ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ විරෝධය වැඩෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 සැප්තැම්බර් 13

ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරනවල කොටසක් ලෙස කි‍්‍රයාවට දමන පුද්ගලීකරනයට විරුද්ධව සහ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ ඉල්ලීම් මත රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විරෝධතා පෙලක් පසුගිය දින කිහිපය තුල පැන නැගුනි.

*ආදායම් බදු එකතු කිරීම පුද්ගලික අංශයට පැවරීමේ ආන්ඩුවේ සැලැස්මට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 3000 ආසන්න බදු නිලධාරීහු සැප්තැම්බර් 2 වෙනිදා දීප ව්‍යාප්ත උද්ඝෝෂනයක නිරත වීමෙන් පසු සැප්තැම්බර් 8 දා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් ව්‍යාපාරයක් ගෙන ගියහ.

බදු එකතුකිරීම මැකෙන්සි නමැති හොංකොං සමාගමකට පැවරීමට හා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජ්‍ය සේවා කොමිසම සතුව පවතින බලතල මුදල් ඇමති වෙත පවරා ගැනීමට ආන්ඩුව උත්සාහ කරයි. දෙපාර්තුමේන්තු ව්‍යවස්ථාවට පිටින් දේශපාලන පදනම මත සේවකයන් 15,00 ක් බඳවා ගැනීමට ද අමාත්‍යාංශය සූදානම් වන බවට සේවකයෝ චෝදනා කරති.

මෙහි ම කොටසක් ලෙස සංශෝධිත රේගු බදු පනතක් ද මෙම මාසය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව අපේක්ෂා කරයි. රේගු බදු පනත සංශෝධනය කිරීම මහ ව්‍යාපාරිකයන් ට සහ ආයෝජකයන්ට සහන සැලසීමට ආන්ඩුව ගන්න පියවරක් බව රේගු නිලධාරීහු කියති.

*තෙල් සංස්ථාව පුද්ගලීකරනය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාවේ සේවක උද්ඝෝෂනයක් සැප්තැම්බර් 6 වෙනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට පැවැත්වුනි. උද්ඝෝෂනයට සේවකයෝ සිය ගනනක් සහභාගී වුහ.

ඛනිජ තෙල් සංස්ථාවේ කොටස් වලින් තුනෙන් එකක් දැනටමත් ඉන්දියානු තෙල් සමාගමට හිමිව ඇත. ආන්ඩුවේ නව සැලසුම් යටතේ ති‍්‍රකුනාමලේ චීන වරායේ තෙල් ටැංකි සහමුලින් ම ඉන්දියානු තෙල් සමාගමටත් හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයටත් පවරා දීමට නියමිත ය.

*රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන් සැප්තැම්බර් 6 වනදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. රාජ්‍ය කාර්මික ඒකාබද්ධ දීපව්‍යාප්ත නව සේවාවක් ඇතිකිරීම, රජයේ විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂන ආයතන වලින් උගත් ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට සුදුසු වැඩ පිලිවෙලක් කි‍්‍රයාත්මක කිරීම, තාක්ෂන වේදීන් විදේශ පුහුනු පාඨමාලවලට යොමු කිරීම සමාන සුදුසුකම් වලින් බඳවා ගත් නිලධාරීන් සමාන වැටුප් තලවල පිහිටුවීම ඇතුලු ඉල්ලීම් ගනාවක් ඔවුන් ඉදිරිපත් කර ඇත. පලාත් පාලන ආයතන හා රාජ්‍ය දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු කාර්මික නිලධාරීහු 8,000 පමන වර්ජනයට සහභාගී වී සිටිති. ආන්ඩුවෙන් විසඳුම් බලා සිටින කාර්මික වෘත්තීය සමිති සම්මේලනය මෙතෙක් තම ඉල්ලීම් පිලිබඳව කිසිදු අවධානයක් යොමුකර නැතැයි මැසිවිලි නගා ඇත.

*කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීහු සැප්තැම්බර් 7 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා කම්කරු නිලධාරීන් දීප ව්‍යාප්ත සේවාවන් ට අදාල මුල් වැටුප් තලයේ පිහිටුවන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. කම්කරු නිලධාරීන් ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීම සංකීර්න ගැටලුවක් හෙයින් ඒ සඳහා කාලය අවශ්‍ය බවත්, එහෙයින් වැඩවර්ජනය කිරීම “අසාධාරන” බවත් කම්කරු ඇමති ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න කියා ඇත.

*ලේක් හවුස් ආයතනයේ සේවකයෝ සැප්තැම්බර් 6 වනදා සිට දින තුනක් දහවල් කෑම පැයේ පිකට් උද්ඝෝෂන කලහ. උද්ඝෝෂනයට සේවකයන් 500 අධික ගනනක් සහභාගී වුහ. ආයතනය දේශපාලනීකරනයෙන් තොර නිදහස් මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීම, නව සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම හා සාධාරන වැටුප් වැඩිවීමක් ලබාදීම සේවකයන්ගේ ඉල්ලීම් වේ.

සාමුහික ගිවිසුම අත්සන් කිරීම වසර අටක සිට ඇත හිටුවා ඇති අතර දෙවරක දී රුපියල් 1,000 බැගින් මූලික වැටුපට එකතු නොකල දීමනා දෙකක් හැර එම වසර අට තුල වෙනත් කිසිදු වැටුප් වැඩිවීමක් නො ලද බව සේවකයෝ කීහ. අතිකාල සීමාකර තිබේ. සේවකයන් ට විරුද්ධව බරපතල මර්දනයක් පවතින බව ද ඔව්හු කීහ.

රාජ්‍ය අංශයේ කම්කරුවන් අතර වර්ධනය වන මෙම අරගලයන් පෙන්නුම් කරන්නේ මෛතී‍්‍රපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් රැකියා, වැටුප්, සේවා කොන්දේසි හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව සමස්ත කම්කරු පන්තිය තුල ධනපති ආන්ඩුව කෙරෙහි ගැඹුරු වන විරුද්ධත්වය හා කම්කරු පන්තියේ පුලුල් අරගල පුපුරා යාමේ පෙර ඇඟවීම් ය.

එහෙත් මෙම විරෝධාතා උද්ගෝෂන මෙහෙයවන වෘත්තීය සමිති නිලධරයේ අරමුන කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ අව්‍යාජ අරගල සංවිධානය කිරීම නොවේ. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමේ පුහු විරෝධතාවලට කම්කරු පන්තිය කොටු කර පන්ති අරගල පුර්වභංග කර දැමීමට ය.

ජනාධිපති සමග සාකච්ඡාවකින් බදු එකතු කිරීම පුද්ගලික අංශයට පැවරීම නතර කල හැකිවෙතැයි මිථ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමිති නිලධරයා විසින් තොරොම්බල් කරනු ලබයි. එහෙත් බදු එකතු කිරීම පුද්ගලික අංශයට පැවරීමේ කැබිනට් පති‍්‍රකාවක් දැනටමත් අනුමත කර ඇත. ලාබ ලබන ආයතන පුද්ගලීකරනය නොකරන බව ජනාධිපති පොරොන්දු වී ඇතැයි තෙල් සංස්ථාවේ සමිති නායකයෝ කියති. ගබඩා සංකීර්න පැවරීම කැබිනට් පති‍්‍රකාවකට අනුමැතිය ලැබී ඇත්තේ මාස කිහිපයකට පෙරාතුවය. ජනාධිපතිගේ අනුදැනුමෙන් තොරව කැබිනට් පති‍්‍රකා අනුමත වීමක් සිදු විය නො හැකි බව සමිති නායකයෝ නො දන්නවා නොවේ. සේවක ව්‍යවස්ථාවක් සාදන ලෙසට කාර්මික නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනාව සේවකයන් දෙපාර්තමේන්තුවට බැඳ තැබීමේ ඉල්ලීමකි.

ආන්ඩුව තම ඉල්ලීවලට කන් නො දුන්නොත් දැඩි වෘත්තීය අරගල කරන බවට මේ සමිති නිලධරයන් කරන තර්ජන හුදෙක් ම බොරු ගර්ජනාවන් පමනි. මේ සමිති සියල්ල ම නැත හොත් ඉන් බොහොමයක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ප‍්‍රහාර වලට එරෙහිව වර්ධනය වූ කම්කරු පන්තියේ විරෝධය අවමන් ගත කොට වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව දායක වූහ.

ලේක් හවුස් වෘත්තීය සමිති පෙරමුනේ නායකත්වය දරන ලේක් හවුස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි “පාවාදෙන සමිතිවලට ඉඩ දෙන්නේ නැහැ. ජයග‍්‍රහනය කරන තුරු සටන පෙරට ගෙන යනව” යැයි උද්ඝෝෂනය ට සම්බන්ධ වූ ලේක් හවුස් සේවකයන් අමතා බොරු පුච්චානම් කතාවක් කලේ ය. ලංකාපේලි සහ ඔහු සම්බන්ධ නව සම සමාජ පක්ෂය වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව සහයෝගය දුන්නා පමනක් නොව; ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරන වලට පක්ෂව විවෘත ව උද්ඝෝෂනය කරන පක්ෂයකි.

ආන්ඩුව කම්කරු පන්තියේ ඉල්ලීම් දීමට සුදානම් නැත. තීව‍්‍ර වන ධනවාදී ලෝක ආර්ථික අවපාතයේ කොටසක් ලෙස වඩ වඩා ගැඹුරුවන ආර්ථික අර්බුදයකට එය මුහුන දී සිටි. එහි ප‍්‍රතිවිපාකයක් ලෙස දෙවසරකට අසන්න කාලයක් එක දිගට අපනයන කඩාවැටෙමින් ඇත. විදේශ අදායම් පහත වැටී වෙලඳ ශේෂ පරතරය පුලුල් වී ඇති අතර ආන්ඩුවේ දේශීය සහ විදේශීය නය දැවැන්තව ඉහල ගොස් තිබේ. ආන්ඩුව මේ අර්බුදයෙන් ගොඩ ඒම පිනිස විදේශ ආයෝජන කැඳවා ගැනීමේ මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදී සිටින අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) හා ලෝක බැංකුව ( ලෝබැ) ඇතුලු ජාත්‍යන්තර බැංකු වලින් තව තවත් නය ගැනීමට යොමු වී ඇත.

ජාමුඅ හා ලෝබැ පිලිවෙලින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5 සහ මිලියන 100 ක් නය ගැනීම සඳහා මෑත දී ගිවිසුම් අත්සන් කල ආන්ඩුව මෙම ජාත්‍යන්තර බැංකු විසින් ඉල්ලා සිටින රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය, සමාජ සුබසාධන කප්පාදුව ඇතුලු රාජ්‍ය වියදම් කපා හැරීමේ ආර්ථික ප‍්‍රහාර මාලාවක් දැනටමත් කි‍්‍රයාවට දමා ඇත.

රාජ්‍ය ආයතන පුද්ගලීකරනයත්, කම්කරු පන්තියේ රැකියා හා සේවා කොන්දේසි වලට පහර දීමත් එහි කොටසකි. රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහකරනය පිනිස නව නීති ගෙන එන බව අගමැති වික‍්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කලේ ය. “මගේ අදහසට අනුව, රාජ්‍ය ආයතනයක් වන්චාවන්ගෙන් පිරී ඇත් නම් හෝ පාඩු ලබන්නේ නම් මන්තී‍්‍රවරුන්ට හෝ වෙනත් කවර හෝ කන්ඩායමක ට උසාවියට යාමේ අයිතිය තිබිය යුතුය” යි ඔහු කීවේ ය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බව ද ඔහු පැවසුවේ ය.

ආන්ඩුවේ අපේක්ෂාව වන්නේ පුද්ගලීකරනය යටතේ සිදුවන රැකියා හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව කම්කරුවන් අතරින් පැන නගින විරෝධය උසාවි නියෝග වලින් හිරකොට රැකියා හා සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීම පිනිස සටන් කිරීමට කම්කරුවන්ට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මැඩීමට රාජ්‍ය මැදිහත් කිරීම සඳහා ය.

බලන්න: ජීවන තත්වයන්ට පහර ගැසීම නතර කරනු! සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් කරනු!සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2016 ජුලි 12

Share this article: