ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි සසප රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට ඉහල ප‍්‍රතිචාරයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අගෝස්තු 7

‘ජනතාවගේ ජීවන හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කරනු! සමාජවාදී කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් කරනු!’ යන මාතෘකාව යටතේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, අගෝස්තු 09 වන දා සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ රැස්වීමක් පැවැත්වීමට නිමිතය. රැස්වීම ගොඩනැගීම සඳහා සසප සහ සසජාතශි සාමාජිකයන් ගෙනයන උද්ඝෝෂනයේ දී, ආන්ඩුවේ ප‍්‍රහාරයන් තම ජීවන කොන්දේසිවලට බල පා ඇති ආකාරයත් එම ප‍්‍රහාරයන්ගෙන් අත් මිදීම සඳහා ගතයුතු ක‍්‍රියා මාර්ගයත් පිලිබඳව කම්කරුවෝ, දුගී නිවැසියෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සාකච්ඡා කලහ.

ලොසවෙඅ වාර්තා කරුවන් නිවැසියන්ට කතා කරමින්

සසප විසින්, 2016 ජූලි 12 නිකුත් කල ප‍්‍රකාශය පත‍්‍රිකාවක් ලෙස බෙදාහරිමින් වනාතමුල්ල, බ්ලූ මැන්ඩල්, කජීමා වත්ත, යන ප‍්‍රදේශයන්හි පිහිටි දුගී නිවාසයන්හි, කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හි හා කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදුනි.

බරපතල ආර්ථික අර්බුදයක තතු යටතේ මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සුබසාධන සේවා අහෝසි කරමින් පුද්ගලීකරනය පුලුල් කිරීමට ද විදේශ හා දේශීය ආයෝජකයන් ට වාසිදායක කොන්දේසි නිර්මානය කිරීම සඳහා ගනු ලබන පියවරයන්ට ද එරෙහිව කම්කරු අරගල හා උද්ඝෝෂන දිනපතා පැන නගී.

ආන්ඩුව ක‍්‍රියාවට දමන මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට කොන්දේසි සැකසීම වේගවත් කිරීමේ කොටසක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින්, පසුගිය පෙබරවාරි මාසයේදී තොටලඟ කජීමා වත්තේ සහ ඇපල්වත්තේ දුගී නිවාස කඩා දැමීමෙන් අනතුරුව ඉටිකොල වලින් ආවරනය කරගත් මඩුවල ජීවත් වූ නිවැසියන්ගේ ප‍්‍රශ්න ඔවුහු උද්ඝෝෂකයන්ට මෙසේ ඉදිරිපත් කලහ.

කජීමා වත්ත

ජුලි 27දා කඩා දමන ලද නිවසක්

කුඩා කඩයක් හිමි තරුන කාන්තාවක්: “දැන් රාජපක්ෂ කාලෙටත් වඩා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. පහුගිය චන්දෙදි මේ පලාතේ හැමෝම වැඩ කලේ ඇමති රවී කරුනානායකට. යූඑන්පී ආන්ඩුවක් ගෙනාවොත් ප‍්‍රශ්න ටික විසඳෙයි කියල බොරු විශ්වාසයක් ඇති කලා. ඒ වුනාට පත්වුනාට පස්සේ ඇමති තුමා තවම මේ පැත්ත පලාතේ අවේ නැහැ. අපි පත් කරපු ආන්ඩුවෙන්ම ඩෝසර් දාල අපේ ගෙවල් කැඩුව, නිලධාරින් ඇවිත් අපිට තර්ජනය කරනවා, බය කරනවා.

කජීමා වත්ත ව්‍යාපාරිකයෙකුට විකුනා ඇති බැවින් ඔහු එම ඉඩම ඉල්ලන බවත්, වත්තේ නව පැල්පත් සෑදීම නතර කරගතහොත් දැන් පදිංචිව සිටින අයට කෙසේ හෝ නිවසක් සාදා දෙන බවත් නිවාස සංවර්ධන අධිකාරිය (නිසඅ) පවසන බව ඇය පැවසුවාය.

“නිවාස සංවර්ධන අධිකාරිය ම වත්තේ අය එකතුකර කමිටුවක් හැදුවා, අලුතින් පැල්පත් හදන එක නතර කරන්න. ඒකට සභාපති ලේකම් පත්කලේ වත්තේ අයගෙන්මයි. හැම සතියකම වගේ අලුතින් මිනිස්සු එනව මෙහෙ පැල්පත් අටවා ගන්න; මං හිතන්නේ ඒ ආන්ඩුවෙන් තැන තැන තියෙන ගෙවල් එක දෙක කඩනකොට පාරට වැටෙන අය.

“ඒ ගෙවල් කඩන්නේ නාසඅ, ඒ කඩනකොට ඒගොල්ලෝ කියනවා, කජීමා වත්තෙන් පැලක් අටෝගන්න කියල; ඒ වුනාට ඒ මිනිස්සු මෙතෙන්ට ආවාම, නිසඅ කියනවා, මේ ඉඩම අපේ ඒ නිසා මෙතන ඕගොල්ලන්ට ගෙවල් හදන්න දෙන්න බැහැ කියල.

“ඒ නිසා දැන් කොමිටියේ අය අලුතින් ගෙයක් හදන්න ආපු ගමන් නිවාස අධිකාරියට ටෙලිෆෝන් කරනවා. එතකොට සිකියුරිටි එකෙන් ඇවිත් ඒ අලුත් පවුල් අහක් කරනවා. මේ වතු වල මිනිස්සු ඉන්නේ මේවගේ ප‍්‍රශ්න මැද්දේ. ජනාධිපති කියනවා එයාට ඕනේ ඔක්කොමටම කලින් පිරිසිඳු දේශපාලනයක් පිහිටුවන්න කියල. ඒක අපිව රවට්ටන්න කරන ප්‍රෝඩාවක්; මේ වතු වල මිනිස්සුන්ගේ තියෙන ප‍්‍රශ්න විසඳන්නේ නැතිව කට්ටි පනින්න කියන බොරුවක්. මහින්ද ඇතුලු විපක්ෂය කියනවා ඒගොල්ලෝ ආන්ඩුවට විරුද්ධව “පුලුවන් සීමාවට” යනවා කියල. අපිට ඕනේ බොරුවට විරෝධය පාල ගෙදර යන්න නෙමෙයි, මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ කරන්නේ ආගම් වාදේ අවුස්සන එක.”

ජිෆ්රි රැකියා විරහිත දෙදරු පියෙක්: “මේ රටේ ආන්ඩු, නීතිය, නගරසභා වලට පින්සිද්ධ වෙන්න තමයි අපි මේ විදියට අපායක ජීවත් වෙන්නේ. පෙබරවාරි 28 අපි නය වෙලා හදාගත්තු ගෙවල් බැකෝ ගෙනල්ල කැඩුවා. මම කියන්නේ වල් අලි රංචුවක් ඇවිත් අපේ ගෙවල් කඩලා ගියා කියල. දැන් අපිට මේ ගෙවල් වලට ටකරමක් දාගන්න තහනම්, ඇන ගහන්න තහනම්. එත කොට ඒවා ස්ථිර නිවාස වෙනවලු. මේක ලමයෙකුට ඉන්න පුලුවන් පරිසරයක් නෙමෙයි.

“රනිලුයි මෛත‍්‍රීයි වේදිකා වල පම්පෝරි ගැහුවට ඒගොල්ලොත් එරිලා ඉන්නේ මහින්ද එරුනු වලේම තමයි. ජනතාවට කිසි සහනයක් දෙන්න පුලුවන් කමක් නැහැ, අපි හම්බ කරන එකත් බදු ගහල ගන්න එක තමයි ඒගොල්ලන්ට කරන්ඩ පුලුවන්.

“ජේවීපී එකත් ඒගොල්ලන්ගේ ලකුන සීනුව වගේම, වාසියට ටිකක් බොරුවට කෑ ගහල, එක පාරටම සද්ද නැතුව යනවා. ඒ අය තමයි මේ ආන්ඩුව ගෙනාවේ. මේ පක්ෂ එකකටවත් අපේ ප‍්‍රශ්න වලට විසඳුම් නැහැ.”

පැට්‍රික් ප‍්‍රනාන්දු, අබාධිත විශ‍්‍රාමික කම්කරුවෙක්: “හැමතැනම අර්බුද, ස්ට‍්‍රයික්. විශාල වශයෙන් මිනිස්සු පාරට බහිනවා. තැපැල්, වරාය, ටෙලිකොම් හැම තැනම. ඒ ඉල්ලීම් සාධාරනයි.

“ලෝකය පුරාම ස්ට‍්‍රයික් අරගල, මිනිස්සු පාරට බහිනවා කියන එක ප‍්‍රවෘති ඇහුවහම පේනවා. මැදපෙරදිග යුද්ධ වල නිමක් නැහැ. මේ වතුවලින් ඒ රට වලට වැඩට ගිය අය ගොඩක් ආපහු එනවා, ඒවායේ රස්සාවල් අඩුයි, ජීවත් වෙන්න බැහැ. මෙහෙ විතරක් නෙමෙයි, අරාබි රටවල වැඩ කරන ඉන්දියන් අයටත් ආපහු යන්න වෙලා කියල මිනිස්සු කියනවා. ලෝකෙම කම්කරුවෝ ඉන්නේ ප‍්‍රශ්න වලින් මිරිකිලා. යුරෝපේ වෙන මිනීමැරුම්, උද්ඝෝෂන ගැන ඇහෙනවා. නමුත් ඔගොල්ලේ විතරයි මේ කරුනු ගැන කතා කරන්නේ.”

මොරටුව විශ්වවිද්‍යාලය

පරිගනක අංශයේ ශිෂ්‍ය යසිත මධුරංග: “සමාජීය විකාශනයේ නියාමයන් හඳුනාගැනීම සඳහා තිබෙන විද්‍යාව මාක්ස්වාදය ලෙස මම පෙර දැන සිටියේ නැහැ. ඒක සිත්ගන්නාසුලුයි. දේශපාලන පක්ෂවල ක‍්‍රියා කලාපයන් ඒවායේ පන්ති පදනම තුලින් වටහාගත හැකි බවට ඔබ කල පැහැදිලි කිරීමටත් මම එකඟයි. මිනිස්සුන්ගේ ජීවන තත්වයන් පහල යන හැටි දකින විට පවතින ධනේශ්වර ක‍්‍රමයේ ගැටලුවක් තිබෙන බව මට වැටහෙමින් තිබුනා. එයට අනිවාර්යෙන් විසඳුමක් සෙවිය යුතුයි.”

කොලඹ විශ්ව විද්‍යාලය

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සමග කතා කරමින්

මදුශංක: තෙවන වසර විද්‍යාපීඨ සිසුවෙක්: “අනධ්‍යන සේවක වැඩවර්ජනය නිසා අපි ප‍්‍රශ්න ගනනාවකට මුහුන දීල ඉන්නේ. සමහර අයගේ විභාග කල් දාන්න වෙලා. අපිට ඇගයීම් බාර දෙන්න විදියක් නැහැ. මේක සිද්ධ වෙලා තියෙන්නේ රජයෙන් මේ අයගේ ප‍්‍රශ්න විසඳලා නැති නිසා. නමුත් ශිෂ්‍යයොයි, අනධ්‍යන සේවක වෘත්තීය සමිතියි අතර කිසිම සම්බන්ධයක් නෑ. ඕගොල්ලෝ පැහැදිලි කරා වගේ ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, මේව ඔක්කොම ශිෂ්‍යයන්වයි, සේවකයන්වයි බෙදල තියෙන්නේ.

“මේ ආන්ඩුවෙන් ශිෂ්‍යයන්ට පහර දෙනවිට වෘත්තිය සමිති කට වහගෙන ඉන්නවා. ශිෂ්‍යයන්ට විරුද්ධ ලොකු මර්දනයක් මේ විශ්ව විද්‍යාලය ඇතුලේ තියෙනව. පොඩි දේටත් පන්ති තහනම් කරනවා, ඒ නිසා ලමයි බයෙන් ඉන්නේ.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙහයවන ශිෂ්‍ය සංගම් ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “මවු ශිෂ්‍ය සංගම් තමයි ලමයින්ව බෙදන්නේ. විශ්ව විද්‍යාලය ඇතුලෙත් නොයෙකුත් කල්ලි කන්ඩායම් තියෙනව, ජාතිය අනුව, පලාත අනුව සමහර වෙලාවට ගිය ඉස්කෝල අනුවත්. මේ බෙදීම් ශිෂ්‍ය සංගම් විසින් පෝෂනය කරනවා. ශිෂ්‍යන්ට විරුද්ධව ආන්ඩුව ලොකු ප‍්‍රහාරෙකට ලෑස්ති වෙන්නේ. පුද්ගලීකරන කරන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. බලන්න සයිටම් ප‍්‍රශ්නය දිහා. ශිෂ්‍ය සංගම් වලටවත් ජේවීපී එකටවත් මේ ප‍්‍රශ්නෙට විසඳුමක් නැහැ ඒගොල්ලේ කරන්නේ ඒ වෙලාවට මොකක් හරි කියල ප‍්‍රශ්නෙන් පැනල යන එක.

“මේක ලෝකය පුරා ශිෂ්‍යයෝ මුහුන දීල ඉන්න තත්වයක්, ඉන්දියාවේ ශිෂ්‍යයොත් දැන් මාස ගානකට උඩදී ලොකු උද්ඝෝෂනයක් කලා අපි දැක්ක.

“අනිවාර්යයෙන්ම ලෝක යුද්ධයක් ඇති වෙන්න පුලුවන්. ඒක ලංකාවට බලපානවා. මැද පෙරදිග ඇතිවෙලා තියන යුද තත්වය දැනටමත් ලංකාවේ තේ කර්මාන්තෙට බොහොම නරක විදියට බලපාල තියනවා. මේ ආන්ඩුව පත්කරගත්තේ ඇමරිකාවේ මැදිහත් වීමෙන් කියල හොඳටම පැහැදිලියි. ඉන්දියාවත් හවුල් උනා. මම මුලින් හිතුවේ එහෙම කරන්නේ ලංකාවෙන් ලාභ ගරාගෙන යන්න කියල. නමුත් ඕගොල්ලෝ කියනකොට තමයි මට තේරෙන්නේ ඔවුන් ඒ කරන්නේ ලංකාවේ පිහිටීම යුද්ධයකදී වැදගත් නිසා කියා. නමුත් ලෝක යුද්ධයකට එරෙහිව ශිෂ්‍යයෝ කොහොමද සටන් කරන්නේ?

ශිෂ්‍යන්ට සටන් කල හැක්කේ, ලෝක කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සහිතව බව සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෝ පෙන්වාදුන්හ.

Share this article: