පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආන්ඩුවේ මැයි දින තහනම විහිලුවකට ගනී

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 අප්‍රේල් 30

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැයි දින තහනම කම්කරු පන්තියේ මූලික ප‍්‍රජාතන්ත්‍රීය අයිතියකට එල්ල කල දුෂ්ට ප‍්‍රහාරයකි. එමෙන් ම, වැඩකරන ජනතාවගේ අයිතීන් මැඩලීම තව තවත් තීව‍්‍ර කෙරෙන බවට කම්කරු පන්තියට කෙරුන බරපතල අනතුරු ඇඟවීමක් ඉන් නිකුත්වී ඇත.

එහෙත්, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ආන්ඩුවේ මෙම ප‍්‍රහාරය හෑල්ලුවට සහ හාස්‍යයට ලක් කිරීම කම්කරුවන් හා තරුනයන් දේශපාලනිකව අවමංගත කර එම ප‍්‍රශ්න කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවීම වැලක්වීමට කර ඇති මැදිහත්වීමකි.

පෙසපට අනුව ආන්ඩුව මැයි දින රැස්වීම් සහ පෙලපාලිවලට තහංචි දමා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ “රෝගී” එක්සත් ජාතික පක්ෂය (එජාප) ට මැයි දිනය සැමරීමට “නොහැකි” නිසා ද, වෙසක් පෝය දින “තැබෑරුම් වසන” බැවින් එම පක්ෂ වල මැයි පෙලපාලි සහ රැස්වීම වලට එන අයට “බොන්න” දෙන්න බැරි නිසා ය.

මැයි දින තහනම සම්බන්ධයෙන් 25 වෙනිදා පැවති මාධ්‍ය සාකච්චාවක දී පෙසප දේශපාලන කමිටු සාමාජික දුමින්ද නාගමුව මෙසේ පවසා ඇත: “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට මැයි දින සමරන්න බැහැ. රෝගී එක්සත් ජාතික පක්ෂයටත් බැහැ. නීරෝගී පක්ෂ මැයි දිනය සමරනවාට කැමති නැත්තේ ඒකයි. මේ දවසේ තැබෑරුම් වහල. ඉතින් තැබෑරුම් ඇරලා බොන්න දෙන්න විදිහක් නැති නිසා තමයි මේ දවස කල් දමා ගන්න හදන්නේ”.

“කම්කරු දිනය මහා පාරේ හෝ සමරනවා” යයි පූච්ඡානමක් දොඩවමින් නාගමුව තැත් කර ඇත්තේ තම පක්ෂයට කම්කරු පන්තිය කෙරෙහි පුදුමාකාර ලැදියාවක් ඇති බව පෙන්වීමට ය. නාගමුව ආන්ඩුවේ ක්‍රියාව විහිලුවට ලක් කරමින් කර ඇති ප‍්‍රකාශ ඔවුන්ගේ දේශපාලනයෙන් ගලා එයි. පෙසප දේශපාලන අක්ෂය කර ගෙන ඇත්තේ ශිෂ්‍යයන් පිටුපස කම්කරුවන් ගාල් කිරීම හා වාමාංශික යයි කියා ගන්නා පක්ෂවල ද වෘත්තිය සමිතිවල ද ඊනියා වමේ පෙරමුනක ඔවුන් හිර කිරීමයි.

මෙම පක්ෂයට අනුව ආන්ඩුව මැයි දිනය කල් දැමුවේ “තැබෑරුම් ඇරලා බොන්න දෙන්න විදිහක් නැති නිසා” හෙයින් එය එතරම් ගනන් ගත යුතු බැරෑරුම් ප‍්‍රශ්නයක් නොවේ. මෙය සත්‍යය වසන් කිරීමකි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි දින තහනම ගැන නිකුත් කල ප‍්‍රකාශයන්හි අවධාරනය කල පරිදි ආන්ඩුව බියපත්වී සිටින්නේ හෙලෙත්තාඩු වී ඇති පාලනයට එරෙහිව කම්කරුවන්ගේ කැකෑරෙන විරෝධය එදින ප‍්‍රකාශවීමට ඉඩ ඇති හෙයිනි.

මැයි දින සැමරුම් තහනම් කිරීමේ මූලික හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය මුහුන දී ඇති බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදය සහ එම තත්වය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ක්‍රියාවට දමන ආර්ථික ප‍්‍රතිසංස්කරන මගින් ජීවනතත්වයන් ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනතාව හා අවශේෂ පීඩිත ජන කන්ඩායම් තුලින් මතු වෙමින් පවතින බරපතල විරෝධය යි.

වෘත්තීය සමිතිවල මග ඇවිරීම්, නොමග යැවීම් සහ පාවාදීම් තිබියදී ම මෑත මාස කිහිපය පුරාවට එකක් පසු පස තවෙකක් ලෙස වරාය, තෙල්, දුම්රිය, තැපැල්. විදුලි බල, සෞඛ්‍ය සහ විශ්ව විද්‍යාල සේවකයන්ගේ අරගල පැන නැගුනි. ඔවුන්ගේ ඉල්ලීම් අතර යම් සුලු වෙනස් කම් පැවතිය ද, ඒවා මුලිකව මෙහෙයවුනේ සහ ගැටුනේ ආන්ඩුවේ පුද්ගලීකරනය, රැකියා, සේවා කොන්දේසි සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව ය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තික අරගල ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රහාර වලට එරෙහිව ඇමරිකාව, යුරෝපය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල සිට අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව අලලාගනිමින් වැඩෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ පන්ති සටන් වල කොටසකි.

කම්කරු පන්තියේ අරගල වලට සමගාමීව අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සිසුන්ගේ ද සමාජ සුබ සාධන කප්පාදුවට විරුද්ධව ගම්බද දුගී ගොවීන්ගේ ද අරගල නිරන්තරව මතුවෙමින් ඇත.

ධනපති පක්ෂවලට මැයි දිනය සැමරීමේ මොන ම අයිතියක්වත් නැතත් ශ්‍රීලනිපය හා එජාපය එදින යොදාගන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය නැතිකර තම පක්ෂවලට ගැට ගසා ගැනීම සඳහාය. 1948 ඊනියා නිදහසෙන් පසු අධිරාජ්‍යවාදයේ ගැත්තන් ලෙස පාලන බලය බාර ගත් ධනපති පාලක පන්තියේ මුලික පක්ෂ දෙක වන මෙම පක්ෂ ආරම්භයේ සිට ම ක්‍රියාත්මක වී ඇත්තේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීමට සහ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් භේද කිරීමට ය. මෙහි දී සිංහල බෞද්ධ අධිපතිවාදය සහ වාර්ගික භේද කිරීම් හැම විට ම ධනපති පාලක පන්තිය විසින් දේශපාලන අවියක් ලෙස භාවිතා කර ඇත.

ආන්ඩුව කරවන එජාපය සහ ශ්‍රීලනිපය මෙන් ම, මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) අතර යම් උපායාත්මක මත භේද පැවතිය ද, ජාමුඅ විසින් යෝජිත ආර්ථික ප‍්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම සහ ඊට එරෙහිව මතුවෙමින් තිබෙන කම්කරු පන්තියේ විරෝධය තලා දැමීම හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීම සම්බන්ධයෙන් ඔවුන් අතර පවතින්නේ ඒකමතික භාවයකි. ආන්ඩුවේ තහනම පොපෙ විසින් පිලිගැනීම මගින් කම්කරු පන්තියට විරුද්ධව උනුන් අතර පවතින එම අන්‍යෝන්‍ය එකඟතාව මැනවින් ප‍්‍රදර්දශනය කර ඇත.

ජවිපෙ ආන්ඩුවේ මැයි දින තහංචියට එකඟවීම ගැන පෙසප “පුදුමයට” පත් වූ බව ද නාගමුව කියා ඇත. පුදුමයක් නැත. පෙසප නායකයන් ද සම්බන්ධවී සිටි ජවිපෙ ධනේශ්වර සංස්ථාපිතයට ගාල්ව, සිංහල බෞද්ධ ප‍්‍රභූත්වය පිලිගනිමින් ගෙන ගිය දේශපාලනයේ කොටසක් ලෙස මැයි දිනය පැවැත්වූයේ කම්කරුවන් එම දේශපාලනයට ගැට ගැසීම සඳහා ය. අද ද ජවිපෙ හා ඉන් බිඳුනු කන්ඩායමේ පෙසප එම දේශපාලනය වෙනස් රූප වලින් ගෙනයයි.

පෙසප, රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පරාජය කිරීමේ කඩතුරාව යටතේ වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට වක‍්‍රව සහයෝගය දුන් පක්ෂයකි. ඒ සඳහා රිජුව සහයෝගය දුන් අනෙකුත් ව්‍යාාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ගාමිනී වියන්ගොඩ ඇතුලු ව්‍යාජ වම්මුන් මෙන් ම, පෙසප ද, මැයි දින තහනම ඇතුලු කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර වලට දේශපාලනිකව වග කිව යුතු ය.

Share this article: