ඩිමොක‍්‍රටික් පක්ෂය සහ මයික් පොම්පියෝ ස්ථිර කිරීම

The Democratic Party and the confirmation of Mike Pompeo

2018 අප්‍රේල් 27

හිටපු කොංග‍්‍රස් සභික හා සීඅයිඒ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ ව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ධුරයට පත්කිරීම අප්‍රේල් 26 සවස් භාගයේ ස්ථිර කරනු ලැබීය. හිටපු හමුදා ටැංකි අනදෙන්නෙක් සහ වධ බන්ධන පැනවීම් හා අසීමිත ලෙස ස්වදේශිකයන්ගේ තොරතුරු රහසේ සෙවීමට සහයෝගය දෙන පුද්ගලයෙක් ට‍්‍රම්ප්ගේ කැබිනට්ටුවේ ඉහල ම තනතුර ද ජනාධිපති තනතුර සඳහා ඉනිමගෙහි හතරවැනි ස්ථානය ද දැන් දරා සිටියි.

රෙක්ස් ටිලර්සන් වෙනුවට පොම්පියෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස ස්ථාපනය කිරීම සිදුවන්නේ, ජෙනරාල් එච්. ආර්. මැක්මාස්ටර් වෙනුවට බුෂ් පරිපාලනයේ හිටපු නිලධාරියෙකු හා ඉරාක යුද කුමන්ත‍්‍රනකරුවෙකු වන ජෝන් ඩෝල්ටන් ජාතික ආරක්ෂක උපදේශකයා ලෙස ජනාධිපති ට‍්‍රම්ප් විසින් පත්කිරීමෙන් ඉක්බිත්තේ ය. පොම්පියෝ හා ඩෝල්ටන් යන දෙදෙනා ම ඉරානයට හා උතුරු කොරියාවට විරුද්ධ යුද්ධ සඳහා කැඳවුම් කර ඇත. ඔවුන්ගෙන් සැදුම්ලන්නේ හිටපු කන්ඩායමටත් වඩා ඉව බව නැති විදෙස් පිලිවෙත් කන්ඩායමකි. ඔවුන් ව ස්ථාපනය කිරීම සංඥා කරන්නේ, මැද පෙරදිග තුල පුලුල් පරිමාන යුද්ධයක් සඳහා වන වේගවත් ධාවනයක් සහ රුසියාවට හා චීනයට එරෙහි මිලිටරි ඝට්ටනයක් පිලිබඳ ව යි.

පොම්පියෝ මූර්තිමත් කරන්නේ අධිරාජ්‍යවාදී යුද උත්සන්නිය හා එක්සත් ජනපදය තුල දේශපාලන මර්දනය අතර සබඳතාව යි. ජලයේ ගිල්වා වධ දී තොරතුරු ලබාගැනීම හා බුෂ් පරිපාලනයේ සීඅයිඒ වධ බන්ධන පැනවීම් ඔහු විසින් ආරක්ෂා කර ඇත. පසුගිය වසරේ කල කතාවක දී විකිලීක්ස් යනු “රාජ්‍ය නො වන හතුරු රහස් තොරතුරු සේවයක්” යයි ඔහු කියා සිටියේ ය. රහස් හෙලිදරවු කල එඩ්වඩ් ස්නෝඩන් ව නඩු අසා මරාදැමිය යුතු යයි කියා ඇති ඔහු, ජාතික ආරක්ෂක ඒජන්සියේ මහජන රහස් තොරතුරු වැඩසටහන ප‍්‍රසාරනය කල යුතු බව කියයි.

පොම්පියෝ ක්ෂනික ව දිවුරුම් දුන්නේ අන්ත-දක්ෂිනාංශික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු සැමුවෙල් ඇලිටෝ ඉදිරියේ ය. බ‍්‍රසල්ස්හි පැවැත්වෙන නැටෝවේ විදේශ ඇමතිවරුන්ගේ සම්මේලනයක දී එක්සත් ජනපද ආන්ඩුව නියෝජනය කිරීම සඳහා පියාසර කිරීමට නව රාජ්‍ය ලේකම්වරයා එම රාත‍්‍රියේ යානයකට ගොඩ විය. මෙම හමුව සාකච්ඡා කරනු ඇත්තේ හිටපු බ්‍රිතාන්‍ය ද්විත්ව ඒජන්ත සර්ජි ස්ක‍්‍රිපාල්ට වස දීම පිලිබඳ ව රුසියාවට නැගෙන ව්‍යාජ චෝදනා මෙන් ම මෙම මස මුල එක්සත් ජනපදය, ප‍්‍රන්සය හා බ්‍රිතාන්‍යය විසින් එල්ල කල මිසයිල ප‍්‍රහාරවල ඉලක්කය වූ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුවට රුසියාව දෙන සහයෝගය පිලිබඳ ව යි.

රුසියාව හා සිරියාව යනු පොම්පියෝ කේන්ද්‍රීය ක‍්‍රියාකලාපයක් ඉටු කිරීමට නියමිත වන එලඹෙන්නා වූ ගැටුම් මාලාවකින් දෙකක් පමනි.

මැයි 12දා ජනාධිපති ට‍්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රූපික ව ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ, ඉරානය ද එරට ප‍්‍රවේශමෙන් බැඳී සිටින්නා වූ ගිවිසුමට අත්සන් කල අනෙක් රටවල් පහ ද සමග එක්සත් ජනපදය ගැටුම්කාරී මාවතකට තල්ලු කරමිනි.

මැයි 14දා, පොම්පියෝ දැන් ප‍්‍රධානත්වය දරන රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඊස්රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලම දක්වා ගෙනයනු ඇති අතර, එම පියවර, නැගෙනහිර ජෙරුසලම තමන්ගේ ඓතිහාසික අගනුවර ලෙස සලකන බටහිර ඉවුරේ හා ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ව කරන සැලසුම්ගත ප‍්‍රකෝපකරනයකි.

මැයි 20දා වෙනිසියුලාව සිය ජනාධිපතිවරනය පවත්වයි. රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනට ධුරය දරන නිකොලස් මදුරෝගේ පෙර දකිනු ලැබ ඇති ජයග‍්‍රහනය හෙලා දකිනු ඇතැයි ද මැතිවරනය ප්‍රෝඩාකාරීයැයි ප‍්‍රකාශ කරනු ඇතැයි ද අපේක්ෂා කරන්නේ, නව ආර්ථික සම්බාධක හෝ වෙනිසියුලාවේ විශාලතම තෙල් ගැනුම්කරු වන එක්සත් ජනපදය විසින් තෙල් ආනයනය වර්ජනය කිරීමට ද පවා දොර හරිමිනි.

පොම්පියෝ මේ මස මුල ප්යොංයෑං වෙත කල රහස් සංචාරයේ දී සූදානම් කෙරුනු පරිදි මැයි මස අග හෝ ජුනි මස මුල උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සමග ට‍්‍රම්ප් සාකච්ඡා හමුවක් පැවැත්වීමට නියමිත ය. මෙම හමුව අවලංගු කලහොත් හෝ ප‍්‍රතිඵල රහිත ව බිඳී ගියහොත්, එක්සත් ජනපද ආන්ඩුව උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික අවි අත්හදා බලන ප‍්‍රදේශවලට මිලිටරි ප‍්‍රහාර එල්ල කිරීම හෝ සමස්තයක් ලෙස උතුරු කොරියානු තන්ත‍්‍රයට එරෙහි ව පහර දීමක් සඳහා වන තම සැලසුම් වේගවත් කරනු ඇත.

සෙනෙට් සභාව පොම්පියෝගේ නම අනුමත කලේ ඡන්ද 57ට 42කින් වන අතර, ඩිමොක‍්‍රටිකයන් හය දෙනෙක් හා ඩිමොක‍්‍රටිකයන් සමග සහයෝගී ස්වාධීන සභිකයෙක්ගේ සහයෝගය සහිත ව එය සිදුවිනි. එහෙත් මෙම සංඛ්‍යාවන් පෙන්නුම් කිරීමට ඉඩ ඇතිවාට වඩා ඩිමොක‍්‍රටිකයන්ගේ භූමිකාව ඉතා වැදගත් ය. තීරනාත්මක අවස්ථාවන්හි දී ඩිමොක‍්‍රටිකයන්ගේ සහයෝගය නොවන්නට පොම්පියෝ ව තහවුරු වීම ගැඹුරු ලෙස ප‍්‍රශ්නයට භාජන වන්නට ඉඩ තිබිනි.

ඉරානයට හා උතුරු කොරියාවට එරෙහි යුද උත්සන්නිය පිලිබඳ තමන්ගේ අතීත වාර්තාව අත්හැර දමමින් “මධ්‍යස්ථ” අයෙකු ලෙස පොම්පියෝ සෙනෙට් විදෙස් සබඳතා කමිටුව ඉදිරියේ අප්‍රේල් 12දා පෙනී සිටීමෙන් පසුව, සෙනෙට් ඡන්ද ගනන් කරන්නන් ඔහුගේ නාමයෝජනාව පරාජයට පත්වීමේ අනතුරෙහි හෙලී තිබුනු බව දැකගත්තේ ය.

සෙනෙට් සභාව තුල 51-49ක තුනී බහුතරයක් රිපබ්ලිකානුවන් දරද්දී හා සෙනෙට් සභික ජෝන් මැකේන් මොලයේ පිලිකාවක් හේතුවෙන් නොපැමිනි තතු තුල, කෙන්ටකි ප‍්‍රාන්තයේ ලිබර්ටේරියානු රෑන්ඩ් පෝල්, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂවරයා වධ බන්ධන පැමිනවීම ආරක්ෂා කර තිබීම සම්බන්ධයෙන් කුප‍්‍රකට නිසා තමන් ඔහුට විරුද්ධ වන බව කියමින් තුලනය පොම්පියෝට එරෙහි ව පෙරලීමට තර්ජනය කලේ ය. පොම්පියෝට විරුද්ධ වුනු 49 දෙනාට පෝල් එකතු වූවා නම් නාමයෝජනාව 50ට 49ක ඡන්දයකින් පරදිනු ඇත.

මෙම තීරනාත්මක අවස්ථාවේ අප්‍රේල් 20 වන සිකුරාදා උතුරු ඩකෝටාවේ ඩිමොක‍්‍රටික් සෙනෙට් සභිකා හෙයිදි හයිට්කාම්ප් තමන් රාජ්‍ය ලේකම් ලෙස පොම්පියෝගේ පත්වීමට සහයෝගය දෙන බව නිවේදනය කලේ අවශ්‍ය ඡන්ද 50 ප‍්‍රමානය තහවුරු කරමිනි. අප්‍රේල් 23වන සඳුදා ඉන්දියානාවේ ජෝ ඩොනලි හා බටහිර වර්ජිනියාවේ ජෝ මන්චින් යන තවත් දක්ෂිනාංශික ඩිමොක‍්‍රටිකයන් දෙදෙනෙක් එය අනුගමනය කලේ ය.

නාමයෝජනාව තහවුරු වූ තැන තම නාමික විරුද්ධත්වය අත්හල රෑන්ඩ් පෝල් තමන් මත් පක්ෂ ව ඡන්දය දෙන බව නිවේදනය කලේ ය. ඇත්ත වසයෙන් පොම්පියෝ, ඔහුගේ පූර්වගාමියා වූ ටිලර්සන් ලබාගත් 56ට 43 පරතරයට වඩා තරමක් වැඩි බහුතරයකින් ජයග‍්‍රහනය කලේ ය.

සෙනෙට් සුලුතර නායක චාල්ස් ෂූමර් හා සෙනෙට් විදෙස් සබඳතා කමිටුවේ නිලයක් දරන බෙන් කාඩින් ප‍්‍රසිද්ධියේ පොම්පියෝට විරුද්ධත්වය පලකර එරෙහි ව ඡන්දය දුන්නත් එය නරුම දේශපාලනික ප්‍රෝඩාවක් විය. ෂූමර් හා කාඩින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉරා දැමීම වැනි පොම්පියෝගේ වඩාත් ම ගිනිඅවුලුවාලනසුලු ආස්ථානයන් සමග සැබවින්ම එකඟ වෙති.

අතිමූලික ව ගත්කල, රුසියාව හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කෙරෙහි ආක‍්‍රමනශීලීත්වය නොසෑහෙන බව ආදිය කියමින් දකුනෙන් පමනක් ට‍්‍රම්ප් පරිපාලනය විවේචනය කරන ඩිමොක‍්‍රටිකයෝ, එහි මිලිටරිවාදී විදෙස් පිලිවෙතට සහයෝගය දෙති. විශේෂ නීතිඥ රොබට් මුවෙලර් විසින් කරගෙන යන 2016 මැතිවරනයට කලා යයි කියන රුසියානු මැදිහත් වීම පිලිබඳ ගෙතූ චෝදනාවන්ගේ විමර්ශනයට ඩිමොක‍්‍රටිකයන් දෙන සහයෝගයේ ධාවක බලය එය යි.

රුසියාව පිලිබඳ එක්සත් ජනපද පිලිවෙත පිලිබඳ කුප‍්‍රකට “ආක‍්‍රමනශීලියෙක්” වන පොම්පියෝගේ නම යෝජනා කිරීම ඩිමොක‍්‍රටිකයන් විසින් පුද්ගලික මට්ටමෙන් සාදරයෙන් පිලිගත්තේ ය. එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ ඩිමොක‍්‍රටික අංශයේ ප‍්‍රධාන හඬවල්වලින් එකක් වන්නා වූ ද ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරයට එරෙහි රුසියානු-විරෝධී උද්ඝෝෂනය මෙහෙයවා ඇත්තා වූ ද වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය, අප්‍රේල් 12දා පලකල කතුවැකියක මේ බව උච්චාරනය කරනු ලැබී ය.

“මයික් පොම්පියෝ ස්ථිර කරනු” යන හිසින් යුත් පෝස්ට් කතුවැකිය, “රුසියාව සමග ගැටුම්වලට හේතු වූයේ ‘රුසියාවේ නරක හැසිරීම’ නිසා යයි කියන පොම්පියෝ රුසියාව පිලිබඳව තදින් සිටින බව... ව්ලැදිමීර් පුටින්ගේ තන්ත‍්‍රයට එරෙහි සම්බාධක ප‍්‍රමානවත් නො වුනු බව පිලිගත් පොම්පියෝ මහතා ‘වෙනස්කම්...යලි සකස්කිරීමට’ පොරොන්දු විය.”

“මෙම පරිපාලනයේ ක‍්‍රියාකාරකම් මනාව පැහැදිලි කරන්නේ රුසියාව අපගේ රටට තර්ජනයක් බව ජනාධිපති ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක මූලෝපාය විසින් නිවැරදි ව හඳුනාගෙන ඇති බව” යයි පොම්පියෝ සෙනෙට් විදෙස් සබඳතා කමිටුවට කල ප‍්‍රකාශය, පෝස්ට් කර්තෘ මන්ඩල සාමාජික ජෝෂ් රොගින් ලියූ තවත් අදහස් දැක්වීමක් තුල උත්කර්ෂයට නැංවී ය.

සිරියාව කෙරෙහි එක්සත් ජනපදය වඩා වැඩි කැපවීමක් තිබිය යුතු යයි විදෙස් සබඳතා කමිටුවට පොම්පියෝ සූදානම් කල අදහස්වලට රොගින් අවධානය යොමු කලේ ය. “මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා ප‍්‍රාදේශීය ස්ථාවරත්වය ආදියට ඉහල නැගෙන තර්ජනයක් ඉස්මතු කරන අසාර්ථක සිරියානු රාජ්‍යය, වඩා දැඩි ප‍්‍රතිචාරයක් ලැබීමට සුදුසු” යයි පොම්පියෝ කීවේ, ට‍්‍රම්ප් විසින් සිරියානු තන්ත‍්‍රයට එරෙහි ව එක්සත් ජනපද මිසයිල ප‍්‍රහාර සඳහා අනකිරීමෙන් දෙදිනකට පසුව ය.

මෙම යුද උන්මාදියා හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ සතුරා ඔසවා තැබීම තහවුරු කරන්නේ, ඇමරිකානු පාලක පන්තියේ පක්ෂ දෙක ම, වාරනය, දේශපාලන විරෝධය සාපරාධීකරනය කිරීම හා ලොව පුරා එක්සත් ජනපද මිලිටරි ක‍්‍රියාන්විතයන් ඉවක් බවක් නැතිව ඉහල දැමීම මගින් න්‍යෂ්ටික ආයුධ භාවිත කෙරෙන නව ලෝක යුද්ධයක තර්ජනය ඉහල දමන බවයි.

පැට්‍රික් මාටින්

Share this article: