපා මාරු දැමීමට යොදා ගැනීමයි. ආසියාවට හැරීමේ වැඩපිලිවෙලක් මත චීනයට එරෙහිව සිය යුද සැලසුම් සකස් කරන තතු තුල, ඉන්දියානු සාගරයේ මුලෝපායිකව පිහිටා තිබෙන ලංකාව තම සැලසුම් වලට ඈඳා ගැනීම ඇමරිකාවට අවශ්‍යය. යුද අපරාධ පිලිබඳ ප‍්‍රශ්නය කුහක ලෙස ඉදිරිපත් කරමින් ඇමරිකාව රාජපක්ෂට බලපෑම් එල්ල කලේ බෙයිජිනය සමග ඔහු ගෙනගිය සබඳතාවලට වලකපා තම උවමනාකම් අනුව ලංකාව පෙල ගස්වා ගැනීමට ය.

තමන් බලයේ සිටින නිසා මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලීමේ යෝජනාවේ “සැර බාල කර ඇත” යයි සිරිසේන පම්පෝරි ගසයි. ඇත්ත හේතුව ඔබාමා පාලනය තිරයෙන් පිටුපස සිට ගෙන ගිය තන්ත‍්‍ර මාරු මෙහෙයුමකින් සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දවූ පසු කොලඹ ආන්ඩුව චීනය සමග සබඳතා ක‍්‍රමයෙන් බිඳිමින් ඇමරිකාවට ගැලපෙන ලෙස ප‍්‍රතිපත්ති මාරු කිරීම ය.

මේ ආචාර්යවරුන් සියල්ලෝම නැත්නම් මූලිකයන් පිරිස ඇමරිකාව කොලඹ සිදුකල තන්ත‍්‍ර මාරුවට හවුල් වූහ. ඇමරිකාවේ මුලෝපායික උවමනාකම් අනුව කොලඹ ආන්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට ද ඔවුන් පක්ෂ ය. යුද අපරාධ ගැන කම්පාවට පත්ව ඒවා “නිවැරදී කරන්නට” උපදෙස් දෙන්නන් ලෙස පෙනී සිටියත් වෛෂයිකව ඔවුන් සහයෝගය දෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ලේ වැකි වාර්තාවට පමනක් නොව චීනයට එරෙහි ඔවුන්ගේ යුද ධාවනයට යි. මෙම මිලිටරි ධාවනය, දකුනු චීන මුහුදේ හෝ වෙනත් තැනක ඇමරිකාව ඉවබව නැතිව කරන ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවකින් තුන්වන ලෝක යුද්ධයක ගිනි සිලූව ඇවිලීමේ තර්ජනය මතු වී ඇත.

ඇමරිකාව එජා මානව හිමිකම් කවුන්සිලය තුල අනුමත කර දුන් යෝජනාවෙන් සිදුකර ඇත්තේ කොලඹ ආන්ඩුවට යුද අපරාධ ආවරනය කර ගැනීමට අවස්ථාව සලසා දීමයි. “ලොව කිසිදු යුද්ධයක් අහිංසක හෝ පිරිසිදු එකක් යයි කිව නොහැකි ය,” පවසමින් ආචාර්යවරුන් යුද අපරාධ සාධාරනීකරනය කරති. යුද්ධය ද යුද අපරාධ ද ඉෂ්ටවූ සිද්ධීන් ලෙස පිලිගන්නා මෙම කන්ඩායම මින් මනත එවැනි ගැටුම් වලක්වා “ජාතිකසංහිඳියාවක්” ඇති කිරීමේ නමින් කුහක වට්ටෝරුවක් ඉදිරිපත් කරයි.

යෝජනා වට්ටෝරුව සංක්ෂිප්තව මෙසේය: “යුද්ධයෙන් පීඩාවට පත්වූවන් ගේ අත්දැකීම් පිලිගත යුතු යයි අපි තරයේ විශ්වාස කරමු. මානව හිමිකම් උල්ලංඝනයට ලක්වුවන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුය. ඔවුන්ගේ හඬට සවන් දිය යුතුය.” මානව හිමිකම් විමර්ශනය කිරීමට “අනාගතයේ සකස් වන ඕනෑම යාන්ත‍්‍රනයක් තුල යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනයාගේ අවශ්‍යතා ප‍්‍රමුඛ විය යුතු බවට ” ලියවිල්ල උපදෙස් දෙයි.

වැරදිකරුවන්ට දඬුවම් දීම පමනක් ප‍්‍රමානවත් නොවේ... “විමර්ශනයේ හා වගවීමේ කි‍්‍රයාවලිය අපක්ෂපාතී හා යුක්තියුක්ත එකක් විය යුතුය.” ලංකාවේ අධිකරනයේ ස්වාධීනත්වය අර්බුදයට ගොස් ඇති නිසා දේශීය ක‍්‍රමයක් ප‍්‍රමානවත් නොවන බව සඳහන් කරන එම ප‍්‍රකාශය දකුනු අපි‍්‍රකාව හා කාම්බෝජය වැනි රටවල ඇති කල යාන්ත‍්‍රනවල ආදර්ශය ඇතිව කි‍්‍රයා කිරීම අවශ්‍ය බව කියා සිටී.

ලියවිල්ල අවසානයේ මෙසේ නිගමනය කරයි: “සැබෑ ලෙසම බහු විධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වැදගත්ම තීරකය වන්නේ යුද්ධය කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් අප කි‍්‍රයා කරන්නේ කෙසේද යන සාධකයයි.”

ඔවුන් ඉදිරිපත් කරන යෝජනා පීඩාවට පත්වූ ජනයා මොන තරම් කුජීත තත්වයකට ඇද හෙලීමක් ද? ඔවුන්ට අනුව වැරදි කල වුන් ඒවා පිලිගැනීමෙන් හා ඉන් විපතට පත්වූවන් සිය දුක්ගැනවිලි කීමෙන් දෙපාර්ශ්වය අතර සංහිඳියාවකට මග පෑදේ! පාපොච්චාරනයෙන් ක්ෂමාව ලබා ස්වර්ගයට සම්ප‍්‍රාප්තවීමට හැකි වන්නා සේය.

තම අභ්‍යාසයට විශ්වාසනීයත්වයක් ඇතුලු කිරීම සඳහා “දකුනු අපි‍්‍රකාවේ හා කාම්බෝජයේ ආදර්ශ පදනම් කොටගෙන” ලංකාවේ යාන්ත‍්‍රනය ද ගොඩ නැංවිය යුතුය යි ආචාර්යවරු යෝජනා කරති. මේ එකදු ආචාර්යවරයෙක් වත්, ද. අපි‍්‍රකාවේ හෝ කාම්බෝජයේ ජනයාට ඊනියා යාන්ත‍්‍රනයන් මගින් සිදුවූ සෙත කුමක්දැයි සොයා බලා ඇත්ද?

“සත්‍යය හා සංහිදියා කොමිසම” නමින් උගුලක් දකුනු අපි‍්‍රකාවේ ඇටවුයේ ඇපාර්තයිඞ් පාලකයන්ට එරෙහිව පැන නැගුනු විප්ලවවාදී ව්‍යාපාරය යටපත්කොට කළු ධනපති පන්තිය අතට පාලන බලය මාරු කිරීමේ උපාමරුවල කොටසක් ලෙසය. කාම්බෝජයේ එය ඇටවුයේ පොල්පොට් පාලනයට එරෙහි මහජනයා අතර නැගි විරුද්ධත්වය කොටු කරලීමටය.

දකුනු අපි‍්‍රකාවේ කොමිසම ගැන කියතොත්, 1990 ගනන් අග එය රැස්වූ අවස්ථාවල, විපතට පත්වූ පිරිස් තමන් විඳි වදහිංසා, සිය සමීපයන් මැරූ හා අතුරුදහන් කල හැටි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කලහ. අපරාධකරුවෝ, සමාව ලැබීමේ පොරොන්දුව පිට, තමන් කල අපරාධ පිලිබඳව පාපොච්චාරනය කලහ. මියගිය අයගේ අස්ථි සොයාගත්තේ නම් ගරු බුහුමන් කොට වල දැමීමට ද අවස්ථාව ලැබුනි. කොමිසම ඇටවීමට කි‍්‍රයා කල නෙල්සන් මැන්ඩෙලා ද කොමිසමේ ප‍්‍රධානියා වූ ඩෙස්මන් ටුටූ ද වැඬේ හොඳ වුවත් “අසම්පුර්න” එකක් වූ බවට මහජන කෝපය මැද පසුව කෙඳිරි ගෑහ. පොරොන්දු වූ වන්දි නොලැබුනු ජනයා තවමත් ආන්ඩුවට හා කොමිසමට චෝදනා කරති.

දැන් අලුත් පාලන තන්ත‍්‍රයක් යටතේ, අඛන්ඩව ගැඹුරුවන අසමානත්වය හා මර්දනය තුල කම්කරුවන් හා දුගියෝ මැඩලෙති. සිරිසේන ආන්ඩුව ලංකාවේ කොමිසමට උපදෙස් ලබා ගන්නේ එම මැඩලීම ගැඹුරු කරන ද. අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් ශුමා ගෙන් වීම අහම්බයක් නොවේ.

කාම්බෝජයේ තත්වය ගැන මෑත විශේෂ වාර්තාවක මෙසේ සඳහන් විය: “කාම්බෝජයේ අතිවිශේෂ උසාවි මන්ඩල 2006 පටන් නඩු ඇසීම ඇරඹීය. මේ දක්වා ඒ සඳහා ගිය වියදම ඩොලර් මිලියන 200ක් නමුත් විනිශ්චය මන්ඩලය දුෂනයන්, බාධා කිරීම් හා ඇඟිලි ගැසීම් ගොහොරුවක ගිලී ඇත; විනිශ්චයකාරයන් හා පරීක්ෂකයන් ඉල්ලා අස්වූහ.” අවුරුදු අටට ම දී ඇත්තේ එකම එක විනිශ්චයකි.

අචාර්යවරුන්ගේ උපදෙස් මත පිහිටුවෙන සත්‍ය කොමිසමෙන් මීට වැඩි දෙයක් විපතට පත් වුවන්ට ලැබෙනු නැත.

ආචාර්යවරුන් “සංහිඳියාව” නමින් අදහස් කරන්නේ දෙමල ධනපතියන් අතට බලතල ප‍්‍රමානයක් ලබා දීමේ සම්මුතියකි. එවැනි සම්මුතියකින් දෙමල කම්කරුවන්ගේ හෝ දුගීන්ගේ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් නොලැබේ. ලංකාවේ ධනපති පන්තියේ කිසිම කොටසකට එවන් “ජාතික සංහිඳියාවක්” ඇති කල නොහැක. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් බලය තමන් අතට දීමෙන් පසු ලංකාවේ සිංහල ධනපතියන් කි‍්‍රයා කලේ ප‍්‍රමුඛවම දෙමල-විරෝධී පිලිවෙත් මගින් සිංහල, දෙමල කම්කරුවන් බෙදා වෙන්කර තම පන්ති පාලනය රැකගැනීම සඳහා ය. වර්ගවාදී යුද්ධයක් ඇවිලීම දක්වා ගෙන ගියේ එම වැඩපිලිවෙලයි. දෙමල ධනපතියන් ප‍්‍රතිචාර දැක්වුයේ තමන්ගේ පන්ති උවමනාකම මත වර්ගවාදය පාවිච්චි කිරීමෙනි.

දෙමල ජාතික සන්ධානය (ටීඑන් ඒ) ඇතුලු සියලු දෙමල ධනපති සංවිධාන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් පිටුපස පෙලගැසී සිටිති. ටීඑන්ඒ ඇතුලු බොහෝ සංවිධාන ඇමරිකාව සුදානම් කල කොලඹ ආන්ඩු මාරුවට උරදුන්හ. ඔවුන් සියල්ලෝම වොෂින්ටනයේ සැකසු මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සහය දෙති.

ආචාර්යවරුන් උපදෙස් දෙන්නේ ධනපති පන්තියේ මෙම කොටස්වලට ය. වික‍්‍රමසිංහ 1983 යුද්ධය ආරම්භ කල එජාප ආන්ඩුවේ කැබිනෙට් ඇමතියෙකු විය. ඔහු රාජපක්ෂ යලි ආරම්භ කල යුද්ධයේ ප‍්‍රධාන ආධාරකරුවෙකි. සිරිසේන යුද්ධයට ආරම්භයේ පටන් සහයෝගය දුන් ශී‍්‍රලනිප නායකයෙකි. යුද අපරාධ ආවරනය කිරීමේ ඔවුන්ගේ උවමනාව, සිරිසේන හා වික‍්‍රමසිංහ ද ඔවුන්ගේ පක්ෂ ද වර්ගවාදී දෘෂ්ටියේ ගැලී සිටීම පෙන්නුම් කරයි. ආචාර්යවරුන් මේ ඉතිහාසයය ද මූලධර්මාත්මකව ප‍්‍රශ්නවලට පිවිසීම ද තරයේ ප‍්‍රතික්ෂේප කරති.

ජාතික හා ආගමික වෙනස්කම් අහෝසි කොට සමානාත්මතාවයේ පදනම මත සැබෑ එකමුතුවක් ගොඩ නැගිය හැක්කේ වාර්ගික භේදකාරිත්වයේ මූලාශ‍්‍රය වන ධනවාදය පෙරලා දමා සමාජවාදී පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙනි. දෙමල හා සිංහල දුගීන් තමන් වටා රැලි කර ගන්නා කම්කරු පන්තියට පමනි ඊට නායකත්වය සැපයිය හැක්කේ. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

උයන්ගොඩ මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සහයෝගය දීමට එන්නේ සිරිසේන බලයට ගෙන ඒමට සටකපට ලෙස දායක වීමෙන් පසුවය. ඔහු නිර්මාල් රන්ජිත් දේවසිරි මෙන් සිරිසේන වෙනුවෙන් විවෘත උද්ඝෝෂනවල යෙදී ගත්තේ නැත. “උත්සුකයන් තිබියදීම මා මෛතී‍්‍රපාලට චන්දය දෙන්නේ මන්ද” යි ලියු ප‍්‍රකාශයක ඔහු සඳහන් කලේ, සිරිසේන වටා වන සභාගයේ හා මැතිවරන ප‍්‍රකාශයේ කුමන සීමා සහිත කම් තිබුනත් “එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයට අවකාශය යලි විවර කර පුලුල් කරනු ඇත” යනුවෙනි.

අගෝස්තු 17 දා මැතිවරනයෙන් වැඩි ආසන ගනනක් දිනාගත් එජාපයට සිරිසේනගේ අධාරය ඇතිව ශී‍්‍රලනිපය හවුල් කරගත් ආන්ඩුවක් තැනීමට හැකි තත්වයක් නිර්මානය විය. එයින් ජනවාරි 8 දා තන්ත‍්‍ර මාරුව යම් ලෙසකට තහවුරු වී ඇති බව නිගමනය කල ඔබාමා පාලනය වෙනුවෙන් උප රාජ්‍ය ලේකම් නිශා දේශායි බිස්වාල් කොලඹට පැමින යුද අපරාධ ගැන ඇමරිකාවේ ප‍්‍රතිපත්ති මාරුව නිවේදනය කලාය.

අගෝස්තු 26 දින උයන්ගොඩ ලියු විශ්ලේෂනයක මාතෘකාව වූයේ “පුටිනිකරනය නතර කෙරුනත් ලංකාවට නව දෘෂ්ටිවාදයක් අවශ්‍යයි” යන්නය. පුටිනිකරනය යන යෙදුම ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය විසින් රුසියාවේ පුටින් තන්ත‍්‍රය විශේෂිත දුෂිත අධිකාරවාදයක් ලෙස හඳුන්වා දීමට ප‍්‍රචලිත කෙරුනකි. මෙම යෙදුම ඩැහගත් උයන්ගොඩ රජාපක්ෂගේ අධිකාරවාදී පාලනය සුවිශේෂිත එකක් ලෙස දක්වන්නේ ධනවාදය ශුද්ධ කර පවත්වා ගැනීම තොරම්බල් කරන්නෙකු ලෙස ය.

දේවසිරි ඇමරිකාවේ මානව හිමිකම් අධිරාජ්‍යවාදය රැකීමේ දී වඩා විවෘතය. ඔහු එය ආරක්ෂා කරන්නේ “ජාතිකවාදයට” එරෙහිව “විශ්වීය වටිනාකම්” ගෙන ඒමේ යෝධ අභ්‍යාසයක් ලෙස ය.

මැයි මාසයේ රාවයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී දේවසිරි මෙසේ සඳහන් කලේය: “ජාතිකවාදයේ මූලික දිසානතියට අපි කිසිම ඉඩක් නොදිය යුතුයි....අපිට තියනවා ලොකු නිධානයක්. ඒ තමයි අපි පසු ගිය කාලයේ ගෙනා යහපාලනයක්, සාධාරන සමාජයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අදහස්. මේවා විශ්වීය වටිනාකම්නේ...

ඔහු තවදුරටත් මෙසේ කියයි: “‘භයානකම මිථ්‍යාදෘෂ්ටිය තමයි අධිරාජ්‍යවාදය' කියන අදහසට [අප] හොඳටම ප‍්‍රහාර එල්ල කල යුතුයි. ඇමරිකාවේ න්‍යාය පත‍්‍රයක් නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. හැබැයි, අධිරාජ්‍යවාදය කියන්නේ වෙනම එකක් නේ. ඒක ඇතුලේ තමයි මෙහෙ ජාතිකවාදය පිකප් වෙන්න ගන්නේ. අධිරාජ්‍යවාදය පිලිබඳ කතිකාව එන්නෙම අද අපට අවශ්‍ය විශ්වීය වටිනාකම් වලට විරුද්ධව.”

ඔහුට අනුව “අධිරාජ්‍යවාදය කියන්නේ වෙනම එකකි.” අධිරාජ්‍යවාදය යන සංකල්පය ඉදිරිපත් කිරීම, ඊට සම්බන්ධ නැති භයානක මිථ්‍යාවකි. ඇමරිකාවේ න්‍යාය පත‍්‍රය හා අධිරාජ්‍යවාදය පිලිබඳ සංකල්පය අතර සම්බන්ධයක් ද නැත. මෙම විඥානවාදී ඛන්ඩනය උගතාගේ තකතීරු කම පමනක් නොවේ අධිරාජ්‍යවාදයට සේවය කිරීම සඳහා යථා තතු කනපිට හැරවීමේ කෛරාටික කමකි.

දේවසිරි ජාතිකවාදය ලෙස හඳුන්වන්නේ විශේෂකොටම රාජපක්ෂ හා ඔහු වටා රැලිවී සිටින වර්ගවාදී නඩයන් ය. ඔවුන්ට විරුද්ධව සටන් කිරීමේ මුවාවෙන් ඔහු යහපාලනයක්, සාධාරන සමාජයක් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ සූත‍්‍ර සට කපට ලෙස යොදා ගන්නේ ඇත්ත අරමුන වසන් කිරීමට ය. අධිකාරවාදී රාජපක්ෂ ගේ මිලිටරි- පොලිස් විධික‍්‍රම වලට එරෙහිව මහජන විරෝධය ගසාකෑමට හොඳම තුරුම්පුව ලෙස මෙම සුත‍්‍ර යොදා ගැනිනි.

යහපාලනයක්, සාධාරන සමාජයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සූත‍්‍ර ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් මානව හිමිකම් සමග කලවම් කර ඉදිරිපත් කලේ සිය මූලෝපායික න්‍යාය පත‍්‍රය පෙරට ගෙන යාමේ කඩතුරාවක් ලෙස මිස ඒවා “විශ්වීය වටිනාකම්” ලෙස තහවුරු කිරීම සඳහා නම් නොවන බව වටහා ගැනීමට ඒ තරම් බුද්ධියක් අවශ්‍ය නැත.

අධිරාජ්‍යවාදය යථා වෛෂයික ප‍්‍රපංචයකි; අධිරාජ්‍යවාදය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය මෙම යථා වෛෂයික ප‍්‍රපංචයෙන්--එහි ඓතිහාසික වර්ධනය හාත් පසින්ම විශ්ලේෂනය කිරීමෙන්--ව්‍යුත්පන්න කරගත්තකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ න්‍යාය පත‍්‍රය එහි වෛෂයික උවමනාවන්ගෙන් ගලා එයි.

පොලිස් විධික‍්‍රම රාජපක්ෂගේ පුද්ගලික දුර්ගුනයකින් පැනනැගුන ඒවා නොවේ; උග‍්‍රවන ආර්ථික දේශපාලන අර්බුදය හා සමාජ ආතතිය තුල ධනපති පන්ති පාලනය රැක ගැනීමට යුද්ධයේදී මුවහත් කරගත් මේ විධික‍්‍රම රාජපක්ෂ යොදා ගත්තේය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ඒවා ක‍්‍රමයෙන් ඉදිරියට එන හැටි කම්කරුවෝ, ශිෂ්‍යයෝ අත් දකිති.

දේවසිරි දෝංකාර දෙන්නේ ජාත්‍යන්තර වාම ලිබරල් බුද්ධිජීවීන් පිරිසක් මානව හිමිකම් රැකීමේ වෙසින් පෙනී සිටිමින් අධිරාජ්‍යවාදය වැලඳ ගනිමින් දෙසාබෑ ක්ෂමාලාප වල තවත් දකුනට ගිය ප‍්‍රතිරාවයකි. මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුවන් කෝල් ඔවුනතරින් කැපී පෙනෙයි. ලිබියාවේ හිටපු පාලක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමට එක්සත් ජනපද නේටෝ හමුදා ඉස්ලාමීය කැරලිකරුවන්ට සහයෝගය දෙමින් බෝම්බ ප‍්‍රහාර එල්ල කරද්දී ඊට පක්ෂව ඔහු ප‍්‍රකාශයක් නිකුත් කලේය. ඔහුට පිලිතුරු දෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවි කතෘ මන්ඩල සභාපති ඬේවිඞ් නොර්ත් කල විශ්ලේෂනය මෙහිලා උපුටා දැක්වීම වටී:

“මැද පෙරදිග පිලිබඳ ඉතිහාසඥ මහාචාර්ය ජුවාන් කෝල්, ලිබියාවට එල්ල කරන ප‍්‍රහාර වලට මහ හඬින් සහාය දෙයි.

“‘චුයින්ගම් හපන ගමන් ම ඇවිදින්නට උගත යුතු යයි මම වාමාංශයට කියා සිටිමි’ යි ඔහු උපහාසයෙන් ලියයි. වාමාංශය සම්බන්ධයෙන් ගත් කල ගැටලුව වන්නේ, සිය සම්ප‍්‍රදායික යුද විරෝධී මූලධර්මයන් අවස්ථාවට අනුව හැඩගස්වා ගැනීමට නොදන්නා කමයි. එක්සත් ජනපදය විසින් දියත් කරනු ලබන යුද්ධ කෙරේ වාමාංශය තම ආකල්ප පිලිබඳ තීන්දු කල යුත්තේ, ‘ඒවා එකින් එක වෙන් වෙන් ව සලකා බලමිනි’ යි ඔහු තර්ක කරයි. ... කෝල් මෙසේ ද කිය යි: ‘අන් සියලූ වටිනාකම් වලට එරෙහිව අධිරාජ්‍ය විරෝධය යන්න ඉව බව නැති තුරුම්පුවක් ලෙස යොදා ගැනීම පැහැදිලි ව ම විකාර ආස්ථානයන්ට දොර හැරීමකි’.

“ඉහත සඳහන් ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ, වංචනික භාවය නොවේ නම් සැලකිය යුතු ආකාරයෙන් බුද්ධිමය ව්‍යාකූලත්වයකි. ‘අධිරාජ්‍ය විරෝධය’ වනාහි අනෙකුත් වටිනාකම් සමග තත්කාර්යවාදී ව හුවමාරු කල හැකි එකක් නො වේ. එය වනාහි, ගෝලීය ධනවාදයේ වෛෂයික ආර්ථික, සමාජික දේශපාලන ව්‍යූහය පිලිබඳ විශ්ලේෂනයක් මත න්‍යායික ව පදනම් වූ දේශපාලන ආස්ථානයකි. කෝල් මග හරින්නට උත්සාහ කරන්නේ ම ලිබියාවට එරෙහි ප‍්‍රරහාරයට යටින් පවත්නා, ධනේශ්වර පාලක ප‍්‍රභූවේ සාරභූත අවශ්‍යතාවයන් නියත වශයෙන්ම එලිදරව් කෙරෙන එවන් විශ්ලේෂනයකි.” බලන්න:ලිබියාව, අධිරාජ්‍යවාදය සහ ‘වාම’ බුද්ධිමතුන්ගේ දනගැසීම: මහාචාර්ය ජුවාන් කෝල්ගේ උදාහරනය

කෝල් යෝජනා කරන්නේ අධිරාජ්‍යවාදය සමග අනුගත වීමකි. දේවසිරි ද එලෙසමය.

දේවසිරි, උයන්ගොඩ ඇතුලු සරසවි අචාර්යවරුන්ගේ ආස්ථාන ගලා එන්නේ ඔවුන්ගේ පන්ති පදනමෙන් හා එහි අවශ්‍යතාවන් ගෙනි. ඔවුහු අධිරාජ්‍යවාදයට හා ඊට ගැති ධනපති පන්තියට අඩංගු වී තම ඉහල මධ්‍යම පන්තික අවශ්‍යතා රැක ගැනීමට තැත් කරති. අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීමේ මෙම විෂ ධූමය කපා හෙලා දැමීමට කොන්දේසි සැකසෙන්නේ ලෝක ධනවාදී පද්ධතියේ නෛසර්ගිකව අන්තර් ගත ප‍්‍රතිවිරෝධතා එහි අර්බුදයට ද අන්තර් අධිරාජ්‍යවාදී යුද ගැටුම් වලට ද තල්ලු කරන අතරම කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලට කොන්දේසි සකස් කිරීම තුල ය.

යුරේසියා මහා භුමි ස්කන්ධය මත අධිකාරය තහවුරු කර ගැනීමට ඇමරිකාව, රුසියාවට හා චීනයට එරෙහිව ගෙනයන මිලිටරි ධාවනය එම රටවල් සමග විනාශකාරී යුද්ධවලට දොරහැර ඇතුවා පමනක් නොව අනෙකුත් බලයන් දැන් දක්වන මිතුරුකම් පස මිතුරුකම්වලට පෙරලීමේ කොන්දෙසි ද වර්ධනය වෙමින් තිබේ.

පලමු වන හා දෙවන ලෝක යුද්ධවලට පෙරාතුව හා පසුව විප්ලවවාදී අරගල රටක් රටක් පාසා එලඹියාක් මෙන්, දැන් එම විප්ලවවාදී කොන්දේසි වැඩෙමින් පවතී. තුන් වන ලෝක යුද්ධයක අන්තරාය නම් න්‍යෂ්ටික අවි හරඹය මනුෂ්‍ය වර්ගයා ම්ලේච්ඡත්වයට අද දැමීමේ කොන්දේසි නිර්මානය වීමය. එය නතර කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය නායකත්වය ගනිමින් සමාජවාදී පදනමක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම හා සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීමෙනි.

ව්‍යාජ වම්මු, දකුනට මාරුවූ බුද්ධිමතුන් ඇතුලු ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් කම්කරු පන්තිය එලෙස බලමුලුගැන්වීමට සතුරු ය. ඔවුහු කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ම ප‍්‍රතික්ෂේප කරති. කම්කරුවන්ගෙන් ද සමාජවාදයට ලැදි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුලු බුද්ධිමතුන්, තරුනයන් හා ශිෂ්‍යයන් ගෙන්ද අප ඉල්ලා සිටින්නේ ලෝක සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුලත් දකනු ආසියාව තුලත් සටන ගෙන යාමට සමාජවාදී සමානතා පක්ෂයට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයට බැඳෙන ලෙසයි.

Share this article: